Friday, August 9, 2013

සිවගාමී



පණ සුන් සිහින වෙනතක මිළ කෙරෙන සඳ

රණ බිම ලෙය ම මිස කඳුළක් නොහැළුණිද
එක'තක මතක තව අතෙකින් මරණය ද
ලඹ දෙන නිදහසට අරුතක් තියෙනවද

හොරෙන් මෙන් කලපු සුළඟක් වැළඳ ගෙන
එරන්වන් බිමෙහි දෑසට තෙත උනන
උරෙන් උර ගැටුණු හදවත් පැළුණු තැන
පරන්තන් ළයෙන් තවමත් ලේ ගලන

පොවා රන් කිරෙන් සැදු දරු මළ සොවින
කවා සුරැකි දෑතින් පහනක් රැඟෙන
තියා නළල නල්ලූර් පුදබිම සිඹින
පියා දෑස මවුවරු වැළපෙති මෙතැන

සරතැස දරණු බැරි, අළු වී යන සකුණී
මඳහස නඟා අසිපත් එක්වනු දුටිමි
උදහස මුර කරයි කොයි කාටත් නොපෙනී
නිදහස යනුම හිරගෙදරකි සිවගාමී

20 July 2013

[*සිවගාමී: සුබ්‍රමනියම් සිවගාමී හෙවත් තමිලිනී ]