Monday, May 20, 2013

සැමරුම




මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා 
උහුලමින් දිව ගිය.. 

කන්‍යාවන්ගේ තිසර පට ද
නොදරුවන්ගේ අතුණු බහන් ද
බොහෝ කලකට පෙර අඩක් සිඳලූ
මිනිස් පා කැබලි ද
භීතිය කඳුළින් පිස කෑ
වළං කටු කැබලි ද
තැනින් තැන විසිර ගිය

වරක් මහ ජනගඟක්
ඉකි හඬක් නොනඟාම
එකම සළකුණක්වත් නොතබාම
මහ රැයක කළපුවක
ගොළු බිහිරි කඳවුරක
සැඟව යනු පිණිස
නිහඬවම ඇවිද ගිය

මේ පාළු වෙරළ දිග....
සංග්‍රාම භූමියකැයි නම් ලද
එකම මිහිමව් කිරෙන් පණ ලැබුව
එක වණින් ලේ හලා
එකම ලෙය පරදවා ධජ නැගුව
මේ පාළු වෙරළ දිග....
‘විජයග්‍රහණය‘යි නම් ලද

එතැන් සිට ......
පොහොයෙන් පොහොය 
සඳ නැගෙයි
වෙසක් පොහොය ම 
සතරක් ගෙවෙයි

දහසක් මහා දිග රැයවල් කෙළවර
සදහටම මැකී ගිය
ලේ උනන මතකයේ
ගොහොරු කළු වෙරළ මත
සිනිඳු සුදු වැලි මැදෙයි
ඒ මතින් නෑඹූල්ව වියන ලද
ඉතිහාසයක් ඇඳෙයි

ඒ නැවුම් වෙරළ මත
නැවුම් මතකයක සළකුණු ඇඳෙයි
ඒත් ඒ පා ලකුණු නම් නොවෙයි
බරැති කළු බූට් අඩි
පැරණි කළු මතකයට
කිසිදාක නොගැළවෙන ශෛල මුද්‍රා තබයි
හුදෙකලා තල් මුලක හදවතක් පළාගෙන
සිහ නදින් ගිගුම් දී
කටු කම්බි කණු බසියි

තව වරක්...
එකම එක කටහඬක් 
පණැති එක හදවතක්
පාදවා ගනු පිණීස
නියපතින් සූරමින්...
සනුහරේ කා හටත් මඟහැරුණු
මිනිස් හදවත් දෙක තුනක්
වැළපෙමින් ඇවිද යයි

ඉතිං...
අපට ද අපේ දරුවන්ට ද
ගැළවීම වනු පිණිස
ඇඳිවතද ඉරා දමනු ලැබ
අපගේ ම වෛරයේ තිත්ත කාඩිය බොමින්
මාංශය ද රුධිරය ද බෙදා දුන්
උතුරු දිග මනුෂ්‍ය පුත්‍රයිනි දූවරුනි,

උර තබා පාපයේ කුරුසිය
දකුණු දිග කල්වාරිය
නගිනෙමි
වෛරයට කමටහන් දෙනු පිණිස
සසර මග ඇදි ඇදී
අතරමග නවතින
කෙසර පිරි බැතිමතුන්
අතර මැද 
ඇද වැටෙමි... ඇද වැටෙමි...

එතැන ...
මාංශය ද රුධිරය ද යළි යළිත් පිදෙන
අලුත් අල්තාරයකි..
ඒ මත
සිංහල ද දෙමළ දැයි නොදන්නා කඳුළකි.

May 2013

Photo Courtesy : JDS

Saturday, May 11, 2013

නො තෙත් හිත් මත කාසල් කඳුළු





“සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක්

සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමි
ගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමි
නෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමි
සිතින් දුක දරමි ප්‍රේමය උහුලගමි

විකල් සරතැසකි මතකය බිඳෙන ඉම
විතැන් වූ සිහින පමණක් ඉතිරි වුණ
වසන් වුනේ ඇයි ඔබ හද ගැඹුර මැන
විසංවාදයකි අප වෙන් කෙරුණු තැන

පඳුරු ලලා නැගි ජීවිත ළතැවිල්ල
සොඳුරු යමක් වී නම් ඔබෙ හසරැල්ල
සොඳුර අතැරි දා ඔබ මේ වෙදැඟිල්ල
කඳුළු නොවෙයි මේ සයුරක වැළපිල්ල

කෙතක් වෙලා සෙනෙහස දුන් පිංකමට
කොතක් වෙලා ඔබ ඇති උස් දා ගැබක
සඳක් නැගී රැඳුණොත් කොත් කැරළි මත
සඳක් නොවෙයි ඒ මගෙ ගිනි ගැණුනු හිත

දහසක් හෙළන සීතල සුසුමින් සැලෙන
දහසක් කඳුළු මල් රෝහල් බිම පිපෙන
එමලෙක තෙත නො දත් ජීවක සකිසඳින
අහසක් වී කුමට වැහි කඳුළක් නොදෙන