Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Sunday, March 22, 2015

වතුර සහ අපි



අද ලෝක ජල දිනය යි.

ඔබ මෙය කියවා අවසාන වෙද්දී අපිරිසිදු ජලය හේතුවෙන් ලෝකයේ කොහේ හෝ  තැනක දරුවන් දෙදෙනෙකු මිය ගොසිනි.
පෘථිවියේ  ඇති ජලයෙන් 97% ක් ලවණ ජලය යි.  නැවුම් ජලය ප්‍රමාණය  3% කි.

ඒ 3% ක් වන නැවුම් ජලයෙන් 68.7% ක් ග්ලැසියර තුළ සිර වී ඇත. ඇළ දොළ ගංගා විල් පොකුණුවල ඇත්තේ 0.3% ක් පමණි.

නැවුම් ජලයෙන් 30%ක් ඇත්තේ පොළව යට ය.
ඒ අනුව මේ මිහිමත ඇති ජලයෙන් අපට පහසුවෙන් පාවිච්චියට ගත හැකි ප්‍රමාණය 0.3% ක් පමණි.
ලෝකයේ මිලියන 800 ක් මිනිස්සු පිරිසිදු පානීය ජලය නැතිව පීඩා විඳිති.

සෑම වසරකම මිලියන 3
½ කට වඩා මිනිස්සු අපවිත්‍ර ජලය හේතුවෙන් හට ගන්නා රෝග පීඩාවලින් මිය යති.
සෑම තත්පර 21 කට වරක් අපවිත්‍ර ජලාශ්‍රිත රෝගයකින් දරුවෙක් මිය යයි.
ලොව පුරා බිලියනයකට වඩා පිරිසක් තවමත් වැසිකිළි වෙනුවට එළිමහන භාවිත කරයි.
සංවර්ධිත රටක සාමාන්‍ය මිනිසෙකු ස්නානය සඳහා මිනිත්තු පහකදී පරිභෝජනය කරන ජල ප්‍රමාණය  සංවර්ධනය වෙමින් පවතින රටක පැල්පත් වාසියෙකු මුලු දවසක් තුළ පාවිච්චි කරන ජල ප්‍රමාණයට සමානය.
.
වසර 2050  දී ලෝක ජනගහණයෙන් හි අඩකට වඩා ජල හිඟයෙන් පීඩා විදිනු ඇත.

ජලය යනු අසීමිත සම්පතක් නොවේ.

ජලය යනු වගකීමකි.

එය තම තමන්ගේ බාත් රූම් එකෙන් සහ මුලුතැන්ගෙයින් පටන් ගත හැකි මෙහෙයුමකි. 





Tuesday, May 6, 2014

"මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."



මෙම ලිපිය මුල්වරට බූන්දි වෙබ් අඩවියේ පළ විය. 

කාට හෝ පෙම් නො කළ කිසිවෙකු මෙලොව නැත. ආදරය කරන ඕනෑම කෙනෙක් තමන් ආදරය කරන අය වෙනුවෙන් බලා හිඳියි. ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් කැප වෙයි. ආරක්ෂාව ගැන වධ වෙයි. එසේ ආදරය කරන මිනිසුන් හට එක්තරා දවසක එක්තරා අවිනිශ්චිත මොහොතක ලොවට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් වන එහෙත් තම ජීවතය සදහට ම වෙනස් කොට, ඉරණම සොලවා පොළවේ ගසන පුවතක් අසන්නට ලැබෙයි. එය ජීවත් වන සහ ආදරය කරන මිනිසුන්ගේ ඉරණම යි. 

පසුගිය අප්‍රේල් 16 වැනිදා දකුණු කොරියාවේ ඉන්ෂිඔන් හි සිට ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් සිටි සෙවොල් නම් නෞකාව නිරිතදිග වෙරළේ සිට කි. මී. 25 ක් දුර මුහුදේ දී ගිලී ගියේය. වාර්තාවලට අනුව නෞකාවේ ගමන් කරමින් සිටි පිරිස 476 ක් වන අතර ඉන් 325 ක් ම ඩැන්වොන් උසස් පාසලේ සිසු සිසුවියන් ය. 

සිද්ධිය සිදු වූ වහාම පැය භාගයකට පසු වෙරළාරක්ෂක කණ්ඩායම් පැමිණෙන තුරු ඒ අවට සිටි ධීවර බෝට්ටු සහ පෞද්ගලික යාත්‍රා පැමිණ බොහෝ දෙනෙකු බේරා ගත්හ. ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් නැව සම්පූර්ණයෙන් ගිලී යාමට පෙර ගලවා ගත් ගණන 179 කි. ගලවා ගැනීමෙන් පසු 6 දෙනෙකු මිය ගිය බවට වාර්තා වී ඇත. වේවලන කටහඬකින් යුතුව 119 හදිසි අනතුරු අංකය අමතා නැව පෙරළෙන බවට මුලින් ම දැනුම් දුන් සිසුවාගේ මළ සිරුර ද මේ වන විට හඳුනාගෙන ඇත. මුල්ම දැනුම් දීමෙන් පසු නැව ගිලී යාමට පැය 2 ½ ක් ගත වූ අතර ගලවා ගැනීමේ මෙහෙයුමට නැව් 171 ක් අහස් යානා 29 ක් සහ කිමිදුම් කරුවන් 30 දෙනෙකු යෙදවුණි. එතැන් සිට දින දෙකක් ගත වන තුරු මුහුදෙහි සැඬ බව සහ රළ තරංගවල වේගය හේතුවෙන් නැවට ඇතුළු වීමට නොහැකි වූ අතර අප්‍රේල් 18 වැනි දින වන විට කිමිදුම්කරුවන් ගණන 555 ක් දක්වා ඉහළ නැංවිණි. 18 වැනිදා නැවට ඇතුළු වී ඔක්සිජන් පිටින් සැපයීමට උත්සාහ දැරුවද වායු කුහර තුළ සුරක්ෂිතව ඇතැයි විශ්වාස කෙරුණු මගීන් සිටිනා කලාපයට යාමට කිමිදුම්කරුවන්ට නොහැකි වූයේ දැඩි රළ පහර, ගණ අන්ධකාරය සහ මුහුදු වතුර සහ මඩ මුසු වීම නිසා ය. නැව ගිලී යාමෙන් පසු මුල් වරට අප්‍රේල් 19 වැනිදා මළ සිරුරු 3ක් සොයා ගන්නා ලදි. එතැන් පටන් මේ දක්වා කිසිවෙකුදු පණ පිටින් ගළවා ගැනීමට නොහැකි වූ අතර මේ වන විට සොයා ගත් මළසිරුරු සංඛ්‍යාව 187 කි. 115 දෙනෙකු තවමත් සොයා ගත නොහැකිව ගිලී ගිය නැව තුළ ය. 


Telegraph

කෝපයට සහ කලකිරීමට පත් මගීන්ගේ ඥාතීන් සිද්ධිය වූ මොහොතේ පටන් එතැනට ආසන්න ජින්ඩෝ දූපතේ පැවති අධික ශීතලය නොතකා කඳවුරු ලාගෙන සිටියහ. මේ වන විටත් මළ සිරුරු හමු නොවූ මගීන්ගේ ඥාතීන් තවමත් එතැනය. කඳුළු, වැළපුම් , චෝදනා සියල්ල මැද ගෙවී ගිය මේ දින එකොළහ තුළ ඔවුන් සහ එරට ජනමාධ්‍ය ඇඟිල්ල දිගු කරන්නේ කරන්නේ රජයට යි. මේ තරම් ජාතික විපතක් සිදුව තිබිය දීත් ඉතා සෙමෙන් කෙරුණු ගළවා ගැනීමේ මෙහෙයුම නිසා කිසිවෙකු පණ පිටින් ගළවා ගත නොහැකි වුණු බවත් අනතුරුදායක නැවකට මගීන් සංචාරය පිණිස අවසර ලබා දීම වරදක් බවත් පවසන ඔවුහු විරෝධතාවල නිරත වෙමින් සිටිති. 


BBC

මුලින්ම බේරා ගන්නා ලද පිරිස අතර සිටි ඩැන්වොන් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තමන් සමග ගමන් ගත් අනෙක් සිසුන්ගේ මරණයේ කම්පනය දරාගත නොහැකිව බේරා ගත් දිනට පසු දින ගසක එල්ලී සිය දිවි හානි කොට ගෙන තිබුණි. 

සිදුවූ අනතුර වළක්වා නො ගැනීමේ චෝදනාව මත යාත්‍රාවේ කපිතාන් ලී ජුන් සියොක් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර දකුණු කොරියානු ජනාධිපතිනිය වන පාර්ක් පැවසුවේ මෙය තමන් සහ රටවැසියන් ඉමහත් සේ පීඩාවට පත් කළ මරණීය වරදක් බවයි. වාර්තාවලින් කියවෙන පරිදි ලී කපිතාන්වරයා ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳීමට ඉඩ තිබේ. අනතුර සිදුවූ මොහොතේ නැවෙන් මුලින්ම පිටවූවන් අතර කපිතාන්වරයාද සිටියි. නැව ගිලෙන්නට පටන් ගනිද්දී මගීන්ට ආරක්ෂක උපදෙස් දීම පැහැර හැර ඔවුන්ට සිටින තැන්වලටම සිටින සේ වැරදි උපදෙස් දුන් ඔහු සියල්ලන්ට පෙර ජීවිතාරක්ෂක බෝට්ටුවකට පනින දර්ශනයක් මාධ්‍යවල පළ වීමත් සමඟ ඓතිහාසික නාවික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමේ චෝදනාව දැඩි ලෙස ඔහු හමුවේ මතු වී ඇත. කොරියානු නාවික නීතියට අනුව අනතුරක දී අවශ්‍ය තීරණ ගැනීමට කපිතාන්වරයා නැවෙහි රැඳී සිටිය යුතුයි. ඔහුගේ මේ හැසිරීම පහුගිය 2012 වසරේ ජනවාරි මස මගීන් 33 දෙනෙකුට මරු කැඳවමින් ටස්කන් මුහුදේ ගිලී ගිය ‘කොස්ටා කොන්කෝඩියා’ නෞකාවේ කපිතාන් ෆ්‍රැන්සිස්කෝ ෂෙටීනෝ ගේ වගකීම් විරහිත හැසිරීමට නිරන්තරයෙන් සමාන කෙරෙමින් වාර්තාවන් ඉදිරිපත් කෙරෙයි. මේ ගැන කපිතාන් ලී අදහස් දක්වමින් කියා සිටියේ ආධාර ලැබීමට ප්‍රමාද වන නිසා ඊට පෙර මගීන් කළබල වී මුහුදට පැන්නහොත් ජීවිතවලට හානි ඇතිවිය හැකි බැවින් එය වැළැක්වීමට ඉවත්වීමේ නියෝග ලබා නොදුන් බව යි. 


Reuters

කෙසේ වෙතත් 22 හැවිරිදි තරුණ කාර්ය මණ්ඩල සේවිකාවක වන පාර්ක් ජී යුං අවසානය තෙක් මගීන් හා රැඳෙමින් ඔවුන්ට ජීවිතාරක්ෂක කබායන් සපයමින් ආධාර කොට තිබුණ ද ඇය මිය ගොස් තිබුණේ ජීවිතාරක්ෂක කබායක් රහිතව ය. කොරියානුවන් ඇය වීරවරියක ලෙසින් හඳුන්වයි. 

නැව මෙසේ අනතුරට පත්වීමට හේතු කිහිපයක් මතයන් ලෙස ඉදිරිපත් වී ඇති අතර ඉන් එකක් වන්නේ නැව ඉතා තියුණු සහ පටු හැරවුමක් ගන්නට ඇති බවයි. අනෙක් හේතුව ලෙස සඳහන් වන්නේ නැව ඊට දරා ගත නොහැකි තරම් බරක් දරාගෙන යාත්‍රා කළ බවයි. කොරියාවේ නාවික ප්‍රවාහන විශේෂඥයෙකු පවසන පරිදි නැවේ තුන්වන, හතරවන සහ පස්වන තට්ටුවලට අමතර මගී කුටි එක්කොට ඇති අතර මේ අමතර ඈඳීම් නිසා නැවෙහි සමබරතාව බිඳී තිබෙන්නට ද ඉඩ තිබේ. නැව තුළ මගීන්ට දැනුම් දීම් සිදු කිරීමට තිබුණ සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක නොවූ බව ද අදාළ ප්‍රධානීන්ගෙන් උපදෙස් නො ලැබුණු නිසා තුන්වන තට්ටුවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය නාවික උපදෙස් පොත්වලට අනුව ‘සිටින තැනවල ම රැඳී සිටින්න’යන නියමය ක්‍රියාත්මක කළ බව ද සඳහන් වෙයි. ජපානයෙන් මිළ දී ගත් නෞකාවක් වන සෙවොල් හි දිග මීටර් 146 ක් වන අතර බර ටොන් 6835 කි. ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වීමට සහ ආධාර ලබා දීමට ජපානය ඉදිරිපත් වුවද කොරියානු රජය එය කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත. අමෙරිකාව ද සහය දීමට උත්සාහ කළද විවිධ හේතූන් නිසා එය වැළකී ගොස් ඇත. 


Aol.com

කිසිදු ආලෝකයක ආධාරයෙන් නැව තුළ සෙ. මී. 20 කට වඩා දැකිය නොහැකි බැවින් සහ රළ පහර සැඬ බව හේතුවෙන් සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වන බවත් දැනටමත් එක් ගළවා ගැනීමේ නිළධාරියෙකු මියගොස් හත් දෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බවත් වෙරළාරක්ෂක නිළධාරියෙකු ප්‍රකාශ කළත් ජනතාව සහ ස්වේච්ඡා කිමිදුම්කරුවන් චෝදනා කරන්නේ රජය හිතාමතාම ස්වේච්ඡා කිමිදුම්කරුවන් ට ගළවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධවීමට ඉඩ නො දීම බරපතල වරදක් බවයි. 

මේ සිද්ධියත් සමඟ පළාත් සහ නාගරික ඡන්දයක් අත ළඟම එන කොරියාවේ දේශපාලනයද කැළඹී ඇති අතර ‘අතුරුදන් වූවන් ගළවා ගැනීමට රජය දරණ උත්සාහයේ ඇති මන්දගාමී බව’ ට චෝදනා ලද එරට අගමැති චුං හොං වොන් ඊයේ (27 වැනිදා) සිදුවූ විපතෙහි වගකීම භාර ගනිමින් සිය තනතුරින් ඉල්ලා අස් විය. අප්‍රේල් 18 වැනිදා වන විට 71% ක් වූ ජනාධිපතිනි පාර්ක් ගේ ජනප්‍රියතාව අප්‍රේල් 25 වැනිදා වන විට 57% වන තෙක් පහළ බැස තිබුණි. ‘චුංගේ තීරණය වගකීම් විරහිත එකක්' යනුවෙන් විපක්ෂය චෝදනා කළේය. මේ අතර විපක්ෂයේ ජනප්‍රියත්වය 26.9% සිට 2%කින් ඉහළ ගොස් තිබුණි. 

සොයා ගත් මළ සිරුරු ඥාතීන් ගේ ඩී එන් ඒ ආධාරයෙන් හදුනාගනිමින් පවතින අතර දැන් එසේ හඳුනා ගන්නා මගීන්ගේ අවමංගල්‍ය උත්සව පැවැත්වෙයි. 


National Turk

"අපි ඉතා අසීරු අවස්ථාවලට මුහුණ දීමට පුහුණු වී සිටිනවා. ඒත් මුහුද යටට ගොස් එක් පණ ඇති අයෙකු හෝ සොයා නො ගෙන තම දරුවන් පණ පිටින් දකින්නට බලා හිඳින ඥාතීන් ට මළ සිරුරු උඩට අරන් ඇවිත් පෙන්වන්න සිදුවන විට එය දරගන්නට බෑ." එක් කිමිදුම්කරුවෙකු මාධ්‍යවලට පවසා තිබුණේ දැඩි වේදනාවකිනි. 

"අම්මෙ.. මට මේක කියන්න එන්න බැරි වුණොත් මතක තියාගන්න- මම ඔයාට ආදරෙයි." එක් පුතෙක් තම මවට එස් එම් එස් පණිවුඩයක් යවා තිබුණි. එහි ඇති අමුත්ත නිසාම ඒ මව ‘ඇයි? ’ කියා අසා නැවතත් "මමත් ඔයාට ආදරෙයි පුතේ" කියා ලියා යවා තිබුණි. ඒ ඔවුන් අතර සිදු වූ අවසන් සන්නිවේදනය යි. 

අතුරුදන් සිසුන් උගනිමින් සිටි ඩැන්වොන් පාසල නැවත ඇරඹුණත් සිසුන් සහ ගුරුවරුන් 250 ක් අහිමි වූ මුළු විදුහල ම ශෝකයෙන් ඇළලී ගොසිනි. පන්ති ඇරඹීමට පෙර සිසුන්ට උපදේශනය ලබා දීමට ඔවුන් කටයුතු සූදානම් කොට ඇත. මුළු පාසල පුරා බිත්ති සහ ඩෙස්ක් මත අහිමි වී මිතුරන්ට ශෝක පණිවුඩ ලියා තිබුණි. 

"මට මේක කලින් කියන්නයි තිබුණේ. වරදක් වුනා නම් සමාවෙන්න. යාළුවේ, මම ඔයාට ආදරෙයි." ඒ අතර මිතුරෙකු තවත් මිතුරෙකුට ලියා තිබුණි. 


Getty Images

මේ පසුගිය සති කිහිපයට වාර්තා වුණු දෙවන දැවැන්ත අනතුරයි. පසුගිය මාර්තු අට වැනිදා MH 370 නම් මැලේසියානු ගුවන් යානය ක්වාලලම්පූර් සිට බෙයිජිං බලා ගමන් කරමින් සිටිය දී ඔස්ට්‍රේලියාවට පහළ ඉන්දියන් සාගරයේ දී චීන ජාතිකයින් සහ අමෙරිකානුවන් ද ඇතුළු මගීන් 227 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග අතුරුදහන් වීම ලොව සසල කළ පුවතක් විය. විවිධ ජාතීන්ට අයත් මගීන් සිටින මේ ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරක් නැත. යානය ඉන්දියානු සාගරයට වැටී මගීන් සියල්ලන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි මැලේසියානු රජය නිල වශයෙන් ප්‍රකාශ කළ ද මගීන්ගේ ඥාතීන් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. චීනය ඇතුළු රටවල් බොහෝ ගණනක් මේ පිළිබඳ පුළුල් පර්යේෂණවල නියැලී සිටිති. එහෙත් මාස එකහමාරක් ගතවීත් තවමත් නිසි තොරතුරක් සොයා ගැනීමට ලෝකයේ දියුණුම රටවල් පවා අසමත් ය. 

අපදා කළමණාකරණය පිළිබඳව මහා පරිමාණයෙන් අවධානය යොමු වී ඇති මොහොතක, ඒ පිළිබඳ විවිධ මට්ටමේ ජන සමාජයන් ආපදා කළමණාකරණ විශේෂඥයන් විසින් පුහුණු කරවන යුගයක නැව් පෙරළී සිය ගණන් මිය යාමද ගුවන් යානා අතුරුදන් වීමද වරක් නොව සියවරක් සිතා බැලිය යුතු කාරණයකි. හදිසි අනතුරු සඳහා සූදානම සහ ආපදා කළමණාකරණය යනු හුදු පොතට සීමාවන පාඩමක් පමණද යන්න සියලු රජයන් ඇතුළු පාර්ශවකරුවන් එක්ව ප්‍රමුඛ සැලකිල්ලක් දැක්විය යුතු කාලය එළඹ ඇත. 

අනෙක් අතට විද්‍යාව සහ තාක්ෂණය අතින් සියල්ල අභිබවා අභ්‍යාවකාශය ද පරයා ගිය මිනිසා මේ සිදුවීම් දෙකේ දී ම අසමත් ය. පරිසරය තමන්ට රිසි පරිදි වෙනස් කළ හැකි බවට විශ්වාස කරන ඔහු ස්වභාව ධර්මය මුළුමනින්ම නොතකා හරියි. එහෙත් සෙවොල් සහ MH 370 සිද්ධීන් අපට පසක් කරන්නේ මිනිසා අත්පත් කර ගත් තාක්ෂණයට පවා ස්වභාව ධර්මය අභිබවා යා නො හැකි බවය. සොබා දහමට ද ජීවිතයේ නිත්‍ය ධර්මතාවලට ද එරෙහිව යා හැකි තාක්ෂණයක් අප තවම නිපදවා නැති බවය. 


Getty Images

*******

"අර වතුර යට....." මඩ කහ පාටින් රැළි ගසන රළු මුහුද දෙසට අත දිගු කරමින් ඇය කියයි. "එතන ඉන්නෙ මං උගන්නන දරුවෝ.. එතන ඉන්නෙ මගේ දරුවා." 

ඒ අප්‍රේල් 18 වැනිදා ය. ක්‍රිස්ටීන් කිම් කඳුළු ගලා හැලෙන සිය මුහුණට අධික ශීතල සුළඟ හැකි වැරෙන් පහර දෙන විට පෙං මොක් වරාය මත සිටගෙන මුමුණයි. කිම් ඉංග්‍රීසි ගුරුවරියකි. ඇගේ දියණිය ද ඇගේ සිසුවන් පිරිසක් ද සෙවොල් නෞකාවේ ගමන් ගත් අතුරුදන් මගීන් අතර ය. 

"දැන් පැය 30 ක් ගෙවිලා." කිම් පවසයි. "මට නින්ද යන්නෙ නෑ- මගේ දරුවා අර සීතල වතුර යට ඉන්න කොට. - මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."

තොරතුරු-
BBC
CNN
Reuters
arirang.co.kr
Independent.co.uk
theguardian.com
theglobeandmail.com 

Monday, April 22, 2013

දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා!




අද ලෝක මිහිතල දිනය යි! 

අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස් වෙමින් ඇති මොහොතක ලෝකයට පරිසරය තමාගේ කොටසක් නොවී හුදු බාහිර විෂයක් පමණක් වී ඇති කාලයක නැවතත් මිහිතල දිනය එළඹුණා. අපිට අන් ගැටළු තරම් මිහිතල ගැටළු වැදගත් නොවන්නේ ඇයි? මෙයට නොදැනුවත්කම, නොසැලකිල්ල වගේම වැරදි අවබෝධයත් බලපානවා. 

1950 දී මිහිතලයේ භූමි ප්‍රමාණයෙන් 15% ක් වැසී තිබුණේ වැසි වනාන්තරවලින්. අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ 6%ක් පමණයි. තව වසර 40 ක් ගත වෙද්දී ඒ 6%ත් අතුරුදන් ‍වීමට නියමිත යි. හැම තප්පරයකට ම ඉතිරිව ඇති වැසි වනාන්තරවලින් අක්කර එකහමාරක් විනාඩියකට අක්කර 150 ක් වසරකට අක්කර මිලියන 78 ක් මිනිසා වෙනත් වගාවන් සහ දැව වෙනුවෙන් විනාශ කරනවා.. බටහිර ‍ඖෂධවලින් 25% ක් ම නිෂ්පාදනය කරන්නේ වැසිවනාන්තර පැළෑටිවලින්. වන විනාශය නිසා මීළඟ වසර 25 ඇතුළත ලෝකයේ පැළෑටි වර්ග, සත්ත්ව වර්ග සහ ක්ෂුද්‍ර ජීවීන් වර්ග වලින් අඩක් ම සදහට ම වඳ වී යෑමට නියමිත යි. දිනකට අපට සදහටම අහිමි වන සතුන් සහ පැළෑටි වර්ග ගණන 137 ක්. එනම් වසරකට 50,000ක්. ඒ සමගම මාරාන්තික රෝග සඳහා භාවිතයට ගැනෙන ඖෂධත් අපට අහිමි වෙනවා. සංවර්ධිත ලෝකයේ ආහාරවලින් 80% ක් ම නිපදවන්නෙත් වැසි වනාන්තරවලින් ලබා ගන්නා දේවලින්. මෙසේ නො නැවතී විනාශය කරා යෑමට සුළු ලාභ තකා වනය වැනසුවත් වැසි වනාන්නතර තිබෙන්නට ඉඩ හැරීමෙන් අත්වන ආර්ථික, පාරිසරික ලාභය මිළ කළ නො හැකියි.


මේ මිහිතලය මත ජාතීන් 10 ක් දැනටමත් වතුර නැති කමින් තම ජාතිය වඳ වීමේ තර්ජනයට මුහුණ දීලා. සෑම වසරකම සාගරවලට මිනිසුන් විසින් හෙළන අපද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් බිලියන 14 ක්. අනෙකුත් ජලයට අපවිත්‍ර ජලය ට්‍රිලියන 19 ක් එකතු වෙනවා. ලෝකය පුරා මිලියන 900 ක් ජනතාව බීමට පිරිසිදු වතුර නැතිකමින් පීඩා විඳිනවා. 40%කට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නෑ. මෙහි ප්‍රතිඵලය දරුණු සෞඛ්‍ය අර්බුදයක්. දිනපතා ලෝකයේ පුද්ගලයින් 14,000 ක් අපවිත්‍ර ජලය පානය කිරීමෙන් සැදුණු ලෙඩ රෝග හේතුවෙන් මිය යනවා...

මේ අතර මියයන ළමයින් ප්‍රමාණය දිනකට 4,500 ක්. මේ ප්‍රමාණය දිනකට ඒඩ්ස්වලින්, මැලේරියාවෙන් සහ ක්ෂය රෝගයෙන් මියයන ළමුන්ගේ එකතුවට වඩා වැඩියි.



අපවිත්‍ර වූ වාතය නිසා ඕසෝන් ස්ථරයට හානි වන නිසාම මිනිසා ඇතුළු සියලු ස්වභාවික හා ජීවී පද්ධතීන්ට එය බලපානවා. එහි ප්‍රතිඵලය දරුණු ශ්වසානාබාධ, හෘදයාශ්‍රිත ආබාධ, උගුරේ ආසාදන වැනි විවිධ ලෙඩ රෝග යි.පර්යේෂකයින්ට අනුව වසරකට 1% ක ප්‍රමාණයකින් ඔසෝන් ස්ථරය විනාශ වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවේ පමණක් 2075 වන විට ඉපදෙන දරුවන් මිලියන 60 ක් ම චර්ම පිළකා සහිතව ඉපදෙනු ඇති. එයින් මිලියනයක් මිය යනු ඇති.

පොලිතීන් භාවිතය කියනනෙත් දිනෙන් දින වැඩිවන ව්‍යසනයක්. සෑම වසරකම පොලිතින් භාවිතය හේතුවෙන් මිලියන ගණනක් කුරුල්ලන්, සිවුපාවන් සහ මසුන් මියයනවා. පොළව සහ ජලය අපවිත්‍ර වෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තවත් බරපතල ගැටළුවක්. විද්‍යාඥයින් කියන අන්දමට වසර 2100 වන විට සාමාන්‍ය උෂ්ණත්වය 3% - 5% දක්වා වැඩි වේවි. එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? මුහුදු මට්ටම මීටර් 25 කින් ඉහළ යනු ඇති. ගංවතුර, නියං, උණුසුම් වායු ධාරා සහ ටොනාඩෝ වැනි ස්වභාවික විපත් ඉහළ යනු ඇති. කෘෂිකාර්මික අස්වනු පහළ යන අතර මැලේරියා වැනි රෝග තුරන් කළ භූමි ප්‍රදේශවල නැවත එම ලෙඩ රෝග හට ගනු ඇති.

මේ සෑම දෙයකටම අප සෑම දෙනෙක්ම ඍජුව සහ වක්‍රව දායක වෙමින් සිටිනවා. ඒ අපි කරන දේවල්වලින් මෙන්ම නොකරන දේවල් වලිනුත්.... අපි පරිසරය, ජලය හෝ වාතය අපවිත්‍ර කරන ජලය අපතේ හරින සෑම මොහොතකම අපේ ක්‍රියාව නිසා ලොව කොතැනක හෝ ළමුන් , මිනිසුන්, සතුන් මිය යන බව අපි අමතක කරනවා. ටොෆි කොළයේ පටන් ෂොපින් බෑග් එක දක්වා එතැනිනුත් එහාට නිවසේ කුණු බාල්දියේ පටන් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය දක්වා අපි පරිසරයට අත හරිනවා. වැඩිහිටියන් ට ඒ ගැන අදහසක් හෝ පුරුද්දක් නැති නිසාම දරුවනුත් ඒ දේම කරනවා. එළිපිට සිදුවන මහා පරිසර මංකොල්ලකෑම් ගැන කරන කතා ටික දිනකින් යට යනවා. කවර හෝ අරගල නොතකා හැර දේශපාලන සහ මුදල් බලයෙන් මහ පරිමාණයෙන් පරිසරය විනාශ වෙනවා. රක්ෂිත වනාන්තරවල, වැව් තාවුළුවල හෝටල් සැදීම මීට හොඳ උදාහරණයක්.

මේ මහා පරිමාණ වැඩවලට සියල්ල බැරකිරීම නිසා පුද්ගලික මට්ටමින් අපට කළ හැකි දේ අපෙන් ගිලිහෙනවා. උදාහරණයක් විදිහට අපද්‍රව්‍ය තැන තැන නොදැමීම, අපද්‍රව්‍ය කළමණාරණය, ජලය සහ බලශක්තිය ප්‍රවේශමින් පාවිච්චි කිරීම, හැකිතාක් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි දේවල් පාවිච්චි කිරීම, අත්‍යවශ්‍ය කරුණක දී හැර කඩදාසිවල මුද්‍රණය කිරීමෙන් වැළකීම, මේ ගැන දරුවන් දැනුවත් කිරීම, අප පය ගසා සිටින, අප දරා සිටින මිහිතලය වෙනුවෙන් නොනවත්වා අරගල කිරීම සහ හරිත පරිසරයක් සඳහා දායක වීම මේ සඳහා පුද්ගලික මට්ටමින් කළ හැකි දේවල්. 

ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සංවාද මෙන්ම ඒ මට්ටමෙන් සිදුවන මිහිතල දූෂණය ගැනත් අවබෝධයක් සහිත ඒ සඳහා සිය හඬ අවදි කළ හැකි තරම් දැනුවත් පුරවැසියන් බිහිවීම අත්‍යවශ්‍ය කරුණක්. මේ ප්‍රකට කියමන ඔබ අසා ඇති... 

"මිහිතලය යනු අපට අතීතයෙන් ලැබුණු දායාදයක් නොවේ. අනාගත දරුවන්ගෙන් ණයට ඉල්ලා ගන්නා ලද්දකි."

ඔබේ දරුවාගේ දරුවා චර්ම පිළිකා ආසාදිතයෙක් නොවන්නට, අපවිත්‍ර ජල බිඳක් වෙනුවෙන් හඬා නොවැටෙන්නට, කිසිදා හිරු එළිය දකිනු බැරි මිනිස් කුලකයට අයත් නොවන්නට නම්, නොඉඳුල් වනාන්තරවල නොපෙනෙන ඌලකින් ඉපිද පීරාගෙන නිල් සයුරට වැටෙන දිය කඳුරුවලට ද, නිල් පැහැයෙන් බොර පැහැයට හැරෙන් මහා සාගරවලට ද, දිය වෙවී ඔබ සොය එන ග්ලැසියරවලට සහ හිම වලසුන්ට ද, හෙට නිල් අහස දක්නට නොහැකි යැයි තැවෙන උස් කඳු මුදුන්වලට ද, දිනෙන් දින මිහිතලය සදහටම හැරන සතා සීපා වර්ගයන්ට ද, අපේම ක්‍රියාවන් නිසා මිලියන ගණනින් මියැදෙන කුඩා දරුවන්ට ද ඔබේ ආදරය අවශ්‍ය යි. ඔබේ සැලකිල්ල අවශ්‍ය යි.



දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා! 

ආශ්‍රිත:
http://uwb2ms.blogspot.com/2010/05/what-will-happen-if-we-continue-to.html
http://en.wikipedia.org/wiki/Pollution
http://en.wikipedia.org/wiki/Rainforest
http://adsoftheworld.com/media/ambient/npo_reflection_project_trash? size=original
http://www.wikihow.com/Help- Save-the- Planet- Earth