කොක් රෑන සුදු සළු එළන
මුඩු ලියැද්දට පෙම් බඳින
ට්‍රැක්ටරේ හිඳ දුර බලන
සිත්තප්පෙ තාමත් තරුණ ....,
පිච්ච මල් පැළඳූව උදෑසන
පිනි දෙවුණු ඒ මඩ සුවඳ
මගෙ හිත ළඟම වගෙ දැනෙනවා....
ළිං පතුළ කෙළවරක් දකිනට
ආඬි ළිඳ ළඟ දොඩමළුව
මැකුණු පා සලකුණු සොයන්නට
උඩුවිල්හි මං පෙත් සැරුව
නාඳුනන මළ ගෙයක පිල මත
බෙදා ගත් ඒ බුලත් විට රස,
නොදත් බසෙකින් කියූ හැම දේ
සෝයුරනි, මට කියනවා...
සිහල ගීයක නුහුරු හැඩයට
දෙමළ බෙර පද හඬ නැගුව
එකම මිදුලක එකට පිසගත්
පොංගු සෝරුව රස බැළුව නුහුරු හිත් මත දෑස දුවවා
ජීවිතය හෙවු නංගියේ,
බිඳුණු පොළවෙහි එකට ඉඳගෙන
කියූ නොකියූ දිග කතාවක
අරුත මම තව හොයනවා...
චාටි ගම කෙළවර තැනක
නිහඬ ඒ පැල්පත තුළින
මතුවෙලා දර මිටිය අරගෙන
තල් අරඹ තුළ බොඳ වෙලා ගිය
පාටි, ඔබෙ රුව පෙනෙනවා ....
තවම දිය නොසිඳුණු වැවක
ඉහත්තාවේ ඇන තියාගෙන
ගල් තැළුම පිරිමදින මලණුව,
කැඩුණු දෙමළෙන් මා තබා ආ
පණිවුඩය වැටහුනිද නැද්දැයි
තාම හදවත අහනවා....
ලේ රතට ඉව කෙරූ සුළඟට
සුසුම් ලඹ දුන් චාවා* කළපුව
මාළු අල්ලන් උදේ එන්නට
ගියපු රාජන් හොයනවා...
දොර ජනෙල් නැති නිදන කුටියේ
මගේ තනියට බිම නිදා උන්
කන්මණි,
නුඹේ තිලකය ඉකි ගැසූ හඬ
දුරක නිදනා මේ රෑත් මට ඇහෙනවා...
පුල්ලෙයාර් කෝවිලේ නළලත
රුදුරු සිහ නියගින් ඉරා
තුන්නූර් ඉරි මකා පලවා
බලෙන් ඇලවූ ධම්ම පද වැල්
අවතැන්ව නිදි කිරනවා...
පෙණය අහිමිව නාග දූපත
සදා වැළපෙන සයුරු වෙරළත
මිනිස් ඇසෙකින් නොවට කඳුළක
හිස ගසාගෙන අඬනවා....
හුස්ම නැවතුණ ගොළු නිවස්නක
බිතක හදවත පලා ඉපදුණ
නුග මුලක් ඇදි ඇදී පහළට
ෂෙල් කුණාටුව හමා බිම ලූ
ලිප් ගලක හුදෙකලා දුක පිරිමදිනවා...
මල් වඩම් නොතබාම දවසක
අරන් ගිය මරණයක සීතල
තුරුල් කරගෙන බිඳුණු පපුවට
ගොම්මනේ අඹ ගසක් සෙවණේ
හෙවණැලිත් පණ අදිනවා ......
හීන දකිනට එන්න නොකියමි
රැයත් නින්දත් අහිමි පුරවර
ඒත් නොනිදන සහස් තරු ඇස්
කළුවරට තව වසනු බැරි වූ
අහස් ගඟ මැද දැවෙනවා...
දැවෙන තරු යනු හිරු ම දහසකි
ජීවිතය පණ ගැහෙන උපතකි
සෝයුරනි දුටුවාද හිරු රැස්
ආදරය වී ගලනවා....
*ව්‍යවහාරයේදී චාවකච්චේරිය හඳුන්වන කෙටි නම
19/09/10

