Thursday, January 7, 2016

මේ නිවාඩුව



අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට නැත්නම් කන්ද උඩ පීල්ලට

නාරං ගහ පේන තැන
පඩිය උඩ ඉඳගෙන
ටයිල් කැට මැදෙන තුරු
තර්ක කරන්නට
මහින්ද ද මෛත්‍රී ද පුටින් ද බාහුද?

ඔබ පුරවලා ඇති ෆ්‍රිජ් එක
‘දරුවන්ට උයන්න‘
අම්මට කියල ඇති...
'නත්තලට එන්න- දුවයි බෑණයි එනවා'
ගොඩැල්ලෙ මාම ට
ඇරයුමක් දී ඇති..

බාග බෝතල් අස් කරනවා ඇති
බෙහෙත් බෝතල් පිහිදමනවා ඇති
හවස ඉඳගෙන
පත්තරේ කෑල්ලෙන් කෑල්ල කියවනවා ඇති.

අපට තිබුණා
නත්තල් දා රෑට
පල්ලි යන්නට
පූජාව ඉවර වී අම්මා එනකම්
පොල් අරඹ යට කයියක් ගහන්නට
පටිච්ඡ සමුප්පාදය සිහි කර
ඔබ ආයෙ හැරෙන කොට
මට පුලුවනි
එක පාරක් ගිහින් ගවලෙන බලා එන්නට
‘හැපි ක්‍රිස්මස්‘
අපට පුලුවනි එකිනෙකා තදින් වැළඳ ගන්නට

ආයෙ එන දවසට
ඉස්සර විදිහට ම
ඔබ අහයි
'සල්ලි තියෙනවද පුතේ මඟ වියදමට?'
හිරවෙන උගුර පාදා
මට පුලුවන් වෙයි 'ඔව්' කියා ගන්නට

මරණය කියා දෙයක් නො තිබුණා නම්
අපට තිබුණා
මේ නිවාඩුවෙ
නාන්න යන්නට
මොරගලට ...
නැත්නම් කන්ද උඩ පීල්ලට.

11 දෙසැම්බර් 2015

8 comments:

  1. ඇත්තටම හැගීම් වෙනස් උනා මේක රස විදින කොට.. සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා.

      Delete
  2. මරණය කියා දෙයක් නො තිබුණා නම්
    හරිම සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි.

      Delete
  3. Sometimes I feel this circular routine of life is the greatest pain we endure. It takes us through the same places and 'time' over and over and leave us to battle with the pain than time has made... a sad poem...

    ReplyDelete
    Replies
    1. Yes Thisara,
      On the other Hand the way you look at the phenomenon of death (and may be after life) plays a major role in the ability to bear the pain of adieu I guess. A person like me who doesn't believe in after life, has no hope at all, in this case. It's completely the emptiness. Some times I wish... that it would have been lees painful if I could have the hope of next birth.
      Thank you for the consoling words and sharing the thoughts

      Delete
  4. වසිලිස්සා.....
    වරක්, දෙවරක් නෙවෙයි... තුන හතර පාරකට වඩා කියෙව්වා...... "මරණය" පොදු යථාර්තයක්. අපි ඔක්කොම මුහුණ දියයුතුයි. අපි දු මියෙන තෙක් මියෑදුන නැත්නම් මරණය විසින් රැගෙන ගිය ඇත්තන්ගේ අපිට ඉතිරි කරලා ගිය මතකයන් ඒ ලෙන්ගතුකම් එක්ක ජිවත් වෙනවා..සංවේදී අයට ඒවා තදින් දැනෙනවා...
    "සල්ලි තියෙනවද පුතේ මඟ වියදමට"
    කියන කොටස පෞද්ගලිකව මා ඉතාම සංවේදීව දකිනවා...
    ගෙදරින් පිටවෙද්දී කොයි තරම් නම් අපි අහලා ඇද්ද???

    වසිලිස්සා .... ඔබ
    " මරණය කියා දෙයක් නො තිබුණා නම්
    අපට තිබුණා" .... කියන තැනට එද්දී මගේ අදහස වෙනස් වෙලා ඔබගේ අදහසට එනවා..
    සාර්ථක නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි.

      Delete