Friday, November 29, 2013






කටු ඇණුන මව්බිමකි ලේ ගැලුව
තටු නැතත් විහඟුන්ය දුක දැරුව 
පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව

29|11|13




Saturday, November 16, 2013

ඉපැරණි ම සුපෙම් ලියවැල


නින්දෙන් පවා මහවැලි ගං දිය තාල කම් කළ 
සුන්දර සිපුම් ඉවසන ගලහ මඟ දිග තුරු වැල
කන්දක රහස් සඟවන හන්තාන, පණැති කඳු පෙළ
දුම්බර පවා ඇඬුවා අතිනත් ලිහුණු තැන්වල

අඳුරු මංපෙත් තණ මත, පිනි කැට සෙමින් වැතිරුණ
නුදුරු නාදන් සුසුමකි, හිල්ඩා බිමෙහි දැවටුණ 
නුහුරු ආදර පිය ගැට, සරසවි උයන ළඟ නිම වුණ 
සොඳුරු කඳු ගැටයක දෙව් මැඳුර කාගෙත් කෙම්බිම

වේදනා ඌලකින්, ජීවිතේ සඳ දිය වස්සන 
නෑ‍හෙනා තරමට, හෙමින් මහවැලිය ගැස්සෙන
පෑදෙනා විට රැයෙක, දිය මත අක්බාර් සිත්තම 
පීදුනා වළ ට ඉහළින්, සුන්දර ම අහසක ලස්සන

දෑස් සිය දහසක් ඉම්බ මල් ලිය කම් වැල
වෑස්සුණු ප්‍රේමය ගල් කණු පවා මත් කළ
රාස්සිගෙ අව් රැළි යට, තෙල් බැම්ම කෙළවර
රූස්ස ම සංහිඳ, ඒ ටී ශිල්ප රඟහල

අඩ විතකි කෙටි බිතු මත, ලඹ දෙන මතක අහුරකි
මහපොළ යනු ම සසරක අතර මඟ හිමිදිරියකි
මිතුරු මතකය ගල් කළ ඉපැරණි පොළොන්නරුවකි
සිංහයෝ උඹ තරමට හිනා ගැස්සූ කෙනෙක් තව නැති

පාරා කාලයේ වනපෙත, පාදා ගනිමි ජීවිතේ හදවත
සිඹිමි දම්-සුදු මල් ගස, ‘සිඹින වංගුව’ පතුළත
යාරා ගඟත් පසු කොට පෑරි පෑරී සැරුව මග තොට
පේරාදෙණිය ඔබ වන්, තුංග සුවිසල් ලොවක් තව නැත


13-11-2013