Monday, November 14, 2016

කටහඬ



අඩ ස්වර සෙමෙන් පිරිමැද 
තබා ගෙනැවිත් හිත ළඟ
මද මුදු බවින් ඉකිලන
වේදනා කඳුළක් ද කටහඬ

ශෘංගාර තනුවක කිමිද
රැව් රැළි නගා ඉපිළෙන
සංසාර වෙරළත වැදී වැදී  විසිරෙන
සිලෝවක ස්වරයක් ද කටහඬ 

සොයා සිඳු පහළට ඇදි ඇදි
ගලා යන යන සැඩ ගං දියරැළි
වෙලා දෑතින් උල්පතක් වෙත
යළි ඇදෙන අරුමැසි සිතුවිලි

සරතයේ සිහිල වී හීන මත ඉහෙන
පොද වැස්ස, මධු සඳ ඔඩම මත 
බුබුළක්ව නැගෙන
ඉගැඹුරුම නිහැඬියාවක මුණිවතින් වැයෙන
හඬ නො දෙන තාලයක කිඳී නෙත් පියෙන

මල් නගන මුලක රැඳි වේදනා රැගෙන
විල් දියක පතුළතට කඳුළු කොට ඉහින
නිල් සරැළි හා වෙලී ආදරේ මවන
දුල් සඳක කිරණක් ද කටහඬක් යනු ම?

ඇස් වසා ස්වප්නයක් මුදවන්න
හිස්තැනක් ස්වර ගෙනත් පුරවන්න
විස්මයෙන් නෙත් කඳුළු ඇහැරන්න
උස් ගිරක ඔබ වැතිර
උස් හඬින් නිම්නාද පතුරන්න

13.10.2016

2 comments:

  1. Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගී පවුර.

      Delete