Showing posts with label කවි නොවන කවි. Show all posts
Showing posts with label කවි නොවන කවි. Show all posts

Monday, August 22, 2016

ඇතැම් විට...




ඇතැම් විට 
ලද කුඩා ඉසිඹුවක
පැරණි පිය සටහන් නැති
නැවුම් මිහිදුම් මාවතක
ඇවිද එන්නට මට
හදිසියෙන් මෙන් 
සිතෙන්නට හැක

අතුරා තබනු මැන
නො ඇසූ සියලු පැන
දම්පැහැ කැලෑ මල් මත
රැගෙන යනු පිණිස මට

නිදහස් ය ඔබ එවිට
සියලු පැන සහ
නො ලද පිළිතුරුවලින්


17-08-16

නම





අපේ පුතුට
දමන්නට සිටි
ඔබටවත් නො කියූ නම

ඔබත් නැති
පුතෙක් නැති
නමක් විතරක් ඇති

17 -08-16




Monday, June 13, 2016

විරහ ගී අමතක තැන






ඉතිං මම,
ප්‍රීතිමත් විහඟෙක්මි
විරහ ගී අමතක වුණ
මතක පටු මංපෙත් දිගේ
හිස නමා තවත් දුර නොම යන

දැවී දැවී ප්‍රේමයේ තාපයෙන් ශාපයෙන්
මියැදිලා අළුවුණ
ප්‍රීතිමත් ෆීනික්ස් විහඟෙක්මි
මතකයෙන් හිස්ව යළි ඉපදුණ


13-06-2016

Wednesday, May 18, 2016

මේඝය, ඔබ කැමති නම් වහින්න හෙවත් මැයි 18
















ගංවතුර ගලා නැත
ඉණ තෙක් වතුර නැත
රැස් කළ අහර ඇත
කුසගිනි කියා දෙයක් නැත
මඩ චිරි චිරිය නැත
දරුවන් සුවෙන් ඇත
මේඝය,
 ඔබ කැමති නම් වහින්න

නැතිවුන කෙනෙක් නැත
මළමිනි මතක නැත 
කඳුළට මිලක් ඇත
රිදුනට කමක් නැත
දකුණට දිනුම ඇත
උතුරට වතුරවත් නැත 
මේඝය,
 ඔබ කැමති නම් වහින්න!


18 මැයි 2016

Tuesday, April 19, 2016

ප්‍රභානිය,



ප්‍රභානිය,

ඔබෙ වදන්
නො නිවෙන ආහ්ලාදයකින්
ඉගැඹුරු අගාධය‍කට
අතින් අල්ලා මා ගෙනයන

යන මඟ,
දම් රතු මලින් 
උන්මාදනීයව පොබයන
සත්සිය සැත්තෑ සතක් 
නෙක වණින් සැදි දේදුණු 
දිය ඇළිව මා මත වැගිරෙන
සීතල චුම්බනයකින් දෙතොල මත්කොට
රෝස මල් පැළඳගත් කටු මත
නර්තනරූපීව ඇවිද්දන

ඉපැරණී පිය ගැට පෙළෙහි පහළට
තවත් ගැඹුරට
රන් මකුළු හුයකින් බැඳ මා කැඳවන 

දියමන්ති වෙනුවට
වියළි මල් පෙති
‘දයාබර‘ යන තැනින් ඉරීගිය 
දිරූ කඩදහි
වැරහැලි රෙදි බෝනික්කන්
මැකුණු දිය සායම් චිත්‍ර
නිසි පරිදි තැන්පත් කොට තැබුණ 
ආගාරවල ඇවිද්දන

කංසාමය සිහිනයක
දින ගණන් දොඩමළුව තබන
කහ කොළ දුම් වළළු මැද තබා
සෙමෙන් පා කරවන

ප්‍රභානිය,
ඔබේ ස්වර ව්‍යංජන ඉස්පිලි පාපිලි
මායාමය ලෙස 
සැබෑව කරා මා ගෙන යන..
ඉගැඹුරු අගාධයෙන් ඉහළට
හෙමි හෙමින් ගෙනත් ඇරලන..

18-04-2016


ප්‍රභානිය*- මනූෂා ප්‍රභානි දිසානායක අපූරු කෙටිකතා ලියන්නියකි. මේ ඇගේ ලියවිලි මා තුළ ඉපැද්දවූ වර්ණ ය. 
පහත සබැඳිවල ඇත්තේ ඇගේ කෙටි කතා ය.

Tuesday, January 19, 2016

සේකර ,







දහසක් බුදුවරුන් අවදිව
දුකින් මිදෙන මග සොයමින
දුම්රිය වෙත බස් රිය වෙත
දුවන හැම උදෑසනක ම

ඔබ හමුවෙයි...

හබරල කොළයක් මත 
පිනි අහුරක් වී රඟමින
පාළු අඳුරු නිල් අහසේ තරුවක් වී 
බෝසත් මෙත් කරුණා වගුරන
යදියෙකුගේ ගැඹුරු වතක 
සිනහව වී
මඳ සඳ රැසින් පෙරී එන

අකම්පිතව ඔබ යන විට
සොයාගෙන සොයාගෙන 
දුකෙන් මිදෙන මාර්ගයක්
ඇත්තක් වී හමුවේ නම්
'නිවන' කියන ඒ සැනසුම

'ප්‍රබුද්ධ' ලියු පින විතරක් 
අනුමෝදන් කරගෙන

සේකර ,
ඔබ බුදු වෙන්න!

14-01-2016

තුංමං හන්දියේ සේකර පිළිරුව 


සේකර මහ විදුහල් තාප්පයේ ඉතිරි කොට ඇත්තේ ඔහුගේ කවි එකක් දෙකක් පමණි...
තුංමං හන්දිය

Thursday, January 7, 2016

මේ නිවාඩුව



අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට නැත්නම් කන්ද උඩ පීල්ලට

නාරං ගහ පේන තැන
පඩිය උඩ ඉඳගෙන
ටයිල් කැට මැදෙන තුරු
තර්ක කරන්නට
මහින්ද ද මෛත්‍රී ද පුටින් ද බාහුද?

ඔබ පුරවලා ඇති ෆ්‍රිජ් එක
‘දරුවන්ට උයන්න‘
අම්මට කියල ඇති...
'නත්තලට එන්න- දුවයි බෑණයි එනවා'
ගොඩැල්ලෙ මාම ට
ඇරයුමක් දී ඇති..

බාග බෝතල් අස් කරනවා ඇති
බෙහෙත් බෝතල් පිහිදමනවා ඇති
හවස ඉඳගෙන
පත්තරේ කෑල්ලෙන් කෑල්ල කියවනවා ඇති.

අපට තිබුණා
නත්තල් දා රෑට
පල්ලි යන්නට
පූජාව ඉවර වී අම්මා එනකම්
පොල් අරඹ යට කයියක් ගහන්නට
පටිච්ඡ සමුප්පාදය සිහි කර
ඔබ ආයෙ හැරෙන කොට
මට පුලුවනි
එක පාරක් ගිහින් ගවලෙන බලා එන්නට
‘හැපි ක්‍රිස්මස්‘
අපට පුලුවනි එකිනෙකා තදින් වැළඳ ගන්නට

ආයෙ එන දවසට
ඉස්සර විදිහට ම
ඔබ අහයි
'සල්ලි තියෙනවද පුතේ මඟ වියදමට?'
හිරවෙන උගුර පාදා
මට පුලුවන් වෙයි 'ඔව්' කියා ගන්නට

මරණය කියා දෙයක් නො තිබුණා නම්
අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට ...
නැත්නම් කන්ද උඩ පීල්ලට.

11 දෙසැම්බර් 2015

Monday, June 23, 2014

කාබන් මිනිස්සු !



ගිනි රස්නෙට ඉර පායන
ඉර අව්වට අපි පිච්චෙන
කඳුළු වතුර මැද දූපත
අපි කොයි කවුරුත් උපන්න

මල් පිපුණේ මේ ඉර යට
ලේ හැළුණේ මේ ඉර යට
පරවෙන මල් මහ පොළවට 
අපිත් අයිති මහ  පොළවට

ක්‍රෝමසෝම එකතුවෙලා
මං උපන්න ලෙසට නේද
බෂීර්, කුමරන්, සමන්ත
උඹල ආවෙ මේ ලෝකෙට

මොට්ටැක්කලි, නළල් තිලක,
රෙද්ද හැට්ට යට විඳවන
ගැහැණුන් හට 
විළිරුදාව එක විදිහට
ලේ ගැලුවේ එක විදිහට
ඒ ලේ උල්පත් පාමුල
කාබන් කැටි කැටි විදිහට
ලේ පාටට කෑ ගහගෙන
අපි ආවේ එක විදිහට

ඕනෙම නම් යමු එහෙනම්
කාගෙත් අගමුල හොයන්න
උතුරුදිගට නැගෙනහිරට
විජය ළඟට භාරතයට
බලංගොඩට 
නියැන්ඩතාල් ඉරෙක්ටස් ද
පසුකොට වානරයින් වෙත
බලමු කිසිත් හම්බවෙයිද
කාපු බීපු දෙයක් මිසක
ඉඳපු හිටපු කලක් මිසක
අඩහඳ තරු, තුන්නූර්ද
දම් සක් තව ත්‍රීශූලද 
මැටි අනන්න  රන් හදන්න
රජ කරන්න බිම් කොටන්න
ඉපදෙන කොට ගෙනා වගක් 
ඉතිහාසෙන් ඉතිරි වෙච්ච 
අස්ථි කැබැල්ලක තියේද?

බලෙන් අරන් උන් උකුලට
බලෙන් යවා ඉස්කෝලෙට
බලෙන් පොවපු දෙයක් මිසක
අරන් ආපු වෙනස කොහෙද?

උන් කියනව අපි අහනවා
උන් කියනව අපි ගහනවා
උන් කියනව අපි මරනවා
උන් දිනනව අපි මැරෙනවා

එකිනෙකාගෙ දෑස් තුළට
එක මොහොතක් එබුණෝතින්
මිනිසෙක් හැර වෙන කවුරුත් 
පෙනෙනවාද මට කියන්න.
බලන විටදි පර දෙමළෙක්
පර සිංහල වල් බල්ලෙක්
හම්බ තම්බි පෙනෙනා තුරු
අපට හැකිය මරාගන්න

උන් හදාපු මේ උගුලෙන් 
අපි ගැළවෙන යම් දවසක
ඔබෙයි මගෙයි  ඇස් ඇතුළේ 
මිනිසෙක්  දකිනා දවසක
බලෙන් ඔතපු හැව විසි කොට
සොහෝයුරනි සෝයුරියනි 
අපට හැකිය බදාගන්න 

[Photo Credit goes to Ishara Kodikara-Getty Images]

Wednesday, November 14, 2012

වීණාව මට දී , ඔබ ගැඹුරු නින්දක




කල් ඇතිව දැනුම් දී
මග බලා ඉනු පිණිස
කල් ඉකුත් වූ පසු 
ඇවිත් නතරව  මා පසෙක
වීණාව මට දී 
ඔබ ගැඹුරු නින්දක 

මට නැතත් කාලයට ඉක්මන් ය
ඉතිං මට 
වයන්නත් බැරි 
නො වයා ඉන්නත් බැරි....

ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බැරි

නිද්‍රාවට  කළ හැකි එකම දෙය
මට නො පෙනෙන්න
ඔබේ සිහින සඟවා ගැනුම
එනිසාම
අවැසි ය මේ වෙණ වැයුම
නින්දෙන්ම ඔබ මිය නො යන්නට 
සිහිනයෙන් සිහි විකල් නොවන්නට

මම වයමි...
නොනැවතී වයමි

දැන දැනම...
ගැඹුරු බව
ඔබේ සිහිනය....
මගේ වෙණ නදට වැඩියෙන්

නොබිඳ වෙණ තත්
වයමි...
යළි යළි වයමි
ඔබ ට....
සිහින නොපෙනෙනු පිණිස.



Thursday, August 30, 2012

පතන් බිමක කඳුළු




හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි. 

පාරාදීසයට යන මඟ දිග
සාධු දන රිසි රිසිව හෙළා යන
සාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳින
මඟියෙකු නොවන මඟියාය මම

කිරිගල්පොත්ත මෙන් උත්තුංග
ඩයිනෝසර මතකයකි දුක් කන්ද
තවමත් හඬන මීවන ලන්ද
නියගින් පෑරුවේ මොන හිතකින්ද

පතන් බිම් පීරමින් සපැමිණ
සුතන් හා නෙලු ඵලය බුදිමින
ඇතුන් කොයි මේ බිමේ වැජඹුණ
සතුන් ගෙන් වෙඩි කකා මියැදුණ

උඩු වියන් යටි වියන් එලමින
අතීතය පස් යට ම වැලලුව
ජීවිතේ හිස් බඳුන් අරගෙන
පැමිණි දන සිප වැළඳ සැනහුව

හිතේ කුණු අත් මිටින් අරගෙන
තැනින් තැන දම දමා ගොස දෙන
මිනිසුනේ දුටුවාද දින දින
අවසඟව මිය ඇදෙන මහ වන

සමනල් වැවට ඉරගල වැටෙන
හවසක සෙමින් රතු ඇස් පිසින
ලෝකාන්තයෙන් රූරා වැටුණ
ඛේදාන්තයකි මේ වන අරණ














20-08-2012


Friday, February 17, 2012

සුජාතා



නිමිත්ත: පපුවෙහි සැත්කමක් කළ ගැහැණියක් සිය සිඟිති දියණියද සමග බස් රියේ සිඟා කයි.

සුජාතා මහරගම ආවා
මුදුන් ලීයක් නැති ගෙදරින්
දුම්බර කන්ද බැහැලා
හිතේ ගහගෙන රෝස පාටට
නිදිකුම්බා මලක්

තව යන්න බැරුව-වැටුණෙ හරියටම
ඉස්පිරිතාල හංදිය ළඟය

ලාවා ගැලුවේ රතුපාටට
වාට්ටුව යට කරගෙන
නිදිකුම්බා මල ඇකිළුනා
සිරින්ජරයක් ඇතුළට

කහ පාට සුදු පාට රතු පාට
පීල්ලට යන මංකඩේ
රූස්ස අඹ ගහේ දළු පාට
ඈ ආසම පාට ලා කොළ පාට
මෙන්න ඇස් ඉස්සරහ
ගිණි කණ දිදී
ළපැත්තම ඇවිලී වැටී හරහට

වාරු දී සේලයින් කණුවට
විසිවුණේ ආයෙත් හන්දියට
නිදිකුම්බා මල එක්ක
හිත වැහෙන්නම අලවලා බැන්ඩේජ්
පපුවට බයේ කහින්නී
කරන්ට් අල්ලලාම මැලවී
බෑඟිරි දෙන බස් රිය ළඟ සිඟන්නී

අතින් ඇදගෙන
හිතෙන් බැණ බැණ
අලුත් කවි අරගෙන
බස් රියෙන් බස් රියට ගොඩවෙන
සති දෙකක් ජීවිතේ ඉල්ලන

සති දෙකක බෙහෙත්
ලූල්වත්තට ටිකට් එකහමාරක්
හැට්ටය පලා
බැන්ඩේජ් කළ
ළය මඬළ හැර පාමි
මහතුනේ රුපියලක් හරි දෙතොත්
නිරෝගී සුව පතමි

නිදිකුම්බා මල
එල්ලී කෙසඟ අත්වල
මගී උරහිස් මතට
වැටි වැටී නිදි කරයි

ජීවිතය
බෙහෙත් පෙති තරමට ම
තිත්තයි-කලුවරයි

Tuesday, February 14, 2012

මං ඔයාට ආදරෙයි.


මං,
පුංචි ම කාලෙ ‘සින්ඩරෙල්ලා’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ සුන්දරම ආදර කතාව කියල
ටිකක් ලොකුවෙලා ‘මොන්ත ක්‍රිස්තෝ’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ අපූරු ම ආදර කතාව කියල
යෞවනයෙදි ‘වදරිං හයිට්ස් ‘කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ සංවේදිම ආදර කතාව කියල
තරුණ වියට එළඹෙද්දි ‘ඇට මැස්සා’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ ගැඹුරුම ආදර කතාව කියල
තරුණ වියේ දි ‘කොළරා කලේ ආලේ’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ නිර්භීතම ආදර කතාව කියල
තරුණ විය ගෙවෙද්දි ‘සහීර්’ කියවල හිතුවා
ඒ තමයි ‘අත් නොහරින’ ආදරය පිළිබඳ බලාපොරොත්තුවේ කතාව කියල
මේ මුලු කාලය පුරාම ‘ගුරු ගීතය’ කියවමින් හිතුවා
ඒ තමයි ලෝකෙ පරමාදර්ශී ම ආදර කතාව කියල

ඊට පස්සෙ,
මට ඔයාව  මුණ ගැහුණ..


හැම උදෑසනකම දීප්තිමත් ඉර එළිය එක්ක ඔයාව ඇහැරවද්දි
මට දැනෙනව මම ඔයාට කොච්චර ආදරේද කියල
........................
 
.............................
මට ජීවිතේ තේරුම් ගන්න බැරි තැන්වල දි කර වටේ අත දානකොට
මම දන්නව ඔයා තමයි මගෙ හොඳම යාළුව කියල
දැන්,
මම දන්නවා,
දවසින් දවස ගැඹුරු වෙන ආදරෙන් පිරුණු
දවස ගාණෙ නිශ්චල වෙන සන්සුන් බව පිරුණු
එකිනෙකාගෙ ආදරය මහා බරකින් අගය කරන
අපි දවසින් දවස එකට ගෙවන මේ ජීවිතේ තමයි
නො ලියවුණ ඒත් ලෝකෙ හොඳම ආදර කතාව කියල

මං ඔයාට ආදරෙයි.
 

In those small days, reading ‘Cinderella’, I thought
It was the most beautiful love story in the world.
As growing up, reading ‘The Count of Monty Christo’, I thought
It was the most amazing love story in the world.
As a teenager, reading ‘Wuthering Heights’, I thought
It was the most sensitive love story in the world.
Entering the youth, reading ‘The Glad Fly’, I thought
It was the deepest love story in the world.
As a young woman, reading ‘Love in the Time of Cholera’, I thought
It was the boldest love story ever happened.
As the young age passes by, reading ‘The Zahir’, I thought
It was the story of eternal hope that never gives up.
Throughout this time, reading ‘The First teacher’, I thought
It was the ideal love story of the human history.

Then,
We met …and
Got married..

Now,
Every morning when I wake you up
with the rays of glimmering sun
I feel how much I love you.
Every day when I hear your laughter
I know you have filled my life with joy. 
Sometimes even when we are arguing for no reason
I know we are never going to leave each other.
When you are sleeping like a child on my left arm
I know the trust you have in me.

When my wisdom is not enough to understand the world
And when you put your arm around my shoulders
I know you are the best friend I can ever have.


And,


Now I know,
This life we spend together, with
The love that getting deeper and deeper
The inner self that is relaxed by each day  
The weight we give for each others' love,
is the best love story that never can be writen.

I love you..

Saturday, January 7, 2012

SMS සංවාද



(2011දෙසැම්බර් තිස් එක් වැනිදා- මිතුරෙකු සහ මිතුරියක අතර)

a.
මතක මුතු මාලයක් වී අවුරුද්ද ලිහිලා විසිර යන                විට
එකින් එක පෙළ ගැසෙයි අහසට පැතුම් විදිහට අලුත් තරු කැට


b.
පැතුම් තරු කැට අරන් අතකට අහස් මිදුලේ ඇවිද යන      විට
මතක මුතු වැල ලිහී වැටුණත් බිතෙහි ඇඳි රූ තියෙයි     සදහට


2010 SMS සංවාද

Wednesday, October 27, 2010

පොඩි එකෙකු මා සමග සිනාසුණි


පසුබිමෙහි පණ අදින පණ ගැහෙන කතාවකි
පොඩි එකෙකු ඒ නොදැන මා සමග සිනාසුණි
ඔටුනු අභියස කොඳු කැඩෙන රටකින්
විප්ලවයට පේටන්ට් ගන්ට පොරකන දෙසකින්
පැමිණි  මා දෙස බලා හෙමිහිට
පොඩි එකා  මා සමග සිනාසුණි.
ශිෂ්ටාචාර වලට බැරිවුණු
කාල මායාවේ යළි යළිදු සැඟවුණු
විප්ලවය ද ජයග්‍රහණය ද
කහට බැඳි ඒ දසන් මත නැගි
සිනා රළ මත ඉපදුණි.
මම නැවතුණෙමි.
                        
-වවුනියාවේ පාවක්කුලම්හිදීය.
 26/10/10

Wednesday, July 14, 2010

මුහුද අසබඩ නිවෙස්





වැසි දියට පෙඟෙන
ලෑලි බිත්ති
දුම්රියට අත වනන
කුඩාවුන්



10/07/10

Tuesday, June 15, 2010

.............................................



මසා දෙයි
කැඩෙන කැඩෙන වර
ම‍ගේ පාවහන්
දෙපා නැති
ඔහු



13/06/10

දැරීම



අහස
වැස්ස දරා ගන්නවා තමයි
ඒත්,
වැස්සට
අහස දරා ගන්න
බෑ



13/06/10

එතකොට මල් කතා.....




පිනි

බමරාට
භ්‍රමණයෙහි
ප්‍රමෝදය පිණිස
කේන්ද්‍රගත කළ
මලෙහි
වික්ෂෝපය





රැඩිකල් සමනළයා මලට කී කවිය

මගේ පාට
මා ළඟ
ඔබේ සුවඳ
ඔබ ළඟ
හැබැයි
රොන්සුණු මට
13/06/10

Friday, June 4, 2010

එළි

 
 
අද උදෙත්
පාර මැද
මම හිටියා
කොළ පාට එළි නිවී
රතු පාට
වැටෙන තුරු
නවතින්න
බලා‍ගෙන!

03/06/2010

Thursday, February 11, 2010

සාත්‍රෙ, ඔයා...



එයා ආපු දා ඉඳලා
.............

සාත්‍රෙ,
ඔයා නෑ.

මට හොයන්නවත්
අමතක උන හැටි...!

...........

අනේ...
මට පේන හරියකින්
ඉන්නවද?


02/2010