Tuesday, January 19, 2016

සේකර ,







දහසක් බුදුවරුන් අවදිව
දුකින් මිදෙන මග සොයමින
දුම්රිය වෙත බස් රිය වෙත
දුවන හැම උදෑසනක ම

ඔබ හමුවෙයි...

හබරල කොළයක් මත 
පිනි අහුරක් වී රඟමින
පාළු අඳුරු නිල් අහසේ තරුවක් වී 
බෝසත් මෙත් කරුණා වගුරන
යදියෙකුගේ ගැඹුරු වතක 
සිනහව වී
මඳ සඳ රැසින් පෙරී එන

අකම්පිතව ඔබ යන විට
සොයාගෙන සොයාගෙන 
දුකෙන් මිදෙන මාර්ගයක්
ඇත්තක් වී හමුවේ නම්
'නිවන' කියන ඒ සැනසුම

'ප්‍රබුද්ධ' ලියු පින විතරක් 
අනුමෝදන් කරගෙන

සේකර ,
ඔබ බුදු වෙන්න!

14-01-2016

තුංමං හන්දියේ සේකර පිළිරුව 


සේකර මහ විදුහල් තාප්පයේ ඉතිරි කොට ඇත්තේ ඔහුගේ කවි එකක් දෙකක් පමණි...
තුංමං හන්දිය

අලුත් කතා පොත්



-සැප්තැම්බරයෙන් පසු

පොතක් ලියන තෙක් බලා හිඳ, ආපු ගමන් කෙසේ හෝ පොත හොයාගෙන සියලු වැඩ පැත්තක තියා නොකා නොබී නොනිදා කියවන පන්නයේ නවකතා පොත් ලියන කතුවරුන් එක්කෙනෙක් දෙන්නෙක් කාටත් වගේ මටත් සිටී. Paulo Coelho, Khaled Hosseini, Isabel Allende, Shyam Selvadurai යන අය වගේම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල‍, ලියනගේ අමරකීර්ති කියන්නෙත් එහෙම උමතු කරවන සුළු කියවීමකට මා තල්ලු කරන ලේඛකයින් දෙදෙනෙකි.

සැප්තැම්බරයේ ගත් පොත් ගොඩ අතරින් ගත්ත ගමන් කියවා අවසන් කළේ ‘මාණික්කාවත‘, ‘Adultery‘ සහ ‘අහම්බකාරක‘ යි. ඒ පොත් , පොත් විදිහට නොඉඳ පණැති දේවල් වී ඔළුව කළම්බමින් හුදෙකලාව බිඳිමින් හිත එක්ක සංවාද කරන එක ලියැවිල්ලේ අපූරු කම යැයි සිතමි. ඒවා කියවා දැනෙන දේ ලියන්න ඕනා යයි සිතුවත් දැනෙන දේ ලියන්නට වචන මදිය.විචාර ලියන්න මා දන්නේ නැත. හැඟීම් හා සිතුවිලි වනාහි විචාර නොවන බැවින් ඒවා නොලියවෙන එකත් හොඳය. ඒත් ඒ පොත් රසවිඳින තරම බෙදා නොගැනීමත් හොඳ දෙයක් නොවන නිසා ලියා තබමි.

මාණික්කාවත , සෙංකොට්ටං මෙන්ම හිත බර වෙවී කියවීමි. ‘අහම්බකාරක‘, ‘කුරුලු හදවත‘ මෙන්ම , ‘නෙරූදා ගේ ලියුම් කාරයා‘ මෙන්ම විස්මයෙන් ආසාවෙන් නොනවත්වා කියවීමි. සාමූහික ගැමි ජන සන්තානය මානව දයාවෙන් නිරතුරුව ස්පර්ශ කරන මස්ඉඹුල ත් විශ්ව ගම්මානයක හුදෙකලා පුද්ගල ගැඹුර මැන ඒ වෙත කැඩපත් එල්ල කරන කොයියෝත් දවසක හමු වී නම් කුමක් කතා කරනු ඇත්දැයි තනියම සිතමි. අහම්බකාරක අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි. රුපියල්මය දූපත් සිතියම මත පුද්ගල යථාවේ සිතුවම මතු කරනු වස් සාහිත්‍යමය කඩ ඉරි යා කරයි. අන්තිමේ දී නැවත හෙන්රි ජේම්ස් කියවන්නට ත් පටන් ගතිමි. මහින්ද ප්‍රසාද් සහ ලියනගේ අමරකීර්ති, ඔබට ස්තූතියි.

චූලානන්ද සමරනායක සහෝදරයාගේ අපූරු දිරිගන්වන සුලු , හෙමින් සැරේ කියවිය යුතු අලුත් පරිවර්තන පොත් කිහිපයකි. ‘නරක උන් ඇසුරෙහි‘ ඉන් එකකි. කවදාවත් හමුවී නැති නිසා කියාගන්නට බැරි වුනත් දැදිගම වී. නැති අඩුව පුරවන කත්‍යානා අමරසිංහට ඉතාමත් ආදරේය. ළඟකදි ඇගේ පොතක් කියවන්නට නොලැබීම අඩුවකි. ‘තාත්තා වගේ කෙනෙක්‘ ඉතා කැමැත්තෙන් කියවීමි. ඒ බුහුටි පරිවර්තනය වෙනුවෙන් අනුරාධා කෝදාගොඩ  ට සුභ පතමි. අලුතින් කියවීමට ගත්තේ හෂිත ගේ ‘පත් සිඳුණු වසන්තය‘ නම් පරිවර්තනයයි. තවම පහු කළේ පිටු කිහිපයකි. ලිවීමේ අපූරු අනන්‍ය විලාසයෙන්ම සැනින් අප බැඳ ගන්නා ඒ පොත කියවා ගන්නට අද හෙට කාලය ලැබේයයි පතමි. ෂෙහාන් කරුණාතිලක ආයෙත් පොතක් ලිව්වොත් වැඩියෙන්ම සතුටු වන අය අතර මා ද සිටිනු ඇත‍.

කියවිය යුතු අලුත් පොත් බොහෝය. අලුතින්ම සහ දෙවෙනි, තුන්වෙනි, දහ පහළොස්වෙනි වතාවට ද කියවිය යුතු පොත් ගොඩ සහ මා අතර සිටගත් අනවරත ජීවණ අරගලය දෙස රවා බලමි.

ප.ලි. කියවා කලක් ගත වුනත් ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න‘ නම් නිර්මාණාත්මක සාහිත්‍ය ප්‍රබන්ධය වෙනුවෙන් කෞෂල්‍ය ට ද ‘මේ කතාව‘ වෙනුවෙන් සුරේඛා ටද ‘ගම්මිරිස් කුරුල්ලා‘ වෙනුවෙන් කාංචනාට ද තවත් වරක් සුබ පතමි.

Friday, January 8, 2016

Thus with a kiss I die.*


*Romeo’s last words from ‘Romeo and Juliet’ by Shakespeare

Eyes.. never could see you shine
Lips.. they never tasted your lips’ wine
Arms.. never could embrace as you were mine
Heart was where you were adored and shrined

Paths were silent as we walked on and on
Flowers never bloomed yet fragrance was born
Dashing laughs faded ; the foot prints were gone
Amongst thousand melodies, a voice, so alone

Grips are tight- you may laugh, never sigh
Flashes are the memories- so forget, don’t fight
Guests were we, in a lifelong cry
Thus with a kiss I die, I die.


08 January 2016


Painting by John Atkinson Grimshaw

Thursday, January 7, 2016

මේ නිවාඩුව



අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට නැත්නම් කන්ද උඩ පීල්ලට

නාරං ගහ පේන තැන
පඩිය උඩ ඉඳගෙන
ටයිල් කැට මැදෙන තුරු
තර්ක කරන්නට
මහින්ද ද මෛත්‍රී ද පුටින් ද බාහුද?

ඔබ පුරවලා ඇති ෆ්‍රිජ් එක
‘දරුවන්ට උයන්න‘
අම්මට කියල ඇති...
'නත්තලට එන්න- දුවයි බෑණයි එනවා'
ගොඩැල්ලෙ මාම ට
ඇරයුමක් දී ඇති..

බාග බෝතල් අස් කරනවා ඇති
බෙහෙත් බෝතල් පිහිදමනවා ඇති
හවස ඉඳගෙන
පත්තරේ කෑල්ලෙන් කෑල්ල කියවනවා ඇති.

අපට තිබුණා
නත්තල් දා රෑට
පල්ලි යන්නට
පූජාව ඉවර වී අම්මා එනකම්
පොල් අරඹ යට කයියක් ගහන්නට
පටිච්ඡ සමුප්පාදය සිහි කර
ඔබ ආයෙ හැරෙන කොට
මට පුලුවනි
එක පාරක් ගිහින් ගවලෙන බලා එන්නට
‘හැපි ක්‍රිස්මස්‘
අපට පුලුවනි එකිනෙකා තදින් වැළඳ ගන්නට

ආයෙ එන දවසට
ඉස්සර විදිහට ම
ඔබ අහයි
'සල්ලි තියෙනවද පුතේ මඟ වියදමට?'
හිරවෙන උගුර පාදා
මට පුලුවන් වෙයි 'ඔව්' කියා ගන්නට

මරණය කියා දෙයක් නො තිබුණා නම්
අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට ...
නැත්නම් කන්ද උඩ පීල්ලට.

11 දෙසැම්බර් 2015