Friday, May 27, 2011

ඒ මිතුරියට...


කවක් ගැබ වැද වදන් විළිලයි සිර වෙවී
ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නොවී
මලක් යැයි පෙම් බැන්ද කටුවට වසඟ වී
රළක් නොනගන සයුර ඉහිනා හිතවතී

ගිමත් කල් ඇඳි වසත් වත රැඳි පෙම් කවි
තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටී
තතක් නොබිඳ ම වෙණ වැයූවෙක් ලොව නැතී
විසක් පුරවා විතක් මග කෙළවර ඇති

විරිත් නොමදැන මැවූ පද ළඟ පටලැවී
සඳක් බව නුඹ අමතක ද ළඟ තරු එළි
රැය ත් මිය යා යුතු යි ඉර ඇවිදින් යළි
ගෙනත් දේවි ද කවුරු බිම ලූ හසරැළි

සමු අරන් දුර ඇවිද ගොස් බර හදවතින්
තබා සී පැස කාලයේ සෙවණැලි මතින්
මතක පින්සල රැගෙන දවසක සෙනෙහසින්
අඳිමි අහසෙහි බිඳුණු බඳුනක රුව සෙමින්


2 comments:

  1. ඔබේ නිර්මාණ හරිම ගැඹුරුයි. වෙලාව අරගෙන, නිවී හැනහිල්ලේ කියවන්නට ඕන. ඉන් පසුත් ප්‍රතිචාරයක් සටහන් කිරීමෙන් නිර්මාණයේ අගය අඩු වේදෝයි සැක හිතෙන නිසා බොහෝවිට මම කියවලා, නිහඬවම යනවා.
    ඇත්තෙන්ම මේ භාෂාව භාවිතයනම් අති ඉහළයි. ඔබ යොදාගන්නා උපමාවන් නිසා වචන රාශියකින් කිව යුතු බොහෝ දේ එක් වචනෙකින් දෙකකින් පැහැදිලි වෙනවා. "මලක්යැයි පෙම් බැන්ද කටුව", තිතක් අරගෙන කොමාවක් නුඹ හැදු හැටි", විසක් පුරවා විතක් මග කෙළවර ඇති" "තබා සී පැස කාලයේ සෙවණැලි මතින්" "ගිමත් කල ඇඳි වසත් වත රැඳි පෙම් කවි"..... ඔබේ හිතට මේ යෙදුම් සරසවිය මුමුණනවා වෙන්නට ඕන. ඇත්තමයි, වචනයක් වචනයක් පාසා සිතීමට යමක් එකතු කරන පදපෙළක්. හැම වචනයක්ම වෙනස් ඇසකින් හුරු යමක් දෙස බලනවා වගෙයි.
    විශිෂ්ටයි.
    ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  2. නලිනිට බොහාමත් ම ස්තූතියි. මේ වචන මට ධෛර්යයක් දෙනවා වගේම ඔබේ පුළුල් රස වින්දන පරාසයත් එයින් කියවෙනවා. නිර්මාණයක් අව්‍යාජ වෙද්දි , සැබෑ අත්දැකිම් මත පදනම් වෙද්දි ඔබ කියූ අංග එහි ඉබේම අඩංගු වෙනවා මම හිතන්නේ. ආයෙත් එන්න..
    ස්තූතියි.

    ReplyDelete