Showing posts with label Sri Lankan Tamils. Show all posts
Showing posts with label Sri Lankan Tamils. Show all posts

Wednesday, May 18, 2016

මේඝය, ඔබ කැමති නම් වහින්න හෙවත් මැයි 18
















ගංවතුර ගලා නැත
ඉණ තෙක් වතුර නැත
රැස් කළ අහර ඇත
කුසගිනි කියා දෙයක් නැත
මඩ චිරි චිරිය නැත
දරුවන් සුවෙන් ඇත
මේඝය,
 ඔබ කැමති නම් වහින්න

නැතිවුන කෙනෙක් නැත
මළමිනි මතක නැත 
කඳුළට මිලක් ඇත
රිදුනට කමක් නැත
දකුණට දිනුම ඇත
උතුරට වතුරවත් නැත 
මේඝය,
 ඔබ කැමති නම් වහින්න!


18 මැයි 2016

Tuesday, August 25, 2015

මෝහන්



-එක්දහස් නවසිය අසූ තුනේ අප්පගෙ කඩේ මුළුමනින් ම ගිනිබත් වුණායින් පස්සෙ මෝහන්ලගෙ ඉරණම දරුණු විදියට වෙනස් වුණා ලු... (කාලෙකට පස්සෙ අමාරුවෙන් රෙපයාර් කරපු) ගේ පොඩ්ඩ නගර සංවර්ධන සංග්‍රාමෙට අහුවෙලා ඔක්කොම හීනත් එක්ක බුල්ඩෝසරයෙකුගෙ දරුණු දත් ඇඳි වලින් ඇදිලා ගැලවිලා ගියා ලු... 

"මගේ නෝනා හූල්ලලා හූල්ලලා මැරෙයි කියල හිතුණා... රැයවල් ගානක් තැන් තැන් වල ඉඳලා අන්තිමට නාරාහේන්පිට තැනක දැන් ඉන්නවා කුලියට...-"
-සිය කාර්යාලයේ කාර්ය සහායක ගැන සුරේඛා සමරසේන තැබූ සටහනක කොටසකි. 

සමහර කතාවල හමුවෙයි 
මල් සුවඳ
ඒත් 
හිරු එළිය නැත... 
සමහර කතාවල හමුවෙයි
ඉඳි කටු තුඩු 
නිය පහුරු සහ
නො ගැළවුණු ඊතල
ගැළවුනොත් 
ලේ ගලා මියෙන්නට හැක.. 

මොන වගේ විරුවෙක්ද උඹ මෝහන් ! 
දෙපාරක් ආකාසෙ 
ඉහ මත වැටුණත් 
ලාම්පුතෙල් කාලක් වටින 
ජීවිතය අරගෙන 
ඩෝසරයක් යටින් තියා 
සැනසීමෙ නිදියන්න හිතුවද මෝහන් ? 

සදාකාලික වෛරයෙන් දැවී ගිය පොළවක 
දැලි වැකුණු ජීවිතේ නිහඬ සුන් බුන් අතර 
ළය පැලී නෑ සියන් හෙමින් මියැදෙන අතර
අඩු සීනි වැඩි සීනි තේ කෝපි හද හදා 
සීතල ම හිත්වලට උණුහුමක් හදන්නේ 
හද පතුල මැරී නොමැරී පණ ගැහෙන 
හීනයක එක ම එක තාරකා එළියෙන් ද? 

අතීතය කියන්නේ කළුවර ම 
දිග රැයක් විතර ද? 
ඒ රැයට එළිවෙන්න නො හැකිද? 
මතකයක් කියන්නේ 
හීනයක් විතරක් ම නොවන තැන
හීනෙකින් ඇහැරෙන්න ඇහැකිද? 

මල් පොකුර අත නො හැර
කලුවරම මග දිගේ ඇවිදින්න
සුවඳ ක්ෂණයක් පිණිස 
මලෙහි පෙති එකින් එක සිඳලන්න

ඉන් පසුව,
දණ ඔබා නැගෙන විට 
ඔළුව ගෙන බිම අනින ජීවිතය ... 
කුලී සිහිනෙක හොවා 
අපට හැක
මල් පිපෙන තුරු ඉන්න.