Monday, November 22, 2010

තිත්ත පාත්‍රය සහ සඳ මඬල

 
ඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි


ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ 
මේ ලොව මා සතු ඈ  සතු ඒ නෙතු   
අසල්වාසියෙකු සොයනුදැනේ 

මා නැත අන් සතු සිත් බිඳලා 
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු 
රහස් අහස් තලයට පවරා
 

ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක 


ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය. උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්ව‍ා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි. ආදම් හා ඒවගෙන් ඇරඹී සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා, අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන් -අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, බිල් ක්ලින්ටන්- මොනිකා ලෙවෙන්ස්කි, දම්මි-සුගත්, අභිෂේක්- ‍ඓශ්වර්යා දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි යළිත් ඔප ගැන්වෙයි.   

ජීව විද්‍යාත්මකව, මනෝ  විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව ආසන්න හේතු නිර්වචනය කළ ද මිනිසෙකු හෝ ගැහැණියක එකිනෙකා වෙත බැ‍ඳෙන පරම හේතුව නිශ්චිතව කිව හැකි යමෙක් මිහි මත නැත. එය එතරම්ම පුද්ගල බද්ධය, අන්තර් සම්බන්ධිතය, මනෝ හා සමාජ-දේශපාලන  සාධක සංකලනය හේතුවෙන් සංකීර්ණය. එසේ බැඳෙන ගැහැණිය හා මිනිසා අතර ඇති එකම බැඳීම ප්‍රේමය පමණක් නොවේ. ලිංගිකාශය (sexual drive), සාමාජයීය හේතු, හුදෙකලා වීමට ඇති නොකැමැත්ත,  අයිතිවාසිකම (possession), සහයෝජනය කෙරේ ඇති මූලිකාශය (drive for affiliation) වැනි තවත් බොහෝ ඓතිහාසික කරුණු (උදා: ළමා වියේ අත්දැකීම්, සංකීර්ණතා/childhood experiences and complexes) එවැන්නක් තුළ දැකිය  හැකිය.

සාමාන්‍ය ලෝකයේ බැඳීමක් ගත් කළ දැකිය හැකි මූලිකම කරුණක් වන්නේ සිය සහකරු හෝ සහකාරිය වෙත පූර්ණ අවධානය (project) යොමු කිරීමයි. ඔහු හෝ ඇය ඒ තුළ සිය හිස්වූ අර්ධය සපුරා ගැන්මට තැත් කරයි. සාර්ථක වන මොහොතවල් සංහිඳියාවේ නිමේෂයන් වන අතර අසාර්ථක වන තැන් අර්බුදයන් නිර්මාණය කොට අපේක්ෂා භංගත්වයට පත්කරයි.  ප්‍රේමය පදනම වන්නා වූ සබඳකම් උස්පහත් වීම් තුළ වුව ද ගලා යන අතරම ප්‍රේමයෙන් ක්‍රමයෙන් වියුක්ත වන්නාවූ බැඳීම් අපේක්ෂා භංගත්වයේ සහ අතෘප්තියේ තිත්ත කාඩියෙන් පිපාසය නොසිඳෙන තැන කුසලානය පහත දමා නිමා වෙයි. එක්ව විසුව ද වෙන්ව විසුව ද එය පොදුය. ඇතැම් තැනෙක  කුසලානය පහත හෙලුව ද සාදය නිමා නොවෙයි. ලොව සතුටු කරනු වස් තිත්ත කාඩිය යළි යළිත් පානය කෙරෙයි. ඇතැම් තැනෙක තිරය පහත හෙළා සාද සංවාද නිමා කෙරෙයි.

මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය. 
“ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ”

අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම  සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ” යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද  තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි.  ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි..ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි.  ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ”

ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

"මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා”

සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුගෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම  ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි  සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි.  සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු  හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

“සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ ...
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි”

ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි.  සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි.  ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුර තුළ සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන  ඊර්ෂ්‍යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම  අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්‍රණය කරන රචනයක් වන්නේ එබැවිනි.
නිර්මාණ ඉවෙන් හෝ බිහි කළ හැකිය. සැබෑ දැනුමෙන් තොරව එය සිදුවිය හැකිය. එහෙත් එයින් වෙනස්ව නිර්මාපකයා ලොව දෙස බලන දාර්ශනික මානය පොහොසත් වන්නේ යම් සේ ද  ඔහු අතින් බිහිවන නිර්මාණය ද රසිකයා ඥානනය කිරීමේ වගකීම ඉටු කරමින්  වඩ වඩා ඉහළට එසවෙයි.

 වික්ටර් යනු මායාවී ලෙස අනුරාගී කට හඬකින් අප මෝහනය කරන ගාන්ධර්වයෙකි. මේ ගීතයෙහි ලා ඔහුගේ ගැයුම ඔහුගේම ස්වර සංයෝජනය හා මුසුවී වින්දනයේ සොඳුරුම ඉම් පෙදෙස් කරා අප ගෙන යයි. මිනිස් සංතානය ප්‍රවේශමින් ස්පර්ශ කොට එහි ප්‍රමෝදයන් හා වේදනාවන් අපට සියුම්ව දනවයි.  එබඳු නිර්මාණ අප තුළ ඇති මිනිස් විභවය අවදි කොට ප්‍රඥාව දල්වයි.

වික්ටර් ම සංගීතයෙන් ඔප කොට සුනිල් එදිරිසිංහ “හුලවාලී” චිත්‍රපටයට ගැයූ “කුඩා ගමේ මද්දහනේ” ගීත‍යෙහි අවසන් කොටස ධර්මසිරි ගමගේ මෙසේ ලියා  තබා ඇත.

ආල වඩන අකුරු පහේ තේරවිල්ල        සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි   සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු   සකී
ආල වඩන යන තේරුම බෝසත් කම   සකී


--
18/11/10

Tuesday, November 16, 2010

“නිල් පාට” පැනයක්!!!!


























අසභ්‍ය නිල් චිත්‍රපට පෙනී සිටි බවට හෙළිවී තිබෙන කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප පුවත් පත් වල පළ කරයි.
-පුවතක්


විල් තෙර ගැවසි සල් සපු නා මත       වැටුණු
නිල් සඳ දියෙන් සැදි මුවරද පැන්    පොකුණු
පිල් විඳහා රඟති සෙබඩුන් ළඟ      මොණරු
කල් බලලා ද තැලුවේ නිල් මල්     රෙහෙණු

තරු ඇවිදින් නොපෙනී ගිය අහස         මැන
කළුවර රෑ අගට සූරිය අවදි                  වෙන
නළුකම් සැදෙයි නව නළු රස මියෙන    තැන
සළුවක කෙළවරෙහි මල්කම් පරව         යන

තරු වුණි නම් නුබ නිල් වේද            මහතුනී
සරු වුණි නම් සළු ගිළිහේද              මහතුනී
ලොකු අකුරින්ම අච්චුව තැබූ           උගතුනී
ගරු නම්බුවක් අපටත් නැද්ද            වියතුනී

15/11/2010

Wednesday, November 3, 2010

මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක් .....

 
   
    පසුගිය 31 වන දා පන්සියයකට ආසන්න පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට එක්රැස් වුණේ කවිය ගැන කතා බහ කරන්නටය.  වෙනස් ලෙස කවිය දිහා බලන්නට ලද ආරාධනාවට ප්‍රතිචාර දක්වමින් ‍මෑත කාලයේ දී කවිය වෙනුවෙන් එකට රැස්වූ වැඩිම පිරිස එතැන විය. විවිධ ප්‍රදේශ වල සිට පැමිණි හැත්තෑව දශකයේ කවි පොත් ලියා පළ කළ අප්‍රකට කවීන්, යුග කිහිපයක් යා කරන ප්‍රවීණ කවීන්, මෑත යුගයේ ජනාදරයට පාත්‍ර වූ තරුණ කවීන් මෙන්ම කවිකම් සොයමින් පිබිදෙන්නට වෙර දරණ අංකුර කවීන්, ලේඛකයින්, සමාජ ක්‍රියාකරුවන් , තරුණ නාට්‍ය කරුවන් සේම කවියට පෙම් බැඳි තව බොහෝ දෙනෙකු ද එතැන විය.
    
    වැඩ සටහන මූලික වශයෙන් සමන්විත වූයේ ‘අකුරු ඔබ දෙස බලා සිටියි’ - ප්‍රවීණ මෙන්ම නවක කවි කිවිඳියන්ගේ කවි වලින් සමන්විත කාව්‍ය එකතුව එළි දැක්වීමෙන් ද ප්‍රවීණ කවි‍යෙක් වන ආරියවංශ රණවීර ,සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති සහ සාහිත්‍යවේදී ශ්‍රී දයාලන් (දමිළ බසින්) ගේ දේශන තුනකින් ද ඒ හරහා ගොඩ නැගුණු සංවාද වලින් ද කවිය විවිධ මාධ්‍ය භාවිත කරමින් කළ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කිහිපයකින් සහ ඒ සම්බන්ධ සංවාද වලිනි. දේශන වල සහ ඒ සබැඳි සංවාද වල එළඹුම වූයේ ‘හැමෝටම කවි ලියන්න පූළුවන්ද?’ යන්නයි.  දේශන සහ සංවාද වල මා දුටු සාධනීය ලක්ෂණ කිහිපයකි.  කවිය යනු කුමක්ද යන්න ගැන එතැන ගොඩ නැගුණු කතිකාවෙන් සහ දේශනයන්ගෙන් ඉටුවූ  සාහිත්‍යමය මෙහෙවර කවි ලිවීමට එළඹෙමින් සිටින බොහෝ දෙනෙකුට ඉමහත් පිටිවහලක් වන්නට ඇත. කවි ලිවීම හරි ලේසි වැඩක් නොවන බව ත් ලියන හැම දෙයම කවි නොවන බව ත් කවිය යනු වාක්‍ය රචනා ලිවිමකට එහා යන සාහිත්‍යමය කාර්යයක් බව ත් කවියට ඊට අදාළ සුවිශේෂ මෙහෙවරක් ඇති බව ත් එහිදී ඉස්මතු වී න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉදිරිපත් වීම ම වත්මනෙහි කවිය පිළිබඳව ඇති ඇතැම් නොපැහැදිලිකම් වලට  යම් තාක් දුරකට පිළිතුරු දෙන්නට සමත් වු බැව් මගේ හැඟීමයි. විශේෂයෙන් විවිධ මාධ්‍ය හරහා සිය නිර්මාණ එළි දක්වන්නට උත්සහ දරන අලුත් කවි පරපුරට එය වඩා ප්‍රායෝගිකව වැදගත් වනු ඇත.

    එහෙත් කවිකම උපතින් ගෙන එන්නක්ද සමාජ පරිසරය විසින් මුවහත් කරනු ලබන්නක්ද ජාන සහ සමාජ සාධක වල ප්‍රතිශතයන් කවරේද වැනි  කරුණක දිගින් දිගට එල්බෙමින් ඵලදායි සාකච්ඡාවක් සඳහා තිබූ කාලය නාස්ති වීමට ඉඩ හැරිම ආරියවංශ රණවීර සහ ලියනගේ අමරකීර්ති වැනි  ප්‍රවීණයින් අතින් නම් නොසිදු විය යුතුව තිබුණි.   සංවාද තුළින් මතුවු තවත් අදහසක් වූයේ ‘අප කවි ලියන්නේ ඇයි? කාටද?’ යන්න ගැන සාකච්ඡා කළා නම් මීට වඩා වැදගත් වන බවයි. මේ ගතවන්නේ කවිය හරහා යම් දුරක් ගමන් කර සිටි බොහෝ පිරිසකට මෙන්ම සමාජයටද එබඳු මාතෘකාවකට එළඹීමේ අවශ්‍යතාවද තදින් දැනෙමින් සිටින මොහොතක් බව අප අමතක නොකළ යුතුය. එය ඊළඟ පියවරකදී හෝ සාකච්ඡාවට බඳුන් වීමද සිදු විය යුත්තකි.
    
    නාට්‍ය, චිත්‍රපට වලින් වියුක්තව කවි නාට්‍යමය අකාරයෙන් හා ගායන ආකාරයෙන් මෙබඳු තැනක දී ඉදිරිපත් කිරීමට දැරූ දුලබ එහෙත් පුහුණු වීම් වලින් ආලෝකමත් වූ උත්සාහය දෙස බැලූ කල චූලානන්ද සමරනායක, ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර  වැනි කවීන් කිහිප දෙනෙකුගේ තෝරා ගත්  කවි  ගයමින් හා රංගානුසාරයෙන් ඉදිරිපත් කිරීම වෙනස් වැඩකි. පිරිසක් එය ඇගයූ අතර තවත් පිරිසකගේ අදහස වූයේ කවියට කවිය ලෙස තිබෙන්නට හැරිය යුතු බවය. කවිය කියවීමෙන් ලබන පුද්ගල-අනන්‍ය අවබෝධය හා අසීමිත හැඟීම් සමුදාය මෙබඳු දේවලින් රාමු ගත කොට සීමා කරන බවය. අනෙක් අතට එහි සාර්ථකත්වය අවස්ථාව හා නිර්මාණයේ ස්වභාවය මත ද රඳා පවතී.  ඇතැම් නිර්මාණවල සංකීර්ණ නොවන බව හා අන්තර්ගතය අනුව එබන්දකට යොදා ගැනීම තුළ කවියට අසාධාරණයක් නොකරන්නේ වුවද ඇතැම් කවි වල වින්දනීය සෞන්දර්යය හා එහි මානයන්, අදහසෙහි ප්‍රබලත්වය හා විවිධත්වය එබඳු ඉදිරිපත් කිරීමකින් සීමා කෙරෙනු දුටිමි. ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරිමට යාම තුළ චූලානන්ද සමරනායක සොයුරාගේ ‘චෝදනා පත්‍රයකි’ කවියට සිදු වූයේ එවැන්නකි.

  දවස පුරා පැවති වැඩ සටහනේ අපූරුම අංගය වූයේ කවි කියවා උපන් හැඟීම් විවිධ කලා මාධ්‍යයන් තුළින් ප්‍රකාශ කරන්නට සහභාගී වූවන් ලද අවස්ථාවයි. චිත්‍ර, සංගීතය, ගායනය ආදී වෙනස් කලා මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් කෙටි සුදානමකින් පසු ඉදිරිපත් කළ නිර්මාණායන් සැබවින්ම ප්‍රශංසනීයය. ඒවා උත්කර්ෂයට නැංවුණේ හුදෙක් සිය හැඟීම් ප්‍රකාශනයක් පමණක් නොවී  මානුෂීය හා හෘදයාංගම ලෙස සමස්ත කාර්යය හා බද්ධ වීමට ඔවුන්ට තිබූ සැබෑ වුවමනාව ද නිසාය.

    ‘මට කවුරුවත් මියුසික් දෙන්න කිව්වෙ නෑ...ඒ වුණාට මට දවස පුරා ඉඳිද්දි ඇත්තටම ඕන වුණා සීරියස් දෙයක් කරන්න. එතන තිබුණෙ සීරියස් වැඩක්’

    ඒ එබඳු නිර්මාණයකට දායක වූ අප මිතුරෙකු පසුව ඒ ගැන කියු අයුරුය.
    කණගාටුවට කරුණ නම් වැඩෙහි වූ මේ ‘ගැඹුර’ සවස් වරුවේ වැඩ සටහන මෙහෙයවීමට ආනයනය කරන ලද නිවේදිකාව විසින් වටහා නොගැනීමයි. පිරිසෙහි වූ කිහිප දෙනෙකු නැගිට සිදුවන වැරැද්ද මතක් කර දීමට සිදුවන තරම් අපරිණත විලාසයකින් කළ ඒ මෙහෙයවීම සමස්ත කාර්යයට නම් කිසිසේත් ගැලපුණේ නැත.  එවැනි වැරදි තෝරා ගැනිම් ඉදිරියට නොවේවා යි පතමි.
 
    තිරය පිටුපස කතාවක් ද තිබේ. මා දුටු පිරිදි එය ලියා තබමි. මේ විශාල කාර්යය සංවිධානය කර එළි දැක්වීමේ ක්‍රියාවලිය තුළ මහා පිරිසක් සිටියේ නැත. හිටියේ කැළුම්, රමිඳු, විරාජ් ඇතුළු ‘ක’ යන්න ‘වි’ යන්න එකතුවේ කිහිප දෙනෙකි. කවි වැඩක් නිසාම මේ වැඩයට අනුග්‍රාහක දායකත්වය සපයන්නට ගොඩක් කට්ටිය ඉදිරිපත් වුණේ නැත. ඒ නිසාම ඇජෙන්ඩා එකෙන් ඉවත් කරන්නට සිදුවු අංග බොහෝය.  මෙය එක්තරා දේශපාලන මතවාදයක් පමණක් නිරූපණය කරන පිරිසකට සීමාවූ වැඩක් වුයේ ද නැත.  සංවිධානය වූයේ විවිධ මත දරන්නන් අතිනි. සහභාගි වු පිරිස ද එකම මතවාදයක් වටා රොක් වූ පිරිසක් වූයේ නැත. කවියන් පමණක් වුයේද නැත. පොදු සාධකය වුයේ කවිය සහ වෙනසක් උදෙසා කළ කැප කිරීම පමණි. එහෙත් වෙනසක් සහ සමාජ වැඩක් වෙනුවෙන් මුළු දවසක් කැප කළ හැකි සුන්දර මිනිසුන් පිරිසක් රැස් කිරීමට එය සමත් විය.
  
    උගත යුතු පාඩම් බොහෝය.  හදා ගත යුතු දේ බොහෝය. එහෙත් ආර්ථික හයියක් , මහා පිරිස් බලයක් නැතිව මෙබඳු කාර්යයක් සංවිධානය කිරීමම, කවිය වෙනුවෙන් ඒ සා පිරිසක් රැස් කිරීමම අගය කළ යුත්තකි.

    ලෝකයේ තනිව ගොඩ නැගූ දේවල් නැත. හැම ජීවිතයක්ම හැම වස්තුවක්ම හැම කාර්යයක්ම වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන් සහ සොබා දහම තැබූ පියවර අසංඛ්‍ය ප්‍රමාණයක  ප්‍රතිඵලයකි. දිගුවකි. මධ්‍ය ලක්ෂ්‍යය අසල ගෙවුණු දිනය පුද්ගලයින් නොව වැඩය ඉස්මතු කළ එකක් විය. සමාජ වැඩ සහ සාමූහික වැඩ පුද්ගලික ලෙස ඉස්මතු වීම නොවැළැක්විය හැකි රෝගයක් ලෙස උත්සන්න වන කාලයක සංවිධානය වු ඒ සාමුහික ඉරිදා දිනය ඓතිහාසික වන්නේ එබැවිනි.
 
 02/11/10