Friday, January 31, 2014

ක්‍රිස්ටිනා




-කිසිදාක හමු වී නැති කාර්යාලයීය මිතුරියක වූ ක්‍රිස්ටිනා ලී නම් විසි හතර වියැති කොරියානු යුවතිය, මොළයේ හට ගත් අධි රුධිර පීඩන තත්වයක් නිසා හදිසියේ ම සියෝල් නගරයේ දී මිය ගිය ගොස් තිබුණි.

වියෝගය, 
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා? 

හීනයක්, යළි හීනයක් 
ඒ මතින් තව හීනයක්
ඇස ළඟින් තබා ගිය
කඳුළක්ය ස්නේහයත්

දශක දෙකකුත් සිව් වසක්
හුස්ම ගත් මුදු හදවතක් 
ඇරඹුමක් ළඟ නිමාවක් නම්
ජීවිතේමද මරණයත්? 

මිනිස් දුක දැක සසැලී
ඔය තුරුණු හිස බර වී
හිස රුහිරු නළ පිපිරී
හිත නැවතුණිද නැගණී? 

සමුනොගෙන ඉසියුම්ව රිදවන
දුරකතන අංකයකි මේසයට ඉහළින්
කඳුළකින් ඇලවී... 
සිනා ලකුණකි පරිගණක තිරයෙහි 
ඔබ තබා ගිය
අවසාන කතා බහ නිම වී 

අකුරු ළඟ ඇස් නවතමි
මිතුරු සිනහව හඳුනමි
යළිත් ඔබ හෙට නො ලියනා බව 
අදහනු බැරිව ගොළුවෙමි

ඇත්තටම ඔබ නික්ම ගොස් නැතුවැතී
දුරක ඈතක කොහෙ හරි ඇතී
මම මගෙ හිතට කොඳුරමී

දෙනෝ දාහක් සෙනඟ අතරතුර මඟ යනෙන
තබා යන්නැති ඔබත්, ඔබේ පෙරඹර සිහින
'උදෑසන', සිනාසෙන්නැති අදත් එහි පැමිණ
ඔබ නොහෙළු මුදු සුසුම පිනි බිඳක් වී මැකිණ

වියෝගය! 
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා? 

24-01-2014

8 comments:

  1. සැබෑ ලෙස නොදකින, ඉලෙක්ට්‍රොනික මානයන්ගෙන් පමනක් අප දකින ඇසුරු කරන (විශේෂයෙන් රැකියාව උදෙසා) අයගේ ජීවිතය ගැන සිතන්නට මොහොතකට හෝ අපට ඉස්පාසුවක් දෙන්නේ ඔවුන්ගේ මරණය වීම හරිම ඛේදනීය තත්වයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර. අපට අප නොදැනම බොහෝ දේ නිති පතා මඟහැරෙනවා.

      Delete
  2. අදිසි මිතුරියගේ වියෝව තදින්ම හද සසල කලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි.

      Delete
  3. Replies
    1. ස්තූතියි Prasad Weerasinghe.

      Delete
  4. වියෝගය!
    ළය පලා ඇතුළු වී
    කේශ නාළිකා තුළ දුවන්නේ
    වේදනා වී මිදෙන්නේ
    ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා? /// :'(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී..

      Delete