ම'සිත් එ'දළ රළ පතර
නොහිම් සෙනෙහස් මුතු අහුර
ගෙන හොවා හද ගැඹර
සිඹින, මුදුවට...නළලත
මල් කෙමි වතළ තුරු අස
සඳ මිණි දුලන අතු අග
සරන වෙරළත
සුපෙම්බර මඳ නළ
නිරිඳ ඔබ ම මිස -අන් කවරෙද
සිත'ග රළ රැළි ලන
කින්නර නාද රඟ'තර
සඳෙව් පෙමැ'දුරු
වැළඳ ගත් දිවි තෙර
සකිසඳ....,
ඔබ සයුර..මා එහි දියඹ...
ඉරක් නො නැගෙන අඳුරු යුගයක් දඩ බිමක් වූ කළුවරේ
පන්හිඳට ජීවිතෙන් පණ දී ලේ කඳුළු උඹ කවි කළේ
ගොදුරු හොයනා රුදුරු ගිනි අවි, මලක රතටයි ඉව කළේ
යදම් බිඳ ලූ පරපුරක් වෙත උඹයි රණ ගී හුරු කළේ
වැළඳ සමුගෙන නික්ම යන්නට ඉඩක් නො තැබුණු රණ බිමේ
“ඉතිං දැන් මම පිටව යන්නෙමි” , ලියා කොතැනද උඹ ගියේ
පැතූ විදිහට හිඳිනවද අද වැතිර නිම්නෙක මෘදු ළයේ
ඇවිත් සගයින් පොකුරකට වී තනි මකන තුරු කළුවරේ
ගාලු කොටුවෙන් නික්ම යන කොට එදා රත අද නෑ ඉරේ
පාලු පාරක වැටී හමු විය ඉටි මලක් දූවිලි ගොඩේ
මල් පිපෙන්නෑ උඹ ගිහින් යළි නො ආ සීතල නිම් තෙරේ
කොහේ හරි ඉඳ අලුත් කවියක් ලියා එවපන් චන්දරේ
චන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු 88, 89 අරගලයේ සුවිශේෂී කවියා ය. මේ රටේ බිහි වූ එකම නිර්ධන පාංතික කවියා‘කුමාර’ බව වරක් සුනිල් මාධව ලීවේ ය. එවකට වයස විසි ගණන්වල වූ චන්දරේ කවියෙකු වූයේ ඔහුගේ ජීවිතය සහ සටන්කාමී ප්‍රාර්ථනාවන් අන් අය සමග බෙදා ගැනීමට අවශ්‍ය වූ නිසා ය. සිය කටුක වූ ළමා වියේ ද අසීරු වූ යෞවනයේ ද සියලු මතකයන් සහ සුව නොවූ තුවාල පවා සහෘද මිනිස් වර්ගයා ඉදිරියෙහි එළා ලූ ඔහු එය හැඳින්වූයේ සිය ආත්මය බෙදා හදා ගැනීමක් ලෙසිනි. විටෙක කම්කරුවෙකු ලෙස, විටෙක ඉටි මල් වාස් වෙළන්දෙකු ලෙස, මාළු වෙළෙන්දෙකු ලෙස, බස්වල විරිදු කියන්නෙකු ලෙස සහ ඒ මුලු කාලය පුරා අරගලයේ උණුසුම් සගයෙකු ලෙස, පැලුණු දෙපතුලෙන් ලේ ගලන පෑනක් අතැතිව ඔහු මේ පොළව මත ඇවිද ගියේය. බොහෝ විට නො පිරුණු කුසින් නො නවත්වා ගමනේ යෙදුණු ඔහු ඒ ගමන් අතර වාරයේ කවි, කෙටි කතා, රචනා, නාට්‍ය රංගනය ආදී විවිධ ස්වරූපවලින් සිය ආත්මය ද සියලු මිනිසුන් වෙනුවෙන් වැගිරෙන ගැඹුරු මානව ප්‍රේමය මතු නොව පීඩිතයින් උදෙසා වන අරගලය ට අවැසි ගිනියම් වූ සටන්කාමී බව ද අවුලුවාලූයේ ය. “කොයි තරම් පුංචියට වුව ඔහු අපේ විප්ලවයේ කවියා ය” යනුවෙන් පසු කලෙක ඔහුගේ සගයින් ඔහු ගැන සටහන් තබන්නේ එබැවිනි.
අරගල සමයේ භූගත ජීවිතය ඔහුට පන්නරය දුන්නා මිස ඔහු දුර්මුඛ කළේ නැත. ඒ තරුණ නැගිටීම හිංසක රාජ්‍ය යාන්ත්‍රණය විසින් ලෙයින් සෝදා හළ පසු පවා 91 වසරේ දී ත් ඔහු ලිව්වේ ය. ඒ කවිවල වූයේ භීෂණයට ගිල ගැනීමට නොහැකි වූ බලාපොරොත්තුව යි. අවසානයේ දී ලියූ කවිවල ඔහු තම නික්ම යාම ගැන පවා ලිව්වේ ය. සංහිඳියාවේ නිම්නයක මෘදු ළයට තුරුළුව විප්ලවයේ සොයුරන් හා එක පොකුරකට ගුලිවන දවසක් පිළිබඳ සිහිනය කවියක ඇඳ තැබුවේය. ඉන් පසු , අවසාන කවිය ද පුවත් පතකට එවා අන්ධකාරය තුළ සැඟව ගියේය. සමු නො ගෙනම යන්ට ගියේය. එපමණකි මිතුරනි.....ඉන් පසු කිසිදාක ඔහු පුවත්පත්වලට කවි එවූයේ නැත.
එහෙත්, කොන්දේසි විරහිත ප්‍රේමයක සහ මමංකාරයෙන් තොරවූ අව්‍යාජ මානවවාදී ජීවගුණය කැටි වූ ඔහුගේ කවි අද පවා උණුසුම් ය. ඒවා ඉතිහාසයෙන් මතින් පැන නැගී, සලකුණු නො තබා ම අන්ධකාරයෙහි ගිල්වා දැමූ ඒ දුර්ලභ අව්‍යාජ මිනිසුන් ගැන අපට බොහෝ දේ කියා දෙයි. පිරිපුන් නිවහල් මිනිස් සමාජයක් උදෙසා සටන් කිරීම යනු අත් හළ නොහැකි අරගලයක් බව යළි යළිත් සිහිපත් කරවයි.