Wednesday, December 1, 2010

බිම වැටුණු ප්‍රේමයක්!



















වියරු වෙස් ගත් එරීඩා* ගේ නගරයේ
කඳුළු පැන් බෙලෙක්කය අතින් ගෙන
සඳ හිඟා කන වීදියේ
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

ගැඩවිලුන් පනුවන් චිරි චිරියේ
කාක කැණහිල් රැළ ඉව කරන
කෑදරම ගිජු ලිහිණි ඇස්
දිස්නෙ දෙන ගණ අඳුරේ
දුටුවාද මිනිසුනි,
ගොදුරකට නියමිතව
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

යවට රළු වදන් උල්
සිදුරු කොට දෙසවනම
තැළුම් කා වධ වින්ද සිරුරත
ඕජසින් වණ වෙවී ලේ ගලන
ඉරා නිය පහුරු ගා
විකා හප කළ මුව ගොළුය
එහෙත් දෑසම පෙනෙන ප්‍රේමයක්!
දුටුවාද මිනිසුනි,
වීදියේ බිම වැටී තිබුණා....

ඇස් නැතිව ඉස් නැතිව
කෙස් ඇදන් මහ මග දුවන
හිම වැටෙන ගිනි ගැනෙන
මස් කඳන් රති කෙළි වැදුන
සිල් රකින මල් පුදන
නිල බලා උල් කටු ගසන
කතෘ අඥාත මරණ මිස
සොහොන් කොත් හිමි නැති
මළවුන්ගෙ මුඩු බිමක
මධු බඳුන් සව් දිය පුරද්දී
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

දුකම ගිලදා දරනු බැරි තැන
පිට උගුරෙ ගිය ජීවිතය,
මිය ඇදෙන්නට නියමිතව
ඉක්කා ගසන
වික්කල්ව ඇවිදින වීදියේ
නමක් නොලදින්
හැඳුනුම් පතක් හිමි නැති
අඥාත ප්‍රේමයක්
දුටුවාද මිනිසුනි,
හැම කිළුටු පයකටම
පෑගෙමින්  තිබුණා...?

ඒ පෙමට ඇස් දෙකක් තිබුණා..
ඒ දෑස් කෙළවර
රැළි නගන්නට ඉඩක් නොමලද
කඳුළු මුහුදක් තිබුණා...


29/11/10

*එරීඩා- ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධ වලට අනුව වෛරයේ දෙවඟන 

10 comments:

  1. දැවැන්ත පරිකල්පනයක්.

    මිනිස් සීමාවන් අතික්‍රමණය කළ භාෂා භාවිතයක්!

    ReplyDelete
  2. මාලතී1/12/10 14:59

    ස්තූතියි ප්‍රීති අයියා.

    ReplyDelete
  3. Anonymous3/12/10 12:00

    ප්‍රේමය නම්...

    ලේ කඳුළු
    සෙම්සොටු
    දුහුවිලි පිහින
    කිළුටු
    කඩමල්ලකිය.

    ReplyDelete
  4. හරිම ලස්සණ ලියැවුමක් මාලතී. ඒරිඩා ගැනත් දැනගන ඔෙබ් නිර්මාණය කිෙයව්වා නැවතත්. ඒතෙකාට තමයි ෙහාදටම ෙත්රුෙණ්. ඉතින් තුති!

    ReplyDelete
  5. සුන්දර නුඹේ කවි වල ගැලෙමි මම
    යලි යලිත් යලි යලිත්
    සොයා ඇවිදින් මතක ඇති කල් සිට!!

    ReplyDelete
  6. විමුක්ති10/3/11 15:27

    Who is Erida?

    ReplyDelete
  7. @ Vimukthi, Erida is the goddess of hatred according to Greek mythology.
    එරීඩා- වෛරයේ දෙවඟන (ග්‍රීක මිථ්‍යා කතා)

    ReplyDelete
  8. Anonymous21/3/11 15:57

    එරීඩාට කවුරුවත් පෙම් කරේ නැද්ද?
    එරිඩා කාටවත්ම පෙම් කළේ නැද්ද ?

    ReplyDelete
  9. සීතල දිනක,ප්‍රේම පාරේ
    කෙලවර මිදුනු කදුලු නදී මංසල
    අසල තිබුනා දුටුව මතකයි
    මස්‌ ලේ නහර කැනහිලු අඩවියේ
    දිලිසෙමින්
    යම් කිසි දෙයක්‌....
    නොදනිමි.... එය ඔබේ පෙම වන වගක්‌..

    ReplyDelete
  10. Anonymous30/3/12 10:41

    ":ඒ පෙමට ඇස් දෙකක් තිබුණා..
    ඒ දෑස් කෙළවර
    රැළි නගන්නට ඉඩක් නොමලද
    කඳුළු මුහුදක් තිබුණා......"

    හරිම අගෙයි ..............අපූරු පදපෙළ
    එතකොට "එරීඩා" ට කවුරුත් පෙම් කරලා නැහැ .....
    සයිමන් ...

    ReplyDelete