Sunday, May 17, 2020




මං ඉන්නෙ සිනිඳු විල්ලුද අල්ලපු පෙට්ටියක. කොච්චර විල්ලුද වුනත් සැරින් සැරේට පිටේ ඇණ ඇනෙන එක තමයි ඉවසන්න බැරි. හරියට ගෝනි පුරවපු කාමරේක වැටිච්ච ඉඳිකට්ටක් වගේ හිරවෙච්ච ගතියක් දැනෙනව. වටේ ම දිළිසෙන ලයිට් පත්තු වුනාට මහ අන්ධකාර පාතාලෙකට සැරින් සැරේ කඩං වැටෙන එක බය හිතෙන අත්දැකීමක්. මට අඬන්න ඕනෙ. ඒත් අඬන්න බෑ.කඳුළු අයිස් වගේ මිදිල ඇස් පිහාටු ඇලිල. තනිකම.... - ගල් ගෙඩියක් වගේ පපුව තද කර කර හුස්ම හිර කරනව. අත් කකුල් ගැට ගහල තියෙන්නෙ නූල් කෑලිවලින් වුනාට දැනෙන්නෙ දම්වැල් දාල වගේ හිරට. ඒ මදිවට මේ වටේ ගොඩ ගහල තියෙන සැර මල් සුවඳ ..., නාස් පුඩු පසා කරනව. මෙච්චර ලස්සනට අන්දල, බාල පර්ෆියුම් එකක් දාල. කණ්නාඩි මේසෙ උඩ තියෙන මගෙ පර්ෆියුම් එක ගේන්න යන්න හිතුනට එක අතකට වැඩක් නෑ කියල හිතෙනව.

හරි නම් දන්න අඳුරන අය ළඟට ඇවිත් මට කතා කරන්න ඕනෙ. මා එක්ක අඬන්න ඕනෙ. ඒත් කවුරුවත් එන්නෙ නෑ. මං තට්ට තනියෙම මේ පාළු ශාලාව මැද්දෙ හුස්ම ගන්න බැරුව දඟලනව.

ඇරල තියෙන වීදුරු දොරෙන් පේන්නෙ පාරවල් පටලැවිච්ච සේනානායක හන්දිය. මං ගැන වගක්වත් නැතුව මිනිස්සු තමන්ගෙ ගමන් යනව. ඊටත් එහායින් පේන්නෙ බොරැල්ල කණත්ත. රෑ වෙලා හින්ද ඒකෙ ලයිට් පත්තු වුනාට හරි ම පාළු ගතියක් තියෙන්නෙ. එතන නිස්කලංක කමට මං ඉස්සර කොච්චර ආස කරාද? දැන් නම් දකින කොට බය හිතෙනව.

සතුටු හිතෙන දෙයක් මතක් කර ගන්න හැදුවට හිතට එන්නෙ ම දුක හිතෙන මතක. සීත ඍතුවක කුණාටුවක් වගේ ඒව වරින් වර මගෙ ඔළුවට කඩං වැටෙනව. අඬුවකින් වගේ ඔළුව හිර කරනව. මට ඕනෙ මේ හැම වදයක් ම නො දැනෙන්න දිග.නින්දක් නිදා ගන්න. ඒත් නින්ද ළඟපාතකවත් නෑ.

කල්ප කාලයක් ගියාට පස්සෙ ෆෝන් එක වදිනව. මං අමාරුවෙන් ඒක අරං කණට තියා ගෙන 'හෙලෝ' කියනව.

"මොකද කරන්නෙ?" එයා එහා පැත්තෙන් අහනව.

"ඉන්නව"

"අන්තිමට මම ම එපැයි කතා කරන්න. ඉතිං ඔන්න කතා කරා."

හිම කුණාටු හෙමින් නවතිනව. පපුව උඩ තියෙන ගල් ටික අහකට පෙරළිල යන්න පටන් ගන්නව. මිදිච්ච අයිස් දියවෙලා හෙමින් හෙමින් ඇස් ඇරගන්න පුලුවන් වෙනව.

මං,
.
.
.
හොඳ හුස්මක් අරං, වකුටු වෙලා හිටපු ඇඳෙන් නැගිටල, තේ එකක් හදාගෙන බොන්න පටන් ගන්නව.



17|05|20



Friday, May 15, 2020

මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද





ගාසා ව මෙන් ඇවිළෙන දිවි මග මෙතෙක් ඇවිද
නාසා මිතුරු වදනක් ඔහොම ඉන්නට හැකි ද
පාසා ගෙවෙන මොහොතක් වෙහෙස වූවා මදි ද
මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද

කොතෙක් නම් දුර දිව්වත් ලෝකය ම එතැනමද
මෙතෙක් ආ මඟ බැලුවොත් ජීවිතය තව දුර ද
පොතක් විඳ ගන්නා සේ ඉතිරි පිටු කියවමු ද
හිතක් පිරිමැද විමසමි ඔබට හොඳට ම තනි ද

අතින් අර ගත් මීවිත හැළුණු තැන් කොපමණ ද
හිතින් ගිලි ගිලි කිමිදී ගැඹුර පසඳිනු හැකි ද
ඉතින් ජීවිත සිතියම මේ දැන් මෙතැන නොවෙද
අතින් අත් අල්ලා ගෙන මේ ටික දුරත් යමු ද


15|05|2020
Painting by Olga Schibli

Sunday, May 3, 2020

විෂය නැති වචන



ඔහු හිටියෙ දුරකතනයට ඔබන්න වචන හොයමින්.. දුම් දාන තේ කෝප්පය සැහැල්ලුවෙන් මේසය මත එහා මෙහා කරමින් .

"ඔයා වෙනස් වෙලා.. "

මොහොතකට කලින්, තමන්ගෙ සුපුරුදු සංස්කරණය කරන ලද ස්වරයෙන්, ඇය ඔවුන් දෙන්නට කොහෙත් ම නුපුරුදු ඒ වාක්‍යය කියල තිබුණ. ඒ වචන තුන අවුරුදු ගාණක සංවාද සල්ලාප උඩින් රේඩියම් රේඛාවක් වගේ දිළිසුණා - රේඩියම් වගේ දිස්නෙ දෙන මාරාන්තික රේඛාවක්.

"එහෙම එකක් නෑ. මේ දවස් ටික හිතට හරි නෑ." ඔහු තව මොහොතකින් කඩා වැටෙන්න නියමිත චිත්තවේග වර්ෂාවෙන් ගැලවෙන්න එහාට මෙහාට පැන්න.

"ඒ ඇයි කියල මම අහන්නෙ නෑ." කණට ඇද වැටෙයි කියල බය වෙච්ච ඇනුම්පද මුරුංගසං වරුසාව වෙනුවට එක පාරට වතුර හිඳිල ගිය මූදු පතුලක් මතු වුණා.

ඇගේ සීතල බව නිසා ඔහුට එක පාරට ම කාන්සියක් සහ අපහසුතාවක් දැණුන.

"මට ටික දවසක් දෙන්න - මොකක්ද මට වෙලා තියෙන්නෙ කියල හිතන්න. මේක ඔයාගෙ වරදක් නෙවෙයි. ඔයා හිතන විදිහෙ දේකුත් නෙවෙයි. "

"මං මොනවත් හිතන්නෙ නෑ. ඔයා හිතන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ."

ඇගේ මඳ සිනාවක් තැවරිච්ච ඒ වාක්‍ය දෙක අවකාශය පසාරු කරා. මේසය මත නිවිච්ච තේ කෝප්පය ඇඟිලි තුඩු දෙකකින් එහා මෙහා වීම නැවතුණා.

"අපි හැමදාම නැතුව ඉඳ හිට කතා කරල බලමු" මොහොතට ගැලපෙන්නෙ ම නැති ඒ වචන ටික කටින් පිට වුණ මොහොතෙ ම ඔහු පසුතැවුණ.

තප්පර කීපයක නිහැඬියාවකට පස්සෙ ඇගේ ස්වරය අවදි වුණා.

"බෑ. වයින් බීපු කුසලානෙ මඩ වතුර දාගෙන  බොනවට වඩා හොඳයි වහ බොනව. මම වහ තෝර ගත්ත ! "

අවසාන වචන කීපයෙදි ඇගේ කටහඬ වෙව්ලුවද? හරියට ම ඇහුණෙ නැතත් ඔහු එහෙම හිතන්න කැමති වුණා.

"මං දුවනව. මීටිං එකක්. " ඇය හදිසියෙ දුරකතනය සංවාදය හමාර කළා.

"හෙට ගුඩ් මෝනිං කිව්ව ම හරි යයි." තේ කෝප්පය ටේබල් මැට් එක උඩ තියන ගමන් ඔහු කියා ගත්ත.

හෙට ආව. අනිද්දත් ආව... පිළිතුරු , සංවාද රහිතව ම සති දෙකක් ගෙවුණ.

සති දෙකකට පස්සෙ සමු ගැනීමේ ඊමේල් එක ආව.

ඔහු නිහඬ ව ඇල්මැරුණු තේ කෝප්පය තොල ගාමින් ඊමේලය නැවත කියවමින්, හැඟීම් සඟවන්න උත්සාහ කරපු ඒ කෙටි තාර්කික වැකි අතරෙ මඟ හැරුණු දේවල් හෙව්ව.

* * *

ඇය - ඔහු මේ වන විට කුමක් හිතන්නේදැයි හිතෙන එක වලක්වා ගන්න උත්සාහ කරමින්, ශෛලමය වෙස් මුහුණක් පැළඳගෙන ඔහු හා පැවති සන්නිවේදන මාර්ග අවහිර කරන කාර්යය අවසන් කරල තිබුණ.

ඒ වෙස්මූණට යටින් මෙතෙක් තමන්  තුළ වූ ගැඹුරු අවකාශයක් නැවත පිරවිය නො හැකි රික්තයක් බවට හැරෙමින් තිබෙන බව හැඟෙද්දි ඇය දිය වෙලා ගියා.

මිහිපිට දරාගන්න අසීරු ම දේ ඇස් දෙකෙන් කඳුළු නො ගලන හදවතක වැලපීම. තම සිරුරින් හරි අඩක් තමා විසින් ම කපා ඉවත් කිරීමෙන් නැගුණු බිහිසුණු වේදනාවෙ පතුළට ම ඇය ඇද වැටුණා.

* * * *

දින ගණනාවකට පස්සෙ එළඹුණු එක්තරා හවස් වරුවක අහස දම් රන් පැහැයෙන් වර්ණ ගැන් වී තිබුණා.

* * * *
ඒ හවස වැඩ ඇරිල රිය පදවගෙන යද්දි අහස දිහා බලපු ඔහු ඒක දැක්ක.

-අකුරු මිලියන විස්සක් තිහක්
-දුක බෙදා ගත් වාර තුන් දහස් හත්සිය විසි එකක්
-එක්ව සිනාසුණු දවස් එක් දහස් එකක්
-කතා කළ මාතෘකා - ඉර හඳ යට ඇති දේවල් ගැන - අසංඛ්‍ය වූ ප්‍රමාණයක්
-අකුරුවලින් රණ්ඩු කරපු දවස් දහ තුනක්

.
.
.
-ජීවිතේ ඉතා ම අසීරු මොහොතක දැඩි මිත්‍රත්වයෙන් හා දයාවෙන් ආදරෙයි කියපු එක ම එක දවසක් !

හදිසියෙ දැණුනු හුදෙකලා හිස් බවකට සමාන්තර සැනසීමකින් සහ අවබෝධයකින් ඔහු පිරෙන්න ගත්ත.

* * * *
අවකාශය සෙමෙන් නිශ්චල වෙමින් තිබුණා. ඒ හැන්දෑවෙ කවුළුව විවර කරද්දි තමන් මත වැටුණු අහස් දම් රන් පැහැයෙ ඇය ගිලී ගියා.

සෑහෙන වෙලාවකට පස්සෙ ඉඳගෙන ඇය බ්ලොග් සටහනක් ලිව්ව.

විශ්වයෙහි බිහි වූ
සියලු විෂයන් ගැන
කතා කොට අවසන
එක්තරා දවසක,
මඟ හරිනු බැරි ඒ
නිහඬතාවය එළඹේ

එතැන් සිට
වෙන්ව ගොස්
හුදෙකලා වූ අය අතර
විෂය නැති වචන නැති
සංවාද ඇරඹේ