Monday, September 20, 2010

යාපනයට ලියමි.






















කොක් රෑන සුදු සළු එළන
මුඩු ලියැද්දට පෙම් බඳින
ට්‍රැක්ටරේ හිඳ දුර බලන
සිත්තප්පෙ තාමත් තරුණ ....,
පිච්ච මල් පැළඳූව උදෑසන
පිනි දෙවුණු ඒ මඩ සුවඳ
මගෙ හිත ළඟම වගෙ දැනෙනවා....

ළිං පතුළ කෙළවරක් දකිනට
ආඬි ළිඳ ළඟ දොඩමළුව
මැකුණු පා සලකුණු  සොයන්නට
උඩුවිල්හි මං පෙත් සැරුව
නාඳුනන මළ ගෙයක පිල මත
බෙදා ගත් ඒ බුලත් විට රස,
නොදත් බසෙකින්  කියූ හැම දේ
සෝයුරනි, මට කියනවා...

සිහල ගීයක නුහුරු හැඩයට
දෙමළ බෙර පද හඬ නැගුව
එකම මිදුලක එකට පිසගත්
පොංගු සෝරුව රස බැළුව                                                                                 නුහුරු හිත් මත දෑස දුවවා
ජීවිතය හෙවු නංගියේ,
බිඳුණු පොළවෙහි එකට ඉඳගෙන
කියූ නොකියූ  දිග කතාවක
අරුත මම තව හොයනවා...

චාටි ගම කෙළවර තැනක
නිහඬ ඒ පැල්පත තුළින
මතුවෙලා දර මිටිය අරගෙන
තල් අරඹ  තුළ බොඳ වෙලා ගිය
පාටි, ඔබෙ රුව පෙනෙනවා ....
තවම දිය නොසිඳුණු වැවක
ඉහත්තාවේ ඇන තියාගෙන
ගල් තැළුම පිරිමදින මලණුව,
කැඩුණු දෙමළෙන් මා තබා ආ
පණිවුඩය වැටහුනිද නැද්දැයි
තාම හදවත අහනවා....

ලේ රතට ඉව කෙරූ සුළඟට
සුසුම් ලඹ දුන් චාවා* කළපුව
මාළු අල්ලන් උදේ එන්නට
ගියපු රාජන් හොයනවා...
දොර ජනෙල් නැති නිදන කුටියේ
මගේ තනියට බිම නිදා උන්
කන්මණි,
නුඹේ තිලකය ඉකි ගැසූ හඬ
දුරක නිදනා මේ රෑත් මට ඇහෙනවා...

පුල්ලෙයාර් කෝවිලේ නළලත
රුදුරු සිහ නියගින් ඉරා
තුන්නූර් ඉරි මකා පලවා
බලෙන් ඇලවූ ධම්ම පද වැල්
අවතැන්ව නිදි කිරනවා...
පෙණය අහිමිව නාග දූපත
සදා වැළපෙන සයුරු වෙරළත
මිනිස් ඇ‍සෙකින් නොවට කඳුළක
හිස ගසාගෙන අඬනවා....

හුස්ම නැවතුණ ගොළු නිවස්නක
බිතක හදවත පලා ඉපදුණ
නුග මුලක් ඇදි ඇදී පහළට
ෂෙල් කුණාටුව හමා බිම ලූ
ලිප් ගලක හු‍දෙකලා දුක පිරිමදිනවා...
මල් වඩම් නොතබාම දවසක
අරන් ගිය මරණයක සීතල
තුරුල් කරගෙන බිඳුණු පපුවට
ගොම්මනේ අඹ ගසක් සෙවණේ
හෙවණැලිත් පණ අදිනවා ......

හීන දකිනට එන්න නොකියමි
රැයත් නින්දත් අහිමි පුරවර
ඒත් නොනිදන සහස් තරු ඇස්
කළුවරට තව වසනු බැරි වූ
අහස් ගඟ මැද දැවෙනවා...
දැවෙන තරු  යනු හිරු ම දහසකි
ජීවිතය පණ ගැහෙන උපතකි
සෝයුරනි දුටුවාද හිරු රැස්
ආදරය වී ගලනවා....


*ව්‍යවහාරයේදී චාවකච්චේරිය හඳුන්වන කෙටි නම

19/09/10

Friday, September 10, 2010

තැනිතලාවේ සිට බලමි...

අපි, ආදරය, සබඳතා, ආර්ථිකය, නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළු සමස්ත සමාජ සන්දර්භයම අන්‍යොන්‍ය වහල් භාවයට යට කරන ලද යුගයක මිනිස්සු වෙමු. එක් මිනිසෙකුට තවත් මිනිසෙකු උපකරණයක් පමණක් වන,  සැමෙකෙකුම අනෙකා වටා භ්‍රමණය වන ඉනිදු නොනැවත පරිභ්‍රමණය වන සමාජයක මිනිස් කුලකයට අයත් වන මට , මානුෂික වන මිනිසුන්ගෙන් සුසැදි  ඒ මිනිසුන් විසින් මානුෂික කරන ලද ස්වභාව ධර්මයෙන් විකසිත වූ පරිපූර්ණ ලෝකයක් ගොඩ නැගීම පිළිබඳ අදිටන ද ඒ සඳහා අනන්ත අප්‍රමාණ ව සිය ශක්තීන් වර්ධනය කර ගත හැකි  මිනිසා නම් සත්ත්වයා පිළිබඳ  ගෞරවනීය විශ්වාසයක් ද තිබේ.

ද්‍රෘෂ්ටිවාද වලින්, නොදන්නා කම තුළ හට ගත් බියෙන්, වසර මිලියන ගණනක් හුරු කරවන ලද වහල් කම් වලින් පටු කරවන ලද මිනිස් සන්තානය දරුවෙකුගේ සැහැල්ලුව තුළ ද කඳු ශිඛරයක සැඟවුණ දිය කඳුරක සුපැහැදිළි බව තුළ ද පණ ගසා පටු මතවාද වලින් ඔබ්බට ‍ගෙන ගොස් එහි සැබෑ විභවය පුබුදුවාලීමේ පරම කාර්යයක් ඇති බව මට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

සෞන්දර්යයෙහි සැබෑ මානයන් ද මිනිස් බවෙහි අසීමිත හැකියාවන් ද ග්‍රහණය කර ගත හැකි ඒ ඉසව් කරා යන ගමන මගේ තනි ගමනක් නොවේ. මිනිසා පෞද්ගලික ව සිතුව ද ඔහු අනිවාර්යයෙන්ම සාමාජයීය සත්ත්වයෙකි. එනිසාම ඔහුගේ සත්‍ය ස්වභාවය නිහඬව ද ගැඹුරුව ද සමාජය තුළ වර්ධනය වේ.  මගේ අසීමිත වූ මිනිස් ස්වභාවයෙහි හිමිකම් අත්කර ගැනීමට මට අනෙක් මිනිසුන්ගේ ක්‍රියාකාරී සහයෝගය ද අනෙක් අය තුළ මා දැකීමත් මා තුළ අනෙකා දැකීමටත් උදව් දෙන අන්‍යොන්‍ය හඳුනා ගැනීම ද  අවැසිය. සුළඟද වළාකුළු ද තුරු ලතා ද ගංගාවන් ද කුහුඹුවන් ද හෙට වැටෙන්නට නියමිතව තිබී වැහි හුළං කෝඩය විසින් අද බිම හෙළන ගසක කොළයක් ද ඒ හඳුනා ගැනීමට අයත්ය. වස්තුවක් යනු හුදු උපයෝගීතාවක් නොවේ.  මට ඔබේ රිද්මය ස්පර්ශ වන විට ඔබට මා දැනෙන්නට පටන් ගනු ඇත. මා මානුෂික වන තරමටය මා අවට දෙය එසේ වන්නේ...ඒ සමස්ත සත්තාව මට දැනෙන්නට පටන් ගන්නා සොඳුරුතම මොහොතයි.

ඔබ කවර මතයක හෝ ද්‍රෘෂ්ටියක හෝ පිහිටන්නෙකු වේවා එන්න මෙතැනින් ඉඳගන්න, අපි කතා කරමු...ඔබේ මතය නිසා ඔබ හෙළා දකින්නට, විනිශ්චය කරන්නට මා කවුද? මගේ විශ්වාසය නිසා මා මරා දමන්නට ඔබ කවුද? අප වෙනස් මත දරන්නන් විය හැකිය...එහෙත් අපට එකම බිමක ඉඳගන්නට  නොහැකිද? සිය දහස් ගණනක් වෙනස් මාවත් වලින් යන්නට තනන එකම තැන කරා ළඟා වන්නට වෙනස් කම් වලට ගරු කරමින් වැඩ කරමු. මිනිසුන් සතු එහෙත් මිනිසා විසින්ම අහිමි කර ගත් ඒ මානුෂ විමුක්තිය පරිපූර්ණ වනු ඇත්තේ මිනිසා සමාජ බලය ලෙස තම ශක්තීන් හඳුනාගෙන  ඒවා පවත්නා ආර්ථික දේශපාලන බලවේග වලට යට නොවී සංවිධානය කර ගත් විට පමණි.

අපේ සියළු ආයාසයන්, ව්‍යායාමයන්, නිෂ්පාදනයන් සහ නිර්මාණයන් ක්ෂුද්‍ර වුවමනාවන් තකා එකිනෙකා විනාශ කරන්නට නොව  මිනිස් සාරය උත්කෘෂ්ටත්වයට නැංවීම සඳහා බිහිවිය යුත්තේ එබැවිනි.

ඒ විශිෂ්ට මිනිස් සමාජය මට කලින් මිහිමත මිනිසුන්ව උන්  අයගේ සිහිනයයි....වෑයමයි...මගේ හෙවත් අපේ සාමූහික වගකීමයි.

කඳු හෙල් තැනින් තැන නැගුණ ද වෙනස් මිනිසුන් එකට සිට ගත් විට මිහිතලය ‍තැනිතලාවකි.... මිතුරනි, ලෝකය එක යායකි.

'මගේ සිහිනය'
05-09/10 -රාවය