Friday, July 8, 2016

ඇඹුල්



අඹරැල්ල ගහ අදත් පොඩි පැටව් වඩාගෙන
පැණි රහට මතක දී නැවි නැවී හිනාවෙන
කොයි තරම් දුර ගියෙද ජීවිතේ බෙදාගෙන
අමතකව ඇති ඔබට මේ ඇඹුල් කතා ගැන

ඉඳහිටක වාඩි වී ඔය ගහේ හෙවණ යට
සුදු තීරු මත ඉහුණු ලුණු ඇඹුල් හරි රහට
හඳ දිහා බලන්නට බැරි වුනත් කෙළින් අද
කඳු කපා නැඟෙනවා ඔය මූණ විටින් විට

ඇඹුල් කර මුහුණ ඔබ හිනා වුන හැම විටම
ඇඹුල් වුව පැණි රහයි හිතට දැණුනේ එහෙම
මඟුල් පහු වී වසර දෙක තුනක් පහු කෙරුණ
අඹරැල්ල ගහ දිහා නො බැලුමයි මට පුදුම 

ඉතිං ඒ දේ උනේ හිතපු නැති වෙලාවක
ටක්කෙට ම කීව හැකි අඹරැල්ල අවාරෙක
'නරක් වුණ වකුගඩුව වැඩක් නැහැ තියාගෙන'
දොස්තර ගෙ හඬ ඇහුණෙ ගල් ගැහුණු විරාමෙක

මතක නැහැ එතැන් සිට ගෙවුණු කල් දින මාස
මට වඩා දුක හිතුනෙ ඔබ ගැනයි හැමදාම
'තවත් බෑ ඉවසන්න - ඇතිවෙලා මට මෙහෙම'
ඔබ ලියා තබා ගිය සටහනකි කහ ගැහුණ

අඩු සීනි තේ තවම  වැරදිලා හැදෙනවද?
පඬු පාට වලාකුළු ඉඳහිටක පේනවද?
පහමාරෙ දුම්රියට කළබලෙන් දුවනවද
කහ ඉරෙන් පනින කොට අතක් ළඟ තියෙනවද?  

හවසකට රෝහලේ කවුළුවෙන් බලන විට
නාඳුනන ගස් අතර අඹරැල්ල ගසක් ඇත
'ඉතිං ඔබ සතුටින්ද ?' හිත යටින් අහන කොට
පුරුදු සුළඟක් එවයි කටු ඇණුන අත් දෙකට


08 -07- 2016


2 comments:

  1. අලංකාරව ලිවූ සංවේදී පැදි පෙළක්..

    ReplyDelete
  2. ස්තූතියි.

    ReplyDelete