Tuesday, October 18, 2011

අන්තිමේ දී එපුවත පැමිණියේ ය.



කඳු ගැටයක් මුදුනේ  ෆයින් ගස් වලින් වටවුණු කළු ගලින් තැනූ  කුඩා  දෙව් මැදුරකි. දෙව් මෙහෙය අවසන්ව සීනුව නාද වෙත් ම එළියට පනින කුඩා පැටවුන් දෙදෙනෙකි. පූජක තැනගේ නිවසෙහි කුඩා කළු සුදු රූපවාහිනිය මත දොස්තර හොඳ හිත පාන පෙළහර බලන්නට  ගෙදර නො ගොස් බඩගින්නේ ම බෙලි දික්කරමින් සිටින උන් දෙදෙනාගේ ඉරිදා රෑ කල සිහින පිරුණේ කතා කරන සතුන් රැගෙන අප්‍රිකාව දෙසට  යන නැවකිනි.

අන්තිමේ දී එපුවත පැමිණියේ ය.


ඔබ ඒ නැවෙහි නැග
පී-පී, ගබ්-ගබ්, චී-චී සමග
අප්‍රිකාවෙන් එහා පාරාදීසයකට
ලිලිපුට්ටන්ගේ දේශයෙන්
ගලිවරයන්ගේ දිවයිනකට

සාවුන්ට කන්නට තරම්
පිරිසිඳු උඳුපියලිය ඇති
නිසල තණ බිමකට

පිස්සු පූසන්ට පවා
ගී ගයන්නට අයිතියක් ඇති
ලී වලින් සැදූ
එක්තරා නිම්නයක ඇති ගෙදරකට

රජවරුන්ගෙන් ගෙන් උදුරා
දුප්පතුන්ට දන් දෙන වීරයින්
රිදී පැහැ ගංගා අසල
පෙම්වතියගේ රන් හිසකේ අතර මුහුණ සඟවන
ෂර්වුඩ් වනයට
........................
නික්ම ගිය බව

පොලිනීසියා පියාඹා විත්,
ෆයින් ගස් තරමට ම ලොකු මහත් වී
තාත්තා ද අහිමිව උන්
එක් පොඩි එකෙකු අත තැබූ
රෝල් කරන ලද  කඩදාසියක
වැල් අකුරින්  ලියා තිබුණි.

මහ දුකින් ඉකි ගැසූ
ඒ පොඩි උන් ඔබට
හැමදාම ණය ගැති බව කියා
බදා වැළඳ
හඬා වැළපෙන්නට
ඉපැරණි ෆයින් ගස් සොයා නික්ම ගියහ.

ටයි මාමේ,
හමුවුනොත් උන් මගක දී
වයා තණකොළ පෙත්තන්ගේ සංගීතයක්
බොහෝ කලකට පෙර මෙන්
තව එකම එක වරක්
මොහොතකට නැවතී
සනසන්න.


ඔබට සුබ ගමන්!