Wednesday, August 11, 2010

මිය නොයන නික්ම නොයන මිනිසා



ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස

ගෙවී ගිය වසර සතියක් මෙන්    දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම       ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය                බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක    පමණි*

එහෙම දුක දැණුනු රත්න ශ්‍රී  පසුගිය නම වන දා හැන්දෑවේ මාස අටකට පසු ගාල්ලේ සිට කොළඹ ආවේය. ඒ කපුගේ හෙවත් සිය සහෘදයාගේ හැට පස් වන උපන් දිනය සමරන්නටය.

“ඔහු තමන් තෝරා ගත් ගීත වලට වග කීවේය. ඔහු තමන් ගැයූ/සංගීතය සැපයූ  සෑම ගීතයකටම ගැළපෙන සංගීත ආකෘතිය සූක්ෂමව තෝරාගත්තේය.අතපත් නිර්මාණයේ සාර්ථකත්වය හැර අන් සියළු කාරණා ඔහු ජීවිත තර්ජන ද නොතකා ප්‍රතික්ෂේප කළේය.
ඔහු අනම්‍ය ස්වර රචනාවන්හි තනුව වෙනුවට ගීතයේ සාහිත්‍ය  අර්ථය  ගැයුවේය. ඔහු සිංහල ජන දිවියේ රිද්මය මැනවින් දැන සිටියාක් මෙන්ම ඒවා සිය නිර්මාණ වලට ද මුසු කළේය.  ඔහුගේ ගීතවල වූ ප්‍රතිපත්ති සමාජයට සක්‍රියව දායක කළේය. වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ඔහු ජනතාව අත් හළේ නැත.  කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය.” එල්පින්ස්ටන් රඟහළෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා ඔහු කීවේ එසේය.

පංති විඥානය ‍ ලංකාවේ ඓතිහාසික දේශපාලන අරගල සහ ගමන් මග මත නිරන්තරයෙන් ප්‍රතිවර්තනය වන්නේ වෛරි ස්වභාවයකින්යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනෙක් සමාජ ස්ථරයන් කෙරේ ඇති වෛරය තුළින් ස්වකීය පන්තිය කෙරෙහි  ප්‍රේමය උපද්දවාගන්නා, (එතෙකුදු ඒ ගැන කිසිදු විටෙක සවිඥානික නොවූ), බොහෝ පාර්ශවයන් අමතක කරන හෝ නොදන්නා දෙය නම් සමස්ත  මිනිස් වර්ගයාට දැක්විය යුතු  ප්‍රේමය සිය පෞද්ගලික වෛරයට පමණක් සීමා වූ තැනින්, එනම් තිඹිරි ගෙයිදීම අරගලයෙහි සැබෑ අරුත සුණු විසුණු වන බවයි.
කම්කරු පවුලක උපන් ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස ලංකාවේ මෙතෙක් බිහිවූ බහුතරයක් විරෝධාකල්පධාරීන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සිය ගීතයෙන්, සංගීතයෙන් පමණක් නොව ජීවිත භාවිතයෙන් ද දුක් විඳින මිනිසුන් සමග සිටි ඔහු වෛරය උදෙසා නොව ආදරය උදෙසා ගැයුවේය. අනුන්ගේ අයිතීන් උදෙසා තමන්ගේ බත් පත ද උන් හිටි තැන් ද අහිමි කර  ගත්තේය. ඔහු ගීතයේ සැබෑ මෙහෙවර ගැන ‍කියුවේ මෙසේය.

“සහෘදයාගේ ජීවිත පරිඥානය පුළුල් නොකර, ඔහුගේ අයහපත් මානසික භාවයන් විවේචනය නොකර, ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම පමණක් අවසන් වන ගීත වලින් සිදු වන්නේ සහෘදයා ජීවිතයට යොමු කරවීම නොව, ඔහුට ජීවිතයෙන් පලා යාමට උදව් දීම පමණි. සැබෑ ගීතයක් , හරවත් ගීතයක් සැම විටම පවත්නා දේට වඩා සුවිශේෂ අපූර්වත්වයකින් , නව ජීවණ ද්‍රෘෂ්ටියකින් ඉදිරිපත් වන්නකි. එවන් නිර්මාණ “විරෝධාකල්ප” පුවරුව නැතිවාට අසාධාරණයට අයුක්තියට එරෙහිව තියුණු අසිපත් සේ නැගී සිටියි. එහෙත් ඒවා කිසිම විටෙක හුදු වාර්තාමය සටන් පාඨ නොව නිර්මාණාත්මක ඕජෝ ගුණයෙන් පිරිපුන් සෞන්දර්යාත්මක කෘතීහු වෙති.”
(කපුගේ- ප්‍රකම්පන කෘතියෙන්)

ඔහු කලාවෙහි ඉම් පුළුල් කරන්නේ සමාජ දේශපාලන වපසරිය තුළ පමණක් නොවේ. විප්‍රයෝගයෙන් නින්ද අහිමිව සිටිය දී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ  ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.

ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගනඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.
වේදනාවේ සදාකාලික  කටහඬ ඔහුය.
අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය. 
මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය.

මලක් නම් වැටෙයි රැඳුනත් ගස           මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට           පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද     කොතැන*

[*රත්න ශ්‍රී විංජ්සිංහ| "අවුරුද්දයි කොවුලෝ" (12 පිටුව)  | මධ්‍යම යාමයපද්‍ය සංග්‍රහය (2005) ]


09/08/10