Wednesday, January 18, 2012

ශතවර්ෂ අටකට පෙර මෙන් ම ... නුවර කලාවිය


වැව්බැඳි රාජ්‍යය නටඹුන්වල අභිමානය දරාගෙන හිමිදිරියේ පිබිදෙයි. අනුරාධපුර නගරයෙන් බොහෝ දුර  නිහඬව හුස්ම ගන්නා ගම්වලට ඉහළින් ඉර නැගෙයි.

අනුරාධපුරය නොහොත් නුවර කලාවිය.... නුවර වැව, කලා වැව, පදවිය වැව - එක්කොට සැදුණු නුවර කලාවිය. ...   පළමුව දහදියෙන් දෙවනුව වැසි දියෙන්  පිරුණු සිය ගණනක් වැව්වලට දහස්  ගණන් දෑත්වලින් ලේ වැගිරෙන්න ඇති,  ඒ එසැවුණු ගල්වලින් තැනුණු  වැව් බැමි මත සියවස් ගණනකින් එපිට උදා වූ ඒ රන්වන් සැඳෑවල  තරුණන් හිඳගෙන කවට කතා කියන්නට ඇති.. , ඉණ වටා පමණක් ‍ රෙදි කඩක්  දවටා ගත් කෙල්ලන් වැව් දියවරෙහි දැවටෙමින්  කහපැහැ හිරු එළියේ පෙ‍ඟෙමින් දියකෙළියේ සෞන්දර්යය විඳින්නට ඇති,  පවනකිනුදු නො කිළිටි මල් පවා  නිල් තණ බිස්ස හා  නිමක් නැති පිළිසඳරවල යෙදෙන්නට ඇති , රජවරුන් ඔටුනු දරණු ද සිහසුන්වලින් පහකෙරෙනු ද දකින්නට ඇති නුවර කලාවිය..........


.......... ඉතිං එතැන් පටන් ගෙවුණු කාලය ශතවර්ෂ හත අටකි. එදා මෙන් අදත් ලෝබ නො සිතා  දිය දෙන දහස් ගණනක් කුඹුරු නිල්පාටින් අස්වද්දන බසවක්කුලම පසු කරන විට එදා එතැන නො වූ කුඩා පාසලක් හමුවෙයි. හිමිදිරිඋදෑසන ඕලු මල් පිපී නැළවෙන දිය කඩිත්තක් අසල පිනිබරව දිදුළන, තාප්ප නැති පාසලකි. එහි බුදුගෙය පාදමේ සුදු ඇඳගත් පාවහන් නො දැමූ කුඩා කොල්ලන් කිහිප දෙනෙකු කවට කතා කියයි. පුංචි පැංචියක් සුදු ගවුම නළවමින් වියළි කලාපයේ උරුමය ලද විසල් රුකක කොළ හැළුණු මිදුල රටාවකට අතුගායි.  වියළි නිරුවත් මිහිකත එක තැනෙක ළඳු කැළෑවකින් ද, තව විටෙක වීර , පලු, කෝන් ගස් දරා සිටින තණ කොළ ගොල්ලකින්ද විටෙක බඩ ඉරිඟු යායකින් ද තවත් විටෙක දිය කඩිත්තකින් ද සැරසී කොළ පැහැයේ අනේක විධ රූපයන් මවයි.  සෙබඩක  ලැසි ගමනින් තාර පාරෙන් එගොඩ වී කහටගස්දිගිලියේ ළඳු කැළෑවකට ගොඩ වෙයි. අසල් ගසක විසල් මොණරෙකු පිල් නො විදා ලැග සිටියි...ශතවර්ෂ අටකට පෙර මෙන් ම...එතැන ම...


කැබිත්ගොල්ලෑව ද පසුකොට තවත් දුර එන විට ළඳු කැළෑ මැදට වී ගිම් නිවන පදවිය වැව... මහාසේන රජු විසින් ක්‍රි.ව. 300 දී කරවන ලද, මහා පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1200 දී පිළිසකර කරවන ලද,  අක්කර 14,000 ක් අස්වද්දන මහා දිය කඳ සැනසිල්ලේ මවකගෙන් කිරි උරන දරුවෙකු මෙන් මිහි මව බදා වැළඳ ඉසිහින් රැළිති නඟමින් නැළවෙයි. වෑ කණ්ඩියේ තැනින් තැන සුදු කොක් රෑන බර කල්පනාවක නිමග්නව වැව දෙස බලා හිඳිත්, දිය පිරුණු වැවෙන් මාලු ‘වෙනදා තරම්’ අසු නො වන බව කියන මිනිසුන් සේ ම මැසිවිලි මුහුණක් මවා පාති. වැව් දිය මතින් ඉහළ නැගෙන වියළී ගිය රුක් කඳන් අතු ඉති පතුරවමින් වෑ තෙලිකඩ මත සිතුවම් අඳියි.හොරොව් බුරුල්ලෙන්  සීරුවට ඇළ මඟට විදින කිරි දිය, පෙණ නඟමින්  නිල්ල නඟන කුඹුරුවල පවස නිවුමට කඩි මුඩියේ පිටව යයි. ...ශතවර්ෂ අටකට පෙර මෙන් ම...



21 වන සියවස ට එළඹෙන  අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් සිය ගණනක් දුරින් පිහිටි පදවිය,  මුලතිව් දිස්ත්‍රික්කයට මායිම් වෙයි. වැවෙන් කුඹුරෙන් දිවි සරිකරගන්නා වියළි කලාපයීය මිනිසුන් බොහෝ දෙනෙක් කාමරයක් හෝ දෙකක් ඇති එතරම් උදාරම්  නැති පල දෙකේ නූස් වහලවල් සහිත නිහතමානී පෙනුමක් ඇති නිවෙස්වල දරුවන් ද සමඟ වසති. ඒ ජීවිතවලට ද ජන කණ්ඩායමට ද ආවේණික වේදනාවන් සහ අභියෝගයන් ද ඒ අතර ම පණ ගැහෙයි. 

පාසල් නොයන දරුවන් මුලු ළමා ජනගහණයෙන් 30%ක් වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම මත්පැන් අලෙවිය සඳහා වාර්තාවට හිමිකම් කියන්නේ පදවිය යි. අවරුදු 16 වෙද්දී බොහෝ දැරියෝ විවාහ වෙති. ගමේ සෑම පවුලකම පාහේ ආරක්ෂක අංශ සාමාජිකයෙකු වෙයි. තැනින් තැන ඇති හමුදා මුර පොළවල් මෙන්ම ගෙවුණු අඳුරු යුගයට අයත් කැඩුණු නිවෙස්, පාලු සොහොන් කොත් මෙන් ම ඒ පොළවේ දහුවිලි පවා ඊට හේතු කියා පායි. . යුද්ධයෙන් කපා කොටා මරා දැමුණු හේන් ගොවිතැනින් දිවි සරි කරගත් ජීවිතවල නිම නො වූ වේදනාව ශේෂ වූ නෑ සියන්ගේ දෑස් මත පෙනී නො පෙනී යයි. මහාසේන රජුවත් පරාක්‍රමබාහු රජුවත් කිසිදා නො දුටු තරම් ලේ පදවිය වැවට දියව යන්නට ඇත. වසර තිහක් තිස්සේ ආධාර මත යැපුණු ජීවණ යාන්ත්‍රනයන් සාමය නිසා ගල් වූ සැටියකි. තවමත් මිරිස් පැලයක් වත් නො වැවුණු මිදුල්වල දණට ඉහළින් නැගි තණකොළ සිසාරා ළමෝ කෙළි දෙලෙහි යෙදෙති.


පැරකුම් නිරින්දෝ පදවිය වැව් බැම්මේ සෙල් ලිපියක අකුරු අතර සිර වී උන් දෙස බලත්, තව සියවස් අටකට පසු උන්ගේ දරුවන්ට කුමක් වෙත්දැයි විපිළිසර වෙති. වැව වාන් නො දමා තව තවත් ගැඹුරු වෙමින් රැළිති නඟයි.


18-01-12 , පදවිය.

5 comments:

  1. අපේ මහා රජවරු ඔය පැති වල තමන්ගේ රාජ්යෙ බිහිකරේ ලංකාවේ වෙන තැන් නැතී නිසා ද ?? ඔය රත්රින් පොළවේ වටිනාකම තේරුම් ගන්න,එහි ජීවත් වෙන අපේ ජාතික වීරයන්ගේ ලේ උරුමය තේරුම් ගන්න අපේ රටේ නයකයන්ට හැකි වේ වා
    පිරිමි නැතී ගම් පිටින් ඔය පතේ තියනවා ඇති යුදේ දරුණු කම තේරුම් ගන්න, ළමා අපචාර මත්ද්ර ව්යතවලට අබාහිවීම්.මේවට තාවකාලික පැලැස්තර විසදුම් වැඩක නෑ.
    මේ නැතී වෙනේ අපේ රටේ ජාතික උරුමය.අපේ ජාතික වීරයින්ගේ ජාන උරුමය. මේදේ කරන්න ඉංග්රී‍සි පුදුම උත්සහා ගතා වැඩේ ගොඩක් සාර්ථක උනා... එත් අනුරාදපුරයේ වගේ පැති වල ට ඒ බලපෑම තදින් දැනුනේ නෑ...
    දැන් ඒ අයගේ අලුත් උත්සාහය මල්පල ගැන්වෙමින් තියනවා...
    ඔළුගෙඩි වලට හෙන ගැහිලා ද සිහලුනේ. . .

    ReplyDelete
  2. මේ හරිය ගැන ඇත්තටම ඇස් හැර බලන්නට කෙනෙක් නෑ. හැමදාම මහ පොළව සමඟ ගැටෙන අසරණ වෙච්ච අය ඉන්නෙ නුවර කලාවියෙ. හැබැයි රජකාලෙ මොනතරම් සරුවට තියෙන්නෙ ඇතිද? හරිම තාත්විකයි මේ සටහන.// එහි ජීවත් වෙන අපේ ජාතික වීරයන්ගේ ලේ උරුමය තේරුම් ගන්න අපේ රටේ නයකයන්ට හැකි වේ වා!!!!! //ස්තූතියි චරිත.

    ReplyDelete
  3. චරිත ට සහ චන්දි ට සතූතියි. මේ සටහන තැබුවේ ඉතිහාසය එතරම්ම ළඟින් දැණුනු නිසා. නුවරකලාවිය මට දැණුනේ ඉතිහාසයට පිවිසුම් දොරක් විදිහට. නමුත් මෙය ජාති ආගම් හැටියට බෙදා ගත්තොත් අපි නැවත පිරිහේවි. වේදනාවන් සහ අභිලාශයන් හැම ප්‍රජාවකට ම පොදුයි.ඒවා උදුරා ගැනීම ම තමයි අපරාධය. යුද්ධයෙන් බැට කෑ පදවිය අවුරුදු තිහක යුද්ධ ආධාර නිසා පිරිහිලා තිබෙන ආකාරය ඊටත් වඩා කණගාටුදායකයි. මේවා දකින්නට, පටු නො වී සිතන්නට, මිනිසුන් දෙස භේදයකින් තොරව බලන්නට පරම්පරාවක් ලෙස අපට අසීමිත දෑසක් අවශ්‍යයි.

    ReplyDelete
  4. @ Chandi @ vasilissa මම ලියාගෙන අපු විලිවෙලට ම මට ලියුන දෙයක් තමයි ඔළුගෙඩි වලට හෙන ගැහිලා ද සිහලුනේ. .
    නමුත් එය නමුත් මෙය ජාති ආගම් කොනෙකින් බලන්න එපා මොකද මම කතා කරේ උරුමයක් ගැන මේ උරුමය අපි හැමෝට ම පොදු දෙයක්...
    අපි ගව තිබ්බ ඒ තාක්ෂනය ඒ දනුම් සම්බාරය ඒ යෝද ශක්තියක් තිබුන අපේ මුතුන් මිතන් ගන්න පරම්බනවා ඇර,එතනින් එහාට ගිය දෙයක් කිරීමට‍ ලැබුන අවසන් අවස්ථාව කියලයි මම හිතනේ
    අප ලංකික කියල එක ට එකතු විය යුතුයී . ඒ සදහා අපි ට ලැබුන ස්වර්ණමය අවස්ථාවක් අපි මගහැරිය ඒ තමයි සුනාමිය.ඒ අවස්ථාව අපි ප්ර යෝජනයට ගතේ නහැ,දැන් අපේ අනිත් අවස්ථාව යුදේ ඉවර වෙලා දැන් අවස්ථාව ලබා ගත යුතුමයි
    keep it up ur good work :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චරිත. මේ වගේ හිතන එකත් ලොකු දෙයක්. හැමෝම කරන්නෙ කරන දේට බැන බැන ඉන්න එක. කරන්න මහන්සි වෙන්නේ නෑ. කාලය කකා ඉන්නවා. එහෙම නැතිනම් රටේ තියෙන හැම සම්පතක්ම තමන්ටම අයිති කරගන්න හදනවා. ඒක නෙවෙයි නෙ වෙන්න ඕනෙ. හැමෝම ඒවා බෙදා හදා ගෙන සහ ජීවනයෙන් භුක්ති විඳින්නයි ඕනෙ. අපේ මූදුවෙරළ උනත් අපවිත්‍ර කරන අය තමයි වැඩි. රට ගැන කිසිම හැඟීමක් නෑ.

      Delete