Tuesday, May 6, 2014

දරුවෙකුට පුළුවන්ද රළක් සේ බැසයන්න?




-ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු 250 දෙනෙක් ; මිය ගිය සංඛ්‍යාව 50 ක්. 

ඔබ ඔතැන අඳුර තුළ
ඇස් පියා ගෙන ඇති
හිතක් නැති සයුරට
දුක දැනෙන්නැතුවැති

තවත් එක් නිමේෂයකට
හුස්ම ගන්නට
ඔබට දී මේ හුස්ම
මියෙන්නට හැකිය මට

බලා හිඳ බලා හිඳ
ඔබ නො එන
නිශ්චලම හෝරාව කෙළවර
මම අසමි...
ප්‍රේමයක උරුමය මගහැරෙන
ජීවිතය කඳුළක් ද මග හැළෙන?

දවසකට හැකි වුණත්
සිතිජයෙන් ගිළිහෙන්න
මුහුදකට පුළුවන්ද
ස්නේහයක් සඟවන්න
ළය හොවා දුක් දරා
මුතු මිණක් සේ තැනුව
දරුවෙකුට පුළුවන්ද
රළක් සේ බැසයන්න?

නැව්බඳක වැදි වැදී සඳ බිඳෙයි
රළු මුහුද දෑස තුළ රළ නඟයි

ඒ අඳුරු ගැඹරේ
ඔබ හුස්ම සොයන’යුරු දැනි දැනී
හුස්ම ගන්නද මම ‍කොහොම
හුස්ම නො ගෙනම හිඳිම්

සාගරේ තරම්
පෙම් කළ බවක් නො කියමී
ආදරේ තරම
කරදියෙන් මනින්නට බෑ දරුවනී

20-04-2014

සබැඳි: ගිලුණු කොරියානු නෞකාව පිළිබඳ තොරතුරු

"මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."

Friday, April 4, 2014

ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ 'සඳ මුදුව මැවෙන්නැති' දොරට වැඩුම | අප්‍රේල් 05 සවස 3 ට




ධනුෂ්කා කියන්නෙ ඉතාම අපූරුවට බස හසුරුවන, මනා කෞෂල්‍යයක් , කියවීමක් සහ සතතාභ්‍යාසයකින් යුක්ත කිවිඳියක්. ඇගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ එකතුව වන 'සඳ මුදුව මැවෙන්නැති' අප්‍රේල් පස්වන සෙනසුරාදා දොරට වඩිනවා.

මේ ඇගේ ප්‍රතිභාව දැකිය හැකි 'සුමනේ' නම් කවියෙන් කොටසක්.


"..............
ලෝකෙ එළිය දකින්න බැරි 
හීන තමයි අයිති අපිට 
ඒක තමයි හැමදාමත් 
රෝසපාට හීන වලට 
අකමැත්තෙන් වුණත් අපිට 
ගාන්න වුණෙ අඳුරු පාට 

අට්ටි අට්ටි හීන තියන් 
කුට්ටි කුට්ටි අඳුර මැදින් 
දවස් හතට පාට හතක 
මල් පිපිලා හැඩට පේන 
ඉර හිල් වෙන අහස හිඳෙන 
තට්ටු තට්ටු සොල්දරයක 

ආදර සරුවාල ඇඳන් 
ආදර භෝජනේ හදන් 
ආදර පානේ එළියෙන් 
ඉන්න හිටියෙ මේ අපිමද? 

එහෙව් අපට 
අද වෙනකල් 
හොයාගන්න බැරි වුණේම 
ඒ ආදර මඟ නෙමේද? 

කටු පිපුණෙත් කටුනායක 
මල් පිපුණෙත් කටුනායක 
ඉතින් සුමනෙ හැමදාමත් 
මතක නේද කටුනායක....??"


දිනය : 2014 අප්‍රේල් 05 වැනි දින සවස 3 ට 
තැන: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී 
දෙසුම්: රත්න ශ්‍රී විජේසිංහ
         ආනන්ද තිස්සකුමාර
ධනුෂ්කා,
මල් පිපෙන පරවෙන
ඉර හඳ නඟින බැස යන
මේ අරුමැසි කලා අහස
ඔබේ කව් තරු සහසකින්

එළිය වේවා!