Thursday, January 7, 2016

මේ නිවාඩුව



අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට නැත්නම් කන්ද උඩ පීල්ලට

නාරං ගහ පේන තැන
පඩිය උඩ ඉඳගෙන
ටයිල් කැට මැදෙන තුරු
තර්ක කරන්නට
මහින්ද ද මෛත්‍රී ද පුටින් ද බාහුද?

ඔබ පුරවලා ඇති ෆ්‍රිජ් එක
‘දරුවන්ට උයන්න‘
අම්මට කියල ඇති...
'නත්තලට එන්න- දුවයි බෑණයි එනවා'
ගොඩැල්ලෙ මාම ට
ඇරයුමක් දී ඇති..

බාග බෝතල් අස් කරනවා ඇති
බෙහෙත් බෝතල් පිහිදමනවා ඇති
හවස ඉඳගෙන
පත්තරේ කෑල්ලෙන් කෑල්ල කියවනවා ඇති.

අපට තිබුණා
නත්තල් දා රෑට
පල්ලි යන්නට
පූජාව ඉවර වී අම්මා එනකම්
පොල් අරඹ යට කයියක් ගහන්නට
පටිච්ඡ සමුප්පාදය සිහි කර
ඔබ ආයෙ හැරෙන කොට
මට පුලුවනි
එක පාරක් ගිහින් ගවලෙන බලා එන්නට
‘හැපි ක්‍රිස්මස්‘
අපට පුලුවනි එකිනෙකා තදින් වැළඳ ගන්නට

ආයෙ එන දවසට
ඉස්සර විදිහට ම
ඔබ අහයි
'සල්ලි තියෙනවද පුතේ මඟ වියදමට?'
හිරවෙන උගුර පාදා
මට පුලුවන් වෙයි 'ඔව්' කියා ගන්නට

මරණය කියා දෙයක් නො තිබුණා නම්
අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට ...
නැත්නම් කන්ද උඩ පීල්ලට.

11 දෙසැම්බර් 2015

Friday, October 16, 2015

මතක...




බොහෝ කල් ගත වී ගොසිනි
අප වෙන්ව ගිය සැඳෑවේ
අමුතු පැහැය මටත් දැන් අමතකය.

කම්පනීය අඳුර තුළ
සිහිවිකල් වනු පෙර
මට මතක එකම දෙය
දුරකථනයෙහි නාදය
ඔබේ බිඳුණ කටහඬ
‘ඉතිං අපි වෙන්වෙමු‘
එහෙම කිවේ ඔබ ද?
නැත්නම් මම ද?

..........................

අහුලන්න ඇවිලෙන්න
මතක සටහන් නැති
කළබල නගරයක
නාඳුනන මල් උනුන් සිඹින
මිටියාවතක
විපිළිසර මිහිදුම් මැකී ගිය
කඳු පෙතක
සන්සුන්ව ඇවිද යමි...

ඹබ මට කිසිදාක
නො එවූ මල්වල
පැහැය
සුදුත් නැති කලුත් නැති
අලු පැහැය...
මැකී ගොස්
අවර්ණය හාත්පස

ඔබ කියා කෙනෙක්
ඇත්තටම
සිටියෙද?
අප කියා දෙයක්
හැබහින් තිබුනෙද?

බොහෝ කල් ගත වී ගොසිනි...

අප වෙන්ව ගිය සැඳෑවේ
අමුතු පැහැය මටත් දැන් අමතකය.


27-07-2015