Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, May 15, 2020

මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද





ගාසා ව මෙන් ඇවිළෙන දිවි මග මෙතෙක් ඇවිද
නාසා මිතුරු වදනක් ඔහොම ඉන්නට හැකි ද
පාසා ගෙවෙන මොහොතක් වෙහෙස වූවා මදි ද
මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද

කොතෙක් නම් දුර දිව්වත් ලෝකය ම එතැනමද
මෙතෙක් ආ මඟ බැලුවොත් ජීවිතය තව දුර ද
පොතක් විඳ ගන්නා සේ ඉතිරි පිටු කියවමු ද
හිතක් පිරිමැද විමසමි ඔබට හොඳට ම තනි ද

අතින් අර ගත් මීවිත හැළුණු තැන් කොපමණ ද
හිතින් ගිලි ගිලි කිමිදී ගැඹුර පසඳිනු හැකි ද
ඉතින් ජීවිත සිතියම මේ දැන් මෙතැන නොවෙද
අතින් අත් අල්ලා ගෙන මේ ටික දුරත් යමු ද


15|05|2020
Painting by Olga Schibli

Monday, January 29, 2018

ඒ තරම් නිහඬතාවක, රැයක...





සීතල ම අන්ධකාරය ඇවිත්
රැයෙහි සියොළඟ සෙමෙන් එතෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු ⁣සුසුමක් දුරින් බිඳෙයි

රෑ බදුල්ලෙක් වැටී අඩ දණින්
පිනි බිඳක හිස තබා සැලෙයි
දුරු නුදුරු  පහන් කණු එළිය මැද
මෙරු පියාපත් සිහින සිඳෙයි

වරු ගණන් නිදිවරා මහ තුරක්
ඇහැරවන මලක පෙති ඇරෙයි
තුරු සඳැල්ලෙන් වැටී තුරුපතක් 
රුදුරු ළය ශෝකයෙන් මියෙයි

සංශයාදී සඳක මිහිදුමක 
සංතෘප්ති සංවේග මිදෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු ⁣සුසුමක් දුරින් බිඳෙයි


29-01-2018




Wednesday, November 22, 2017

නොවැම්බරයක රිදෙන මතකය





ඉරුණු තැන් ⁣පිරිමදින අහසකි
මැරුණු මල් පෙති සිඹින පොළවකි
ඇරුණු  මතකයෙ සොහොන් ගැබ මත
පිරුණු ඉතිරුණු ඇසකි සයුරකි

දළුලන්න බැරි සිසිර මොහොතක
ගිලිහෙන්න කමටහන් අවැසිද
යළි එන්න බැරි අඳුරු නිම්නය
මළවුන්ට තරු නැගූ අහස ද?

බෙන්සාරු කළ කඳුළු බිඳකින්
කන්තාරු නින්නාද නෑහෙන
සංවාද කළ රැයක දෑසින්
සංවේග වේදනා වෑහෙන

කියන්නට කිසිදාක බැරිවුණ
වදන් නැති කවි හදක චිතකය
දවන්නට හිත හදා ගනු බැරි
නොවැම්බරයකි රිදෙන මතකය


22-11-17



සඳ එළිය සහ කුළු කුහර



පෙදෙහි රස හව් පුබුදන
නිදන තරු කැට අවුලන
නැගෙන දිළිහෙන බැසයන 
සඳෙහි එළිය ම තැනෙහි ඔබ ඇත

මැදක මන්දාකිණියක
බිඳුණු තරු ආවාටෙක
මිදුණු ක්ෂිතිජය නො දිසෙන
අඳුරු කළු කුහරයකි මා ඇස


10-11-17

ඉතිං ඔබ හිතන්නේ එහෙමද?






ඉතිං ඔබ හිතන්නේ එහෙමද
අතින් අත ඇරුණු තැන කොතැනද
සිතින් සිත නිවාලූ සුළඟක්
මිටින් ගිලිහී ගියේ කොහොමද

ඉස, දැවෙන හිත මතින් පිනි කැට
අස අසා රිදෙනවද හදවත
විස නො වූ මදහසක රිදුමකි
ඇස අගක කැවෙන මේ වැලි කැට

පෙළින් පෙළ ඇඳි මතක නැතුවද
මලින් අර පාර හැඩ වෙනවද
පෙළන්නට රුදු පවන් නැතුවත්
සැලෙන්නැති තුරු හිසක් තිබුණිද

බිඳක්වත් ඉරි නො ඇඳි නදියක
උදම් රළු රළ නැගුනෙ කොහොමද
මඳක් රිදුණත් දෑල ඉවුරට
ගඟක් නවතනු හැකිද , කෙලෙසද 

කොහොම අය කොහෙ කොහේ යනවද
එහෙම අය ආයෙ හමුවෙනවද
එහෙම පැණ මොටද කෙටි දුරකට
කොහොමටත් එක මඟක යනකොට

රනින් හැන්දෑ අහස දුටු විට
නිතින් කම්පිත ස්නායු තරු කැට
නුසුන් වී දිළෙනෙකද සරතැස
ඉතිං ඔබ හිතන්නේ එහෙමද ?


06-11-17


Friday, July 7, 2017

නුවර තාමත් වැසි වසී...




මතක ගල් කණු මුල වැටී
ඇසක රත දියවී ඇතී
ගෙවා ආ මඟ පරව විසිරී
ලිහුණු ලිය කැටයම් පෙතී

ලවන් රස කළ රොන් කෙමි
උයන්වල ඇතිරුණ හැටී
හන්තාන බඳු පෙම සකි
සන්තානගත සුසුමකි

තවර තවරා දුක් කැටී
නුවර තාමත් වැසි වසී
ඇසින් දිය කළ ප්‍රේමයක තෙත
මහවැලියෙ රැළි මත ඇතී

දුලා නෙතඳර නතර වී
වලාකුළ සේ වැහි දිදී
මලානික දෙකොපුළ මතින්
ගලා යයි ඔබ නොමරැඳී

දරා සැඬ රළු අව්වැසි 
නැගූ මල් ඵල අතු ඉති
ඔබ ය ඔබ ට ය තබා වැළපුණ
මමයි ඒ ගස මුල් නැතී

ශිලා ලිපියක ගල් ගැසී
ලියා දන්වමි හිමියනී
සළාවැටුමක ඇද වැටී
මියැදුණා දවසක අපී


07-07-2017

Thursday, July 6, 2017

නුසුන්වෙනු පිණිස ය....




විසල් රළු ගල් කුල 
අචේතනිකව
සඳ කැන් ද පොද වැසි ද
නො හැඟුණුවන්ව

නිධන් කරගත් 
සියුම් හද ඇස
නුසුන්වෙනු පිණිස ය
නො දැල්වෙනු පිණිස ය



05-07-2017



Wednesday, June 28, 2017

පා ලකුණු..



ආලයේ වෙරළ මත
පා ලකුණු ඇඳුණේ ම
කාලයේ ඉම නො දැක 
මැකී යනු පිණිස ය..

රළින් රළ නො නගන්න
පා ලකුණු සුරකින්න
විසල් සයුරෙන් යමෙක්
නො ඉල්ලූ වරද ය..

ඒ කවිය වෙරළ මත
කිසිවෙකුත් ලියා නැත
ලියූ අය වෙරළ වෙත 
කිසිදාක ඇවිත් නැත..


28-06-2017


Thursday, June 22, 2017

ඍතුවක් වීමය හොඳම



ඍතුවක් වීමය හොඳම....

කැමති අතු අග මල් තැබිය හැකි
කැමති ගස්වල පත් සැලිය හැකි
රිසි රැයක සඳරැස් එලුව හැකි
රිසි ලවන් මත රොන් විසුල හැකි

අන්තිමට,
නිශ්චිතම දවසක 
හිස නමා සමුගත හැකි...
ඍතුවක් වීමය හොඳම.


22-06-2017

Monday, June 19, 2017

ගසක හදවත එහෙම ය.....




හදෙහි ගැඹුරු ම පතුළත
පැතිර දිව ගිය මුල් රැස
උතුර උතුරා වැඩූ සනහස
නැගූ තැන මුදු මදහස
මල් පිපුණු ඒ තුරු හිස

පිපෙන පිපෙනා  මල් මත
අතුර  අතුරා සුවඳ මුවරද 
ඉතිරි කර ගත් දෙයක් නැති එක
ඒ තමා ගසක සෙනෙහස

එකම එක මලකට
මිස සියක් මල් වෙත
නො බැඳිය යුතුයි කීවද
පළමු සහ අවසාන මලට ද
බැඳුණු සෙනෙහස එකම ය
ගසක හදවත එහෙම ය


19-06-17

Thursday, June 15, 2017

මට හිතෙන්නෙ ම ඔබ හොඳින් ඇති...




මට හිතෙන්නෙ ම
ඔබ හොඳින් ඇති...

කවිත් නැති 
අවි අමෝරා ගත් අයත් නැති 
එළිය නැති අඳුරත් නැති
දුරක, මන්දාකිණියක ඇති

දුකත් නැති සතුටත් නැති 
මදහසක් මුව අග ඇති
ප්‍රේමයත් ශෝකයත් 
අන්තිම ඇඟිලි තුඩෙනුත් අත්හැර 
නිවී සැනසී ඇති...

ඔව්,
මට හිතෙන්නෙ ම
ඔබ හොඳින් ඇති...

08-06-17
#දිළිසෙනපියවර #සමර

එසේ වී නැත.



පරම වූ දෙයක් නැත
පෙම් කළේ නැත
ශෝකයක් ද නැත
කිසිවෙක්ව සිට නැත
කිසිවක් විමසා ද නැත
හමුව නැත
එහෙයින් ම වෙන්වී ද නැත.


10-06-2017


අස්වැසූ විහඟුනි ඔබ කොයිබද?




උස් සාද සිනා මධු ගී හඬ
හිස් අසුන් මත තවම රැව් දෙන
අස්වැසූ විහඟුනි තුඩින් පිරිමැද
ඇස් වසා සොයමි ඔබ කොයිබද

සැරූ මගතොට සිහින විසිරුණ
පරව ගිය තුරුපත් ව මියැදෙන
තරව ගත් මතකයක සැනසුම
රැගෙන ගිය සකුණි ඔබ කොයිබද...


06-06-2017

කාන්තාරමය ගමනක, මා එක්ක ඔබ....



ඉරි තැළුණ දෙපයකි
වේදනා නිම්නයක
ගණන් නැති කැළැල් යට 
හතිලන 

දහස් වර මිය ගිය ද
තවමත් නො මළ හදවතකි
කිහිරඟුරු අළු මතින් යළි
ඉපදුණ

සිදුරු වූ ඒ හදෙහි
උනා ඉහිරෙන රුහිරු ඌලකි
මස් ඉරන නිය ගසන සතුන්ටත්
පැන් දෙන

අඩකට මඳක් වැඩියෙන් 
සිඳුණු බඳුනකි
නොමසුරුව දිය බී
යනෙන අය තබා යන
හලාහල දෙතොල් සලකුණු 
නොමැකුණ 

කඩමළු ඔලොගුවක
ලෙලවෙන සිහින නදියකි
බිඳෙන ඉකිලන
රළ රැළි යටින්
කැළතෙන

ඔබ...
එවන් යුග යුග ගමනක 
පියෙන් පිය අස දෙපා සළකුණ
දිලුම් දෙවමින් උරින් දරමින් 
ඇස‘ග රැළිලන සයුරු 
සිඳවන
ඇසිල්ලකවත් 
දෑත් අත් නො හැරුණ



30-04-17

Wednesday, April 26, 2017

මාවතක් තැනිය යුතු...



ගිරි හෙල් තැනිතලා දෙපසින් 
බෑවුම් කඳු වළගොඩැලි මග දිගට
හැමදාම යනෙන මග වෙනස් කොට
මාවතක් තැනිය යුතු 

තැනිතලා බිම් මත
මෙලෝ මල් විසි කොට
දුර්ග ගිරි හිස් මතින් 
ඉන්ද්‍රචාපය මතු කොට
ගැඹුරු හෙල් පතුලත
චන්ද්‍ර පාෂාණ සවි කොට
මග දෙපස තැනිය යුතු
වග වළස් නිය මතින්
රෝස මල් මතුව ආ යුතු 

වළ ගොඩැලි වැසෙන්නට 
මන්දහාසය අතුරා
කඳු නැගෙන තැන්වල
සඳ තබා, කලාවෙන් කලාවට පුරවා
අඳුරු රෑ අහසට
මාලිමාමය තාරකා අලවා
මාවතක් තැනිය යුතු 
රළු බොරළු බිම මතින් 
ප්‍රේමයේ පලස එලිය යුතු

පරිස්සම් වූ දෙපා සලකුණු
වැසී රඟ දෙන සිරි මැවිය යුතු
උරිස්සක වැකි කඳුළු වියැකී
හැරී මදහස් බැලුම් පෑ යුතු
කිණිස්සක රැඳි මියෙන හදවත්
පියාපත් ලැබ ඉගිළ යා යුතු
දහස් ඇස් මැද හුදෙකලා සිත්
තබා මෘදු අඩි ඇවිද යා යුතු

මාවතක් තැනිය යුතු
ඒ මගෙහි, 
දිණුම් කණු ඉම් ලකුණු මැකී යා යුතු
නිදහස් ම පදලස් කෙටී යා යුතු



Saturday, April 8, 2017

කුරා කුහුඹුවන් අපි...,




ඔව්, සබඳ...
කුරා කුහුඹුවන් අපි
නිරා දුක් විඳ
වරා එක කඳුළක් 
නිරානන්දය සොයා යන

දරාගත් වෙහෙස මිස
උරා පැණි බොන්නට 
මල් නො දුටු
පරාජිත කුහුඹුවන් අපි
නිරානන්දය සොයා යන

බෙදාගත් සිනා ඇති
බදාගෙන විඳගත් කඳුළු ඇති
සදාකාලික නැති 
තාරකා අහසක් යට
සදා පවතින මතකයන් වෙති

තරු වුනත් 
නිවෙන්නට දත් අය
කුරුව අබලිව බිම හෙන
කුහුඹුවන් අත්හැර
සක්වලෙහි දිලන්නට හැකි අය

ඔව්, සබඳ..
ඔබේ පැහැදුල් අහස යට
කුරා කුහුඹුවන් අපි
කිරා මැන බලන්නට
තරාදිය අත නො දැරුව
මිය ගියත්
පණ ඇතැයි 
සිත සිතා
තාරකා දූවිලිවලට පෙම් කළ


07-04-2017



Thursday, April 6, 2017

That’s when I start to dance in the rain







I feel it in each artery and vein
Like a butterfly cooing in pain
Then I go.., I go insane
That’s when I start to dance in the rain

They gave me a cage, costumes and a frame
Was given a life and so then a name
Then came the lies, the shows and the fame
That’s when I start to dance in the rain

The melancholy shielded with smiles, it’s the game
Wish on the stars; but choose to refrain 
Follow the rules till die,  you be a saint 
That’s when I start to dance in the rain


05-04-2017

Monday, April 3, 2017

යක්ෂණියගේ දුෂ්ට පාත්‍රය




මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
දුන්න ගස්සා ඔබ මුදා හළ
හී දැරූ හද කුටීරය

වස් වසා බොහෝ කල් ගත විය
ඇස් වසා දැරූ දේ විෂ ය විෂමය
වික්ෂෝප ආත්මය දරා ඇවිදින
යක්ෂණිය ඒ මම ම ය

වැස්සටත් කඳුළු දිය දුන් අතීතය
සත් වරක් ඉපිද මියැදුණු සිහිනය
අත් දෙකෙන් මිරිකා මුදා ලූ
කිරීටක සංසරණයද ස්නේහය

දරණ ලූ දුක නම් බැඳුම ය
උරණ මග දිග තිබුණේම රිදුම ය
වරණයක් නැතිකම අල්තාරයක පිදුම ය
මරණය ද ජීවිතය ද එකය, එකම ය

මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
නික්ම යන්නට දෙපා බැරි වූ
දුෂ්ට පාත්‍රය මගෙ ම ය


03-04-2017





Thursday, March 23, 2017

අප ම පමණි...





හෙලා නා මල් රේණු  කොන්තගංතොට පවා විරහවෙන් සැලුණි
පෙලා  මුදු  රළ පතර, අසිපත ඇණෙන ගානේ ඔයට රිදුණි
වෙලී පෙම්වත් දෑත්  කෝට්ටේ මගතොට තාම පෙමිනී
ගිලී දියවන්නාවෙ මැකුණේ  අප පමණි ඔව්, අප ම පමණි





22-03-2017






සිතුවම: Acuarela Aire. ZL Feng



Thursday, March 16, 2017

ඒ මගේ හිත






මේ තමයි 
ඔබ අතැර ගිය  ඉපැරණි 
වැරහැලි ම හදවත
හිරු එළිය වැද දවසක
අළුව යන තුරු 
දැවී යනු නියමිත
බරු ගසා එකම කවි පසුරකින් 
ඉරා දැමියැකි
ගුහාගත මළපොත

සිතින් පිරිමැදුම මිස
මුවින් සිඟමන් නො යැදි හදවත
අතින් අත්හැරුම මිස
‘ඇසින් ඇස දැක්ම පමණක්ය ප්‍රේමය’
නො ඇදහූ සිත

අල්ලා නො ගත්තේ වැරෙන් 
රිදවනු බැරිකමට මිස
දල්වා තබන්නට පහන් කොයි වෙද 
ඔබත් නික්මුණ විට
ඉල්ලා දිනා ගන්න තරමට
මහරු දේ නැති ලොව
ඉන්නා තැනක ඔබ යෙහෙන් ඉඳුමය
ප්‍රේමයේ අනුහස


16-03-2017