ආතර් කෙනෙක් හිටියා.
මම ජෙම්මා කෙනෙක් වෙලා හිටියා.
ආතර් ෆාද්රේ කෙනෙක් වුනා.
ඒත් මම ජෙම්මා කෙනෙක් වෙලා හිටියා.
දවසක් ෆාද්රේ මිටියකින් ගසා විනාශ කළ හැකි මැටි පිළිමෙ විතරක් අරන් යන්න ගියා..
මම ඇට මැස්සෙක් වුණා.
නිහඬව ම දශකයක් ගෙවුණා. ඉන් පස්සෙ දවසක අපි කතා කරා; මහද්වීපයක ඉඳන් තව මහද්වීපයකට..මිත්‍රත්වය කිසිදාක අවසාන නො වූ බව කියන්න, සිහිපත් නො වූ දවසක් නැති බව අවසාන හුස්ම ගිළිහෙන්න පෙර එකිනෙකාට දැනුම් දෙන්න.
අන්තිමට කතා කරේ ඊයෙ වගේ අපි විස්මයකින් තොර ව හුරුපුරුදු දේවල් කතා කරා. කටහඬ , ස්වර, තානය හැම දේම ඒ විදිහට ම තිබුණා. අඩ ස්වරයක පවා මඳහසත් දයාවත් තැවරිලා තිබුණා.
"මගේ නාට්‍යයට පළවෙනි තැන ලැබුණා..ඔයාගෙ උසස් පෙළ ප්‍රතිඵල එන්නෙ මෙන්න මේ විදිහට "
අවුරුදු දහ අටකට කලින් එහෙම කියපු ප්‍රීතිමත්, ස්ථිර ස්වරයෙන් ම,
"දුව ඉස්කෝලෙ යනවා. මම පුංචි අලුත් ගෙයක් ගත්තා. මට ඒ ගැන සතුටු නිසයි ඔයාට කියන්නෙ. දන්නවද..ඔයාට ඉක්මනින් දුවෙක් ලැබෙයි." එයා කිව්වා.
මේ විසල් ලෝකයේ යම් තැනක ඔබ හොඳින් ඉඳීම ! ඒ සැනසීම කටහඬවල් දෙකේ ම තිබුණා.
ඒත් එයා ආතරුත් නො වන ෆාද්රේත් නො වන කෙනෙක් වෙලා බව මම දැන ගෙන හිටියා.
මම ජෙම්මා නො වන මැටි පිළිමයක් වෙලා හිනාවෙවී කතා කරමින් හිටියා.
"ඉවසන්න බෑ ෆාද්රේ. ඉවසන්න බෑ. ආපහු එන්න... "
මට එහෙම කියන්න බැරි වුනා.
"මම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ පමණට ම ඔබ කෙරෙහි ද විශ්වාසය තැබීමි. දෙවියන් වහන්සේ වූ කලී මැටියෙන් තැනූ භාණ්ඩයක් පමණ ය. "
මම හිතුවා. ඒත් එහෙම කියන්නත් බැරි වුනා.
"හැමදේම හොඳින්.." අපි හිනාවෙවී එකිනෙකාට කිව්වා. සුබ පතලා කතාව සතුටින් අවසාන කරා.
______________
"එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක් මි."
පහළොස් වසරක් තිස්සෙ මගෙ ඊමේල් අත්සන ඒක බව ඔහු කවදාවත් දැන ගන්නෙ නෑ.
#thegadflystories
harima lassanai. hitha kaa gena giyaa.
ReplyDelete💛
Deletelike
ReplyDelete💛
Delete