Saturday, February 4, 2017

ඔබ හැරුණු තැන





මලක් තුළ බහා ඔබ තබා ගිය විස කටුව
මල සිඹින නියායෙන් ඇනගමි
කලක් ගිය පසුවවත් මතක් වේදැයි බියෙන්
පලක් නැති මතක පැස ගිනිලමි

සඳක් වනු වස් ඔබට රැයක් වූ බව මෙතෙක්
නො කියා ම රැය පහන් කරනෙමි
වරක් දුටු දේදුන්න වේදනා මුස්නකින් 
පිස දමා මුව අගින් හිනැහෙමි

දුරක් අපි එන්න ඇති ඒ මගෙහි සිහින ඇති
ඔබ හැරුණු තැන මඳක් නවතිමි
තැනින් තැන ඔබ තැබූ  කටු පොකුරු සහ මලක් 
එකම එක කඳුළකින් පිසලමි

සැතක් ගෙන තියුණු ලෙස ඔබ සිදුරු කළ තැනින්
ප්‍රේමයේ සඳ බිඳක් ගල්වමි 
අතක් ගිලිහුණු තැනින් අඩක් පිරි විත තබා 
යා යුතු ම මග හෙමින් ඇවිදිමි 


04-02-17

Friday, February 3, 2017

නො පවතිනු වස්...




කන්දකට පෙම් බඳිමි
ආදරේදැයි පෙරළා නො අසමි
නින්දෙනුත් ගිරි හිස සිඹිමි
පෙම් බසින් දුර්ග මංපෙත් වසමි

අසිරිමත් උදයට ඇහැරෙමි
විසිරි පිනි මෘදු හාදු අහුලමි
කාගෙදැයි අයිතියක් නො දැන ම
හිස් කළ සිත් පැසෙහි ලා ගමි

මිහිදුම් දුමාරය තුළ දියවෙමි 
සිහිනෙක සැබෑවක පවතීද නො සිතමි
තුරුපත් සාද සර සරය වෙත වැද
තරු අඳුර සමග සව්දිය පුරමි

කන්දකට පෙම් බඳිමි
පෙම් රැහැන් වරපට මුදමි
නින්දෙනුත් ගිරි හිස සිඹිමි
නො පවතිනු වස්, ප්‍රේමයව පවතිමි


02-02-17