Thursday, August 7, 2014

'තිලක සිත' හෙවත් නොස්ටැල්ජියානු මිහිරේ ගැඹුර



ඒ 2000 දශකයේ  මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය චතූත්  හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා ශාලාවේය. කලා පීඨයේ සිටියද අපේ  රූමිලා සහ ගජයන් වූයේ ඉංජිනේරු පීඨයේ නංගිලා කිහිප දෙනෙකි. දහයක පහළොවක රෑනක් වූ අප වළේ හෝ ඒ ටී එකේ චිත්‍රපටියක් නොඑසේ නම් සංගීත වැඩසටහනක් නොමැති හවසක  ඉංජිනේරු පීඨයේ  ඇවිදින්නට ගියෙමු. යක්කුන්ටවත් බය නැති අපේ තනියට කොයි එකටත් ෆැකල්ටියෙන්ම හිච් වී සිටි නංගිලා දෙදෙනෙකුගේ කොකු හෙවත් පෙම්වතුන් හිටි බැවින් රෑ තිස්සේ ඉංජිනේරු පීඨයේ තල් ගස් පේළි මැද්දෙන් කොළපත් පැද්දේ අප්‍රමාණ සන්තෝසයකිනි. කොළයක් වැටෙන සද්දෙටත් හිනාවෙවී එකාට එකා මඩ ගහගෙන එන ගමන්  අක්බාර් පාලම උඩ හිටගෙන නිස්සද්ද වීම අපේ පුරුද්දක් වී තිබුණි. 

"ලෝකෙ ලස්සනටම ඉර පායන්නෙ සිරීපාදෙට. ලෝකෙ ලස්සනටම හඳ පායන්නෙ අක්බාර් පාලම උඩින් හන්තානට"

මේ වාක්‍යය දේව වාක්‍යයක් සේ ඇදහූ බැවින් හන්තාන එළිය කරගෙන යුනිවර්සිටි විහාරය උඩින් හඳ පායද්දී මහවැලිය දිව්‍ය ලෝක පාටකින් දිළිසෙමින් අක්බාර් පාලමටත් පාලම උඩ නිස්සද්දව හුස්ම ගනිමින් සිටි අපිටත් යටින් ගලා ගියේය. ඒ වෙලාවේ ගඟට උඩින් පියාඹමින් උන් වවුලන්ට වුණත් අපේ හුස්ම සද්දය ඇහෙන්නට ඇත.

තවත් දවසක  මේ විදිහටම රෑන පිටින් වළේ  සංගීත කටයුත්තක් බලා අපි එමින් හිටියේ රෑ දෙගොඩ හරියේය. එදා රෑ සිංදු කියූ ප්‍රසිද්ධ ගායකයින්ට අයිතිවාසිකම් කියමින් කසාද බඳින්නට  බයොලොජි පොරොන්දම් බලමින් ඒ උදවියගේ සෙරප්පු සපත්තු ගැන පවා වාද විවාද කරමින් කච බච  ගාමින් පැමිණි අප සමඟ වාදයට පැටළුනේ අපේ ඉංජිනේරු රූමිලාගේ බැචාලා ටිකකි. ඇත්තටම වාදය අප සමග නොවේ. බැචාලා බැචීලා අතරය. බැචීලා මේ සංගීතය අහවර වී යන දෙනෝදාහක් මැද වුවත් තනිවම යාම අනතුරුදායක බවත් මග දිගට හොල්මන් ඇති බවත් බැචාලා කියන අතර "බොරු නොකිය පලයං පාලමා..ගල් ඇන්දා" වැනි කාඩ් වලින් අමතමින්  බැචීලා ද උන්ට බැණ වදියි.

"හා එහෙනම් පලයව්කො" කියමින් හිල්ඩා එක හරියේ දී බැචාලා නැවතුණ අතර අපිද කළුවරේ ඉදිරියට ගියෙමු. දැන් ඇත්තේ අඟල් භාගයේ ස්ලෝප් එක ඇති පඩි පෙළින් යුත් සංඝමිත්තා කන්ද නැගීමයි. අවසනාවට හඳ එළිය ඇති දවසකුත් නොවේ. කාගෙවත් අතක විදුලි පන්දමකුත් නැත. පොදි පොදි ලෙස පැමිණි පිරිසුත් විසිරී අපව පසු කොට ගිහින්ය. දණිපනි ගාමින් කන්දේ බාගයක්  නැග්ගා පමණි. මීදුමත් සීතලත් අතරින් මුළු පරිසරයම කීරි ගස්සවමින් ඇසුණු අමුතු සද්දයකින් අපි ගල් ගැසී ගියෙමු. නැවත ඒ සද්දය එනවිට අපේම බයට සහ වෙව්ලිල්ලට ඒ හඬ  ඇසුණේ දෙගුණ වීය. කට්ටිය කොහොම උඩට නැග්ගාදැයි මතක නැත. එදා රෑ කවුරුත් තනියෙන් බාත්රූම් ගියේ නැත. 

ඊට ටික දවසකට පසු එදා රෑ අප සමඟ පැමිණි ඉංජන් කී කතාවක් බැචීලාගෙන්ම ආරංචි විය. 

"අරුන් ටික ඔය පණ්ඩිත කතා කියල ගියාට බයයි. අපේ එකෙක් කාඩ්බෝඩ් ෆයිල් එක රෝල් කරල කට තියල සද්ද කරා. ඒ සද්දෙට උන් ටික බය වෙච්ච පාර මිත්තා කන්දෙ බඩ ගෑවා" ඒක ඇහුව පසු කොල්ලන්ට බණිමින් ඒ අතරම බඩවල් අල්ලාගෙන අප හිනාවූ හැටි මතක් වන විට මට දැන්ද හිනා යයි. 

මේ සියල්ල මතක් වූයේ  ලියන්නට හිතුනේත් තිලකසිරි ඒකනායක නම් කෙනෙකු නිසාය. හිතවතියක විසින් ඉතා උනන්දුවෙන් රෙකමදාරු කරනු ලැබීමෙන් පසු ගොඩ වූ  ඔහුගේ 'තිලක සිත' නම් බ්ලොගය මගේ නොස්ටැල්ජික් මතකය කළඹවා පෝස්ටුවෙන් පෝස්ටුවට කඳුළු නැංවුයේය. ඔහුගේ පමාවී හමුවුණ තාත්තා නම් පෝස්ටුව කියවද්දී මා පිටරටක හිටියදී මා වෙනුවෙන්වත් පමා නොවී නික්ම ගිය තාත්තා පිළිබඳ ආදරය තුවාලයක් සේ පාරවද් දී මම ඇඬුවෙමි. පඩිපත නැති කර ගෙන ගෙදර ආ දවස ගැන කියවද්දී කසාද බැන්ද මුල් කාලයේ හිනාවෙවී දරාගත් ආර්ථික අගහිඟකම් මතක් වී තෙත් නොවුන දෑස ට කඳුළු ආවේ, එකට ආ මේ ගමනේ කිසිදාක සල්ලි මුල් කරගෙන හිත් අමනාපයක් හදාගෙන  නැති,  අප්‍රමාණ ආදරෙන් ‘අම්මා‘ කියා බිරිඳ අමතන අපේ ගෙදර එක්කෙනා ගැන සිහිවීමෙනි.  ඒ පෝස්ටුව යට දමා තිබූ කොමෙන්ටුවල ඇති හුදු සුලභ කොමෙන්ටු ස්වභාවය  ඉක්මවා ගිය ගැඹුරු සංවාද දුටු මට  ජීවිතය බෙදා ගන්නා මේ මිනිසුන් ගැන ඇතිවූයේ ඉමහත් ගෞරවයකි. පහේ පන්තියේ දේශපාලනය ගැන කියා මා හිනැස්සූ තිලක් මට මතක් කරන්නේ දහයෙ පන්තියේ දී හතරවැනි ජාත්‍යන්තරයේ සමාජිකාවක වී ලෝක විප්ලවය කරන්නට ඉටා ගැනීම හේතුවෙන් උසස් පෙළ අතාරින්නට සිටි මගෙන් තාත්තා ලෝකය ගලවා ගත් හැටිය. කුළුඳුලේ ලොකුදුව ඉපදුණ දවසේ කලබලයත්,  තාත්තා තිලක් ගේ බය නැති කළ හැටිත් ලියා  නැවත වරක් මගේ තාත්තා මැරෙන තුරුත් ඉන්පසුත්  මට ආදරය කරන හැටිත්,  එවැනිම දේවල් කර මගේ බය නැති කළ හැටිත් සිහිපත් කරවා,  මා අඬවයි. අල්විස් පොන්ඩ් එක ගැනත්  89 දී එය වටා ගසා තිබූ තරුණ ඔළු ගැනත් නොකීවාට ඊටත් වඩා කම්පාවක් දැනෙන විදිහට ‘මාරේ‘ ගැන කියයි. මට මතක් වුනේ ජිම් එකේ ගී ගයන්නට ආ කපුගේ 'හන්තානේ කඳු  දණ  ඇණ නමදින' කියන්නට කලින් අල්විස් පොන්ඩ් එකේ ඒ මතකය අලුත් කරන්නට ගොස් දරාගත නොහැකිව  වේදිකාවේදී ඉකිබින්ද හැටිය. 

තිලක් , වීරක්කොඩි සර්ට බඹරු ඇන්න කතාව මා කවදාවත් දැන සිටියේ නැත.ඒත් පුරා අවුරුදු හතරක් ඔහු පල්ලියේ ඕගනය වයද්දී මා ඒ තාලයට ගීතිකා ගැයුවෙමි. පුරා අවුරුදු හතරක් පූජාව වේලාවේදී ඔහුට කනවැල අල්ලන කෙනෙකු වී හිටියෙමි. මෙන්න සයිබර් අකුරුවලින් ඇවිත්  ඔබ බඹරු ගැන කියයි. පස්සෙ කාලෙක ප්‍රොෆෙසර් වුන ඩොක්ට වීරක්කොඩි ගැන කියයි.  තාත්තා බලංගොඩ සමණළ වැව ප්‍රොජෙක්ට් එකේ වැඩ කර (ඒ රාජකාරිත් සිවිල් ඉංජිනේරු රාජකාරිමයි) මාසෙකට දවසක් ගෙදර එනතුරු, හැතැප්ම සිය ගාණක් දුර  ඉඳන් මඟ බලාගෙන ඉඳපු දුවට , ඔබ ‘දෙව්නි තාත්තාට  ගෙදර එන්න කියන හැටි‘ කියයි. තිලක් විදුසරට ලියුව කාලය  අපි ඉස්කෝලේ යන ගමන් ඉමහත් ආසාවෙන් චානුක වත්තේගමටත් සරත් කොටගමටත් හිතෙන් ආදරය කරමින් විදුසර කියවූ කාලයයි. (ඇත්තටම තිලක්  මඟඇරුණේ කොහොමද? අපරාදෙ!) කාලය වෙනස් වුනත් අපි කවුරුත් ඇවිදගෙන ගිහින් තියෙන්නෙ එකම අඩිපාරවල් මතින්ද? කාලය හා අවකාශය බැලුවම මේවා සමාන්තර ජීවිත නොවෙයි.. ඉතිහාසයේ පුනරාවර්තනදැයි සිතෙයි.  

හැබෑ ජීවිතය මේ හැටි අපූර්වත්වයකින් යුතුව  චිත්‍රණය කරන බ්ලොග්කරුවන් මා දැක ඇත්තේ ඉතා ටික දෙනෙකි.(මට මඟහැරුණු අය සිටිය හැක.  බ්ලොග් ලෝකයේ වැඩිපුර සරන්නට ඉඩක් ලැබෙන්නේ නැති බැවිනි.)  එක් අයෙක් රෙයර් ගේට් ලියන චාර්මි සෑම් ය. අනෙක් කෙනා අති දුෂ්කර ගමක හිඳ ජීවිතය හොයමින් හිස් අහස බ්ලොගය ලියන සඳරු නම් තරුණයාය. 

තිලක් ගේ මේ හැම පුද්ගලික කතාවක් ඇතුළේම ගැඹුරු ජීවිතාබෝධයක් අපට දැනෙයි. සතුට නම් එය ග්‍රහණය කර ගත හැකි බුද්ධිමත් පාඨක  පිරිසක් ඔහුට ඉඳීමය. ලිබරල් නිදහස ගැන අදහස් ලඹ දෙන ලෝකයක ඔහු අඹු සැමි ප්‍රේමයේ සෞන්දර්යයද තාත්තලාගේ  නිහඬ ආදරය ද උත්කර්ෂයට නංවයි.ලෝක රස්තියාදුකාරයෙක් වී ඇවිදින ගමන් හමුවුණ ජීවිත ප්‍රවේශමින් විමසා අවැසි කාරණා මතු කොට මහාද්වීප යා කරයි.   කතා නොකරනවා යි කියන දේශපාලනයම සංයමයෙන් යුතුව කතා කරයි. මඟ හැර යා නොහැකි වේලු ලා ගැන  අපට මතක් කරවයි. දේශපාලනයෙන් තොර ජීවිත කොහේද?  තිලක් ඒ බව හොඳින් දනියි.වැලි ගල් යකඩ හරි විදිහට යොදා කොන්ක්‍රීට් හදන්නාක් මෙන් ඔහු  සිය නොස්ටැල්ජික් මතකයන්ගෙන් (ඔහුගේම වචන) ගැඹුරු මිනිස් සබඳතා ද කටුක සමාජදේශපාලනික  යථාර්ථයන් ද ජීවිතය කෙරෙහි ඔහු හෙලන්නාවූ නිවුණු  එහෙත් උපේක්ෂාගත දෘෂ්ටිය ද මිශ්‍ර කර අපූරු ගෙත්තමක් තනයි.අපට ඒ සංවේදිතාවන් හෝ යථාර්ථයන් මඟ හැර යා හැකිද? මට  නම් බැරිය. මන්ද තිලක් අපට අපවම මුණ ගස්වන බැවිනි. ඒ ඇතැම් විට මා පසුකොට ආ මමය. නැත්නම් මට අහිමි වූ මම ය. මම යනු,  මා වූ පුද්ගලයා  මෙන්ම මා නොවූ  පුද්ගලයා ද වෙයි. තිලක් ඒ බව දන්නා බව දැනෙන්නේ පෝස්ටුවෙන් පමණක් නොවෙයි. පෝස්ටුව යටින් ඇතිවන සංවාදවලදීත් ඒ සංයමය හැඟවෙයි. 

මම තිලක් කියනවාට වඩා කැමති තිලක කියන්නටය. එතකොට ටී බී ඉලංගරත්න මහත්තයාගේ තිලක ආපහු හමුවූවා වැනි ළඟ කමක් මට දැනෙයි. මා පොත් විචාරකයෙකු නොවන බැවින් මෙය එබන්දක්  ලෙස වරදවා නොගනු ඇති උදක්ම බලාපොරොත්තු වෙමි. මා කිසිදා තිලක දැක නැත. බ්ලොගය කියවා දවස් දෙකකි. ඒත් හෙට තිලක් ගේ 'තිලක සිත' පුස්තකාල සේවා මණ්ඩලයේ දී හවස 3 ට  පොතක් ලෙස දොරට වඩින දවස බැවින් දවසක් තුළ මේ තරම් ලියවිලි රසවිඳ නිහඬව හිටියොත් ගුණමකු කමකි. කර්‍තෘ ප්‍රකාශනයක් වන තිලකගේ පොත කියවන්නට  බොහෝ පිරිසකට ඉඩ ලැබේවා  කියාත් බිල්ඩිං පාලම්  වැඩ රාජකාරි අස්සේ තිලකට තව බොහෝ රසවත් යහපත් දේ ලියන්නට නිර්මාණාවේශය සහ හිතේ විවේකය  ලැබේවා කියාත් ප්‍රාර්ථනා කරමි. 

මතකයන් යනු වැළලී ගිය දේම පමණක් නොවේ. මේ දැන්  ඉන්නා අප යනු ඒ මතක සහ අත්දැකීම්වල  ඵලයකි. අප තබන හැම පියවරක්ම වඩා අර්ථවත් වන්නේ ඒ මතකයන් නිසාවෙනි.
**********
අවුරුදු දහයකට පසු ගිය දෙසැම්බරයේ මම අක්බාර් පාලම මත සිටගෙන සිටියෙමි. මෙවර මා සමඟ ගජයන් හෝ රූමිලා නැත. ඒ කවුරුත් දැන් දරුමල්ලන් ලබා යහපත් ජීවිත ගත කරති. බැචාලා සමඟ හිච් වූ ඉංජිනේරු රූමිලා දෙදෙනාම ඔවුන් සමඟ විවාහ වී ඇත. මගේ මිතුරිය දුර ඈත රටකය. 

ඒ වෙනුවට මගේ සැමියා මගේ අතින් මෘදුව අල්ලාගෙන හිඳියි. පේරාදෙණි ය කෙරෙහි වන මගේ නොනැසෙන නොස්ටැල්ජික් බන්ධනය ඔහු දනියි. අපි වවුල් සිතුවම් ඇඳෙන මහවැලියේ සර සරය අසමින් හන්තාන දෙස බලා හිඳිමු. 

"ලෝකෙ ලස්සනටම හඳ  පායන්නෙ අක්බාර් පාලමට උඩින් හන්තානට"  මම ඔහුට කියමි. 

******

තිලක, ඔබේ ලේඛන දිවියටත්, ඡායාරූප ගනිමින් චිත්‍ර අඳිමින් ආදරය කරමින් ඔබේ ජීවිතය ලස්සන කරන සොඳුරු සිතැත්තියටත් දෙව්නි සහ ඔවිනිටත්  සුභ පතමි!

[චිත්‍ර ඇන්දේ දෙව්නි සහ  ඔවිනි]


තිලක සිත දොරට වැඩුම ගැන තොරතුරු බූන්දියෙන්