Tuesday, October 12, 2010

ෆීනික්ස් දරුවාණ....



















 


තැඹිලි පාටට ඉදුණු ඉර
අහස් නටුවෙන්
ගිලිහෙන්න පෙර
නිල්ම නිල් මුහුදට නැමුණා
සිහිල් ජල කඳ හෙමින් සිප ගෙන
අනන්තය අග්ගිස්සෙ
වාඩි වී ගිමන් හැරියා

කළුවර ම අඳුරු රැය යට
තරු පැසක් හැළුණා
නිමක් නැති කළපුවක කෙළවර
පා ලකුණු ඇඳුණා

නො දන්නා මං පෙත් දෙපස උන්
නාඳුනන ගැහැණුන්ගෙ  මුව මත
දන්න අඳුණන සිනා නැගුණා
තල් කවන්ධ වල
මල් පිපෙන්නට
හීන දකිනා -මීන දෑසක්
මා ළඟම දිළුණා

හුස්ම නැවතුණු සුළඟට
හමන්නට අමතකව ගිය බිම
පවනක්ව ඒ සිඟිති අතැඟිලි
මා අතේ වෙළුණා

මරණයත් බිය වැදුණු
රුදුරු රණ බිම මැද
අසිපතට හෙල්ලට
සිදුරු කළ ‍නුහුණු
මේ දැන් උපන්
බිළිඳු හදවත
මා ළඟින් ගැහුණා

දොර ජනෙල් නැති හීන මැදුරට
ඉර එළිය වැටුණා
කඳුළු සායම් ගෙන
නිහඬ තණ බිම මත
ජීවිතය අඳිනා විටත්
ඔබේ නිශ්චල ගැඹුරු සෙනෙහස
මා වටා එතුණා ...

ලුණු රසය ගෙන හමන සුළ‍ඟෙත්
ආදරය තිබුණා
ලොවෙහි මෙතුවක් කලෙක බැස ගිය
සුන්දරම ඉර බහින විටදිත්
ඔබේ අත මා අත ළඟින් තිබුණා...

වලාකුළු පියසි යට
කටු අනින ගොර බිමෙහි
ඇදි ඇදී විසල් වන
සෙනෙහසේ නිසල  ගඟ වෙත
උපත දෙන පොඩි ම හදවත හැර
මිහි මත කිසිත් හිමි නැති
හුදෙකලා දරුවාණ,
මේ කවිය උපන් පොළවෙහි
මිනිසුන් යළි යළිත් මැරුණා
ඒ මිනිස් අළු පවා
යළි යළිත් ගිනි තැබුණා...

අළු ත් ගිනි ගත් පොළවක
ඔබ පිපී වැනුනු ඒ මොහොතේ
කවියකට නොනැගුණත් කිසිදින
මේ කවිය ඔබත් ලිව්වා....
ඔබේ දුක මා හිත ළඟින් තිබුණා

අළු මතට වැටුණු කඳුළක
හීනයක් තිබුණා....
ගින්නකට කිසිදා දවන්නට බැරි
හීනයක් තිබුණා.....



4 comments:

  1. උපදින්න යළි යළිත්
    යළි යළිත් උපදින්න
    ගිනි ගැනෙන අළු තුලින්
    කිරි සිනා හිනැහෙන්න
    අඳුරු වට රවුම මැද
    පහන් දැල්වෙන තුරා අපි
    පා නගමු නොනැවතී
    පා නගමු නොනැවතී
    උපදින්න යළි යළිත්
    යළි යළිත් උපදින්න
    ගිනි ගැනෙන අළු තුලින්
    කිරි සිනා හිනැහෙන්න....
    මේ තමයි ජීවිතය
    එන්න අපි ඈවිදින්න....!

    ReplyDelete
  2. me blog ekata dana pictures hoyaganne kohenda?

    ReplyDelete
  3. hi Vasilissa
    Could you please tell me how do you find the photos to your blog, bcoz I want some photos to use in my blog.
    sorry for using the commnts box .

    thanks

    ReplyDelete
  4. Hi Ano,
    There is no specific web site I go to look for images. i just type the key words that goes with the meaning of the text on google image search . some times it takes time as you have to be selective and sensitive.
    Good luck!

    ReplyDelete