Showing posts with label Love. Show all posts
Showing posts with label Love. Show all posts

Monday, January 29, 2018

ඒ තරම් නිහඬතාවක, රැයක...





සීතල ම අන්ධකාරය ඇවිත්
රැයෙහි සියොළඟ සෙමෙන් එතෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු ⁣සුසුමක් දුරින් බිඳෙයි

රෑ බදුල්ලෙක් වැටී අඩ දණින්
පිනි බිඳක හිස තබා සැලෙයි
දුරු නුදුරු  පහන් කණු එළිය මැද
මෙරු පියාපත් සිහින සිඳෙයි

වරු ගණන් නිදිවරා මහ තුරක්
ඇහැරවන මලක පෙති ඇරෙයි
තුරු සඳැල්ලෙන් වැටී තුරුපතක් 
රුදුරු ළය ශෝකයෙන් මියෙයි

සංශයාදී සඳක මිහිදුමක 
සංතෘප්ති සංවේග මිදෙයි
ඒ තරම් නිහඬතාවක පවා
ගැඹුරු ⁣සුසුමක් දුරින් බිඳෙයි


29-01-2018




Saturday, December 3, 2016

නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව





ඒ පළමු හැන්දෑව
කඳුළු කැටි 
වැටි වැටී දිළිසුණ
පඳුරු ලා ආදරය
සදාතනිකව පැළවුණ

ඉස්සී ඇඟිලි මත
කම්මුලෙහි තැවරූ
ස්නේහයේ පළමු රළ
හිස් වූ ෆුඩ් වේව් බිම මතින්
රැළි නගයි 
උස් වූ ගුවන් පාලම
ඇස් පියා තවමත්
හිස් නොවූ ප්‍රේමයක 
තතු කියයි

ඇස් ඉස් මස් විතරක් දකින
දෙස් දෙන 
වස් කවි කියන ලෝකෙක 
ඇස් දෙකේ වස්සානය පුරවගෙන 
අත් දෙකෙන් වසන්තය අරගෙන
හිස්ම හිස් උයනක
විස්මයක් තමයි ඔබ පිපුණ එක 

දවන දැවෙනා දිවි මග
නිවෙමි ඔබ හා ඇවිදිමි
මත් පෙම් මතක ඇවිළී
ඉස්සී යළිත් සිපගමි 

එවන් වූ බිතු සිතුවමකි
නුගේගොඩ
ඩෙවොන් එක පවා 
ආදරෙන් බොඳ කළ



03-12-2016

Monday, November 7, 2016

විස්මය



'මට පුදුම ඔබ කිසිවකින් පුදුම නොවන එක....' ඇය කීවා ය. 



විශ්වය ම දවා හළුකොට 
භෂ්ම කළ සිහින පොදියක
රශ්මියක් නො පැතිය යුතු බව
වටහා ගැනුම නොවෙද විස්මය?

රළු අඳුර මැද සැලි සැලි 
විඳ විඳ රැයක සීතල යළි යළි
පිනි මවන තණපත් 
ඒ තමා පුදුම සිතුවිලි

වලාකුළු යට තැවි තැවි
ගලා යනු බැරි රළ රැළි
දරා ගනු බැරි තැන
කවියක්ව උපදින
සියුම් ඉසියුම් දිය රැළි

සත් වසක් වැලි ඇවිලෙන
කතරක් සිඹින මහ වැසි
සිලෝ ගී ගයමින් පිපෙන
මෙලෝ මල් යායක 
දම්පාට නළ රැළි
පොළෝ ගැබ මත ඉපදෙන 
විස්මයක හසරැළි

මිහිදුම් තිර ඇදෙන
සිහිලැල් සරද සවසක
කවුළුව මත වැටෙන
වැහි රටාවක මුහුවෙන
කෝපි සුවඳක මත්වෙන 
ඒ තමා ඍතුවක විස්මය

හිස් අතින් විත් 
ඇස් දෙකෙන් පහන් දල්වා
වස් විසූ හද ලෙන් ගැබ
හිස්තැනක් පුරවන එක 
සන්තානයක අරුමය

ගැස්මක් පවා නො දැනෙන අන්ධකාර ම යාමය
හුස්මත් දිදී රැක්කත් ශේෂ වුණ දේ බිඳුණු හීනය
විස්මයක් ඉදින් වේ නම් තාරකා මැද නිවී ගිය දේම ය
අස්නක් තබා ඇති පිනි මත
කියවා දවාලනු මැන, ඒ මගේ ප්‍රේමය!

02-11-2016


Wednesday, October 26, 2016

හිතවතිය...,




සරත් වැස්සක උන්මාදය රැගෙන
වෛවර්ණ මතක තුරුපත් 
ඉතිහාස තුරු හිසෙන්  ගිලිහෙන
අවන්හල පාමුළ 
කොළ පාට වෙනුවට රතු එළිය දැල්වෙන
ඒ දවස කවද ද - කෝපි සුවඳක 
කැමැත්තෙන් අපි මත් වී බමන 

පැරණි ම පෙම්පතක ඉස්පිල්ලකින් මිදුණ
කඳුළු බිඳුවක් වෙත නිවී විදසුන් වඩන
කටුක ම ජීවිතේ මල් පෙති දකින‍
ඒ මල් පෙතිත් පරව යන බව සිහිකරන
හවසක් ඉතිං, එළඹිය යුතුය
අකාලික මීදුමක - උණුසුම් ව හදවත් දැවෙන

කොයි ඍතුවෙත් ඔබ ගිම්හාන උණුහුම සදන
අප අතර ශරද මීදුමාරයට 
උස් හඬින් නෝක්කඩු කියන
හද ගැඹර එක්ව පාදා 
තරු ද ලිය කැටයම් ද තබා අලවා
අවන්හල් මේසය හැඩ කරන්නට
සින්ඩරෙල්ලා වගේ එනවද
සපත්තුව ගැන හිනාවෙන්නට

නිම්නාද දෙන සන්තාන ගිරිදුර්ගවල 
දිළෙන දෙපයින් මුදුව ඇවිදින්න
කෝපි බඳුනක රන්වන් පතුළ කෙළවර
අරුමැසි පියගැට පෙළ මත දි හමුවෙන්න

සංකේත සංවාද සංලාප මැවෙන
සංවේදනා මතින් සංධ්වනි වැයෙන
සංකාව  බිඳක් නැති ආදරේ අරුම
සංඝායනාවක් තමයි හමුවෙනා එකම


26-10-2016




Monday, October 17, 2016

'සුරංගනා කතාව'




ඔබ කියූ සුරංගනා කතාවල
යකුන් මකරුන් සිටියේ  නැත
කුමාරිකාවන්ගේ හදවත් 
බිඳුනේ ම නැත
සී මැදුරු කවුළු තිරවල
අහඹු කඳුළු පැල්ලම් 
තිබුණේ ද නැත..

සත් වසක ශාපයෙන් 
අවදි වන විට
මගේ මුවගින් 
මකර ගිනි පිටවෙන
බිඳුණු හදවත් කැබලි  
දියමන්ති බවට හැරවුණ
ධවල සළුපිළි 
ලුණු රසට දියවුණ

ඉතිං පෙම්වත,
දැන්,
ඒ ඉපැරණි කතන්දරයේ නම 
වෙනස් කෙරුමට මොහොත ය.
'සුරංගනා කතාව' හැර 
වෙනත් ඕනෑම නමකට 
කැමති ය!

Friday, October 14, 2016

දවසක.....





මල් දමක් සේ පැළඳ ගමි ඔබ 
ගල් මතින් ඇවිද යන දුර ගමනක

දැණුනොතින් ඉසියුම්ව රිදුමක්
ළයෙහි බර තව දරනු බැරි වී 
කේශිකා බිඳි බිඳි  ගිය බව 
වටහගනු මැන එදිනට


14-10-2016



Thursday, July 7, 2016

ඔබ නො ලියූ අකුරු






ඔබේ ඉපැරණි ශිලා ලියමන
ඉඳහිට වළාකුළු බැම්මෙන් 
හිස ඔසවන

නො දන්නා අය 
වැව රවුමෙ යන එන
නො ලියා ම ඔබ
විසුරුවා ගිය
බරැති අකුරු මතින් 
හදි හදිසියෙන් ඇවිදින

මගෙ හිත බිමට තෙරපෙන
නො දන්නා බසකින්
ඔබ තබා ගිය 
නො ලියූ  අකුරු 
වලාකුළු බැම්මට පළඳා

මම , 
හිස් අතින් යළිත් නික්මෙන

07-07 2016


Wednesday, June 22, 2016

ගැඹුරු ම සිඳු පතුල්




ගැඹුරු ම සිඳු පතුල් 
ඝණාන්ධකාරය ම ගැවසෙන
නෙත් අඳ මසුන් 
ඒක වර්ණිත  දසුන් 
අඳුරෙහි ම දුක් ලවණ වගුරන

සිනිඳු කළල් බිම පැතිර 
අන්ධකාරය,
කාලය ශුන්‍ය බවට හරවන

දරා හිඳ දරා හිඳ මිහිතලය
අඳුර ම උරා ගත් 
ආශ්වාසය මිස
ප්‍රාශ්වාසය අහිමි කළ
දරන්නට දිරි නැති තෙරපුම

එළිය බිඳුවක්වත් නො ලබා
අඳුරෙහි ම වැතිර 
ලවණ මත පැතිර 
දිරාපත්වන්නැ'යි අණ ලද

ගැඹුරු ම සිඳු පතුල්
අහම්බෙන් නෙත් වැසූ විට 
හමුවන...


22-06-2016



Monday, June 13, 2016

විරහ ගී අමතක තැන






ඉතිං මම,
ප්‍රීතිමත් විහඟෙක්මි
විරහ ගී අමතක වුණ
මතක පටු මංපෙත් දිගේ
හිස නමා තවත් දුර නොම යන

දැවී දැවී ප්‍රේමයේ තාපයෙන් ශාපයෙන්
මියැදිලා අළුවුණ
ප්‍රීතිමත් ෆීනික්ස් විහඟෙක්මි
මතකයෙන් හිස්ව යළි ඉපදුණ


13-06-2016

Tuesday, May 31, 2016

ඔබ මගේ ඉනාව






දිගම දිග නියඟ පසු කොට
රොද බඳින වැහි බිඳු යට
සැලි සැලී දොඩමළු වෙන
ඇහැළ මල් පෙති මත
රන් පැහැ වතළ මනාව
ඔබ මගේ ඉනාව

තෙතබරිත තණ පලසක
හිතුමතේ වැටී දැවටී
නිවි නිවී දැල්වෙන
රිදී තාරකා එළි
දෙපා යට ඇඳි කතාව
ඔබ මගේ ඉනාව

මුදු කැරළි මුහුලස්
සාගරේ කළඹා
නට නටා රැළි නඟන
ආදරේ අරගෙන
හද වෙරළ වෙත ගෙනාව
ඔබ මගේ ඉනාව

මදාරා පරසතු උයන් මැද
මුදු පවන් වී හද වැද
සහස් මල් මකරන්ද පරදා
ඉගැඹුරු ම සුවඳින්
මනස් තුසිතය මමවන
ඔබ මගේ ඉනාව

නම නො දන්නා නුවරක්
පෙම නම් මෙයැයි නම් කොට
දින දින පිපෙන කටු මත
සනහස් මලින් මල් උපද්දන
සදාතන සිනාව
ඔබ මගේ ඉනාව


06- 05-2016

Thursday, May 5, 2016

කාත් කවුරුවත් වෙද මට නුඹ පමණ




රෑත් ගණඳුරෙත් මඟ තරු ලකුණ වුන
දෑත් සිඹින, තුරු හිස වී මල්    හෙලන
තාත්තා වෙවී උර දී ගිම්           නිවන
කාත් කවුරුවත් වෙද  මට නුඹ පමණ


05 -05-2016

Painting :Willem Haenraets

Tuesday, April 26, 2016

මරණීය මතක




හමා යන්නෙමි
දමා අතහැර 
රමණීය කඳු අතර සැඟවුන
මරණීය මතක නිම්නය 

හොවා ළය සුරැකි 
සිහිනයෙන් සිහිනය
දවා මඟ වියදමට 
දහස් ගව් දුර ගෙවා ආ මඟ

මැකුණු විට පිය සටහන්
ලකුණු කළ හැකිද බිතු සිතුවම්?

නිමා කරනෙමි එබැවින්
පමා වූ රංගය
නමා හිස 
පහත්කොට වැරහැලි තිරකඩ


26-04-2016


Monday, April 11, 2016

ඒ තමයි ප්‍රේමය



නියං දුක් වැහි අකුණු පසුකර
පර මලින් ළය වැසෙනු ඉවසා
මල් නඟයි තුරු හිස
පවන් රැල්ලක් සෙමෙන් අමතා
'අරන් යනවද සුවඳ ලොව වෙත?'
අසයි ඒ මහ ගස

තෙතක් නැති  බොල් පාළු අහසක
සිහිල් හිරිපොද සෙමෙන් අතුරා
පාව යයි මේඝය
ජීවිතේ බිම වැටෙන තැන්වල
වේදනා  පිරිමදින නිම්නය
ඒ තමයි ප්‍රේමය

11-04-2016