Monday, March 15, 2010

නල්ලූර් හි රන් දෙවොල දුටිමි.


නල්ලූර් හි රන් දෙවොල දුටිමි.

මම යාපනයේ අභිමානය ඉදිරිපිට සිටගෙන සිටිමි.

ඉපැරණි යාපනයේ අගනුවර මැද සිට සියවස් දහයක් තිස්සේ රජවරුන්ද , සෙන්පතියන්ද , වැසියන්ද, වහලුන්ද, විමුක්තිකාමීන්ද, දේශපාලකයින්ද, ආක්‍රමණිකයින්ද, මැති ඇමැත්තන්ද, සෙබළුන්ද අනේක විධ භූමිකාවන් රඟනයුරු දකින්නට ඇති, ජයග්‍රහණයන්ද පරාජයන්ද, ලේ ද, කඳුළු ද දරන්නට ඇති නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට සිටගෙන සිටිමි. විටෙක මහා පරාක්‍රමබාහු රජු විසින්ද විටෙක පෘතුගීසින් අතින්ද තවත් විටෙක සිවිල් යුද්ධයේ සහ වෛරයේ ප්‍රතිඵලයක් ලෙසද බිඳ හෙළුණු මේ රන් දෙවොල බැස යන හිරුගේ රන් රැසින් නෑවෙමින් අළු මතින් නැගී සිට මා දෙස බලා සිටියි.


ද්වාර පාලක රූප දෙකකින් ආරක්ෂිත ඇතුළු වීමේ දොරටුව හා සීනු කණු හයක් මත ගොඩනැගුණු අංගනය විසිතුරු චිත්‍ර වලින් හා කැටයමින් ගැවසී ගනියි. ඉන් අනතුරුව ශිව, පාර්වති, ගණ, ලක්ෂ්මි, භද්‍රකාලි යන සියළු දෙවිවරුන් වැඳුම් පිදුම් ලබන දෙවොලයි. ඊසාන දෙසින් සිදම්බරම් මණ්ඩපයද උතුරින් නාන්දවනම් වසන්ත මණ්ඩපයද නැගෙනහිරින් යාග මණ්ඩපයද දකුණු පසින් තීර්ත කේනි මණ්ඩපයද තනා ඇත්තේ මණ්ඩාලය ශෛලියටය. දෙවොල මැද, තඹ කැටයමින් විභූතිමත් කරන ලද දොරටු සතක් එපිටින් දේව රූප දිස් වෙයි. වේට්ටියෙන්ද පූන නූලෙන්ද සැරසී ගත් පූජකවරුන් පූජා වතාවත් පවත්වන අතර උඩු කය නිරුවත් පිරිමි සහ නෙක පැහැ සාරි වලින් සැරසුණු කාන්තාවෝ බැතිබරව වැඳ වැටෙති; නමස්කාර කරති.

මම විසිතුරු චිත්‍රයෙන් හැඩ වුණු පියසි යටින් අලංකාර මණ්ඩප දෙසට ඇවිද යමි. සිදම්බරම් මණ්ඩපයෙහි සුවිසල් නටරාජා චිත්‍රයේ ජීවමාණ බව මට සෙසු සියල්ල අමතක කරවා මා ඒ වෙත බැඳ ගනියි. මේ වර්ණවත් පියසි , කැටයම් බිත්ති, වෙසෙසින් වැඳුම් පිදුම් ලබන දෙවිවරුන් නිවසන අලංකෘත ආගාර , ඝන්ඨා , සීනු නාදයෙන් රැළි නැගෙන සුවඳ දුමින් පිරි මද පවන, මට මා මිහි පිට සිටින බැව් අමතක කරවා වෙනත් ලොවක‍ට ගෙන යයි.

මම නිහඬ වෙමි. මගේ සිත අවට ශබ්ද වලින්ද රූප වලින්ද ක්‍රමයෙන් මිදෙනු මට දැනෙයි. මේ ආශ්චර්යය මට යමක් කියන්නට උත්සාහ දරණු මට හැඟෙයි. එවිට මට මතක් වන්න‍ට පටන් ගනියි. සියවස් ගණනාවක් තිස්සේ මා මෙතැන වන්දනා කළ අයුරු මට සිහිවෙයි .... මා නැවත පැමිණ ඇත. මම විස්මයට පත්ව යළිදු ශාන්තියට පත්වෙමි.

දෙනෙත් හැර බලන මට “හරෝ හරා” හඬ නගන බැතිමතුන් පෙනෙයි. ඒ අතරෙහි දකුණෙන් ආ පිරිසක් ද වෙයි. වරෙක කිරිබත් කා සිංහ කොඩිය බැඳගත් ඉණ වට, ඇඳ හුන් කමිසය ඔතා ගත්, මත් පැනින් ඇස් රතුවූ තරුණන් ද ඒ අතර වෙයි.

දකුණේ නඩයේ වියපත් සිංහල මවක ද්‍රවිඩ බසින් ගැයෙන යාතිකාවකට දෑත් බැඳ ගනියි. ඇය අසලම හඬ නගා භජන් ගයන දමිළ මවකි. මම විස්මයෙන් ඇළලී යමි. ඒ මුහුණවල් සමානය. ඒවායේ භක්තිය, කරුණාව, බලාපොරොත්තු, සංතුෂ්ඨීන් සහ සැඟවූ වේදනා එක බඳුව පිළිබිඹුවේ. ඔවුන් යදින භාෂාවන් වෙනස්ය. එහෙත් ඒ යැදුම එකකි. වඳිනයුරු වෙනස්ය, එහෙත් ඒ භක්තියේ තරම එකකි. එකම වෙනස නළලෙහි ගෑ තුන්නූර් හා කුංකුමය.

මම එන්නට හැරෙමි.
“මා මෙතැනට අයිතිය.” යළිත් මට සිහිවේ.


නල්ලූර්- යාපනය
11/03/10

1 comment:

  1. Anonymous15/3/10 18:44

    Thu crux of it. Both sides both sides looks up, but not at each other.

    දකුණේ නඩයේ වියපත් සිංහල මවක ද්‍රවිඩ බසින් ගැයෙන යාතිකාවකට දෑත් බැඳ ගනියි. ඇය අසලම හඬ නගා භජන් ගයන දමිළ මවකි. මම විස්මයෙන් ඇළලී යමි. ඒ මුහුණවල් සමානය. ඒවායේ භක්තිය, කරුණාව, බලාපොරොත්තු, සංතුෂ්ඨීන් සහ සැඟවූ වේදනා එක බඳුව පිළිබිඹුවේ. ඔවුන් යදින භාෂාවන් වෙනස්ය. එහෙත් ඒ යැදුම එකකි. වඳිනයුරු වෙනස්ය, එහෙත් ඒ භක්තියේ තරම එකකි. එකම වෙනස නළලෙහි ගෑ තුන්නූර් හා කුංකුමය.

    ReplyDelete