Showing posts with label විමසුම්. Show all posts
Showing posts with label විමසුම්. Show all posts

Tuesday, April 19, 2016

ප්‍රභානිය,



ප්‍රභානිය,

ඔබෙ වදන්
නො නිවෙන ආහ්ලාදයකින්
ඉගැඹුරු අගාධය‍කට
අතින් අල්ලා මා ගෙනයන

යන මඟ,
දම් රතු මලින් 
උන්මාදනීයව පොබයන
සත්සිය සැත්තෑ සතක් 
නෙක වණින් සැදි දේදුණු 
දිය ඇළිව මා මත වැගිරෙන
සීතල චුම්බනයකින් දෙතොල මත්කොට
රෝස මල් පැළඳගත් කටු මත
නර්තනරූපීව ඇවිද්දන

ඉපැරණී පිය ගැට පෙළෙහි පහළට
තවත් ගැඹුරට
රන් මකුළු හුයකින් බැඳ මා කැඳවන 

දියමන්ති වෙනුවට
වියළි මල් පෙති
‘දයාබර‘ යන තැනින් ඉරීගිය 
දිරූ කඩදහි
වැරහැලි රෙදි බෝනික්කන්
මැකුණු දිය සායම් චිත්‍ර
නිසි පරිදි තැන්පත් කොට තැබුණ 
ආගාරවල ඇවිද්දන

කංසාමය සිහිනයක
දින ගණන් දොඩමළුව තබන
කහ කොළ දුම් වළළු මැද තබා
සෙමෙන් පා කරවන

ප්‍රභානිය,
ඔබේ ස්වර ව්‍යංජන ඉස්පිලි පාපිලි
මායාමය ලෙස 
සැබෑව කරා මා ගෙන යන..
ඉගැඹුරු අගාධයෙන් ඉහළට
හෙමි හෙමින් ගෙනත් ඇරලන..

18-04-2016


ප්‍රභානිය*- මනූෂා ප්‍රභානි දිසානායක අපූරු කෙටිකතා ලියන්නියකි. මේ ඇගේ ලියවිලි මා තුළ ඉපැද්දවූ වර්ණ ය. 
පහත සබැඳිවල ඇත්තේ ඇගේ කෙටි කතා ය.

Tuesday, January 19, 2016

අලුත් කතා පොත්



-සැප්තැම්බරයෙන් පසු

පොතක් ලියන තෙක් බලා හිඳ, ආපු ගමන් කෙසේ හෝ පොත හොයාගෙන සියලු වැඩ පැත්තක තියා නොකා නොබී නොනිදා කියවන පන්නයේ නවකතා පොත් ලියන කතුවරුන් එක්කෙනෙක් දෙන්නෙක් කාටත් වගේ මටත් සිටී. Paulo Coelho, Khaled Hosseini, Isabel Allende, Shyam Selvadurai යන අය වගේම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල‍, ලියනගේ අමරකීර්ති කියන්නෙත් එහෙම උමතු කරවන සුළු කියවීමකට මා තල්ලු කරන ලේඛකයින් දෙදෙනෙකි.

සැප්තැම්බරයේ ගත් පොත් ගොඩ අතරින් ගත්ත ගමන් කියවා අවසන් කළේ ‘මාණික්කාවත‘, ‘Adultery‘ සහ ‘අහම්බකාරක‘ යි. ඒ පොත් , පොත් විදිහට නොඉඳ පණැති දේවල් වී ඔළුව කළම්බමින් හුදෙකලාව බිඳිමින් හිත එක්ක සංවාද කරන එක ලියැවිල්ලේ අපූරු කම යැයි සිතමි. ඒවා කියවා දැනෙන දේ ලියන්න ඕනා යයි සිතුවත් දැනෙන දේ ලියන්නට වචන මදිය.විචාර ලියන්න මා දන්නේ නැත. හැඟීම් හා සිතුවිලි වනාහි විචාර නොවන බැවින් ඒවා නොලියවෙන එකත් හොඳය. ඒත් ඒ පොත් රසවිඳින තරම බෙදා නොගැනීමත් හොඳ දෙයක් නොවන නිසා ලියා තබමි.

මාණික්කාවත , සෙංකොට්ටං මෙන්ම හිත බර වෙවී කියවීමි. ‘අහම්බකාරක‘, ‘කුරුලු හදවත‘ මෙන්ම , ‘නෙරූදා ගේ ලියුම් කාරයා‘ මෙන්ම විස්මයෙන් ආසාවෙන් නොනවත්වා කියවීමි. සාමූහික ගැමි ජන සන්තානය මානව දයාවෙන් නිරතුරුව ස්පර්ශ කරන මස්ඉඹුල ත් විශ්ව ගම්මානයක හුදෙකලා පුද්ගල ගැඹුර මැන ඒ වෙත කැඩපත් එල්ල කරන කොයියෝත් දවසක හමු වී නම් කුමක් කතා කරනු ඇත්දැයි තනියම සිතමි. අහම්බකාරක අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි. රුපියල්මය දූපත් සිතියම මත පුද්ගල යථාවේ සිතුවම මතු කරනු වස් සාහිත්‍යමය කඩ ඉරි යා කරයි. අන්තිමේ දී නැවත හෙන්රි ජේම්ස් කියවන්නට ත් පටන් ගතිමි. මහින්ද ප්‍රසාද් සහ ලියනගේ අමරකීර්ති, ඔබට ස්තූතියි.

චූලානන්ද සමරනායක සහෝදරයාගේ අපූරු දිරිගන්වන සුලු , හෙමින් සැරේ කියවිය යුතු අලුත් පරිවර්තන පොත් කිහිපයකි. ‘නරක උන් ඇසුරෙහි‘ ඉන් එකකි. කවදාවත් හමුවී නැති නිසා කියාගන්නට බැරි වුනත් දැදිගම වී. නැති අඩුව පුරවන කත්‍යානා අමරසිංහට ඉතාමත් ආදරේය. ළඟකදි ඇගේ පොතක් කියවන්නට නොලැබීම අඩුවකි. ‘තාත්තා වගේ කෙනෙක්‘ ඉතා කැමැත්තෙන් කියවීමි. ඒ බුහුටි පරිවර්තනය වෙනුවෙන් අනුරාධා කෝදාගොඩ  ට සුභ පතමි. අලුතින් කියවීමට ගත්තේ හෂිත ගේ ‘පත් සිඳුණු වසන්තය‘ නම් පරිවර්තනයයි. තවම පහු කළේ පිටු කිහිපයකි. ලිවීමේ අපූරු අනන්‍ය විලාසයෙන්ම සැනින් අප බැඳ ගන්නා ඒ පොත කියවා ගන්නට අද හෙට කාලය ලැබේයයි පතමි. ෂෙහාන් කරුණාතිලක ආයෙත් පොතක් ලිව්වොත් වැඩියෙන්ම සතුටු වන අය අතර මා ද සිටිනු ඇත‍.

කියවිය යුතු අලුත් පොත් බොහෝය. අලුතින්ම සහ දෙවෙනි, තුන්වෙනි, දහ පහළොස්වෙනි වතාවට ද කියවිය යුතු පොත් ගොඩ සහ මා අතර සිටගත් අනවරත ජීවණ අරගලය දෙස රවා බලමි.

ප.ලි. කියවා කලක් ගත වුනත් ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න‘ නම් නිර්මාණාත්මක සාහිත්‍ය ප්‍රබන්ධය වෙනුවෙන් කෞෂල්‍ය ට ද ‘මේ කතාව‘ වෙනුවෙන් සුරේඛා ටද ‘ගම්මිරිස් කුරුල්ලා‘ වෙනුවෙන් කාංචනාට ද තවත් වරක් සුබ පතමි.

Friday, August 14, 2015

හිතවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි,



ඔය මරා නොහොත් හොරා ට හොඳවැයින් දෙකක් කිව්ව එක නම් ඇත්තට ම හොඳය. ඒ වුනාට ඒක කියවං යද්දි මේ රටේ මිනිස්සු ඔබට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පස්සෙ කියල එකක් රැක ගන්න කියල ඔබ හිතනවදෝ කියලත් හිතුනේය. ඔබ ඒකේ ලියා තිබුනේ මරාට නොමිනේෂන් දුන්නේ පක්ෂෙ බේරගන්න බවය! මරා ඡන්දෙට නාව නම් ජනාධිපතිවරණ ජය තහවුරු කරපු ජාතිවාදයට එරෙහි සංවිධාන , තරුණ පිරිස් , විවිධ ජාතීන්ගේ විශ්වාසය ශ්‍රීලනිපයට දිනාගන්න තිබුන බව ය.

(ඇත්තටම ඇයි ඔයා එහෙම හිතන්නෙ? අපි මෝඩයි වගේ පේනවද?)

මරා ඡන්දෙට නාවා නම් අපි හැමෝම නිල් පාට කොඩි අරන් පෝලිමේ ඩලස්ල නිමල් සිරිපාලල ජොන්ස්ටන්ල මහින්දානන්දල පස්සෙන් පක්ෂ කාර්යාලෙට එයි කියා ඔබ හිතුවා නම් ඔබට වැරදිලාය. 

අනෙක් කාරණය අගමැති පත්කිරීම ගැන ඕබේ අදහස ය. ඔබ හිතන විදිහට අගමැතිකම දෙන්න ඕනෙ 'මෙතෙක් අවස්ථාව නොලැබුණ' පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුට ය. එතකොට අගමැතිකම කියන්නේ ශ්‍රීලනිපයේ අවස්ථාව නොලැබුණ අයට දෙන්න තියෙන මොකක් හරි සම්මානයක් ද? මරා අවුරුදු දහයක් තිස්සේ රට කන කොට, මිනිස්සු අතුරුදහන් කරන කොට, නීතිය බල්ලන්ට කන්න දාන කොට, මානුෂික මෙහෙවරක නාමයෙන් උතුරේ සිවිල් වැසියන් දහස් ගාණක් සමූල ඝාතනය කරන කොට, මූලික අයිතීන් ඉල්ලල මහ පාරට බැහැපු දකුණෙ මිනිස්සුන්ව පාරවල් දිගේ වෙඩි තියල මරන කොට, සංවර්ධනයේ නාමයෙන් රටේ ආර්ථිකය අවුල් ජාලාවක් කරල රාජ්‍ය දේපළ මංකොල්ල කන කොට, රාජපක්ෂ සහෝදරවරු සහ පුත්තු මේ රටේ අඟලක් ගානෙ භීෂණය සහ අණසක පතුරුවන කොට ඔය කියන ජ්‍යෙෂ්ඨයෝ හිටියෙ කොහේද? කළේ මොනවද? ඒගොල්ලොත් ඒකෙන්ම ගොඩ ගිහින් මරාට වැරදුණාම නොපිට ගැහුවා මිසක රටට ආදරයක් ඇති අය නොවන බව අපට වඩා හොඳට ඔබ දන්නා බව දනිමු. 

අපිට මතක විදිහට නම් ජනවාරි අට වැනිදා ඔබ මැතිවරණයට ආවේ ශ්‍රීලනිප අපේක්ෂකයෙක් විදිහටවත් ඔබේ මැතිවරණ ජයග්‍රහණයේ දී තීරණාත්මක ඡන්ද වුනේ කැපුවත් නිල් ඡන්දවත් නොවේය. අනික මේ රටේ මිනිස්සුන්ට ඕනෙ වුනේ මරාගෙන් ගැලවෙන්න මිස හිටපු ශ්‍රීලනිප මහලේකම්ව ජනාධිපති කරගන්නත් නොවේය. අපට ඕනෑ වුනේ අගතියෙන් තොර නිදහස් රටකි. ඉතිං ඔබ තීරණ ගනිද්දි හැමදාටම ඒක මතක තියෙනවා නම් ඔබටයි අපිටයි රටටයි තුනටම හොඳ ය. මොකද රටට වෙන්න ඕනෙ වින්නැහිය වුනාට පස්සෙ ඔබ ඔය කියන මහා පක්ෂේ රැකෙන එකෙන් අපට නම් තඹ දොයිතුවක වැඩක් නැති ය. අපිට ඔයාලගෙ ඔය වැඩවසම් පස්ස තිබුනත් එකය නැතත් එකය. අපිට ඕනෑ දියුණු නිදහස් රටක් මිස මාරුවෙන් මාරුවට රට කන තක්කඩි දේශපාලන පක්ෂ නොව ඇත්ත වුවමනාවෙන් මිනිස්සුන්ට සේවය කරන ජනතාවට වග කියන හරි හමන් මිනිස්සු ය.

පක්ෂෙ සභාපති විදිහට ඔහොම එකක් ලියන්න ඔබට පුලුවන් විය හැක. ඒ වුනාට පක්ෂෙ සභාපති කියන්නෙත් රටේ ජනාධිපති කියන්නෙත් එක්කෙනෙක් ම වෙන කොට මෙහෙම නො කියාත් බැරිය. මෙහෙමවත් ලියන්නේ රජවරු රජ කරපු රටක යන්තම් හෝ සාධනීය ලක්ෂණයක් ඔබ පෙන්වූ නිසාය.

ස්තූතියි.

මීට ,

කල්පනා ඇම්බ්‍රෝස්
ඡන්ද හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙක් 
14-08-2015













Thursday, August 7, 2014

'තිලක සිත' හෙවත් නොස්ටැල්ජියානු මිහිරේ ගැඹුර



ඒ 2000 දශකයේ  මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය චතූත්  හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා ශාලාවේය. කලා පීඨයේ සිටියද අපේ  රූමිලා සහ ගජයන් වූයේ ඉංජිනේරු පීඨයේ නංගිලා කිහිප දෙනෙකි. දහයක පහළොවක රෑනක් වූ අප වළේ හෝ ඒ ටී එකේ චිත්‍රපටියක් නොඑසේ නම් සංගීත වැඩසටහනක් නොමැති හවසක  ඉංජිනේරු පීඨයේ  ඇවිදින්නට ගියෙමු. යක්කුන්ටවත් බය නැති අපේ තනියට කොයි එකටත් ෆැකල්ටියෙන්ම හිච් වී සිටි නංගිලා දෙදෙනෙකුගේ කොකු හෙවත් පෙම්වතුන් හිටි බැවින් රෑ තිස්සේ ඉංජිනේරු පීඨයේ තල් ගස් පේළි මැද්දෙන් කොළපත් පැද්දේ අප්‍රමාණ සන්තෝසයකිනි. කොළයක් වැටෙන සද්දෙටත් හිනාවෙවී එකාට එකා මඩ ගහගෙන එන ගමන්  අක්බාර් පාලම උඩ හිටගෙන නිස්සද්ද වීම අපේ පුරුද්දක් වී තිබුණි. 

"ලෝකෙ ලස්සනටම ඉර පායන්නෙ සිරීපාදෙට. ලෝකෙ ලස්සනටම හඳ පායන්නෙ අක්බාර් පාලම උඩින් හන්තානට"

මේ වාක්‍යය දේව වාක්‍යයක් සේ ඇදහූ බැවින් හන්තාන එළිය කරගෙන යුනිවර්සිටි විහාරය උඩින් හඳ පායද්දී මහවැලිය දිව්‍ය ලෝක පාටකින් දිළිසෙමින් අක්බාර් පාලමටත් පාලම උඩ නිස්සද්දව හුස්ම ගනිමින් සිටි අපිටත් යටින් ගලා ගියේය. ඒ වෙලාවේ ගඟට උඩින් පියාඹමින් උන් වවුලන්ට වුණත් අපේ හුස්ම සද්දය ඇහෙන්නට ඇත.

තවත් දවසක  මේ විදිහටම රෑන පිටින් වළේ  සංගීත කටයුත්තක් බලා අපි එමින් හිටියේ රෑ දෙගොඩ හරියේය. එදා රෑ සිංදු කියූ ප්‍රසිද්ධ ගායකයින්ට අයිතිවාසිකම් කියමින් කසාද බඳින්නට  බයොලොජි පොරොන්දම් බලමින් ඒ උදවියගේ සෙරප්පු සපත්තු ගැන පවා වාද විවාද කරමින් කච බච  ගාමින් පැමිණි අප සමඟ වාදයට පැටළුනේ අපේ ඉංජිනේරු රූමිලාගේ බැචාලා ටිකකි. ඇත්තටම වාදය අප සමග නොවේ. බැචාලා බැචීලා අතරය. බැචීලා මේ සංගීතය අහවර වී යන දෙනෝදාහක් මැද වුවත් තනිවම යාම අනතුරුදායක බවත් මග දිගට හොල්මන් ඇති බවත් බැචාලා කියන අතර "බොරු නොකිය පලයං පාලමා..ගල් ඇන්දා" වැනි කාඩ් වලින් අමතමින්  බැචීලා ද උන්ට බැණ වදියි.

"හා එහෙනම් පලයව්කො" කියමින් හිල්ඩා එක හරියේ දී බැචාලා නැවතුණ අතර අපිද කළුවරේ ඉදිරියට ගියෙමු. දැන් ඇත්තේ අඟල් භාගයේ ස්ලෝප් එක ඇති පඩි පෙළින් යුත් සංඝමිත්තා කන්ද නැගීමයි. අවසනාවට හඳ එළිය ඇති දවසකුත් නොවේ. කාගෙවත් අතක විදුලි පන්දමකුත් නැත. පොදි පොදි ලෙස පැමිණි පිරිසුත් විසිරී අපව පසු කොට ගිහින්ය. දණිපනි ගාමින් කන්දේ බාගයක්  නැග්ගා පමණි. මීදුමත් සීතලත් අතරින් මුළු පරිසරයම කීරි ගස්සවමින් ඇසුණු අමුතු සද්දයකින් අපි ගල් ගැසී ගියෙමු. නැවත ඒ සද්දය එනවිට අපේම බයට සහ වෙව්ලිල්ලට ඒ හඬ  ඇසුණේ දෙගුණ වීය. කට්ටිය කොහොම උඩට නැග්ගාදැයි මතක නැත. එදා රෑ කවුරුත් තනියෙන් බාත්රූම් ගියේ නැත. 

ඊට ටික දවසකට පසු එදා රෑ අප සමඟ පැමිණි ඉංජන් කී කතාවක් බැචීලාගෙන්ම ආරංචි විය. 

"අරුන් ටික ඔය පණ්ඩිත කතා කියල ගියාට බයයි. අපේ එකෙක් කාඩ්බෝඩ් ෆයිල් එක රෝල් කරල කට තියල සද්ද කරා. ඒ සද්දෙට උන් ටික බය වෙච්ච පාර මිත්තා කන්දෙ බඩ ගෑවා" ඒක ඇහුව පසු කොල්ලන්ට බණිමින් ඒ අතරම බඩවල් අල්ලාගෙන අප හිනාවූ හැටි මතක් වන විට මට දැන්ද හිනා යයි. 

මේ සියල්ල මතක් වූයේ  ලියන්නට හිතුනේත් තිලකසිරි ඒකනායක නම් කෙනෙකු නිසාය. හිතවතියක විසින් ඉතා උනන්දුවෙන් රෙකමදාරු කරනු ලැබීමෙන් පසු ගොඩ වූ  ඔහුගේ 'තිලක සිත' නම් බ්ලොගය මගේ නොස්ටැල්ජික් මතකය කළඹවා පෝස්ටුවෙන් පෝස්ටුවට කඳුළු නැංවුයේය. ඔහුගේ පමාවී හමුවුණ තාත්තා නම් පෝස්ටුව කියවද්දී මා පිටරටක හිටියදී මා වෙනුවෙන්වත් පමා නොවී නික්ම ගිය තාත්තා පිළිබඳ ආදරය තුවාලයක් සේ පාරවද් දී මම ඇඬුවෙමි. පඩිපත නැති කර ගෙන ගෙදර ආ දවස ගැන කියවද්දී කසාද බැන්ද මුල් කාලයේ හිනාවෙවී දරාගත් ආර්ථික අගහිඟකම් මතක් වී තෙත් නොවුන දෑස ට කඳුළු ආවේ, එකට ආ මේ ගමනේ කිසිදාක සල්ලි මුල් කරගෙන හිත් අමනාපයක් හදාගෙන  නැති,  අප්‍රමාණ ආදරෙන් ‘අම්මා‘ කියා බිරිඳ අමතන අපේ ගෙදර එක්කෙනා ගැන සිහිවීමෙනි.  ඒ පෝස්ටුව යට දමා තිබූ කොමෙන්ටුවල ඇති හුදු සුලභ කොමෙන්ටු ස්වභාවය  ඉක්මවා ගිය ගැඹුරු සංවාද දුටු මට  ජීවිතය බෙදා ගන්නා මේ මිනිසුන් ගැන ඇතිවූයේ ඉමහත් ගෞරවයකි. පහේ පන්තියේ දේශපාලනය ගැන කියා මා හිනැස්සූ තිලක් මට මතක් කරන්නේ දහයෙ පන්තියේ දී හතරවැනි ජාත්‍යන්තරයේ සමාජිකාවක වී ලෝක විප්ලවය කරන්නට ඉටා ගැනීම හේතුවෙන් උසස් පෙළ අතාරින්නට සිටි මගෙන් තාත්තා ලෝකය ගලවා ගත් හැටිය. කුළුඳුලේ ලොකුදුව ඉපදුණ දවසේ කලබලයත්,  තාත්තා තිලක් ගේ බය නැති කළ හැටිත් ලියා  නැවත වරක් මගේ තාත්තා මැරෙන තුරුත් ඉන්පසුත්  මට ආදරය කරන හැටිත්,  එවැනිම දේවල් කර මගේ බය නැති කළ හැටිත් සිහිපත් කරවා,  මා අඬවයි. අල්විස් පොන්ඩ් එක ගැනත්  89 දී එය වටා ගසා තිබූ තරුණ ඔළු ගැනත් නොකීවාට ඊටත් වඩා කම්පාවක් දැනෙන විදිහට ‘මාරේ‘ ගැන කියයි. මට මතක් වුනේ ජිම් එකේ ගී ගයන්නට ආ කපුගේ 'හන්තානේ කඳු  දණ  ඇණ නමදින' කියන්නට කලින් අල්විස් පොන්ඩ් එකේ ඒ මතකය අලුත් කරන්නට ගොස් දරාගත නොහැකිව  වේදිකාවේදී ඉකිබින්ද හැටිය. 

තිලක් , වීරක්කොඩි සර්ට බඹරු ඇන්න කතාව මා කවදාවත් දැන සිටියේ නැත.ඒත් පුරා අවුරුදු හතරක් ඔහු පල්ලියේ ඕගනය වයද්දී මා ඒ තාලයට ගීතිකා ගැයුවෙමි. පුරා අවුරුදු හතරක් පූජාව වේලාවේදී ඔහුට කනවැල අල්ලන කෙනෙකු වී හිටියෙමි. මෙන්න සයිබර් අකුරුවලින් ඇවිත්  ඔබ බඹරු ගැන කියයි. පස්සෙ කාලෙක ප්‍රොෆෙසර් වුන ඩොක්ට වීරක්කොඩි ගැන කියයි.  තාත්තා බලංගොඩ සමණළ වැව ප්‍රොජෙක්ට් එකේ වැඩ කර (ඒ රාජකාරිත් සිවිල් ඉංජිනේරු රාජකාරිමයි) මාසෙකට දවසක් ගෙදර එනතුරු, හැතැප්ම සිය ගාණක් දුර  ඉඳන් මඟ බලාගෙන ඉඳපු දුවට , ඔබ ‘දෙව්නි තාත්තාට  ගෙදර එන්න කියන හැටි‘ කියයි. තිලක් විදුසරට ලියුව කාලය  අපි ඉස්කෝලේ යන ගමන් ඉමහත් ආසාවෙන් චානුක වත්තේගමටත් සරත් කොටගමටත් හිතෙන් ආදරය කරමින් විදුසර කියවූ කාලයයි. (ඇත්තටම තිලක්  මඟඇරුණේ කොහොමද? අපරාදෙ!) කාලය වෙනස් වුනත් අපි කවුරුත් ඇවිදගෙන ගිහින් තියෙන්නෙ එකම අඩිපාරවල් මතින්ද? කාලය හා අවකාශය බැලුවම මේවා සමාන්තර ජීවිත නොවෙයි.. ඉතිහාසයේ පුනරාවර්තනදැයි සිතෙයි.  

හැබෑ ජීවිතය මේ හැටි අපූර්වත්වයකින් යුතුව  චිත්‍රණය කරන බ්ලොග්කරුවන් මා දැක ඇත්තේ ඉතා ටික දෙනෙකි.(මට මඟහැරුණු අය සිටිය හැක.  බ්ලොග් ලෝකයේ වැඩිපුර සරන්නට ඉඩක් ලැබෙන්නේ නැති බැවිනි.)  එක් අයෙක් රෙයර් ගේට් ලියන චාර්මි සෑම් ය. අනෙක් කෙනා අති දුෂ්කර ගමක හිඳ ජීවිතය හොයමින් හිස් අහස බ්ලොගය ලියන සඳරු නම් තරුණයාය. 

තිලක් ගේ මේ හැම පුද්ගලික කතාවක් ඇතුළේම ගැඹුරු ජීවිතාබෝධයක් අපට දැනෙයි. සතුට නම් එය ග්‍රහණය කර ගත හැකි බුද්ධිමත් පාඨක  පිරිසක් ඔහුට ඉඳීමය. ලිබරල් නිදහස ගැන අදහස් ලඹ දෙන ලෝකයක ඔහු අඹු සැමි ප්‍රේමයේ සෞන්දර්යයද තාත්තලාගේ  නිහඬ ආදරය ද උත්කර්ෂයට නංවයි.ලෝක රස්තියාදුකාරයෙක් වී ඇවිදින ගමන් හමුවුණ ජීවිත ප්‍රවේශමින් විමසා අවැසි කාරණා මතු කොට මහාද්වීප යා කරයි.   කතා නොකරනවා යි කියන දේශපාලනයම සංයමයෙන් යුතුව කතා කරයි. මඟ හැර යා නොහැකි වේලු ලා ගැන  අපට මතක් කරවයි. දේශපාලනයෙන් තොර ජීවිත කොහේද?  තිලක් ඒ බව හොඳින් දනියි.වැලි ගල් යකඩ හරි විදිහට යොදා කොන්ක්‍රීට් හදන්නාක් මෙන් ඔහු  සිය නොස්ටැල්ජික් මතකයන්ගෙන් (ඔහුගේම වචන) ගැඹුරු මිනිස් සබඳතා ද කටුක සමාජදේශපාලනික  යථාර්ථයන් ද ජීවිතය කෙරෙහි ඔහු හෙලන්නාවූ නිවුණු  එහෙත් උපේක්ෂාගත දෘෂ්ටිය ද මිශ්‍ර කර අපූරු ගෙත්තමක් තනයි.අපට ඒ සංවේදිතාවන් හෝ යථාර්ථයන් මඟ හැර යා හැකිද? මට  නම් බැරිය. මන්ද තිලක් අපට අපවම මුණ ගස්වන බැවිනි. ඒ ඇතැම් විට මා පසුකොට ආ මමය. නැත්නම් මට අහිමි වූ මම ය. මම යනු,  මා වූ පුද්ගලයා  මෙන්ම මා නොවූ  පුද්ගලයා ද වෙයි. තිලක් ඒ බව දන්නා බව දැනෙන්නේ පෝස්ටුවෙන් පමණක් නොවෙයි. පෝස්ටුව යටින් ඇතිවන සංවාදවලදීත් ඒ සංයමය හැඟවෙයි. 

මම තිලක් කියනවාට වඩා කැමති තිලක කියන්නටය. එතකොට ටී බී ඉලංගරත්න මහත්තයාගේ තිලක ආපහු හමුවූවා වැනි ළඟ කමක් මට දැනෙයි. මා පොත් විචාරකයෙකු නොවන බැවින් මෙය එබන්දක්  ලෙස වරදවා නොගනු ඇති උදක්ම බලාපොරොත්තු වෙමි. මා කිසිදා තිලක දැක නැත. බ්ලොගය කියවා දවස් දෙකකි. ඒත් හෙට තිලක් ගේ 'තිලක සිත' පුස්තකාල සේවා මණ්ඩලයේ දී හවස 3 ට  පොතක් ලෙස දොරට වඩින දවස බැවින් දවසක් තුළ මේ තරම් ලියවිලි රසවිඳ නිහඬව හිටියොත් ගුණමකු කමකි. කර්‍තෘ ප්‍රකාශනයක් වන තිලකගේ පොත කියවන්නට  බොහෝ පිරිසකට ඉඩ ලැබේවා  කියාත් බිල්ඩිං පාලම්  වැඩ රාජකාරි අස්සේ තිලකට තව බොහෝ රසවත් යහපත් දේ ලියන්නට නිර්මාණාවේශය සහ හිතේ විවේකය  ලැබේවා කියාත් ප්‍රාර්ථනා කරමි. 

මතකයන් යනු වැළලී ගිය දේම පමණක් නොවේ. මේ දැන්  ඉන්නා අප යනු ඒ මතක සහ අත්දැකීම්වල  ඵලයකි. අප තබන හැම පියවරක්ම වඩා අර්ථවත් වන්නේ ඒ මතකයන් නිසාවෙනි.
**********
අවුරුදු දහයකට පසු ගිය දෙසැම්බරයේ මම අක්බාර් පාලම මත සිටගෙන සිටියෙමි. මෙවර මා සමඟ ගජයන් හෝ රූමිලා නැත. ඒ කවුරුත් දැන් දරුමල්ලන් ලබා යහපත් ජීවිත ගත කරති. බැචාලා සමඟ හිච් වූ ඉංජිනේරු රූමිලා දෙදෙනාම ඔවුන් සමඟ විවාහ වී ඇත. මගේ මිතුරිය දුර ඈත රටකය. 

ඒ වෙනුවට මගේ සැමියා මගේ අතින් මෘදුව අල්ලාගෙන හිඳියි. පේරාදෙණි ය කෙරෙහි වන මගේ නොනැසෙන නොස්ටැල්ජික් බන්ධනය ඔහු දනියි. අපි වවුල් සිතුවම් ඇඳෙන මහවැලියේ සර සරය අසමින් හන්තාන දෙස බලා හිඳිමු. 

"ලෝකෙ ලස්සනටම හඳ  පායන්නෙ අක්බාර් පාලමට උඩින් හන්තානට"  මම ඔහුට කියමි. 

******

තිලක, ඔබේ ලේඛන දිවියටත්, ඡායාරූප ගනිමින් චිත්‍ර අඳිමින් ආදරය කරමින් ඔබේ ජීවිතය ලස්සන කරන සොඳුරු සිතැත්තියටත් දෙව්නි සහ ඔවිනිටත්  සුභ පතමි!

[චිත්‍ර ඇන්දේ දෙව්නි සහ  ඔවිනි]


තිලක සිත දොරට වැඩුම ගැන තොරතුරු බූන්දියෙන්

Monday, July 22, 2013

“Like rain soaking a parched land…." -The Hungry Ghosts-Shyam Selvadurai



“Like rain soaking a parched land…." 


Selvadurai has come again … like a rain, falls on the parched land we are struggling and pretending to be living. In his fourth book ‘The Hungry Ghosts’, he carefully paints the bitterness of the land strained with the blood of humans belonged to all the minorities; ethnic, cast, religious, as well as sexual, on the fabric of the reader’s mind. 

In his own way of developing characters and incidents in such a realistic, balanced manner, Selvadurai presents the story enriched with a rich language, rather poetic this time. 

The main character, Shivan Rasaiyah, a Tamil Sinhalese mixed young man who is a gay in his early thirties recalls memories of his early Sri Lankan life as well as the time spent in Canada as a migrant. Shivan’s life that goes through the poverty in his early childhood , his possessive grandmother’s influence on him, the 1983 riots which changed his family’s life forever and most all his sexual orientation opens a door for us to see things out of the box, feel the neighbor’s pain and to accept many realities that we, as a society were denying for ages.

Selvadurai, in his naturally gifted way, discusses the life of a gay man, the discovery of his  sexual orientation, the means he uses to find romance and the deep love he finds and experiences in his frequent search. Selvadurai never lets us think that we share an experience of something different or not natural. The journey of Shiavan’s love is as natural as any person’s journey in the world. It’s full of romance, envy, agony, fear of losing, demanding, longing as well as hope and betrayal. Yet it becomes too painful and unbearable with the growing tense in Sri Lanka in the light of the given context, Mili the smart school mate with the high class cinnamon gardens background being a human rights worker and Shiavn being a half Tamil. Facing all these obstacles, in his deep and true love affair with Mili Jayasinghe , Shivan, as any other true lover in the world is ready to give up everything he has, including all the social bonds he’s tied up with. And finally, with an untimely braveness, he risks both of their lives to that need of being together . 

“What about us Shivan?” he (Mili) continued into my silence, doping his voice to a murmur. “You know the rules here. We can’t set up house like people do in Canada. Always and eternally we will be two bachelors living with our mother and grandmother. I accept the
situation because I have no choice. But are you willing to?”

“You think I haven’t considered that?” I demanded in fierce whisper. “ Don’t patronize me. Yes, I am willing to make that compromise.”

“But Shivan” Mili said in a low voice, holding out his hands in appeal, “to always lve your grandmother? To rarely sleep with me?”

“Here I am, doing this so we can be together, and this is how you treat me? With all these silly objections?”

My voice was trembling with anger, but he must have thought I was close to tears, because he touched my hand, saying “Shh, shh.” After a glance around he drew me back against his chest. “I’m sorry. I’m a terrible bugger.” He kissed the back of my neck, then released me. “I…I love you, Shivan, I know I do, and I have never said to anyone else.”

“I love you too,” I replied, my voice husky from having to hold back my emotions and speak softly. “I have been with so many men and never felt this. I want it, Mili, I want it no matter what.”

Page-177

The need of them to be together was always confronted with the cultural and political barriers gravely sharpened by Shivan’s grandmother’s complicated attachment to him which lead her to be wild enough to end up with destroying their lives. 

With Mili’s unexpected murder Shivan’s life changes forever, including his relationship with grandmother and his own family. He’s not in peace with himself anymore. Each and every step he takes and every second he spends with Michael who is now his intimate lover and lives together with him are haunted by his memories. Selvadurai, with his given talents, prudently analyses the effects of these past events over the lives of different individuals related to Shivan. 

“Later that night, when we were alone on our air mattress, I dreaded that Michael would probe further, but instead he grasped my chin, searched my face, and then let me go. He turned on his side, legs drawn to stomach, hands under one cheek, looking out at the night. I closed my eyes, vertiginous.” –Page 333

The story not only discusses about the life of Shivan but the dreadful political situation in Sri Lanka and its impact on the Tamils and the entire society. The way Tamils and poor Sinhalese were robbed by the wealthy business class in Colombo, the emerging trend of their thugs turning to politicians and the situation forced the Tamils to flee from their own land are described here with such a sincere tone. Instead of looking at the migrants as blessed , Selvadurai, in his analytical way, invites us to see the complications and hardships they went through, their inability to figure out and place themselves in a foreign land, their sufferings caused by being cut off from the roots of their beloved and the unbearable distress that most of the migrants were experiencing. 

Yet given much prominence to the victims of 83 riots, when it comes to the 30 years civil in Sri Lanka and the victims in the North Selvadurai does not emphasize much on their fate. Only the Human Rights worker Sriyani speaks out for the rights of the Tamils to stand for themselves. Except that, throughout the book, the Tamils' struggle against the injustice happened to them is seen from the eyes of Burshua class in Cinnamon Gardens; as an unwanted storm that disturbed their peaceful classy lives. 

The book is basically woven by one thread of philosophy; that one cannot escape from his or her past events no mater they are right or wrong at the time those incident took place. Ones greed for his or her own satisfaction can lead them to be blind that they take their loved ones lives as granted and at its cost, that one day they lose the most precious ones in their lives.

“And I, like that naked perethi, will find release only by offering it to another, by putting another before myself.” -Page 370

The story tells us that the suffering is born out of the anger and bitterness we have for each other and finally the only way to cross this burning river is nothing else, but forgiving. 

And yes, as we think of our loved ones who walked along all those narrow paths with us, those who remained in those long nights beside us, we say, “you are like rain soaking a parched land.” 

Thursday, February 7, 2013

චන්දරේ




ඉරක් නො නැගෙන අඳුරු යුගයක් දඩ බිමක් වූ කළුවරේ
පන්හිඳට ජීවිතෙන් පණ දී ලේ කඳුළු උඹ කවි කළේ
ගොදුරු හොයනා රුදුරු ගිනි අවි, මලක රතටයි ඉව කළේ
යදම් බිඳ ලූ පරපුරක් වෙත උඹයි රණ ගී හුරු කළේ

වැළඳ සමුගෙන නික්ම යන්නට ඉඩක් නො තැබුණු රණ බිමේ
“ඉතිං දැන් මම පිටව යන්නෙමි” , ලියා කොතැනද උඹ ගියේ 
පැතූ විදිහට හිඳිනවද අද වැතිර නිම්නෙක මෘදු ළයේ
ඇවිත් සගයින් පොකුරකට වී තනි මකන තුරු කළුවරේ

ගාලු කොටුවෙන් නික්ම යන කොට එදා රත අද නෑ ඉරේ
පාලු පාරක වැටී හමු විය ඉටි මලක් දූවිලි ගොඩේ 
මල් පිපෙන්නෑ උඹ ගිහින් යළි නො ආ සීතල නිම් තෙරේ
කොහේ හරි ඉඳ අලුත් කවියක් ලියා එවපන් චන්දරේ




චන්ද්‍රකුමාර වික්‍රමරත්න  යනු 88, 89 අරගලයේ සුවිශේෂී කවියා ය. මේ රටේ බිහි වූ එකම නිර්ධන පාංතික කවියා‘කුමාර’ බව වරක් සුනිල් මාධව ලීවේ ය. එවකට වයස විසි ගණන්වල වූ චන්දරේ කවියෙකු වූයේ ඔහුගේ ජීවිතය  සහ සටන්කාමී ප්‍රාර්ථනාවන්  අන් අය සමග බෙදා ගැනීමට  අවශ්‍ය වූ නිසා ය. සිය කටුක වූ ළමා වියේ ද අසීරු වූ යෞවනයේ ද සියලු මතකයන් සහ සුව නොවූ තුවාල පවා සහෘද මිනිස් වර්ගයා ඉදිරියෙහි එළා ලූ ඔහු එය හැඳින්වූයේ සිය ආත්මය බෙදා හදා ගැනීමක් ලෙසිනි. විටෙක කම්කරුවෙකු ලෙස, විටෙක ඉටි මල් වාස් වෙළන්දෙකු ලෙස, මාළු වෙළෙන්දෙකු ලෙස, බස්වල විරිදු කියන්නෙකු ලෙස සහ ඒ මුලු කාලය පුරා අරගලයේ උණුසුම්  සගයෙකු ලෙස, පැලුණු දෙපතුලෙන්  ලේ ගලන පෑනක් අතැතිව ඔහු මේ පොළව මත  ඇවිද ගියේය.  බොහෝ විට නො පිරුණු කුසින් නො නවත්වා ගමනේ යෙදුණු  ඔහු ඒ ගමන් අතර වාරයේ කවි, කෙටි කතා, රචනා, නාට්‍ය රංගනය ආදී විවිධ ස්වරූපවලින් සිය ආත්මය ද සියලු මිනිසුන් වෙනුවෙන් වැගිරෙන ගැඹුරු මානව ප්‍රේමය මතු නොව පීඩිතයින් උදෙසා වන අරගලය ට අවැසි ගිනියම් වූ සටන්කාමී බව ද අවුලුවාලූයේ ය. “කොයි තරම් පුංචියට වුව ඔහු අපේ විප්ලවයේ කවියා ය” යනුවෙන් පසු කලෙක ඔහුගේ සගයින් ඔහු ගැන සටහන් තබන්නේ එබැවිනි. 

අරගල සමයේ භූගත ජීවිතය ඔහුට පන්නරය දුන්නා මිස ඔහු දුර්මුඛ කළේ නැත. ඒ තරුණ නැගිටීම හිංසක රාජ්‍ය යාන්ත්‍රණය විසින්  ලෙයින් සෝදා හළ පසු පවා 91 වසරේ දී ත් ඔහු ලිව්වේ ය. ඒ කවිවල වූයේ භීෂණයට ගිල ගැනීමට නොහැකි වූ බලාපොරොත්තුව යි. අවසානයේ දී ලියූ කවිවල ඔහු තම නික්ම යාම ගැන පවා ලිව්වේ ය. සංහිඳියාවේ නිම්නයක මෘදු ළයට තුරුළුව විප්ලවයේ සොයුරන් හා එක පොකුරකට ගුලිවන දවසක් පිළිබඳ සිහිනය කවියක ඇඳ තැබුවේය. ඉන් පසු , අවසාන කවිය ද පුවත් පතකට එවා අන්ධකාරය තුළ සැඟව ගියේය. සමු නො ගෙනම යන්ට ගියේය. එපමණකි මිතුරනි.....ඉන් පසු කිසිදාක ඔහු පුවත්පත්වලට කවි එවූයේ නැත. 

එහෙත්, කොන්දේසි විරහිත ප්‍රේමයක සහ මමංකාරයෙන් තොරවූ අව්‍යාජ මානවවාදී ජීවගුණය  කැටි වූ ඔහුගේ කවි අද පවා උණුසුම් ය. ඒවා ඉතිහාසයෙන් මතින් පැන නැගී, සලකුණු නො තබා ම අන්ධකාරයෙහි ගිල්වා දැමූ ඒ දුර්ලභ අව්‍යාජ මිනිසුන් ගැන අපට බොහෝ දේ කියා දෙයි. පිරිපුන් නිවහල් මිනිස් සමාජයක් උදෙසා සටන් කිරීම යනු  අත් හළ නොහැකි අරගලයක් බව යළි යළිත් සිහිපත් කරවයි. ‍

Friday, August 10, 2012

තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...'ස' සමාප්තිය

 

වසන්තයේ අග්ගිස්සට හැන්දෑව එළඹෙයි. මේ නම් මල් පරව යාමට නියමිත හෝරාව යි. තරු පමණක් නොව සරා සඳ පවා සමු ගත යුතුය. හැම දෙයම ගොළු වෙමිනි..... හරියට කවුරුන් හෝ ඉල්ලා සිටියාක් මෙන්...

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නො නගින්න
වෙලී යුඟඳුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ සිඳී...
සිඳී නැවතී ඉන්න......

මේ වසන්තයක නිමාව සනිටුහන් වන නිමේෂය යි.

තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...

පසුගිය ජුලි 19 වැනිදා හැන්දෑවේ මහරගම යොවුන් රඟහල ප්‍රධාන දොරටුව අසල තෙරපෙමින් හයිලෙවල් පාර පුරා ඉතිරී පැතිරී ගලා යන ජන ගංගාව මැදට වී අප ද.... හරියටම 1975 ජුනි පස් වෙනිදා සවස 'ස' 300 වැනි ප්‍රසංගය පැවැත්වුණු වැල්ලවත්ත කදිරේසන් ශාලාව ඉදිරිපිට සිදු වූ දෙයම ඉන් කිහිප ගුණයකින් ගුණ වී සිදුවෙමින් තිබුණි. පැය කිහිපයක් තිස්සේ සිටගෙන සිටියද කිසිවෙකුට ඒ පිළිබඳව වගක්වත් තිබුණේ නැත. සියලු දෙනාටම වූයේ වූයේ ඒකායන ප්‍රාර්ථනයකි. ඒ අර උස මහත සිකියුරිටිලා පසුකොට ආරක්ෂක කුටිය පසුකොට රඟහල් බිමට ද එතැනින් යොවුන් රඟහල ට ද පිවිසීමේ නොතිත් උවමනාව යි. ඇතුල් කරන තුරු නොඉවසිල්ලෙන් වාද කරන ප්‍රවේශපත්‍ර හිමියන් ද සති දෙකකකට කලින් ප්‍රවේශ පත්‍ර මිළට නොගත් වරදින් තාප්පයේ ද ගේට්ටුවල ද එල්ලෙමින් සිටි ප්‍රවේශපත්‍ර අහිමි වූවන් ද ඇතුළ සිය දහස් ගණනක් සිටියේ මේ දූපත තුළ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයට උරුමකම් කියූ ඒක පුද්ගල ගී ප්‍රසංගය නොහොත් ‘ස’ ප්‍රසංගයේ සමාප්තිය අභියස ය. සියල්ලන්ට ම ඕනෑවී තිබුණේ කෙසේ හෝ රඟහලට පිවිස ඒ අසහාය ගාන්ධර්වයාගේ මධුර ස්වර අතර දැහැන්ගත වීමට ය.

ප්‍රවේශ පත්‍ර ලබා ගැන්මට නොහැකි වෙතැයි සිතද්දී ඇතිවුණ මහා ළතැවුල තාප්පයෙන් පනින්නට හැකි ක්‍රමයක් ගැන සිතන්නට දැන් දැන් සිත පොළඹවාලයි. එසේ නොවුවහොත් මේ වීදි පිරී යන්නට හඬන්නට තරම් සිතකි. නැවත විඳින්නට නොලැබෙන සෞන්දර්යයේ අවසාන නිමේෂය අහිමි විය හැකිය යන වේදනාව සිත දවයි. තාප්පයේ එල්ලුණේ නැතිනම් රඟහල් බිම තුළ ආසන අංක ලියා නැති ප්‍රවේශපත්‍ර තවමත් (නියමිත මිලට) විකිණෙන බැව් කෙසේනම් දැනගන්ට ද? (හොඳ වෙලාවට ලංකාවෙ ඉපදුණේ) නාඳුනන තරුණයෙකුට කළ අයැදීමක් අනුව ලැබුණු ඒ ප්‍රවේශපත්‍රවලට මිලක් නියම කරන්නට අපට කිසිදා නොහැකි වනු ඇත.

රඟහල් ශාලාවට පිවිසෙද් දී ප්‍රසංගය ඇරඹී තිබුණි. වේදිකාව දෙපස, පඩි පේළි උඩත් ඉඳගෙන, කොරිඩෝ පිරෙන්න හිටගෙන සිටි මුත්, හුස්මකින් පවා බාධා නොකොට දැහැන්ගත වී සිටි දහස් ගණනක් සහෘදයින් පිරිවරාගෙන වික්ටර්, ප්‍රේමකීර්ති ද අල්විස් ලියා දුන් අමරණීය මව් ගුණ ගීය ගයමින් සිටියේ ය. ‘සඳ දිය කොට- කිරි වතුරින් ... ’

70 දශකයේ තරුව

මගේ සිත අතීතයට දිව යයි. වික්ටර් වූ කලී අපේ දෙමාපියන්ගේ පරම්පරාවට පෑයූ තරුව යි. ඔවුන් ගැයුවේ ඔහු ගේ ගීත යි. එකල තරුණයින්ගේ කොණ්ඩා මෝස්තරය වූයේ වික්ටර් ගේ කොණ්ඩා මෝස්තරය වූ බෙල්ලෙන් පහළට වන්නට වැවූ කොණ්ඩය යි. මගේ පියා ඔහුගේ මිතුරන් හා ගත් භද්‍ර යෞවනයේ ඡායාරූපවල හිටියේ වික්ටර්ගේ කපාපු පළු ය. ඒ කොණ්ඩය... ඒ ඇඳුම්.. ‘මෝහෙන් මුලාවෙලා’ ‘සඳ හිරු තරු පවතින තුරු’, ‘අඩවන් දෑසින්.... ’ මගේ පියාගේ මුවග මියෙන තෙක් රැව් දුන් ඒ ගීත... අදත් අප ගොළු කරවන ඒ ගීත...

හින්දුස්ථානී රාගධාරී සංගීතය ද ජන ගීයේ නොඉඳුල් සුවඳ ද බටහිර සංගීතයේ නවමු රස තැන් ද එකට කළතා රසිකයාට දුන් වික්ටර් ගේ පළමු සහ සදාකාලික පෙම්වතිය සංගීතය බැව් ඔහු ගැන කියැවෙන ලියැවෙන ඕනෑම තැනක සඳහන් ‍වන්නකි. ‘සිහින සතක් දුටුවෙමි මම.. ’ කියා ප්‍රේමකීර්ති ඔහුගේ අතැඟිලි සප්ත ස්වරය ට බන්දවන්නේ එබැවිනි.

වික්ටර් නැගී සිට ගනියි. අතීතාවලෝකනයක යෙදෙමින් මර්වින් පෙරේරා සංගීත වේදියාණන්ව මහත් සෙනෙහසින් සිහිපත් කරන්නේ තමන් ඊළඟට ගයන්නට යන ගීය තමන් සතු නොවන බැව් නිහතමානීව සිහි කරමිනි. වත්මන් පරපුර කෘතවේදීත්වයක ලකුණකුදු නොදක්වමින් පැරණි ගායක ගායිකාවන් ගේ ගී ගයා යන්නට තනන ගමනේ කෙටි බව කණගාටුවෙන් සිහිපත් කරමිනි. මර්වින් තමන්ට නිර්ලෝභීව දන් දුන් තනුව ගැන ඔහු අපට කියයි. මර්වින් පෙරේරා ගේ තනුව සහ මීගොඩ විල්සන් ගේ පද රචනය මුසු වූ ඔහුගේ දිව්‍යමය හඬ යළි ගලා එයි.

පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා- මා හද මවා
මා හද මවා ...


මට යළිත් මගේ පියා සිහිවෙයි. තමුන් පෙම්වතුන්ව සිටි නව යෞවනයේ මේ තරම් හද බැඳි ගීයක් නොවී යයි ඔහු අපට කියා ඇත. මා ඉදිරිපිට යෞවනය පසු නොකළ පෙම් යුවළකි. තරුණයා වික්ටර් සමඟම ඒ ගීතය පෙම්වතියගේ කණට කොඳුරයි.

සැනසීම හෝ වැනසීම..


ප්‍රේමකීර්තිව යළි සිහිපත් කරමින්, සිය ප්‍රතිභාන්විත ගායනයෙන් අප විස්මයට පත් කරමින් ‘තනි තරුවේ’ ගයන වික්ටර් යළි ඉඳ ගනියි. ඊළඟට තවත් අපූරු ගීයක්.. මීගොඩ විල්සන් තරුණියක ගැන සිතා ලියුවා වන්නට ඇති මුත් වික්ටර්ගේ මේ ගීය සිහින සතක් පරිදිම සංගීත දෙව් දුව සමග ඔහු ගෙවා ආ මඟ අපට සිහිපත් කරවයි. ළමා විය ගෙවූ කඩුගන්නාවේ නිවස අසල පිහිටි සිනමා හලෙන් එකම චිත්‍රපටයේ හින්දි සින්දුව සිය වරක් අසමින් පාඩම් කොට විල්ෆ්‍රඩ් අයියා ලැක්ටෝජන් ටින් එකකට ඩෝල් ගසන විට යළි ඒවා ගැයූ යුගයේ පටන් සිය සැත්තෑ වසරක ජීවිතය පුරා සතුට හා සැනසුම ඔහුට දුන් සංගීතය ට තරම් ඔහු පෙම් කළ අන් දෙයක් වෙත් ද? චිත්‍රා, ඔහු පිය බිරිඳ දරු සතර දෙනා ගැන සොයා බලමින් ඔහු නිදහස් කොට තිබුණේ සප්ත ස්වරයේ සුඛ දෝමනස්සයන් රිසි සේ විඳ ගන්නට වන්නට ඇත.

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා


ඔව්.. ඔහුට සංගීතය වාසනාව උදා කොට දී තිබුණි. මහ මඟ යා නොහැකි තරමට ඔහු හඹා ආ ජනප්‍රියත්වය ගැන පසු කලෙක ඔහු මෙසේ කීවේය.

"තවත් ලබා ගත යුතු, ලබා ගත හැකි ප්‍රසිද්ධියක් ඇතැයි මට නොසිතෙයි. කලෙක ජනප්‍රියත්වයෙන් ම හෙම්බත් වී සිටි අයුරු මට මතක් වේ. රූප මාධ්‍ය කොහෙත් ම නොතිබුණු යුගයෙක, දිවා කාලයේ පාරක තොටක පයින් ඇවිද යාමට නිදහසක් නොතිබුණු තරමට ම ජනප්‍රියත්වයෙන් පීඩා විඳ ඇත්තෙමි."(වික්ටර් රත්නායක- මාරුතයේ මියුරු සර;ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය)

මිනිස් කටහඬට සමීපත ම භාණ්ඩය වන වයලීන වාදනයෙන් සංගීතයට පිවිසෙන වික්ටර් එයින් තියුණු කර ගන්නා ස්වර සහ සංගීත ඥානය සේම ඔහු සතු වූ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය යන ත්‍රෛගුණාංගයන් ද වික්ටර් ගේ විජයග්‍රහණයන්ට හේතුවන බව අමරදේවයන් පවසා තිබුණි. වික්ටර්ට ජය කෙහෙළි බැන්දේ ඒ මඟ හෙළි පෙහෙළි කළේ සංගීතය යි.

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා...
රන් කේළි බඳිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා...


1973 ‘ස’ ඇරඹීමත් සමඟම එවකට ගුරුවරයෙකු ලෙස දියවන්නා විද්‍යාලයේ සේවය කරමින් සිටි වික්ටර් ට පාසලට වසරක් ම පය ගසන්නට වූයේ නැත. ජීවිකාවට වඩා සංගීතය කෙරේ වූ ප්‍රේමය බලවත් වූ නිසා ය. 1974 දී ඔහු සේවයෙන් පහ කරමින් ආයතන සංග්‍රහය යටතේ ලියුමක් ගෙදරට එවා තිබුණි. එතැන් පටන් ගෙවී ගිය ජීවිතයේ ඔහු සංගීතය නිසා ම පසුකළ දුෂ්කර තැන් බොහෝ ය. සමීපතමයින් කියන පරිදි වික්ටර් යනු ‘කිව්වොත් කිව්වා’ ගණයේ පුද්ගලයෙකි. සිය සංගීත ජීවිතයේ ආත්මය ඔහු කිසිදාක නිලයට බලයට හෝ තාන්න මාන්නවලට පාවා දුන්නේ නැත. සමාප්ති උළෙලේ පළමු දිනය වන ජුලි 18 වැනිදා නෙළුම් පොකුණේ දී ජනාධිපතිවරයා තමුන් ඉදිරියේ ඉඳගෙන සිටිද්දී ඔහු සිය අදහස් ගීතයෙන් නිර්භයව නිවහල්ව කීවේය.

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම
ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ..


සැනසීම මෙන්ම ‍වැනසීමක් වෙත් නම් එය ද මෙයින් ම වෙත්වා යි සිතමින් සිය දිවියේ සෑම තත්පරයක් ම සංගීතය වෙනුවෙන් යෙදවූ නිර්භය සංගීතවේදියා....

ආසා සුන් කළ පාරාදීසයේ දෙවියා..


වික්ටර් තරුණයෙකු මෙන් වේදිකාව පුරා සක්මන් කරමින් අප හා හිනැහෙහින් විටෙක දෑස් පියාගෙන ගයයි. මේ වේදිකාව ඔහුගේ පාරාදීසය යි. ඔහුට තව වසර බොහෝ ගණනක් මෙසේ ගයන්නට හැකි බැව් ස්වරයකුදු නො වරදින ඔහුගේ හඬ පෞරුෂය සාක්ෂි දෙයි. එහෙත් ඔහු හෙට රාත්‍රියේ දී තමන් මුල්වරට 1972 ජුලි විසි වැනි දින ලුම්බිණි රඟහලෙන් ඇරඹූ ‘ස’ හි අවසානය සනිටුහන් කරනු ඇත. අවසානයට කලින් ගෙවෙන මේ සමාප්තියේ හෝරාවන්වල ඔහුට මොනවා සිතෙනවා ඇද්ද?

"සංගීතයෙන් මා ලැබූ දේ අපමණ ය. නොලැබූ දේ පිළිබඳව මසිතෙහි කිසිම දුකක් නැති අතර ලැබූ දේ ගැන ඉපිලෙන සතුටක් අද මට නොදැනේ. සෑම වියපත් වූවෙකුට ම ඒසේ දැනෙනවා ඇතැයි සිතමි." (වික්ටර් රත්නායක- මාරුතයේ මියුරු සර;ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය)

ඒ රාත්‍රියේ ඔහුට ගායනයට අත්වැල් ඇල්ලුවේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර ආදීන් පමණක් නොවේ. අමරදේවයන් ද ඔහුට අත්වැල් ගී කීවේය.

එබඳු කීර්තියක් හැරදා නිස්කලංකයකින් සහ තෘප්තියකින් මේ පාරාදීසය සිය කැමැත්තෙන් හැර යන කවුරුන් හෝ වෙත් ද? එක් පසෙකින් ඉදිරි පරම්පරා හතකට සියල් සැප හිමිව ඇති විට පවා අනුන්ගේ බත් වේල ද උදුරා ගනිමින් කඩු කිණිසි මංජුසා පවා හාරා සක්විති වන්නට පෙරුම් පුරන ජනතාවාදීන් ය. අනෙක් පසින් තමන් විසින් ම තම හදවත තුළට අතැඟිලි රුවා නොපිට හරවා ආත්මය උදුරා එළියට ගෙන එබන්දන් යන මඟට කාපට් කොට අතුරන කලාකරුවන් යැයි කියන්නවුන් ය. එවැනි අරුම දෙසක මෙය අපූර්ව අත්දැකීමක් නොවන්නේද?

අන්තිමට වික්ටර් මිතුරු සහපිරිවර සමඟ ‘අපි ඔක්කොම රජවරු’ ගායනය අරඹන විට දහස් ගණනක් ‘ස’ ප්‍රසංගවල දහස් වතාවක් සිදුවූ පරිදි රසිකයින් නැගිට අත්තල නඟමින් ඔහු සමඟම එය කියද්දී ඇසට කඳුළක් නො නැගුණ අයෙක් එතැන සිටියේ නැත.

ප්‍රසංගය අවසන ඔහුට සුභ පතන්නට රැස් වූ සියල්ලන් ඔහුගේ පා සිඹ සමු දුන්නේ පිස නොදැමූ කඳුළින් මය. දිළුම් දෙන කැළුම් ගලන කුර්තාවකින් සැරසුණු ජැක්සන් ඇන්තනි නම් හිටපු නාට්‍යකරුවා ද සංවිධායකයන් විසින් ඔහු අතපත් කරන්නට යෙදුණේ යයි සිතිය හැකි ඕකිඩ් මල් මාලයක් ද රැ‍‍ඟෙන වේදිකාවට නැඟුණේ ය. තුංග ගිරි කුළක් බඳු වික්ටර් ඉදිරිපිට කුහුඹුවෙකු වී නොපෙනී ගියේ ය.

සමාප්තිය
1973 ජුලි 20 වැනිදා ලුම්බිණි රඟහළෙන් ඇරඹූණු මුල්ම ‘ස’ ප්‍රසංගයේ සංවිධායක මණ්ඩලයේ උන් චින්තන ජයසේන 1993 පෙබරවාරි 26 ‘කොළමෙහි’ සිය මතකය අවදි කරමින් මෙසේ ලියා තිබුණි. (උපුටා ගැනීම- වික්ටර් රත්නායක:මාරුතයේ මියුරු සර ; ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය )

"‘ස’ මංගල දිනය උදා විය. එය මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන අමරණීය දිනයකි. ලුම්බිණි රඟහල කරා එතරම්ම රසික පිරිසක් පැමිණෙනවා කිසි දිනෙක මා දැක නැත. ප්‍රවේශ පත්‍ර අවසන් වූ පසු දොරවල් කඩාගෙන රසිකයෝ අතුළු වූහ. අප කිසිවෙකුට කිසිවක් කළ නොහැකි විය. වේදිකාව අද්දර සිට දෙපැත්තේ කොරිඩෝව පිරෙන්නට එක පොදියට සෙනඟ ය.

වික්ටර් වේදිකාවට නඟින විට මගේ දෑස්වලින් සන්තෝෂයේ කඳුළු උතුරා ගලා ගියේ ය. අච්චර ජන සන්නිපාතයක් සිටිය ද ‘ස’ ප්‍රසංගය පටන් ගන්නා විට මීයට පිම්බාක් මෙන් නිහඬතාව රජ කළේ ය.

ගායකයෙකු ලෙස වික්ටර් රත්නායක ‘රජ’ වූයේ එදා යයි මම සිතමි."


ඉන් දශක හතරකට පසු 2012 ජුලි 20 වනදා ‘ස’ ප්‍රසංගය සදහට ම සමාප්තිය සටහන් කළේ ඒ ලුම්බිණියෙන්ම ය.

1973 ලුම්බිණියේ මෙන්ම 2012 සමාප්ති ප්‍රසංග මාලාවේ අවසාන දිනට පෙර දින මහරගම යොවුන් රඟහලේ ද සිදුවූයේ එදා චින්තන ජයසේන අත් විඳි දෙයම ය. වෙනස වූයේ ඇරඹුමක සහ අවසානයක පරතරය පමණකි.

රස වින්දනයේ සංතෘෂ්ටියෙන් ද විප්‍රයෝගයේ වේදනාවෙන් ද ගොළුවී අප මෙන්ම ගොළුව ගිය සුවහසක් පිරිස සමඟ එතැනින් නිහඬවම නික්ම ආවෙමු. තරු පවා නිවී ගිය අහස යටින් අප ඇවිදගෙන එද්දී මොහොතට පෙර වික්ටර් ගැයූ ගීයක් සුළඟක එතී හාත්පස නින්නාද දුනි.

ලිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..


19/07/2012

 

Sunday, June 3, 2012

ආදරය, ‘Birth’ හි සිට සසර සැරි සරන තෙක්....



“ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි.”
-මනෝවිද්‍යාඥ රොබට් ස්ටර්න්බර්ග් ( Robert Sternberg)


තමුන් පෙම්කරන තැනැත්තිය කෙරෙහි ඇති අසීමිත චෛතසික සහ ශාරීරික බන්ධනය විසින් ලොව ඇති සොඳුරුතම දසුන් අප ඉදිරියේ මවා ගල් කුළු වන් මිනිසුන් පිහාටු බවට පත් කොට සුළ‍ඟෙහි පා කරවයි. අතට හසු නොවන සිතට නිවැරදිව නිර්වචනය කරගත නොහැකි නිශ්චිත ගුණාංයන් මේ යයි පැවසීමට අසීරු ප්‍රේමය ඒ සියලු අපැහැදිළි කම් නිසාම නිපන් අද්භූත සෞන්දර්යයකින් දිදුළයි. ව්‍යවහාරික මනෝවිද්‍යාඥ  Scott Peck කියන්නේ ආදරය යනු අනෙකාගේ අධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් කැප වීමට ඇති වුවමනාවන්හි එකතුවක් බවයි‍.  ඒ එකතුව තුළ ආදරය යනු  හුදු  හැඟීමක් නොවේ. එය සජීවී වූත් අඛණ්ඩ වූත් ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය දෙදෛනෙකු  බැගින් එක්ව අත්විඳින්නාවූ ‍නිමේෂයන්ගෙන් සැදුම් ලත් අසීමිත කාලයක් මේ විශ්වය දරාගෙන හිඳී. එය චිත්‍රණය කරමින් ප්‍රේමකීර්ති යළිත් වරක්   සොබා දහමේ නොකිළිටි වර්ණයන්ගෙන් ප්‍රේමය පෑ ගන්වයි.


“ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හස‍රැල් විලේ
හද දියඹ ගලායයි ‍රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ - ඔබ මගේ......”


සංසාරය සහ සසර පුරා එකම සහකරුවෙකු හෝ සහකාරියක පතාගෙන  යළි යළිත් ඉපදීම යනු ප්‍රධාන වශයෙන් බුදු දහමේ එන සංකල්පයන් ය. එය වඩා විචිත්‍රවත්ව කියැවෙන්නේ ‍ජාතක කතා හරහා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍ර හරහා ලේන කුලයේ පටන් නොසිඳී පැවතුණු  සිද්ධාර්ථ සහ යසෝදරා ගේ බන්ධනය ඇසුරිනි.  මීට පෙර ක්‍රි. පූ. නමවන සියවසින් පසු හින්දු ආගමේ ද මෙම අදහස වර්ධනය වන්නට පටන් ගැණුනු අතර තමන් කල කුසල්වලට ප්‍රතිවිපාක ලෙස යළි උපතක් ලැබෙන බැව් එයින් විශ්වාස කෙරුණි. පයිතගරස් , සොක්‍රටීස් මෙන්ම ප්ලේටෝ වැනි දාර්ශනිකයින් පවා මෙම අදහස දැරූහ. ඊට අමතරව පුනරුත්පත්තිය යනු ප්‍රධාන ලබ්ධීන්ගෙන් අවශේෂ වන පරම විඥානාර්ථවාදය ඇතුළු ආගමික කණ්ඩායම් ද සයිබීරියාව, බටහිර අප්‍රිකාව, උතුරු අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි ලොව පුරා පැතිර ඇති රටවල වසන  ගෝත්‍රික කණ්ඩායම් ද අදහන සංකල්පයකි.  


අප මේ මොහොතේ ජීවත්වන කාලාන්තරය තුළ  ප්‍රේමය වඩා සංතෘෂ්ටිජනක වන්නේ සිය පෙම්වතා හෝ පෙම්වතිය සමඟ එකට ගත කිරීම යි. එය නිමා වී තනි වූ විට ඇතිවන රික්තකය පිරෙන්නේ වඩ වඩා ඇලෙන ගැලෙන සෙනෙහසක් හා දැකුමක මාත්‍රයක් පිළිබඳ ඇතිවන වුවමනාවෙනි. සොඳුරු ස්මරණයන්ගෙනි. 


“හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙනවිට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ - ඔබ මගේ..”


ඉනික්බිතිව එළඹෙන රාත්‍රිය යනු මේ භවයක් කෙළවරව එළඹෙන තවත් එක් භවයක් බඳුය. ඒ තුළ ඇගේ දෙතොල් පෙති ලිහෙන්නේ නැත. ඇය නික්ම ගොස් ඇති බැවිනි. ඔහු සිටින්නේ තනිව ම ය. එහෙත් ආකාශ ගංගාව කලතමින් තරු පොලවට වැටෙනු පාළු මුහුදු වෙරළේ සිට ඔහු බලා හිඳියි. තරු ඔහුට සිහිපත් කරනුයේ අනෙකක් නොව පෙර දිනෙක බොහෝ වෙලාවක් නෙතින් නෙත කියවූ ඇති  ඇගේ දෑස යි. 


“මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා...” යයි වික්ටර් ගයද්දී පෙම්වතා තුළ පෙම්වතිය කෙරේ මුල් බැසගත් ගැඹුරු සෙනෙහස සහ එය ‍ඓන්ද්‍රීයව ස්පර්ශ කරන්න්ට නොලැබීමෙන් ඇතිවන නොඉවසිල්ල අසන අප තුළ ද ජනිත කරයි.  ප්‍රේමකීර්ති ගීත මාධ‍්‍යයෙන් අප තුළ දනවන ඒ සොඳුරු වේදනාව ම  බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරුවෙකු වන ජොනතන් ග්ලේzසර් වෙනත් අයුරකින් ඇමරිකානු සිනමාවට නැගූ අවස්ථාව විමසා බැලුවහොත් පැහැදිළි වන්නේ සදාතනික ආලය පිළිබඳව මිනිසා තුළ ඇති නොතිත් ඇල්ම යි.  


සීන් නම් තරුණ විය අග්ගිස්සේ සිටින පුද්ගලයෙකු පුද්ගලයෙකු සෙන්ට්‍රල් පාක් හි දෛනික ව්‍යායාම සඳහා දුවන අතරතුර නොපෙනෙන ප්‍රේක්ෂකාගාරයට යමක් විස්තර කරයි. තමන් කිසිසේත් පුනරුත්පත්තිය විශ්වාස නො කරන බවත් එය කමකට නැති වල් පල් ගොඩක් බවත් පවසමින් දිවයන ඔහු උද්‍යානය තුළ දී ම හෘදයාබාධයකට ගොඳුරු වී ඇද වැටී මිය යයි. 


Inline images 2

ඊළඟට අපට  හමුවන්නේ දස වසරක් ඔහුගේ වියෝව වෙනුවෙන් ශෝක වූ ඔහුගේ බිරිය, ඇනා(Nicole Kidman) ය. දසවන වසර අවසානයේ දී නැවත විවාහ වීමට කැමැත්ත දී ඇති ඇය සිය විවාහාපේක්ෂිත පෙම්වතා, ජෝසප් රථයේ නවත්වා  සීන් ගේ සොහොන  අසල ට ගොස් කඳුළු පිසිමින් පැමිණෙයි. ඉන්පසු  ඇනා සහ  ජෝසප්  විවාහ ගිවිස ගන්නා උත්සව අවස්ථාව එළඹෙයි.  ඊට ඇනා  ද ඇගේ පවුලේ අය ද සහභාගී වන අතර සීන් ගේ සොයුරා ද සිය බිරිය සමඟ එහි පැමිණෙයි. හදිසියේ ම ක්ලාරා එනම් සීන් ගේ සොයුරාගේ බිරිඳ මඳකට අවසර ඉල්ලමින් පිටතට ගොස් කිසියම් අඳුරු තැනක තමන් ඇනා වෙනුවෙන් ගෙනා ත්‍යාගය වළලා ඒ වෙනුවට වෙනත් ත්‍යාගයක් සූදානම් කර ගනියි. මේ සියල්ල කුඩා පිරිමි ළමයෙකු රහසින් බලා හිඳියි. ඇය පිටව ගිය පසු එතැනට යන ඔහු ඒ පොදිය සාරා ඉවතට රැ‍ඟෙන යයි.

සියල්ල වෙනස් වන්නේ දස වියැති මේ කොළුවා (Cameron Bright) ඇනාගේ මව විසින් පවත්වන  සාදයකට පැමිණ ඇනා කැඳවාගෙන ගොස් තමන් ඇගේ සැමියා (සීන්) බවත් ඇය කිසිසේත් ජෝසප් හා විවාහ නො විය යුතු බවත් පැවසූ විට ය. 

ඇනා මුලින් එය  ගණන් නො ගන්නා නමුදු පසුදා උදෑසන ඔහුගෙන් ලැබෙන ලිපිය නිසා මඳක් විපිළිසර වෙයි. මේ කොළුවා ඇත්තටම ඔහු සීන් ගේ පුනරුත්පත්තිය යයි විශ්වාස කරමින් සිටින බව ඇයට තේරුම් යයි. සිය අනාගත සැමියා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන ඇනා කිසියම් තීන්දුවකට එළඹෙයි. ඒ,  ඔවුන් මේ දරුවා සොයා ගොස් ඔහුට ඇනා පසුපස ඒම අත්හරින ලෙස කරුණු පහදා  දිය යුතු බව ට ය. ඒ සොයා ගැනීමේ දී කොළුවාගේ නම ‘සීන්’ බව ඔවුන් දැන ගනියි. ජෝසප් සහ ඇනාගේ පියා එක්ව සිය පියා සමඟ සිටින කොළුවාට  ඇනා ගැන සෙවීම අත් හරින ලෙස බල කෙරෙයි.  එය ප්‍රතික්ෂේප කරන ඔහු ඇනා ද තමන් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන බැව් වටහා ගන්නා සැණින් පොළොවට කඩා වැටෙයි.  එතැන් පටන් කුඩා සීන් යනු තම මිය ගිය සැමියාගේ පුනරුත්පත්තිය බව ඇනා විශ්වාස කරන්නට පටන් ගනියි. 


පසුදා ඇනාගේ දුරකථනයට කුඩා සීන් විසින් පටිගත කරන පණිවුඩයට සවන් දෙන්නේ ඇනාගේ මව යි. ඔහුට ඇනාව උද්‍යානයේ දී හමුවීමට අවශ්‍ය බව හා තැන ඇය දන්නා වග කී බව ඇය ඇනාට කියයි. ඇනා කෙළින් ම යන්නේ උද්‍යානයේ දී  සිය සැමියා මිය ගොස් සිටි තැනට ය. හරියට ම එතැන කුඩා සීන් ඇය එනතුරු බලා හිඳියි. ඉනු පසු ඇය නඟන ප්‍රශ්නවලට ඇය පිළිතුරු දෙයි. 


ඉන් පසු මේ ගැටළුවට මැදිහත්වන ඇනාගේ ඥාති සහෝදරයෙකු සහ වෛද්‍යවරයෙකු  වන බොබ් පවසන්නේ ඔහුට සීන්ගේ පිළිතුරු පටිගත කිරීමට අවශ්‍ය බව යි.  අසන ප්‍රශ්නවලට ඉතාම පැහැදිළිව සහ අවංකව පිළිතුරු දෙන කුඩා සීන් ඇනාගේ සහ ඔහු ඇගේ සැමියාව සිටි පෙරභවයේ ලිංගික අත්දැකීම් පවා නො පැකිළ විස්තර කරයි. පසුව ඔහුව ඇනාගේ නිවසට රැ‍ඟෙන යනු ලබන අතර  ඔහු ඒ නිවසේ බොහෝ තැන් හඳුනා ගෙන විස්තර කරයි. ඇනා හැර පවුලේ සියල්ලන් මේ සිදුවීම් දෙස බලන්නේ සාධාරණ සැකයකිනි. නමුත් එතැන් පටන් ඔවුන් මේ ගැන වධ වීමට  පටන් ගනියි. 


කුඩා සීන් සිටින්නේ තම විශ්වාසය පිළිබඳ ද්‍රෘඩතර විශ්වාසයකිනි. 


ඇනා:  “ඔබ මොනවද කරන්නෙ?”
කුඩා සීන් :  “මම මගේ බිරිඳ දිහා බලන් ඉන්නවා.” 


පසු වතාවක ජෝසප් හමු වීම පසෙක තබා කුඩා සීන් හමුවීමට යන ඇනා එයින් ජෝසප් ගේ සැකය අවුළුවාලයි. ඔහු සිත රිදවා ගන්නේ සීන් නිසා නොව ඇනාගේ අමුතු හැසිරීම නිසා ය.  එහි ප්‍රතිඵලයක් ලෙස ඇනාගේ නිවසේ උත්සවයක දී කුඩා සීන්ට හිරිහැර කිරීමට  ජෝසප් පෙළඹෙයි. සීන් ඇනාගේ නිවසින් පිටතට දිව යන විට ඔහු පසු පස යන ඇනා ඔහුගේ දෙතොල සිප ගනියි. 


කුඩා සීන් ව විශ්වාස කරන ඇනා ඔහු ව ඇගේ සැමියා ව සිටි සීන්ගේ සොයුරාට  සහ   බිරිඳ වන   ක්ලාරා ට හඳුන්වා දීමට තීරණය කරයි. එහිදී කාටත් රහසින් සීන් හා කතා කිරීමට අවස්ථාවක් ලබා ගන්නා ක්ලාරා ඔහුව තනිව හමුවීට අවශ්‍ය බව පවසයි. ඉන් පසු මිය ගිය සීන්ගේ  සොයුරා දකින කුඩා සීන් දිව ගොස් ඔහු සෙනෙහසින් වැළඳ ගනියි. 


පසුව ක්ලාරා හමුවීමට යන කුඩා සීන් ට ක්ලාරා සිය රහස හෙළි කරයි. තමන් ඔහු සීන් යයි  විශ්වාස නො කරන බවත් ඔහු සැබවින්ම සීන් නම් මුලින් පැමිණ හමුවන්නේ තමාව මිස ඇනාව නොවන බවත් ඇය කියයි. මන්ද සීන් මිය යන විටත් ඇය ඔහුගේ රහසිගත පෙම්වතිය යි. එදා රාත්‍රියේ ඇය වළ දැමූයේ ඇනා සීන්ට ලියූ ආදර හසුන් බවත් ඔහු ඒ සියල්ල විවෘත නො කරම තමන්ට ‍ගෙනැවිත් දුන්නේ තමන් කෙරෙහි ඇති ආලයේ තරම පෙන්වීමට බවත් ඇය කියයි. ඇනා කෙරෙහි වූ කෝපය නිසාම ඇගේ දෙවන විවාහයට ත්‍යාගයක් ලෙස ඒ හසුන් මිටිය දීමට තීරණය කළත් පසුව අදහස වෙනස් වූ නිසා ඇය ඒවා වළ දමා ඇත. කුඩා සීන් තමන් හඳුනා නොගත් නිසා ඇය කිසිසේත් ඔහු පෙර සිටි සීන් යයි විශ්වාස නො කරයි. විපිළිසර වන කුඩා සීන් එකම එක ඉල්ලීමක් පමණක් කර පිටව යයි. 


“ඇනාට කියන්න එපා.”


කුඩා සීන් ව සොයා ගෙන යන ඇනා පවසන්නේ ඔහු තම සැමියා බව තමන් විශ්වාස කරන බව ය. තමුන් දෙදෙනා සැඟවී පළා යා යුතු බවත් නිසි වයස එළඹුණ කල්හි තමන් ඔහු හා විවාහ වන බවත් ඇය පවසයි. නමුත් ඇය පුදුමයට පත් කරමින් ඔහු පවසන්නේ තමන් ඇයගේ සැමියා නොවන බවත් සිදු වූ සියල්ල වැරදීමක් බවත් ය. මෙහිදි අපට සිතා ගැනීමට යමක් නිර්මාණකරුවා ඉතිරි කරයි. එක් භවයකින් තව භවයකට එද්දී ඔහු ගේ අභ්‍යන්තරයේ ගැඹුරුම තැනක හිඳින්නට ඇති සිය බිරිඳ කෙරෙහි වන ආලය මිස ක්ලාරාගේ අසම්මත ප්‍රේමය පිළිබඳ ඇල්ම ඔහුගෙන් ගිලිහෙන්නට ඇත. සීන් එක්වරම ඇය ප්‍රතික්ෂේප නොකළා නම් හෝ තව දුරටත් ඔහු පෙර සිටි සීන් ම යයි ඔප්පු වූවා නම් ක්ලාරා සිදු කරන්නට ඉඩ තිබෙන විනාශය ඔහුට වැටහී යන්නට ඇත. හොඳම දෙය තමන් සීන් නොවන බව ක්ලාරාට ඒත්තු යන සේ හිඳීම යි. එක් භවයක ආදරය පිළිබඳ මතකය සහ ඇනාගෙන් සීන් වෙත පිදෙන අසීමිත මෙන්ම නොමැරෙන සෙනෙහස නොකැලැල්ව ඉතිරි කිරීම මේ භවයේදී ඇය ලබා ගන්නට ගොස් සියල්ල අහිමි කර ගැනීමට වඩා වටියි. ඇනා තම ප්‍රේමය රැවටිල්ලක් ලෙස වර නගා ගැනීමට වඩා තමන්ගේ පරිකල්පනීය ආලය තුළ සදාකාලිකව  තෘප්තිමත්ව හිඳිනු ඇතිය යන්න ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.


සීන්ගේ අනපේක්ෂිත පිළිතුර සහ ප්‍රතික්ෂේප කිරීම නිසා සම්පූර්ණයෙන් බිඳ වැටෙන ඇනා පසුව ඒ නොවන්නේ යයි  හිත හදාගෙන ජෝසප් ගේ සමාව ලැබ ඔහු හා විවාහ වෙයි. විවාහ උත්සවයේ ප්‍රීතිය අතරතුර ඒ ගැන ඇති අවධානය ගිළිහී ගොස් මුහුද දෙස යොමා ගත් හිස් බැල්මෙන් යුතුව සම්පූර්ණයෙන් අවධානය ගිලිහී ගිය ඇනා අපට හමුවෙයි. 


සියල්ල අවසන් වන්නේ කුඩා සීන් සිය අධ්‍යයන කටයුතු නැවත අරඹා ඒ අතරතුර සමාව ඉල්ලා ඇනාට ලියන ලිපියකිනි. තමන් ඇගේ සැමියා බව සිතුවේ ‘මොන විකාරයකින්’ දැයි නො දන්නා බව ලියන ඔහු සිය ලිපිය මෙසේ අවසන් කරයි. 

“මම හිතන්නෙ අපි වෙන භවයකදි ආයේ මුණගැහෙයි.”


 
*   *   *
ජොනතන් ග්ලේzසර් (Jonathan Glazer) ට  ඕනෑ වූයේ  ‘සදාතනික ප්‍රේමය’ සහ ‘හදවතේ අභිරහස’ විදාරණය කරන චිත්‍රපටයක් සෑදීමට ය. එහි ප්‍රතිඵලය වසර 2004 දී  ඉහත කතා පුවත රැ‍ඟෙන එළිදුටුවේ ‘Birth’ යන නමිනි. 21 වරක් නැවත නැවත අමුතුවෙන් ලියනු ලැබූ පිටපතකින් නිර්මාණය කෙරුණු මෙහි ප්‍රධාන චරිතය රඟන නිකොල් කිඩ්මන්ගේ සම්පූර්ණ පෙනුම වෙනස් කරන ඔහු ඇයට කෙටි කෙස් වැටියකින් සහ ‘තමන් සතු සියලු ආශාවන් සහ ආලෝකයන්  සිය කැමැත්තෙන් අත්හැර දමනු ලැබූ’ පෙනුමක් ලබා දෙයි. 


මෙවැනි පුනර් ජන්ම සංකල්ප නො අදහන බටහිර විචාරකයින් බහුතරයක්ගේ අප්‍රසාදය හිමි වුවද රූප රාමුවෙන් රාමුව දැඩි ශක්තියකින් බැඳ තබන ග්ලේzසර් ආඛ්‍යානයේ අඛණ්ඩ ගලා යාම චිත්‍රපටයේ  මුල සිටම රැකගනියි. පරිසර සාධක, අඳුර සහ ආලෝකය මනාව යොදා ගනිමින් සිද්ධීන් ගලපයි. ඇනා සහ කුඩා සීන් උද්‍යානයේ දී හමුවන මොහොත ඊට කදිම නිදසුනකි. 

සියළු චරිත මනාව ගොඩ නඟමින් ඔවුන්ගේ චිත්‍යාභ්‍යන්තර භාවයන් අපූර්ව ලෙස ඉදිරිපත් කරයි. මුල දී දෙලොවක් අතර විපිළිසර වන ඇනා පසුව තම සිතැඟි හෙළි කරයි. 


Anna:  “I really hoped that he was Sean. I ‘wanted’ him to ‘be’ Sean. ......”


ඇනා: “සීන් වෙන්න පුළුවන් කෙනෙක් මට මුණගැහිල තියෙනවා. මට ඇත්තටම අවශ්‍ය වුනේ ඔහු සීන් වෙන්නයි. මට ඕනෙ වුණා ඔහුව සීන් විදිහට දකින්න. මෙතන වැදගත්ම දේ තමයි මම ආයෙත් සීන් එක්ක ආදරෙන් බැ‍ඳෙන එක. ඒකයි සිද්ධ වෙන්නෙ.”


Inline images 3


කිසිදා නිමා නොවන පරම වූ ප්‍රේමයක් පිළිබඳ මිනිසා සතු ඇල්ම මරණයට පවා විනාශ කළ නොහැකි බව ග්ලේසර් එසේ සිතුවම් කරද්දී  සිහියට නැ‍ඟෙන්නේ සංසාරය පුරා එක්ව ආ මඟ බිඳී ගිය ක්ෂණයක දී එකිනෙකා ඇසුරෙහි ගෙවා  දැමූ,  එකිනෙකා තුළ ගොඩනැගුණු යුග ගණන් පිළිබඳ ප්‍රේමකීර්ති ලියන අයුරු ය.  

“යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ - ඔබ මගේ....”

 

එලි‍නෝර්: “ඔබ ඔය දන්න දේවල් කොහොමද දන්නෙ?”
කුඩා සීන් : “මම සීන්”


“මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා” යනුවෙන් කියවෙන්නේත් එය ම නොවේද? 


බොහෝ කල් ගත වී එකම ඉර හඳ යළි හමුවෙද්දී කයින් ද සිතින් ද ඒකාත්මික වූ දෙදෙනා බොහෝ දුරස්ව ඇත. කුඩා සීන්ට සිය වයස බාධාවකි. ඔහුගේ සංජානනයන් අනෙකුන්ට පිළිගැනීමට සැලැස්වීම අසීරු කාර්යයකි.  අනෙක් අතට ඇනාට යටි සිතින්  අවැසි ඔහු සීන් ම වීම ය. ඇනාට කරදර නො කරන ලෙස මුල්වර ඉල්ලන අවස්ථාවේදී එය දරා ගත නොහැකිව ඔහු බිඳ වැටීම ඇය කම්පනය කරවයි. ඇය නැවත නිවෙසට ආ පසු ඒ ගැන කියන්නේ වේදනාවෙන් මිරිකෙමින් වෙව්ලන කටහඬිනි. 


Anna: Then he…… 


           he……. 

           Collapsed!

“අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....”


වික්ටර් ඒ ශෝකයෙන් වෙව්ලන ස්වරයෙන්ම ප්‍රේමය අහිමි වීමේ ඛේදනීය බව  “මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා” යනුවෙන්  ගයයි. 


ආදරය සහ සබඳකම් ගැන කොතෙකුත් නිර්වචන තිබුණද කවර දෘෂ්ටිවාදයකින් ඒවා විග්‍රහ කළ ද සදාතනිකව පවතින ආදරයක් ගැන නිධන්ගත වු වුවමනාවක් සියල්ලන් තුළ ඇත. පුනරුත්පත්තිය නො අදහන, මෙබඳු  පාරභෞතික  විග්‍රහයන්ගෙන් සහ ආගමික මතවාදවලින් බැහැර අය පවා චිත්‍රපටයට වසඟ වන්නේ ද ශ්‍රාවකයින් ප්‍රේමකීර්තිගේ “සසර සැරි සරන තෙක් ඔබ මගේ” මෙතරම් හද ගැඹරෙහි බහා තබා ගෙන හිඳින්නේත් ඒ නිසාමය. 


“ආදරය සිල්ල අභිබවන්නේ ය”යි  රෝම මහා කිවි වර්ජිල් කීවේ එනිසා  වන්නට ඇත. 


ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හස‍රැල් විලේ
හද දියඹ ගලායයි ‍රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ......

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙනවිට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් ‍රැල් වැදී සැලෙනවිට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා

ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....
 

අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය:වික්ටර් රත්නායක


ගීතය අහන්න.


ආශ්‍රිත මූලාශ්‍ර:


Saturday, May 5, 2012

ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය



"By the river Piedra I sat down and wept. There is a legend that everything that falls into the waters of this river—leaves, insects, the feathers of birds—is transformed into the rocks that make the riverbed. If only I could tear out my heart and hurl it into the current, then my pain and longing would be over, and I could finally forget."
–By the river Piedra I sat down and wept (1994). Paulo Coelho


ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි. ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති. ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හි‍ඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය.

‘මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ’


සිය ඇඟිලි අතරින් ගිලිහි ගිය වසන්තය ද එහි මතකයන් ද ස්මරණය කරමින් හදවතින් ගිලානව වැළපෙන පෙම්වතෙකු තම හිස් බව වදනවලින් සිත්තම් කරන්නේ එසේය. ෂෙල්ටන් පෙරේරා සතු අසහාය කට හඬින් පණ ලැබූ මේ ශෝකයේ ගීතය 60, 70 දශකයේ තාරුණ්‍යය ද එතැනින් නොනැවතී 21 සියවසේ සියලු පරම්පරාවන් ද ස්පර්ශ කරන්නේ ඒ සතු සජීවී බව නිසාම ය.

සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යයේ කවියෙකු වන හැරල්ඩ් මුන්රෝ (1879 – 1932) සිය ‘Solitude’ නම් කාව්‍යයෙහි එක් තැනක මෙසේ ලියයි.

"Silence is scattered like a broken glass.
The minutes prick their ears and run about,
Then one by one subside again and pass
Sedately in, monotonously out."


තනිකම තුළ බිදුණු වීදුරුවක් පරිද්දෙන් විසිර පැතිරී කටු අනින නිහඬ බව එසේ විස්තර කරන ඔහු කවිය අවසන් කරන්නේ මෙපරිද්දෙනි‍.

‘You bend your head and wipe away a tear.
Solitude walks one heavy step more near.'


‘ඔබ හිස බිමට බරකොට කඳුළක් පිසින විට
හුදෙකලාව තවත් බර අඩියක් තබා ඔබට ළංවෙයි... ’


ඒ හුදෙකලාව ගැනම ලොව පෙරදිග කෙළවරේ හිඳ ප්‍රේමකීර්ති මෙසේ ලියයි.

''සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ''


වියෝගය තුළින් අහිමි කරන ලද මිහිර පතා ඔහු වැළපෙයි. හරියට සරගෝසාවේ පිලාර් පියෙද්රා ගඟබඩ හිඳ සිය ළමා කල මිතුරා හෙවත් පෙම්වතා ගැන වැළපෙන්නාක් මෙන් ම...

සිය ළමා කාලයේ මිත්‍රයා වසර දහ නවයකට පසු හමුවන විට ඔහු තව දුරටත් ලැජ්ජාශීලී කොලුවෙකු නොව, දෙවියන්ගේ ස්ත්‍රී ස්වභාවය සොයමින් සිටින, රෝගීන් සුව කිරීමේ ආශිර්වාදය ලබා ගත් අන්‍ය භාෂා කතා කරන, දේශන පවත්වන අයෙකු බව ට පත්ව ඇති බව දකින පිලාර් මුලින් විස්මයට ද පසුව ඉමහත් ප්‍රීතියට ද පත්වෙයි. ඔහු තමන්ට පෙම් කරන බව ඉතා සරලව කියද්දී මුලින් එය නොකතා හැරියද ඔහුගේ සුවිශේෂත්වය වටහා ගන්නා ඇය ඔහු අත්දකින දේව සබඳතාව මඳින් මඳ අත්දකින්නට පටන් ගනියි. දැන් ඇයට අවශ්‍ය ඇය පෙම් කරන තැනැත්තා වෙනුවෙන් සටන් කිරීමට ය. ඒ සටන තවත් ගැහැනියක සමඟ නොව දේව මෑණියන් සමඟ හෙවත් මිතුරා ගේ කැරිස්මා සම්ප්‍රදායට අයත් බැතිමතුන්ගේ විශ්වාසය පරිදි දෙවියන් වහන්සේගේ ස්ත්‍රී රූපය සමඟ ය. මේ දේව අභිරහස තුළට ඇද වැටෙන අතර ම ඇය වටහා ගන්නේ තමා ඔහුට මෙන්ම ඔහුගේ කැඳවීමට ද ප්‍රේම කරන බවයි. තමා ඔහු සමඟ එක්ව දුක් විඳින්නට ද දෙවියන් හා මිනිසුන් වෙනුවෙන් කැප වීමට ද සූදානම් බව යි.

ඇය එසේ මනසින් සූදානම් වෙද්දී වසර දහ නවයක් තිස්සේ පිලාර් සිය සිතෙන් අත් හැරීමට ආශ්‍රම ගානේ ගොස් ඵලක් නො ලද මිතුරා ඇය වෙනුවෙන් සිය සුවිශේෂී කැඳවීම ද ප්‍රාතිහාර්ය තුළින් රෝගීන් සුව කිරීමේ හැකියාව ද අත්හැරීමට නිහඬව ම තීරණය කරයි. සියල්ල පුපුරා යන්නේ එම තීරණය පිලාර් ට දැනුම් දෙන මොහොතේ දී ය. ඔහුගේ ශුද්ධවරබව සහ එහි කොටස්කාරියක වීමේ සියළු සිහින බිඳ වැටෙද්දී ‘සියල්ල විනාශ කලේය’යි ඇතිවන වරදකාරී හැඟීමෙන් සුණු විසුණු වන පිලාර් සිය පෙම්වතා හැරයයි. අත් හැරීමේ මොහොත පැමිණ ඇති බව වටහා ගන්නා ඇය පියෙද්රා ගං ඉවුරේ හිඳගෙන අධික ශීතලට තම ජීවිතය මුදා හරින්නට තීරණය කරයි.

ශිශිරයේ කටුක අතුල් පහරින් ද වියෝගයේ අප්‍රමාණ වූ වේදනාවෙන් ද පීඩනයට පත්වන පිලාර් සිය ප්‍රේමය ද මතකයන් ද දෛවය විසින් තමන්ගෙන් අහකට ඇද ගනු ලැබූ දිව්‍යමය පෙම්වතා වෙනුවෙන් ද වැළපෙයි.

පාවුලෝ කොයියෝ ඒ විප්‍රයෝගයේ දඬුවම සිතුවම් කරන්නේ ‍මෙසේ ය.

"පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මේ ගංදියට පතිත වන - තුරුපත්, කුරා කුහුඹුවන්, කුරුළු පිහාටු- ඈ සියල්ලක්ම ගංපත්ල සුසැදි පාෂාණ බවට ම පත්වන්නේ යයි පුරාවෘත්තයක් වෙයි. මගේ හදවත මුලිනුදුරා මේ දියවැළට වීසි කර දමන්නට මට හැකි විණි නම්, එවිට මගේ වේදනාවන් සහ අධිකතර ලාලසාවන් නිමා වී අවසානයේ දී සියල්ල අමතක කර දමන්නට මට හැකිවේවි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. සිසිර සුළඟින් සීත මා කොපුල්තල මත වූ කඳුළු බිඳු මා අතැර යන යන දියවරට පතිත වේ. කොහේදී හෝ මේ ගඟ තවෙකක් හා එක් වී , ඉනිඳු නො නැවතී මගේ හදවතින් සහ පේන මානයෙන් එපිට ඉසව්වකදී මුහුද හා මුසුවේ. යම් දිනෙක මා, මගේ පෙම්වතා වෙනුවෙන් හැඬූ බව කිසි දිනෙක නො දැනෙන තරම් දුරකට මගේ කඳුළු බොහෝ ඈතක ඇදී යාදෙන්. පියෙද්රා ගඟත්, ආශ්‍රමයත්, පිරනීස් හි දෙව් මැඳුරත්, මීදුම සහ අප එක්ව ඇවිද ගිය මංමාවත් සියල්ලත් මට අමතක කළ හැකි තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්.

කිසිදිනෙක සැබෑ නොවන මගේ සිහිනයෙහි මං මාවත් , කඳුවැටි සහ කෙත් බිම් මගේ මතකයෙන් මැකී යයි නම්...

යමෙකුගේ ජීවිතය සහමුලින්ම වෙනස් කළ හැකි ඔව් හෝ නැහැ යන තීරණ ගැනෙන , ඒ, මගේ ජීවිතයේ ඉන්ද්‍රජාලික නිමේශය මට මතකය. දැන් එය සිදු වී බොහෝ කල් ගත වී ඇතිවාක් මෙන් මට දැනේ. මගේ පෙම්වතා නැවත හමු වී ඔහු මට නැවත අහිමි වූයේ පසුගිය සතියේ තරම් මෑතක වීම විශ්වාස කිරීමට පවා අපහසු ය.

පියෙද්රා ගංතෙර හිඳ මෙපුවත ලියමි. මා දෑත් සීතයෙන් දරදඬුව දෙපා හිරි වැටී , සෑම මොහොතකම මෙය නැවැත්වීමේ අවැසියාවෙන් මා පෙළෙයි.

"ජීවත් වන්න. ස්මරණයන් අයිති අතීතයට යි." ඔහු කීවේය.

ඇතැම් විට ආදරය අකාලයේ අපව වියපත් කරයි. නැතිනම් තාරුණ්‍යය දැනටමත් ගෙවී ඇත්නම්, ආදරය අපට එය ලබා දෙයි. නමුත් මා කෙසේ නම් ඒ නිමේෂයන් අමතක කරලන්නද?"


(උපුටනය- By the river Piedra I sat down and wept හි සිංහල පරිවර්තනයෙන්)

කොයියෝ සිය පොතේ පළමු පරිච්ඡේදය අවසන් කරන්නේ මෙසේ කියමිනි.

"හැම ආදර කතාවක් ම එක වගේ."
ඉදින් මේ ප්‍රේමය නම් වන සාර්වත්‍රික ප්‍රපංචය සැමෙකෙකුගේම ජීවිතවල යුගයක් නියෝජනය කරයි. ඒවා හුදු නිමේෂයන් නොවී ඔවුන් පෙර නොසිටි මිනිසුන් හා ගැහැණුන් බවට පත් කරයි.

"දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ..."


ගීතයේ ස්ථායි කොටස සහ පළමු අන්තරා කොටසට වඩා ඉහළ ස්වර පරාසයකින් ගැයෙන්නේ වේදනාව තීව්ර කරමිනි. අතීතය යනු යනු ම සොයමින් සොයමින් ගෙවා දැමූ නිමේෂයන් හි එකතුවකි. එතෙකුදු එය වසන්තය ම විය.

ඒ වසත්කල ගෙවෙද්දී නිම වූයේ හිරු බඳුව සඳු බඳුව තාරකාවක් බඳුව ‘උදාවූ ‘ සෙනෙහසකි.

සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ...


ගීතයේ අපූර්වත ම තැන ද පරිපාකය ද මෙයයි.

මධ්‍යධරණී මුහුදින් එතෙර ස්පාඤ්ඤයේ පිලාර් ශිශිරයේ ශීතයට සිය සමස්තය මුදා හරිද්දී ඒ හේතුව නිසාම ඉන්දියන් සයුර මැද දූපතක වසන පෙම්වතෙකු ප්‍රේම දාහයෙන් තැවෙයි. එය තෝමස් මුවර් කවියා (1779 – 1852) වරක් ලියූ පරිදි ‘වසන්තයේ අවසාන රෝස කුසුම’ යි.

‘ලිය මඬුළු තුරු සිරස එපා මල් පළඳින්න
වසන්තය නිමාවිය කොවුළනේ ගොළුවන්න
සොබා දම් නෑසියනි සැලී- සැලී කම්පා වන්න’


යනුවෙන් කුමාරදාස සපුතන්ත්‍රී ප්‍රතිවර්තනය කරන්නේ ද එයම ය. (ගැයුම- වික්ටර් රත්නායක)

වියෝගය අවසන නො ලියූ අවබෝධයක් ද වන බැව් අප අමතක නොකළ යුතුය. භීතීන්, සංශයන් සහ වැළපුම්වලින් යටපත් කරන ලද ‘පරිත්‍යාගයේ ආදරයට’ දොරක් විවර කර ගත යුතුය. ඉඳුරාම ආදරය කිරීම තුළ හිමිවන සංතෘප්තිය තුළ අහිමි වීමේ බියක් කොයින්ද? ප්‍රේමය හුදු භාවයන් ඉක්මවා ගොස් ලොව අභිබවයි. "පියෙද්රා ගඟබඩ හිඳ..." කෘතියෙහි කතුවර සටහනේ කොයියෝ මෙසේ ලියයි.

"At some point, we have each said through our tears, "I'm suffering for a love that's not worth it."


‘යම් තැනකදී අපි හැම කෙනෙක් ම කඳුළු අතරින් මෙසේ පවසා ඇත්තෙමු. "මං ආදරය වෙනුවෙන් ඒකට නොසෑහෙන තරම් විඳවල තියෙනව"මෙසේ අපට ලැබෙනවාට වඩා වැඩිපුර අප විසින් දෙන බව අපට හැ‍ඟෙන නිසාවෙන් අපි විඳවන්නෙමු. ....

නමුත් අන්තිමේ දී මේ විඳවීමට තේරුමක් නැත. මන්ද සෑම ආදරයක් තුළම වර්ධනයේ බීජය රැඳී ඇති බැවිනි. ... ’
(By the river Piedra ... හි කතුවර සටහනේ පරිවර්තිත කොටසක්)

මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය සහ සංගීතය: ෂෙල්ටන් පෙරේරා
පසු ගායනය: සතිෂ් පෙරේරා

[ගීතය අහන්න ]

ආශ්‍රිත ග්‍රන්ථ, පද්‍ය:

•‘By the river Piedra I sat down and wept’, 1994, Paulo Coelho
•පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුණෙමි, 2005, පාවුලෝ කොයියෝ (සිංහල පරිවර්තනය :අනුෂයා කොල්ලුරේ සහ පියල් ජයරත්න)
•The Last Rose of Summer by Thomas Moore(1779 – 1852) - කාව්‍ය
•Solitude by Harold Munro (1879 – 1932) - කාව්‍ය


සටහන:
පසුගිය දිනෙක සතිෂ් පෙරේරා මිය ගියේය. පියාගේ ගීත පුතුන් ගැයීම එතරම් අනුමත නො කෙරෙන වාතාවරණයක පවා රසිකයින් ෂෙල්ටන් පෙරේරාගේ, මිල්ටන් පෙරේරාගේ, සී. ටී. ගේ හෝ එම්. එස්. ගේ ගීත ගයන පුතුන් ට කැමැත්තෙන් සවන් දුන්නේ ජෝති ගේ මෙන් ම යළිත් කිසිදාක සජීවී ව නෑ‍සෙන්නට ඉඩ තිබූ ඒ හඬවල්වලට පුනර්ජීවය දුන් නිසාවෙන් වන්නට ඇත. එමෙන්ම මුල් ගීතයට හානි නොකොට සමාන හඬකින් ගායනය කිරීම ද ඊට හේතුවන්නට ඇත.

මට යමක් කමක් තේරෙන කාලය යනු අපේ තාත්තා එවකටත් සිය මිතුරන් සමඟ ආලින්දයේ ගී ගැයූ යුගය යි. වික්ටර්ගේ බොහෝ ගීත ද ෂෙල්ටන් පෙරේරාගේ හා ‘ඇස රැඳුණු රැඳුණු තැන්වල’ වැනි මිල්ටන් පෙරේරා ගේ ගීත ද ඔහු නිරන්තරයෙන් ඇඳ වියලට තට්ටු කරමින් ගැයූ ‘ඇගෙ සිනහව තහනම්’ වැනි චන්ද්‍රකුමාර කඳනආරච්චිගේ ගීත ද මර්වින් පෙරේරාගේ ගීත ද එම්. එස්. ගේ ‘මරීනා මරීනා’ ද මට මුලින් ම ඇසුණේ එහෙම ය. ප්‍රේමකීර්ති සතු වූ අසාමාන්‍ය සෞන්දර්ය ප්‍රතිභාව ලියකම් කෙරෙන ‘කතරක තනිවී’, ‘මල් ලියකම් රැඳි’, ‘මේ නගරය’, ‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්’ , ‘සඳ කැන් වැසිලා’, ‘තනි තරුවේ’ මෙන්ම ‘මිහිරැති වසන්ත කාලේ’ වැනි ගී වලින් මහා මාර්ග නිල නිවාසයක් වු අපේ නිවහනේ රාත්‍රී කාලයන් ආනන්දමත් වූ අවස්ථා චිත්‍රයක් මෙන් මා මනසේ ඇඳී ඇත.

මා ‘මිහිරැති වසන්ත කාලේ’ තාත්තාගෙන් පසුව ඇසුවේ සතිෂ් පෙරේරාගේ හඬිනි. අපට කලින් පරම්පරාව එය රස වින්දේ ෂෙල්ටන් පෙරේරාගේ හඬිනි. අද එහි රචකයා ද ගායකයා ද පසුව එය ගැයූ ඔහුගේ පුතු ද අප අතර නැත. මේ ගීතයට අසීමිතව ඇළුම් කළ අපේ තාත්තා ද අප හැර නික්ම ගොසිනි. එහෙත් ගීතය අද ද අප අතර ජීවත් වෙයි. ඒ ගෙවා නිමා කළ යුගය නැවත ජීවත් කරවයි. හෙට අපේ පරම්පරාව නික්ම ගිය පසු ද එය එසේම වනු ඇත.

Monday, February 21, 2011

දෙවිවරුන්ට එරෙහිව ප්‍රේමය වෙනුවෙන්...


නිමිත්ත: සුභද්‍රා ජයසුන්දර ගේ "පැන්ඩෝරා"

පැන්ඩෝරා

පසින් නැඟ සුපුෂ්පිත කුසුම් ගත රඳන්නී
මායාවි ප්‍රකෘතිය සඳුන් තුර වන්නී
ආලෝක වර්ෂයක කිඳීගෙන
ජීවයම ගෙනියන්න හැකිවාට
පාශයේ බැඳුණු ශාපය ඇයයි
පුරුෂයින් දඬුවමේ බඳින්නී

රහස් හදවත රහස් ඉසියුම්ව රකින්නී
දණ නමමි අවනතව නුඹ නිසා කියන්නී
අහෝ මැය ඉළ ඇටයෙන් මැවුණ
ඒවා ද නුඹ සිතයි
ඉතින් නුඹ සදහටම ලුහු බඳියි

නුඹෙන් ඉපදී නුඹ ම පතන්නී විනම් ඇය
කෙලෙස දඬුවම් රැගෙන වඩින්නී
පසින් නැඟ පස නසා සදාකාලික වෙමින්
ජීවයම ගැබ පුරා දරන්නී

නාභිගත නාභියක ප්‍රේමයෙන් ගැට ගසා
අංශුවෙන් අංශුවට තනන්නී
වේදනාවේ ගිලී අංශුවට නැසෙන තුරු
ඇය ම වේ හද බැඳුම් සිඳින්නී

එසේ වුව මා තැනූ දෙවිඳුනී
මා ගෙනා ගින්දරට මම ම කපු සපයමී
ආකාස ගංගාව ගුගුරවයි
දේව නියමය නසා
සැබෑවට මිනිසෙකුට ලංවෙමී.

-සුභද්‍රා ජයසුන්දර-

ලෝක සාහිත්‍යය තුළ ස්ත්‍රීත්වය පිළිබඳ බිහිවි ඇති නිර්මාණ බොහෝය. ඒවා විවිධ මාන වලින් ද්‍රෘෂ්ටි කෝණ වලින් ගැහැණිය හා ස්ත්‍රීත්වය විග්‍රහ කරයි. ඒවායේ පදනම් විටෙක ආගමික වන අතර තව විටෙක සංස්කෘතිකය; තවත් විටෙක නූතන ස්ත්‍රීවාදී අදහස් වලින් පෝෂිතය. සුභද්‍රාගේ මේ කවිය දැකිය හැක්කේ සංස්කෘතිය හා ආගම මත පදනම්ව ගොඩ නැගුණු ශිෂ්ටාචාරය ඓතිහාසිකව බිහි කළ ස්ත්‍රියගේ ප්‍රතිරූපය ට ආගමික සංකේත භාවිත කරමින් කරන අභිමුඛ වීමක් ලෙසිනි. 

බයිබලයට  අනුව සේම ග්‍රීක සාහිත්‍යයට අනුව ද මිනිසා ද මිනිසා ගේ සහයට ගැහැණිය ද මවන්නේ දෙවියන් විසිනි.  යෙහෝවා පිරිමියාගේ ඉළ ඇටයකින් ඊවා හෙවත් ලොව ප්‍රථම මනුෂ්‍ය දුව පාපයෙන් තොරව මවන විට සියුස්  මැටි වලින් සැදූ ලොව ප්‍රථම ගැහැණියට පැන්ඩෝරා ට දෙවිවරුන් සතු සියළු හැකියාවන්ද සෝබාවන් ද කිසිවකටත් වඩා කුතුහලය ද දුන්නේය. ඒ සමගම මිනිසාට දඬුවම් පිණිස සියළු නපුර පිරවූ මංජුසාවක් ද දුන්නේය. බයිබලයට අනුව  සර්පයා හෙවත් පාපයේ දූතයා ට ආදම් ද ඒ පවට ඇඳා ගන්නී ඊවාය.

උන්වහන්සේ  ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක:
“නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විළි රුදා ඇතිව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහිය. එහෙත් නුඹේ ආශාව සැමියා කෙරේ වන්නේය. ඔහු නුඹ පාලනය කරන්නේය.”
උත්පත්ති 3:16

විවෘත නොකරන ලෙස අණ ලද මුත් කුතුහලයෙන් මඬනා ලදුව සියුස්ගේ මංජුසාව විවෘත කර ලෝකයට වේදනාව ද අඬ දබර ද ලෙඩ රෝග ද පතුරන්නි පැන්ඩෝරාය.  මේ අනුව දුක ද පාපය ද මිනිසා වෙත රැඟෙන එන්නී ගැහැණියයි.

Pandora (the very first woman who was formed out of clay by the gods) opened the pithos (storage jar) which Zeus had given her as a wedding present, and released the swarm of evil spirits trapped within. They would ever afterwards plague mankind.- ග්‍රීක සාහිත්‍යය

එනයින් ගැහැණියගේ ගමන ඇරඹෙන්නේම සමස්ත මානව වර්ගයාගෙන් දෙස් ලබන්නිය ලෙසිනි.

ධනේෂ්වර ආර්ථිකයක සංස්කෘතිමය උපරි ව්‍යුහයේ උපාංගයන් වන සියලු ආගමික සංස්කෘතීන් හෝ දාර්ශනික මානයන් විමසා බලද්දී  ගැහැණිය සාහිත්‍යයේ දී හෝ ‍ඓන්ද්‍රිය ලෝකයේ දී පිරිමියාට ඉහළින් තැබෙන්නේ නැත. ඇය ඔහුගෙන් නිමැවෙන අතර ඔහුට අතවැසි වීම ම ඇගේ යහපත් කම පිළිබිඹු කරයි. මව් තනතුරෙහි ලා පසු කලෙක ඇය මුදුන් මස්තක කරන ලෝකයම අන් සියලු තැන හිදී ඇගේ වරදම සොයයි. ඉදින් ඇය පිරිමියාගේ දඬුවමයි.

“ග්‍රීක සමාජයේ කාන්තාවට හිමි තැන ඉතා පහත් එකක් විය. ගැහැණියගේ ප්‍රධාන කාර්යය වූයේ දරුවන් ; විශේෂයෙන් පිරිමි දරුවන් හැදීමයි.”  - ප්ලේටෝ (427-347 ක්‍රි.පූ.)

ප්ලේටෝ සිය නිරීක්ෂනය එසේ සටහන් කරද්දී ඇරිස්ටෝටල් දේව නීතිය ස්වභාවික රීතිය සමග මෙසේ ගළපයි.
“ගැහැණිය පහත් වන්නේ කිසියම් දොසක් හේතුවෙනි. “ඔවුහු ස්වභාවයෙන්ම දෝෂ සහිතය” මන්ද ඔවුන්ට සම්පූර්ණ මිනිසෙකු තැනිය හැකි  ශුක්‍රාණුවක් නිපදවිය නොහැකි බැවිනි. ගැහැණියක හා මිනිසෙකු සංවාසයේ යෙදෙන විට පිරිමියා මිනිස් ජීවිතයක් සඳහා අවශ්‍ය සාධක ලබා දෙයි. (උදා: ආත්මය, හැඩය). ගැහැණිය හුදෙක් පෝෂණයෙන් පමණක් දායක වෙයි.”

ඇරිස්ටෝටල්ට අනුව මිනිසාට ගැහැණිය පාලනය කළ හැකි වන්නේ ඔහු සතුව අසීමිත බුද්ධි මහිමයක් ඇති නිසාය. මෙය මිනිසා මත රඳා පවතින ගැහැණියට ද යහපත උදා කරයි. හරියට මානවයින් හා හීලෑ සතුන් අතර ඇති සම්බන්ධය මෙනි.

අප ඇරිස්ටෝටල් ගේ කියවීම තුළ වටහා ගත යුතු දෙය වන්නේ ඔහු අවධාරණය කරන කරුණ වන “ස්වභාවයෙන්ම දොස් සහිත” යන්නයි. ඔහු එය ජීව විද්‍යාත්මක කරුණක් පදනම් කර ගැනීමෙන් ස්වභාවික රීතියකට අනුව විග්‍රහ කරයි.

සුභද්‍රා ඓතිහාසික ඊවාගෙන් සහ පැන්ඩෝරා ගෙන් ස්ත්‍රිය විග්‍රහ කළ ද එය නූතන ස්ත්‍රීවාදී විග්‍රහයකින් වෙනස් වෙයි.

ස්ත්‍රීවාදී සාහිත්‍ය ධාරාවේ ධාරාවේ දිදුළන කිවිඳියක වන මායා ඇන්ජලෝ සිය කවිය යොදවන්නේ මේ සාම්ප්‍රදායික ගැහැණියට සමාජයෙන් හිමි කර දී ඇති ප්‍රතිරූපයට එරෙහිවය. ගැහැණිය නිරන්තරයෙන් පාගා දමන්නට තැත් කරන පුරුෂ අධිකාරියට එරෙහිවය. ඇගේ Phenomenal Woman නම් ලෝ ප්‍රකට කවියෙන් ඇය ගැහැණියගේ රූමත් බවට සලකන නූතන සමාජය ධෛර්යවන්තව ප්‍රශ්න කරයි. සිය ස්ත්‍රී ශරීරය තුළ සැඟව ඇති පුද්ගල  ලක්ෂණයන් සහ ස්වභාවයන් මිස බාහිර ස්වරූපය වැදගත් නොවන බව ඇය අවධාරණය කරයි.

“මගේ රහස කොහි වෙත්දැයි
රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති
මම සොබාමත් නොවෙමි
මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද
හිමි කම් නොකියමි
එහෙත් මා මුව විවර කළ විට
මා මුසා බස් කියන්නේ යයි ඔවුහු සිතති
මම මෙසේ කියමි
එය ඇත්තේ මගේ අතේ දුරිනි
උකුළෙහි පරතරයෙනි
පියවරක දුරිනි
දෙතොල වක් වන සැනෙනි
මම ගැහැණියක වෙමි
අසිරිමත් ලෙස
අසිරිමත් ගැහැණිය...
ඒ මම ය.”*

එහෙත් සුභද්‍රා  විස්තර කරන ස්ත්‍රිය සුවඳවත් මායාවී රූ සොබා රැගත් සදා කාලයටම පිරිමියා වසඟ කරගත් ස්ත්‍රියමය.
“පසින් නැඟ සුපුෂ්පිත කුසුම් ගත රඳන්නී
මායාවි ප්‍රකෘතිය සඳුන් තුර වන්නී”

Phenomenal Woman හි ආශ්චර්යමත් ස්ත්‍රිය පිරිමින් දණ ගස්සවයි.

I walk into a room
Just as cool as you please,
And to a man,
The fellows stand or
Fall down on their knees.

එහෙත් “පැන්ඩෝරා” හි ස්ත්‍රිය තවමත් පිරිමියා ඉදිරිපිට දණ නමන්නීය
“දණ නමමි අවනතව නුඹ නිසා කියන්නී”

“අහෝ මැය ඉළ ඇටයෙන් මැවුණ
ඒවා ද නුඹ සිතයි
ඉතින් නුඹ සදහටම ලුහු බඳියි”

එතෙකුදු  ඇය ලෝකයට  තවමත් පණ නල පිඹියි. ඒ ජීව උල්පත ම පුරුෂයා වරදට පොළඹවයි. ඇය අණ ලද්දී අවනත වීමටය. එනිසාම ඇය අවනතව විසිය යුතුය. එහෙත් මේ කිසිවකින් සංතෘප්ත නොවන පිරිමියා පරිපූර්ණ දෙය සොයා යයි. ඉදින් ඒ ගමනෙහි වරදක් වෙද එහි වගකීම ද හිමි ගැහැණියටය.

“නාභිගත නාභියක ප්‍රේමයෙන් ගැට ගසා
අංශුවෙන් අංශුවට තනන්නී”

පිරිමියාගේ දඬුවම ලෙස යුග ගණනක් තිස්සේ ගරහනු ලැබූ ඇය පරම වූ ප්‍රේමයකින් ස්ත්‍රී පුරුෂ සබඳතා බෞතීස්ම කරන සමාජ ව්‍යුහයක් නොදකියි. ශරීරයෙන් නිපන් සිය නෛසර්ගික ආවේශයන්හි ගැලෙමින් කූඨ ප්‍රාප්තිය වෙනුවෙන් ශිඛර මස්තක වන පිරිමියා ද ජෛව විද්‍යාත්මකවම එයින් වෙනස් වෙමින් නිම්නයක ආනන්දය සොයන ගැහැණිය ද මේ සමාජ සංස්කෘතියේ බලපෑමට යටත්ය. එතෙකදු ඇය මේ ශිඛරයන් ද නිම්නයන් ද අංශුවෙන් අංශුවට ප්‍රේමයේ රැහැනින් වෙළන්නට තැත් දරයි.

“එසේ වුව මා තැනූ දෙවිඳුනී
මා ගෙනා ගින්දරට මම ම කපු සපයමී
ආකාස ගංගාව ගුගුරවයි
දේව නියමය නසා
සැබෑවට මිනිසෙකුට ලංවෙමී.”

සාම්ප්‍රදායික ද්‍රෘෂ්ටිය තුළ ඓතිහාසිකව හංවඩු ගැසුණු ගැහැණියට හිමි ප්‍රතිරූපය සුභද්‍රා වෙනස් මානයකින් ප්‍රශ්න කරන්නේ මෙතැනදීය. ඇය මූලික වශයෙන් ප්‍රශ්න කරන්නේ දෙවියන්ගේ මැවිල්ල හෙවත් ඵලය වන පිරිමියා නොවේ. හේතුව වන දෙවියන්ය. ඇය එරෙහිව යන්නේ සිය මැවුම්කාර දෙවියන්ටය. නොඑසේනම් ඉහත හඳුනා ගත් පරිදි ආගම අයත් වන සංස්කෘතිය නිෂ්පාදනය කරන සමාජයේ උපරි ව්‍යුහයටය. දෙවියන් ලෝකය මවා ඒදන් උයන මැවුවේය. එහි පරිපූර්ණත්වය පිණිස මිනිසා මැවුවේය. ඔහුට තනියට ගැහැණිය මැවුවේය . සියල්ල යහපත් නම් ඇයි සර්පයෙක් හා තහනම් ගසක්? පරිපූර්ණ වීම යනු යහපත හා අයහපත යන දෙකේම පැවැත්ම නම් සියල්ල එහි වේවා! එහෙත් සියල්ල සැලසුම් කරන ලද්දේ දෙවියන් නම් චෝදනා ලැබිය යුතු ගැහැණිය ද? සියුස් විසින්  පැන්ඩෝරා සාදනු ලබන්නේ ප්‍රොමිතියස් ට සහ මිනිසුන්ට දඬුවම් පිණිසය. සියලු රුව ගුණ ලබන පැන්ඩෝරා අතට “ශාපලත්” මංජුසාව දෙන්නේ සියුස්ය.  එහෙත් චෝදනාව පැන්ඩෝරාටය. සුභද්‍රාගේ කවිය කෙලින්ම පිරිමියාට  දමා ගසන්නක් නොවී උද්ඝෝෂණයකට හෝ කෙඳිරි ගෑමකට ලඝු නොවී වෙනත් තලයකට කරනු ලබන ඉදිරිගාමී ආමන්ත්‍රණයක් වන්නේ එතැනදීය.

ගැහැණු මිනිස් සබඳතා එකිනෙකා පෙළන ආස්ථානයක තමන් ඒ තුළ නිරන්තර ගර්හාවට පාත්‍ර වන තැනක ඇය පිරිමියා කෙරෙහි ද ප්‍රේමය කෙරෙහි ද අසීමිතව බැඳෙයි. තමන්ම දැවෙමින් ප්‍රේමය ජීවමාණ කිරීමට දරණ මේ තැත අන්ධ වීමකියි වෙනත් ද්‍රාෂ්ටිවාදයකට තර්ක කළ නොහැකිවා නොවේ.  එහෙත් ඒ තුළ ප්‍රේමයේ පරම තත්ත්වය වන කොන්දේසි විරහිත බව කරා මනුෂ්‍යත්වය උත්කෘෂ්ටත්වයට නැංවෙනු විමසිලිමත් ඇසකට හසු වනු ඇත.

දේව නියමයට සැබැවට ඇය ළංවන පිරිමියාගේ විඥානය ද ඔහු මෙතෙක් ගෙවූ සමාජය විසින් හැඩ ගන්වන ලද ජීවිතයේ නිර්මිතයකි. ඔහුගේ පෙරළා ප්‍රේම කිරීමේ ශක්‍යතාව ද සංකීර්ණ මනෝ භාවයන් ද ඒ සංස්කෘතිකයේ බලපෑමට අඩු වැඩි සෙයින් යටත්ය.  මානව සබඳතාවක ඇති ද්වි පාර්ශවිය බව ඉස්මතු වන එතැන මේ සදාකාලික සාම්ප්‍රදායික ගැහැණිය තමන් හා සටන් වදියි. තමන්ගේ මූලික ස්වභාවය යයි මුළා කොට ඇන්දවූ නින්දාවේ වැරහැලි ගලවා විසි කොට සංස්කෘතිය විසින් හැඩි කළ පොළොව මත සැබෑ ප්‍රේමයේ මුල් බැස්සවීමට අදිටන් කරයි. ඒ සඳහා තනිව සටන් වදින්නට ස්ත්‍රිය සූදානම්ය. ඇගේ අවිය ප්‍රේමයයි. මුළු කවිය පුරාවටම සාම්ප්‍රදායිකව නිර්මිත ඓතිහාසික ප්‍රතිරූපයෙන් නොමිදෙන මුත් ඒ තුළම රැඳී ඒ විශ්වාසයන්ම ප්‍රශ්න කරයි.

ඒ තුළ විඳවීමකි. යුගයෙන් යුගයට විඳි අවමානයන්ගෙන් සැදුණාවූ ගැඹුරු තුවාලයකි. අවනත බවෙකි. සාංකාවෙකි. එහෙත් ප්‍රේමය කෙරෙහි වන නොසිඳෙන අදිටනකි; විශ්වාසයකි.  ඈ ප්‍රකාශයට පත් කරන්නේ ඇගේ ප්‍රේමයට හිමි ස්ථානයයි. ඒ අයිතිය හඳුනා ගන්නා ලෙස මහා සංස්කෘතියට කෙරෙන බලකිරීමයි.

The Origin of the Family (1884) හි එංගල්ස්  විස්තර කරන පරිදි,
“මවගේ අයිතිය අහිමි වීම යනු සමස්ත ස්ත්‍රීත්වයේ ඓතිහාසික පරාජයයි. මිනිසා  සිට නිවසේ ද අධිපතිකම පවරා ගත් අතර ගැහැණිය දාස කමට පහත් කරනු ලැබුවාය. ඇය ඔහුගේ අනුරාගයේ වහලිය වූ අතර දරුවන් නිපදවන හුදු යන්ත්‍රයක් වූවාය.”යන්න වෙනුවට මවගේ අයිතියයි. ස්ත්‍රියට අත්‍යන්තයෙන් හිමි අනුරාගය අභිබවන ප්‍රේමයේ ගෞරවයයි. ස්ත්‍රී පුරුෂ බන්ධනය තුළ මානව ප්‍රේමයට හිමි නිශ්චිත  තථ්‍ය ස්වරූපයයි.



ආශ්‍රිත ග්‍රන්ථ සහ ලියවිලි
1 ශු. බයිබලය
2. Pandora- Greek Mythology
3. Aristotle, Politica, ed. Loeb Classical Library, 1254 b 10-14
4.  Phenomenal-Woman by Maya Angelou
    *මෙම කොටස ලිපිය සඳහා පරිවර්තනය කරන ලදි.
5. Frederick Engels  , The Origin of the Family,1884