Wednesday, November 22, 2017

නොවැම්බරයක රිදෙන මතකය





ඉරුණු තැන් ⁣පිරිමදින අහසකි
මැරුණු මල් පෙති සිඹින පොළවකි
ඇරුණු  මතකයෙ සොහොන් ගැබ මත
පිරුණු ඉතිරුණු ඇසකි සයුරකි

දළුලන්න බැරි සිසිර මොහොතක
ගිලිහෙන්න කමටහන් අවැසිද
යළි එන්න බැරි අඳුරු නිම්නය
මළවුන්ට තරු නැගූ අහස ද?

බෙන්සාරු කළ කඳුළු බිඳකින්
කන්තාරු නින්නාද නෑහෙන
සංවාද කළ රැයක දෑසින්
සංවේග වේදනා වෑහෙන

කියන්නට කිසිදාක බැරිවුණ
වදන් නැති කවි හදක චිතකය
දවන්නට හිත හදා ගනු බැරි
නොවැම්බරයකි රිදෙන මතකය


22-11-17



සඳ එළිය සහ කුළු කුහර



පෙදෙහි රස හව් පුබුදන
නිදන තරු කැට අවුලන
නැගෙන දිළිහෙන බැසයන 
සඳෙහි එළිය ම තැනෙහි ඔබ ඇත

මැදක මන්දාකිණියක
බිඳුණු තරු ආවාටෙක
මිදුණු ක්ෂිතිජය නො දිසෙන
අඳුරු කළු කුහරයකි මා ඇස


10-11-17

ඉතිං ඔබ හිතන්නේ එහෙමද?






ඉතිං ඔබ හිතන්නේ එහෙමද
අතින් අත ඇරුණු තැන කොතැනද
සිතින් සිත නිවාලූ සුළඟක්
මිටින් ගිලිහී ගියේ කොහොමද

ඉස, දැවෙන හිත මතින් පිනි කැට
අස අසා රිදෙනවද හදවත
විස නො වූ මදහසක රිදුමකි
ඇස අගක කැවෙන මේ වැලි කැට

පෙළින් පෙළ ඇඳි මතක නැතුවද
මලින් අර පාර හැඩ වෙනවද
පෙළන්නට රුදු පවන් නැතුවත්
සැලෙන්නැති තුරු හිසක් තිබුණිද

බිඳක්වත් ඉරි නො ඇඳි නදියක
උදම් රළු රළ නැගුනෙ කොහොමද
මඳක් රිදුණත් දෑල ඉවුරට
ගඟක් නවතනු හැකිද , කෙලෙසද 

කොහොම අය කොහෙ කොහේ යනවද
එහෙම අය ආයෙ හමුවෙනවද
එහෙම පැණ මොටද කෙටි දුරකට
කොහොමටත් එක මඟක යනකොට

රනින් හැන්දෑ අහස දුටු විට
නිතින් කම්පිත ස්නායු තරු කැට
නුසුන් වී දිළෙනෙකද සරතැස
ඉතිං ඔබ හිතන්නේ එහෙමද ?


06-11-17