Friday, May 25, 2012

අවුල් හදන අවුල් ලිහන අWL ART - ඡායාරූප ප්‍රදර්ශනය - මැයි 27-29



විරාජ් ලියනාරච්චි-විටෙක දේශපාලන ක්‍රියාධරයෙකි. විටෙක සංගීත සත්කාරකයෙකි. කවියෙකි. විටෙක සමාජ ක්‍රියාකාරිකයෙකි. තව විටෙක සිනමාකරුවෙකි. මේ සියල්ලට ම වඩා ඔහු විශිෂ්ට ඡායාරූප ශිල්පියෙකි.


හේ ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙයි. වත්මන් ලාංකේය සන්දර්භය තුළ දුලබව ස්පර්ශ වන ඉම් කරා ළඟා වීමට වෙර දරයි. කලාවට අදාළ අධිපති මතවාදයෙන් ඔබ්බට ගිය වෙනස් වූ මානයන් ගවේශණය කරන ඔහු ඒ ප්‍රකාශනයන් සිදු කරන්නේ අවට ඇති වෙනත් විවිධ මාධ්‍ය සමඟ මිශ්‍ර කරමිනි. 

සිය ඡායාරූප හරහා අන්තර්ජාතික අවධානයට ද ලක්ව ඇති ඔහුගේ ප්‍රථම කේවල ඡායාරූප ප්‍රදර්ශනය ‍මැයි මස 27 සිට 29 වැනිදා දක්වා කොළඹ ජාතික කලා භවනේ දී සහ ජුනි 2 සහ 3 යන දෙදින තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දී පැවැත්වීමට බලාපොරොත්තු වෙයි.

 27 වැනිදා සවස 3 ට ජාතික කලාභවනේ පැවැත්වෙන සමාරම්භක උත්සවයට ඡායාරූපකරණයට ලැදි සියල්ලන් ට ඇරයුම් කරයි.


මේ ප්‍රසාද් වීරසේකර වරක් විරාජ් වෙනුවෙන් ලියූ, ඔහු ගැන අපූරුවට කියවෙන කවියක්... 

"සියලු රස සමග මුසු කොට අඩු වැඩිය
පත අට එකට සිඳ වළඳන බේකරිය

ජූරිය පවා එක මොහොතක නිහඬ කළ
සූරියලිසම් ජීවිතවල ෆොටෝ එක


වී පැදුරෙන් ඉගිල නොයා බණ අසන
මී බඳුනක් ළඟ තුරුළු ව සිනාසෙන

දල්වා පහන මග බලනා සුපෙම් සරා
මල්වර වෙවී මල් නගනා මහල්වරා..."





අවුල් අවපාත සෙනඟ මැද අවුල් නොවී කරන අWL ARTවලට සහෝදරත්වයෙන් සුභ පැතුම්!



Wednesday, May 23, 2012

කුවණ්ණා


පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලුවෙ ‘ලු’
කුවණ්ණා...


නුහුරු නෙත් සරයකට
රුහිරු කැටි උණුව ගොස්
මහතිත්ත වෙරළ ගිනි වදින්නා
ජීවිතේ කපු පිළී ලිහෙන්නා

යක්ෂ ලේ ධාතුවම
යක්ෂ බිම මත හලා
වික්ෂෝප සංතාප විඳින්නා
සසර පෙම් වරපටෙහි බැ‍ඳෙන්නා

පවර තෙදවත් කෙසරු
කවර ලෙස විද රුදුරු
අදහන්න බැරි වුණිද කුවණ්ණා
ප්‍රේමය ම ගිනි දළුව දැවෙන්නා

කපු වියා ගෙවී ගිය
රත් නෙළුම් ඇඟිලි තුඩු
කම්පිතවු ළය මඬළ ගසන්නා
සෙ‍සාපති* දරු උරුම යදින්නා

රළ පෙළක් සේ අරා
යද්දෙස්සගල නැගී
කිරි අම්මලැත්තො* දුක කියන්නා
තම්බපණ්ණියෙ හැපෙයි කුවණ්ණා

හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළ දැමුව
අතීතය, කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගරපං කුවණ්ණා


‍*සෙසාපති- කුවේණියට කියන තව නමක්
*කිරි අම්මලැත්තෝ- වැදි ජනයා විසින් කු‍වේණිය හඳුන්වන පදයක්