ළමා සොල්දාදුවෙකු ලෙස සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වසර 18ක් නඩු නැතිව බන්ධනාගාරයක රඳවනු ලැබ සිටියි.
-පුවතක්
යාළුයි කියා පවනැල්ලකුදු නැති තැන
පාළුයි තමයි හඳ එළිය වුව හැම තැන
මාළුයි ගඟයි දෙකම මූදට වැටුණම
යාළුවෙ දනිමි වියළි කඳුළක තනිකම
දමා හැර ගිය උපන් බිම මැද
නිමා නැති ෂෙල් තරු ලකුණු යට
ළමා සොල්දාදුවා විද නුඹ
පමා වෙන්නට අකුරු නොතිබුණ
පාට සමනල් කොළඹ අත්තටු
රෑට සවනක් රැසින් නෑවුණි
සීත කල්ලඩි ආරු දිය යට
කාටවත් නැති කඳුළු වෑහුණි
මීන ගී හඬ කණට නෑහෙන
වසර දහ අට කොහොම ගෙවුණි ද
නීතියත් මරණයත් මළ රෑ
හීනෙකින්වත් ගෙදර පෙණුනි ද
ගාළු මුවදොර වෙරළ රළ මත
සළෙල සුළඟක් කරත රමණය
නුඹේ ගොළු සිර කුටිය මුදුනත
සිහ සිවල් කැළ එකම කොඩියක
22/01/11
විහඟ සෙනගට සතුට නැත නිම්මා
විහඟ සර මැද උපන් ඈ අම්මා
විහඟ කුලයට දුවක වී
කැදලි තනනට පියාඹා ගිය කිරිල්ලී
පොළොව මදි විද අහස සැඩ විද
පියා සැරියට නොසෙල්ලී
මලානික තෙත වගුරු බිම මැද
හෙලා බිජුවට විතැන් වී
කිරි බරින් ළය බුරුල් වී
තටුත් දන් දුන් කෙවිල්ලී
තුඩින් සෙනෙහස ගලන්නී
ගොර සපුන් හිස සිඹින්නී
සා මුවන් ලෙස මාන බලනා
සිවල් රුදු නිය දකින්නි
මුවාවක් හොය හොයා අඬ ගා
විකල් වී බිම හොවන්නී
පුතු සිනා දැක උදම් වී
හිත හදා ගත් කුවේණි
තුඩින් සෙනෙහස කවන්නි
ගොර සපුන් කැළ රකින්නී
එදා දවසක නොකල්හී
කූඩුවේ දොර විසල් වී
කිතු කරලූ කිරි දැරූ ළය
වීසි කෙරුණිද අකුණු අහසට
වැහි තෙතක් නැති නියං සායක
උරා ගැණුනිද රුහිරු පොළොවට
තුඩින් ලේ බිඳු ගලන්නී
ගොර සපුන් දැක අඬන්නි
බර සුසුම් පොදි දරන්නී
අහස පොළොවට හෙලන්නී
තටු අහිමි සඳ කින්නරී
සඳ වතේ ලප තබන්නී
කෙනෙක් “අම්මා” කියා අවුදින්
සිනාසෙන මග රකින්නී
තුඩින් කඳුළක් හෙලන්නී
ගොර සපුන් මැද මියෙන්නී
31/12/10