Wednesday, March 10, 2010

කිළිනොච්චිය පසු කළෙමි...


කිළිනොච්චිය පසු කළෙමි.


අපි ඉතිහාසයේ මහා කඩතොළුවක් පසු කරමින් සිටියෙමු. ගොඩනැගිලි කිහිපයක හැර වහළ වල් ඉතිරිව තිබුණේ නැතිවා සේම ඉතිරිව තිබූ ඒවායේ බිත්ති අඟලින් අඟල සිදුරු වී ඇත. දොර ජනෙල් නම් ඇත්තේම නැත. කලෙක කොළ පැහැයෙන් දිලුම් දෙන්නට ඇතැයි සිතුන තල් අරඹ සහ ළඳු කැළෑ වෙනුවට දක්නට තිබුණේ මෝටාර් ප්‍රහාර වලින් තුරු හිස් සිඳ දැමුණු, දා ගිය තල් කඳන් හුදෙකලාව, ගිනියම් හිරු යටින්, කරසක සුළඟින් මැඩෙන අයුරුය.

A-9 මග දිග හැරුණු කොට, බොහෝ බිම් පෙදෙස් කහ පටි වලින් සහ මිනී ඔළු සහිත සළකුණු වලින් අනතුරුදායක පෙදෙස් බවට අඟවා තිබේ. ඒවායේ බිම් බෝම්බ තවමත් ඉවත් කරමින් පවතියි. හාත්පස පැතිරී ඇත්තේ “අනතුරුදායක” කැළෑ පඳුරු හා සිදුරු කරන ලද ගොඩනැගිලිය. නගරය මැද පුපුරවා පෙරළා දමනු ලද සුවිසල් වතුර ටැංකිය බිම වැතිර සිටියි. ඒ ඉදිරිපිට අටවා ගත් කඩ කිහිපයකි.

පිළිවෙලකට ඇත්තේ යුධ හමුදා කඳවුරු හෝ මූලස්ථාන පමණි. විවිධ පැහැයෙන් යුත් ධජ ඒවායෙන් අහසට නැගෙයි. කඳවුරු බිම නෙක පැහැ මල් වලින් අලංකෘතය. ඒවායෙන් පිටතට එන සෙබළුන්ගේ වෙහෙස සඟවන ලද මුහුණු අධිෂ්ඨානශීලීය, ප්‍රාණවත්ය.

යුධ හමුදාවට අමතරව සාමාන්‍ය වැසියෝද මෙහි වෙති. නින්දෙන් ඇවිදින්නාක් බඳු, නොපෙනෙන යමක් විසින් බියගන්වන ලද, සිනාසෙන්නට අමතකව ගිය, බොර පැහැ ඇස්වල කඳුළු තෙත නැති, සියවස් ගණනාවක් පෘථිවි අභ්‍යන්තරයේ සිර කරනු ලැබ සිට හිරු එළියට නිරාවරණය කරන ලද ඒ මිනිස්සු ජංගම බැංකුවක් අසල පොදි කමින් සිටිති. තමන් පසුකරමින් යාපනය “බලන්නට” යන දකුණේ මිනිසුන් රැගත් වාහන දෙස ඔවුහු බලා හිඳිති. ඒ බැල්මෙහි විස්මයක්, ප්‍රමෝදයක්, කෝපයක් මතු නොව උනන්දුවකුදු නැත. මූර්ති බඳු ඒ මුහුණු ඉතිහාසයේ දුක් වේදනා මිස වර්තමානයේ කිසිදු හැඟීමක් පිළිබිඹු නොකරයි.

බිඳ වැටුණු නගරයක් ...බිම වැටී, පෑගී, යළි නැගී , යළි යළි වැටී, රිදී ඔද්දල් වී අසීරුවෙන් පොළට මත සිටගෙන අන්දමන්දව වටපිට බලන මිනිසුන්.... සගයින් අහිමි කළ මතකයන් විසින් දිරි ගන්වනු ලබන, නිළ ඇඳුම් තුළ හිඳින මිනිසුන් හෙවත් සෙබළුන්....

වාහනයේද කර්කශ සුළ‍ඟෙහිද හඬ අභිබවා ඒ ගොළු නගරයෙහි ආත්මය කෙඳිරි ගාන හඬ මට ඇසෙයි. ගොඩනැගිලි සිදුරු කළ උණ්ඩ මිනිසුන් සිදුරු කළ අයුරු ඉන් ඇසෙයි. විවිධ නම් වලින් හැඳින්වුණු, විවිධ ජාතීන්ට, ගෝත්‍ර වලට , ආගම් වලට අයත්ව සිටි , විවිධ නිළ ඇඳුම් හැඳ සටන් කළ, එහෙත් සිය මූලික ස්වභාවයෙන් මිනිසුන්ම වු, මේ පොළව මත ඇද වැටී මිය ගිය ඔවුන්ගේ අවසාන සුසුම් මගේ සිරුර විනිවිද යනු මට දැනෙයි.

ඒ සුසුම් මුසු සුළඟින්, දා ගිය තල් ගස් වල කළු ගැසුණු පොතු බිම වැටෙයි. තවම සොයා නොගත්, වල දැමූ බිම් බෝම්බ මත පැළ වුණ කොළ පැහැ පඳුරු සෙමෙන් සෙලවෙයි. පෝලිම් වල බලා සිටින මිනිසුන්ගේද, නිළ ඇඳුම් හැඳ අවි දරණ මිනිසුන්ගේද, නගරය පසු කරන අපේද සිරුරුවල හී ගඩු නැගෙයි.


එවිට අපි අවදි වන්නට පටන් ගනිමු. සෙමෙන් ... පියව‍ෙරන් පියවර....අළුත්ම අළුත් නොවුණ ද බලාපොරොත්තුවේ සුසුම්... සවිඥානිකව ඉහළ පහළ හෙළන්නට පටන් ගනිමු.

ඒවායින්, ඉතිහාසය පුරාවට බිත්ති වල සැදුණු සිදුරු වැසෙන්නට පටන් ගනියි.. අළුත් තල් පැළ ඒ සුසුම් වල රිද්මයට පොළවෙන් න‍ැගෙන්නට පටන් ගනියි...දුහුවිලි මැදින් කාලය පණ ලබයි. එවිට , අනාගතයේ දිනෙක, ළමුන්, ගැහැණුන් හා වැඩ කරන මිනිසුන් විසින් ‍මේ නගර යළි ගොඩ නගනු ඇත.


-10/03/10
යාපනයේ, නල්ලූර් හිදී

2 comments:

  1. mama puraa awrudu 3k trincomalee nagaraye jeewath unemi, dawasakin dekakin oba labu athdakeem walata wada haath pasin ma wenas wu athdakeem labuwemi, wedi handa, bomba hada mada akuru kala podi un ge deas dakkemi,,,
    harshani

    ReplyDelete
  2. Anonymous11/3/10 08:08

    කරටි නොමැති තල් ගස් වල මල් පිපෙන
    පොකුරු ​පොකුරු මිදි වැල් වල මිදි පිරෙන
    උතුරේ වසන්තය ලඟ ලඟ එන බැවින
    චුට්ටක් තව ටිකක් ඉවසා ගෙන ඉන්න

    -බැසිල් බාප්පා

    ReplyDelete