Showing posts with label Sinhala Buddhist Extremists. Show all posts
Showing posts with label Sinhala Buddhist Extremists. Show all posts

Tuesday, July 23, 2013

අපි දැන් අමුත්තෝ වෙමු!

ජීන් අර්සනායගම් ගේ ‘Now we are strangers' පද්‍යයේ පරිවර්තනය



[කිසි දිනෙක මා  මනසින් නොමැකෙන, 1983 ඒ අඳුරු ජුලි 23 වැනිදා, සිංහලයින් යයි කියනු ලැබූ එක් මිනිස් කොටසක් විසින්, දෙමළ යනුවෙන් හඳුන්වා, පොළව මත වැටුණු රොඩු කැබලි සේ ගිනි තබා අළු කොට අතුගා දමනු ලැබූ තවත් මිනිසුන් දහස් ගණනකගේ ලේ ගලන  මතකය වෙනුවෙන් ඇගේ කවිය මෙසේ පරිවර්තනය කොට සටහන් කර තබමි. ]



අන්තිමේ දී වෙන්වීම තීරණය වී ඇත.. 
දිරා ගිය කොළ පිරි අපුල මුඩු බිමෙහි
විකල්ව සැරි සැරූ සමය අවසන් ය... 
පොළොව විසින් මුල ප්‍රතික්‍ෂේප කෙරයි
තිත්ත පස විසින් බීජය ප්‍රතික්ෂේප කෙරෙයි
තුරුපත් වියන සිහින් ගෙරවිලි හඬ නගයි 
දුගඳ හමන මළ මිනී මත
දඟර ගැසෙන මඩ සෙවෙල්වල
අපුල දරා ගනු පිණිස
අතුවලින් ගිලිහී බිම පතිත වෙයි

කුමට පෙම් කරනුද 
පැසවන ලේ සැරව ගලන 
තුවාල හදවතකට?
හුදෙකලා සෙල් ටැම්
සැඟවුණු ලෙන්
පුරාතන බිතු සිතුවම්
ලේවලින් උදුරාගෙන
අවතැන් කරන ලද
අපේ ඉතිහාසයන්....

කැටයම් කර ඇත අපේ ග්‍රීවයන්
විලි ලැජ්ජාවෙන්....
කෙළෙසනු ලැබූ අනන්‍යතාවේ 
වැරහැලිවලි ලේඛණවලින් ………..
දැන් අපට රටක් නැත
බිමක් නැත
වරක් අප සිටි පරිදි 
වසන්නට තැනක් නැත...
බල කෙරුණි පලා යන්නට 
වෛරය ද බිය ද රැඳි හදවතින්
ඉදි කෙරුණි 
උල් සහිත දැති සහිත 
ප්‍රාකාර අප අතර 
තියුණු බාධක වෙසින්

අපි දැන් අමුත්තෝ වෙමු...

එක්කෝ අප නැවතිය යුතු වෙමු
අගුලු ලෑ කුටිය තුළ... 
නිදිවර්ජිත අඳුරු රාත්‍රීන් රැඟෙන එන
අඩ සිහිනවලින් කම්පිත වෙමින්
මරණය පැමිණ අප මෙයින් නිදහස් කර ගන්නා තෙක්...

නැත්නම් නැව් නැගිය යුතුය
සිතියමක් නැති 
දිශාවක් නැති
නිමක් නැති
යාත්‍රාවක 
ඉදිරියට....

['Apocalypse ’83' -1984]