Sunday, May 17, 2020




මං ඉන්නෙ සිනිඳු විල්ලුද අල්ලපු පෙට්ටියක. කොච්චර විල්ලුද වුනත් සැරින් සැරේට පිටේ ඇණ ඇනෙන එක තමයි ඉවසන්න බැරි. හරියට ගෝනි පුරවපු කාමරේක වැටිච්ච ඉඳිකට්ටක් වගේ හිරවෙච්ච ගතියක් දැනෙනව. වටේ ම දිළිසෙන ලයිට් පත්තු වුනාට මහ අන්ධකාර පාතාලෙකට සැරින් සැරේ කඩං වැටෙන එක බය හිතෙන අත්දැකීමක්. මට අඬන්න ඕනෙ. ඒත් අඬන්න බෑ.කඳුළු අයිස් වගේ මිදිල ඇස් පිහාටු ඇලිල. තනිකම.... - ගල් ගෙඩියක් වගේ පපුව තද කර කර හුස්ම හිර කරනව. අත් කකුල් ගැට ගහල තියෙන්නෙ නූල් කෑලිවලින් වුනාට දැනෙන්නෙ දම්වැල් දාල වගේ හිරට. ඒ මදිවට මේ වටේ ගොඩ ගහල තියෙන සැර මල් සුවඳ ..., නාස් පුඩු පසා කරනව. මෙච්චර ලස්සනට අන්දල, බාල පර්ෆියුම් එකක් දාල. කණ්නාඩි මේසෙ උඩ තියෙන මගෙ පර්ෆියුම් එක ගේන්න යන්න හිතුනට එක අතකට වැඩක් නෑ කියල හිතෙනව.

හරි නම් දන්න අඳුරන අය ළඟට ඇවිත් මට කතා කරන්න ඕනෙ. මා එක්ක අඬන්න ඕනෙ. ඒත් කවුරුවත් එන්නෙ නෑ. මං තට්ට තනියෙම මේ පාළු ශාලාව මැද්දෙ හුස්ම ගන්න බැරුව දඟලනව.

ඇරල තියෙන වීදුරු දොරෙන් පේන්නෙ පාරවල් පටලැවිච්ච සේනානායක හන්දිය. මං ගැන වගක්වත් නැතුව මිනිස්සු තමන්ගෙ ගමන් යනව. ඊටත් එහායින් පේන්නෙ බොරැල්ල කණත්ත. රෑ වෙලා හින්ද ඒකෙ ලයිට් පත්තු වුනාට හරි ම පාළු ගතියක් තියෙන්නෙ. එතන නිස්කලංක කමට මං ඉස්සර කොච්චර ආස කරාද? දැන් නම් දකින කොට බය හිතෙනව.

සතුටු හිතෙන දෙයක් මතක් කර ගන්න හැදුවට හිතට එන්නෙ ම දුක හිතෙන මතක. සීත ඍතුවක කුණාටුවක් වගේ ඒව වරින් වර මගෙ ඔළුවට කඩං වැටෙනව. අඬුවකින් වගේ ඔළුව හිර කරනව. මට ඕනෙ මේ හැම වදයක් ම නො දැනෙන්න දිග.නින්දක් නිදා ගන්න. ඒත් නින්ද ළඟපාතකවත් නෑ.

කල්ප කාලයක් ගියාට පස්සෙ ෆෝන් එක වදිනව. මං අමාරුවෙන් ඒක අරං කණට තියා ගෙන 'හෙලෝ' කියනව.

"මොකද කරන්නෙ?" එයා එහා පැත්තෙන් අහනව.

"ඉන්නව"

"අන්තිමට මම ම එපැයි කතා කරන්න. ඉතිං ඔන්න කතා කරා."

හිම කුණාටු හෙමින් නවතිනව. පපුව උඩ තියෙන ගල් ටික අහකට පෙරළිල යන්න පටන් ගන්නව. මිදිච්ච අයිස් දියවෙලා හෙමින් හෙමින් ඇස් ඇරගන්න පුලුවන් වෙනව.

මං,
.
.
.
හොඳ හුස්මක් අරං, වකුටු වෙලා හිටපු ඇඳෙන් නැගිටල, තේ එකක් හදාගෙන බොන්න පටන් ගන්නව.



17|05|20



Friday, May 15, 2020

මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද





ගාසා ව මෙන් ඇවිළෙන දිවි මග මෙතෙක් ඇවිද
නාසා මිතුරු වදනක් ඔහොම ඉන්නට හැකි ද
පාසා ගෙවෙන මොහොතක් වෙහෙස වූවා මදි ද
මේ සා විසල් ලෝකයෙ ඔබට හොඳට ම තනි ද

කොතෙක් නම් දුර දිව්වත් ලෝකය ම එතැනමද
මෙතෙක් ආ මඟ බැලුවොත් ජීවිතය තව දුර ද
පොතක් විඳ ගන්නා සේ ඉතිරි පිටු කියවමු ද
හිතක් පිරිමැද විමසමි ඔබට හොඳට ම තනි ද

අතින් අර ගත් මීවිත හැළුණු තැන් කොපමණ ද
හිතින් ගිලි ගිලි කිමිදී ගැඹුර පසඳිනු හැකි ද
ඉතින් ජීවිත සිතියම මේ දැන් මෙතැන නොවෙද
අතින් අත් අල්ලා ගෙන මේ ටික දුරත් යමු ද


15|05|2020
Painting by Olga Schibli