Tuesday, July 23, 2013

අපි දැන් අමුත්තෝ වෙමු!

ජීන් අර්සනායගම් ගේ ‘Now we are strangers' පද්‍යයේ පරිවර්තනය



[කිසි දිනෙක මා  මනසින් නොමැකෙන, 1983 ඒ අඳුරු ජුලි 23 වැනිදා, සිංහලයින් යයි කියනු ලැබූ එක් මිනිස් කොටසක් විසින්, දෙමළ යනුවෙන් හඳුන්වා, පොළව මත වැටුණු රොඩු කැබලි සේ ගිනි තබා අළු කොට අතුගා දමනු ලැබූ තවත් මිනිසුන් දහස් ගණනකගේ ලේ ගලන  මතකය වෙනුවෙන් ඇගේ කවිය මෙසේ පරිවර්තනය කොට සටහන් කර තබමි. ]



අන්තිමේ දී වෙන්වීම තීරණය වී ඇත.. 
දිරා ගිය කොළ පිරි අපුල මුඩු බිමෙහි
විකල්ව සැරි සැරූ සමය අවසන් ය... 
පොළොව විසින් මුල ප්‍රතික්‍ෂේප කෙරයි
තිත්ත පස විසින් බීජය ප්‍රතික්ෂේප කෙරෙයි
තුරුපත් වියන සිහින් ගෙරවිලි හඬ නගයි 
දුගඳ හමන මළ මිනී මත
දඟර ගැසෙන මඩ සෙවෙල්වල
අපුල දරා ගනු පිණිස
අතුවලින් ගිලිහී බිම පතිත වෙයි

කුමට පෙම් කරනුද 
පැසවන ලේ සැරව ගලන 
තුවාල හදවතකට?
හුදෙකලා සෙල් ටැම්
සැඟවුණු ලෙන්
පුරාතන බිතු සිතුවම්
ලේවලින් උදුරාගෙන
අවතැන් කරන ලද
අපේ ඉතිහාසයන්....

කැටයම් කර ඇත අපේ ග්‍රීවයන්
විලි ලැජ්ජාවෙන්....
කෙළෙසනු ලැබූ අනන්‍යතාවේ 
වැරහැලිවලි ලේඛණවලින් ………..
දැන් අපට රටක් නැත
බිමක් නැත
වරක් අප සිටි පරිදි 
වසන්නට තැනක් නැත...
බල කෙරුණි පලා යන්නට 
වෛරය ද බිය ද රැඳි හදවතින්
ඉදි කෙරුණි 
උල් සහිත දැති සහිත 
ප්‍රාකාර අප අතර 
තියුණු බාධක වෙසින්

අපි දැන් අමුත්තෝ වෙමු...

එක්කෝ අප නැවතිය යුතු වෙමු
අගුලු ලෑ කුටිය තුළ... 
නිදිවර්ජිත අඳුරු රාත්‍රීන් රැඟෙන එන
අඩ සිහිනවලින් කම්පිත වෙමින්
මරණය පැමිණ අප මෙයින් නිදහස් කර ගන්නා තෙක්...

නැත්නම් නැව් නැගිය යුතුය
සිතියමක් නැති 
දිශාවක් නැති
නිමක් නැති
යාත්‍රාවක 
ඉදිරියට....

['Apocalypse ’83' -1984]

3 comments:

  1. තමන් ඉපදුණු රටේ අමුත්තන් සේ හැඟීම ඛේදවාචකයක්....

    ReplyDelete
  2. 83, ගැන දිගින් දිගටම ලියන එක ටහ්වමත් ඇති වෙලා නැද්ද? ඇයි 71,88/89 යුග වල සිදුවූ ජිවිත විනාශ ගණන් නොගත ටහ්රමටම පොඩිද? නැත්නම් ඒකෙන් මැරුණේ සිංහල බෞධයන් නිසා ඒක දුකකට හේතුවක් නොව සතුටට හේතුවක් ලෙස ඔබට පෙනේද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. @Wmk Samarasekara,
      83 ගැන ලිවීම යනු 71, 89 ගැන තැකීමක් නැතිවීමක් ලෙස අර්ථගන්වා ගැනීම ඔබේ ප්‍රශ්නයකි. සිංහල බෞද්ධයන් මියයාම මට සතුටක් යයි සිතීමද ඕබේ ගැටළුවකි. අනෙක් කරුණ වන්නේ 71/89 මියගිය බහුතර තරුණ පිරිස නිර්ආගමික මාක්ස්වාදී ආස්ථානයක සිටි භෞතිකවාදීන් වීමයි. දකුණේ මියයන හැමෝම සිංහල බෞද්ධ කුලකයට ලඝු කිරීම ඔබේ දේශපාලනික දැනුම විදහා පායි. එක කවියක් කියවා කෙනෙකු විග්‍රහ කරන්නට යාම ඒ දැනුමට තවත් උදාහරණයකි.

      ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු මෙසේය.

      83, ගැන දිගින් දිගටම ලියන එක ටහ්වමත් ඇති වෙලා නැද්ද?
      නැත. මිනිස් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක් වූ ඒ මොහොත සැබෑ මිනිස් සිත්වලින් කිසිදා නොමැකෙනු ඇත. අප එය සිහි කළ යුත්තේ නැවත එවැන්නක් නොවීමට වග බලා ගැනීමට මෙන්ම ඒවා ට බලපෑ හේතුකාරකවලට යළි පණ නොදෙනු පිණිසය.

      ඇයි 71,88/89 යුග වල සිදුවූ ජිවිත විනාශ ගණන් නොගත ටහ්රමටම පොඩිද?
      නැත. ඒ ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි වන්නේ ‘සිංහල බෞද්ධ‘ ගොන් කතාවලට එහා ගොස් සුපුෂ්පිත මානව සමාජයක් බිහි කිරීම උදෙසා සිහින දුටු හැට දහසක් ජීවිත මේ පොළවට අහිමි වූ නිසාය.

      නැත්නම් ඒකෙන් මැරුණේ සිංහල බෞධයන් නිසා ඒක දුකකට හේතුවක් නොව සතුටට හේතුවක් ලෙස ඔබට පෙනේද?
      මා ඉහත කියා ඇති පරිදිම එදා 71/88,89 මරා දමනු ලැබුවේ ආගමිවාදයකින් එහා ගිය දියුණු මිනිසුන් කොටසකි. මිනිසුන්ගේ මරණය තවත් මිනිස් කොටසකට සතුටට හේතුවක් වනු අපි දැක ඇත්තෙමු. 2009 මැයි 19 කිරිබත් කෑවේ එහෙම අයය. මා ඒ ගොඩට අයත් නැත. සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් යන මේ කිසිවක් මිනිසුන් දෙස බැලීමේ දී මට අදාළ නැත. ඔය ඔබේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ. මට අදිළ වන්නේ මේවා මත පදනම්ව මිනිසුන්ට වෙනස් කොට සැලකීමය.

      ස්තූතියි.

      Delete