Friday, December 17, 2010

මිතුරු කවියාගේ ප්‍රේමයට...



ගලා යන්න ගඟකට දහඩිය හෙළපු
සලා දුලා නා දල්ලට පිණි තියපු
මලානිකම තුරු සිරසට මල් ඉහපු
වලාකුළයි නුඹ වැටෙනට බිම හොයපු


දොළෙන් සංහි‍ඳෙන් තෙත ගත් හද මඬල
සිහින් අකුණු සරටත් ඇස දිය විසුල
තෙලෙන් බැදන් කිරි කන නුවරක අපුල
සැලෙන්නැති අතින් තිර මත කවි කෙරුව

රොද බැඳි සකි කැළ හා විඳ සඳ වතුර
කඳුළක් වෙද ළය ගුලි කොට මුතු තැනුව
අග පිපි මල් මග හැර කල් හැරි මිතුර
මග බැලුවෙද එනු දැක හිමිදිරි තරුව

අහස විසල්, ඔව්! නුඹ මේ කුළ බැවිනි
රහස යනුම වැසි වැටෙනා එක පමණි
නොවැස මෙතෙක් සෙනෙහස රැස් කළ සඳුනි
අහස පොළොව හමුවෙන තුරු වැසි පතමි



12/12/10

Wednesday, December 1, 2010

බිම වැටුණු ප්‍රේමයක්!



















වියරු වෙස් ගත් එරීඩා* ගේ නගරයේ
කඳුළු පැන් බෙලෙක්කය අතින් ගෙන
සඳ හිඟා කන වීදියේ
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

ගැඩවිලුන් පනුවන් චිරි චිරියේ
කාක කැණහිල් රැළ ඉව කරන
කෑදරම ගිජු ලිහිණි ඇස්
දිස්නෙ දෙන ගණ අඳුරේ
දුටුවාද මිනිසුනි,
ගොදුරකට නියමිතව
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

යවට රළු වදන් උල්
සිදුරු කොට දෙසවනම
තැළුම් කා වධ වින්ද සිරුරත
ඕජසින් වණ වෙවී ලේ ගලන
ඉරා නිය පහුරු ගා
විකා හප කළ මුව ගොළුය
එහෙත් දෑසම පෙනෙන ප්‍රේමයක්!
දුටුවාද මිනිසුනි,
වීදියේ බිම වැටී තිබුණා....

ඇස් නැතිව ඉස් නැතිව
කෙස් ඇදන් මහ මග දුවන
හිම වැටෙන ගිනි ගැනෙන
මස් කඳන් රති කෙළි වැදුන
සිල් රකින මල් පුදන
නිල බලා උල් කටු ගසන
කතෘ අඥාත මරණ මිස
සොහොන් කොත් හිමි නැති
මළවුන්ගෙ මුඩු බිමක
මධු බඳුන් සව් දිය පුරද්දී
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

දුකම ගිලදා දරනු බැරි තැන
පිට උගුරෙ ගිය ජීවිතය,
මිය ඇදෙන්නට නියමිතව
ඉක්කා ගසන
වික්කල්ව ඇවිදින වීදියේ
නමක් නොලදින්
හැඳුනුම් පතක් හිමි නැති
අඥාත ප්‍රේමයක්
දුටුවාද මිනිසුනි,
හැම කිළුටු පයකටම
පෑගෙමින්  තිබුණා...?

ඒ පෙමට ඇස් දෙකක් තිබුණා..
ඒ දෑස් කෙළවර
රැළි නගන්නට ඉඩක් නොමලද
කඳුළු මුහුදක් තිබුණා...


29/11/10

*එරීඩා- ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධ වලට අනුව වෛරයේ දෙවඟන 

Monday, November 22, 2010

තිත්ත පාත්‍රය සහ සඳ මඬල

 
ඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි


ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ 
මේ ලොව මා සතු ඈ  සතු ඒ නෙතු   
අසල්වාසියෙකු සොයනුදැනේ 

මා නැත අන් සතු සිත් බිඳලා 
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු 
රහස් අහස් තලයට පවරා
 

ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක 


ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය. උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්ව‍ා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි. ආදම් හා ඒවගෙන් ඇරඹී සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා, අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන් -අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, බිල් ක්ලින්ටන්- මොනිකා ලෙවෙන්ස්කි, දම්මි-සුගත්, අභිෂේක්- ‍ඓශ්වර්යා දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි යළිත් ඔප ගැන්වෙයි.   

ජීව විද්‍යාත්මකව, මනෝ  විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව ආසන්න හේතු නිර්වචනය කළ ද මිනිසෙකු හෝ ගැහැණියක එකිනෙකා වෙත බැ‍ඳෙන පරම හේතුව නිශ්චිතව කිව හැකි යමෙක් මිහි මත නැත. එය එතරම්ම පුද්ගල බද්ධය, අන්තර් සම්බන්ධිතය, මනෝ හා සමාජ-දේශපාලන  සාධක සංකලනය හේතුවෙන් සංකීර්ණය. එසේ බැඳෙන ගැහැණිය හා මිනිසා අතර ඇති එකම බැඳීම ප්‍රේමය පමණක් නොවේ. ලිංගිකාශය (sexual drive), සාමාජයීය හේතු, හුදෙකලා වීමට ඇති නොකැමැත්ත,  අයිතිවාසිකම (possession), සහයෝජනය කෙරේ ඇති මූලිකාශය (drive for affiliation) වැනි තවත් බොහෝ ඓතිහාසික කරුණු (උදා: ළමා වියේ අත්දැකීම්, සංකීර්ණතා/childhood experiences and complexes) එවැන්නක් තුළ දැකිය  හැකිය.

සාමාන්‍ය ලෝකයේ බැඳීමක් ගත් කළ දැකිය හැකි මූලිකම කරුණක් වන්නේ සිය සහකරු හෝ සහකාරිය වෙත පූර්ණ අවධානය (project) යොමු කිරීමයි. ඔහු හෝ ඇය ඒ තුළ සිය හිස්වූ අර්ධය සපුරා ගැන්මට තැත් කරයි. සාර්ථක වන මොහොතවල් සංහිඳියාවේ නිමේෂයන් වන අතර අසාර්ථක වන තැන් අර්බුදයන් නිර්මාණය කොට අපේක්ෂා භංගත්වයට පත්කරයි.  ප්‍රේමය පදනම වන්නා වූ සබඳකම් උස්පහත් වීම් තුළ වුව ද ගලා යන අතරම ප්‍රේමයෙන් ක්‍රමයෙන් වියුක්ත වන්නාවූ බැඳීම් අපේක්ෂා භංගත්වයේ සහ අතෘප්තියේ තිත්ත කාඩියෙන් පිපාසය නොසිඳෙන තැන කුසලානය පහත දමා නිමා වෙයි. එක්ව විසුව ද වෙන්ව විසුව ද එය පොදුය. ඇතැම් තැනෙක  කුසලානය පහත හෙලුව ද සාදය නිමා නොවෙයි. ලොව සතුටු කරනු වස් තිත්ත කාඩිය යළි යළිත් පානය කෙරෙයි. ඇතැම් තැනෙක තිරය පහත හෙළා සාද සංවාද නිමා කෙරෙයි.

මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය. 
“ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ”

අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම  සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ” යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද  තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි.  ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි..ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි.  ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ”

ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

"මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා”

සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුගෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම  ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි  සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි.  සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු  හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

“සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ ...
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි”

ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි.  සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි.  ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුර තුළ සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන  ඊර්ෂ්‍යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම  අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්‍රණය කරන රචනයක් වන්නේ එබැවිනි.
නිර්මාණ ඉවෙන් හෝ බිහි කළ හැකිය. සැබෑ දැනුමෙන් තොරව එය සිදුවිය හැකිය. එහෙත් එයින් වෙනස්ව නිර්මාපකයා ලොව දෙස බලන දාර්ශනික මානය පොහොසත් වන්නේ යම් සේ ද  ඔහු අතින් බිහිවන නිර්මාණය ද රසිකයා ඥානනය කිරීමේ වගකීම ඉටු කරමින්  වඩ වඩා ඉහළට එසවෙයි.

 වික්ටර් යනු මායාවී ලෙස අනුරාගී කට හඬකින් අප මෝහනය කරන ගාන්ධර්වයෙකි. මේ ගීතයෙහි ලා ඔහුගේ ගැයුම ඔහුගේම ස්වර සංයෝජනය හා මුසුවී වින්දනයේ සොඳුරුම ඉම් පෙදෙස් කරා අප ගෙන යයි. මිනිස් සංතානය ප්‍රවේශමින් ස්පර්ශ කොට එහි ප්‍රමෝදයන් හා වේදනාවන් අපට සියුම්ව දනවයි.  එබඳු නිර්මාණ අප තුළ ඇති මිනිස් විභවය අවදි කොට ප්‍රඥාව දල්වයි.

වික්ටර් ම සංගීතයෙන් ඔප කොට සුනිල් එදිරිසිංහ “හුලවාලී” චිත්‍රපටයට ගැයූ “කුඩා ගමේ මද්දහනේ” ගීත‍යෙහි අවසන් කොටස ධර්මසිරි ගමගේ මෙසේ ලියා  තබා ඇත.

ආල වඩන අකුරු පහේ තේරවිල්ල        සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි   සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු   සකී
ආල වඩන යන තේරුම බෝසත් කම   සකී


--
18/11/10

Tuesday, November 16, 2010

“නිල් පාට” පැනයක්!!!!


























අසභ්‍ය නිල් චිත්‍රපට පෙනී සිටි බවට හෙළිවී තිබෙන කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප පුවත් පත් වල පළ කරයි.
-පුවතක්


විල් තෙර ගැවසි සල් සපු නා මත       වැටුණු
නිල් සඳ දියෙන් සැදි මුවරද පැන්    පොකුණු
පිල් විඳහා රඟති සෙබඩුන් ළඟ      මොණරු
කල් බලලා ද තැලුවේ නිල් මල්     රෙහෙණු

තරු ඇවිදින් නොපෙනී ගිය අහස         මැන
කළුවර රෑ අගට සූරිය අවදි                  වෙන
නළුකම් සැදෙයි නව නළු රස මියෙන    තැන
සළුවක කෙළවරෙහි මල්කම් පරව         යන

තරු වුණි නම් නුබ නිල් වේද            මහතුනී
සරු වුණි නම් සළු ගිළිහේද              මහතුනී
ලොකු අකුරින්ම අච්චුව තැබූ           උගතුනී
ගරු නම්බුවක් අපටත් නැද්ද            වියතුනී

15/11/2010

Wednesday, November 3, 2010

මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක් .....

 
   
    පසුගිය 31 වන දා පන්සියයකට ආසන්න පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට එක්රැස් වුණේ කවිය ගැන කතා බහ කරන්නටය.  වෙනස් ලෙස කවිය දිහා බලන්නට ලද ආරාධනාවට ප්‍රතිචාර දක්වමින් ‍මෑත කාලයේ දී කවිය වෙනුවෙන් එකට රැස්වූ වැඩිම පිරිස එතැන විය. විවිධ ප්‍රදේශ වල සිට පැමිණි හැත්තෑව දශකයේ කවි පොත් ලියා පළ කළ අප්‍රකට කවීන්, යුග කිහිපයක් යා කරන ප්‍රවීණ කවීන්, මෑත යුගයේ ජනාදරයට පාත්‍ර වූ තරුණ කවීන් මෙන්ම කවිකම් සොයමින් පිබිදෙන්නට වෙර දරණ අංකුර කවීන්, ලේඛකයින්, සමාජ ක්‍රියාකරුවන් , තරුණ නාට්‍ය කරුවන් සේම කවියට පෙම් බැඳි තව බොහෝ දෙනෙකු ද එතැන විය.
    
    වැඩ සටහන මූලික වශයෙන් සමන්විත වූයේ ‘අකුරු ඔබ දෙස බලා සිටියි’ - ප්‍රවීණ මෙන්ම නවක කවි කිවිඳියන්ගේ කවි වලින් සමන්විත කාව්‍ය එකතුව එළි දැක්වීමෙන් ද ප්‍රවීණ කවි‍යෙක් වන ආරියවංශ රණවීර ,සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති සහ සාහිත්‍යවේදී ශ්‍රී දයාලන් (දමිළ බසින්) ගේ දේශන තුනකින් ද ඒ හරහා ගොඩ නැගුණු සංවාද වලින් ද කවිය විවිධ මාධ්‍ය භාවිත කරමින් කළ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කිහිපයකින් සහ ඒ සම්බන්ධ සංවාද වලිනි. දේශන වල සහ ඒ සබැඳි සංවාද වල එළඹුම වූයේ ‘හැමෝටම කවි ලියන්න පූළුවන්ද?’ යන්නයි.  දේශන සහ සංවාද වල මා දුටු සාධනීය ලක්ෂණ කිහිපයකි.  කවිය යනු කුමක්ද යන්න ගැන එතැන ගොඩ නැගුණු කතිකාවෙන් සහ දේශනයන්ගෙන් ඉටුවූ  සාහිත්‍යමය මෙහෙවර කවි ලිවීමට එළඹෙමින් සිටින බොහෝ දෙනෙකුට ඉමහත් පිටිවහලක් වන්නට ඇත. කවි ලිවීම හරි ලේසි වැඩක් නොවන බව ත් ලියන හැම දෙයම කවි නොවන බව ත් කවිය යනු වාක්‍ය රචනා ලිවිමකට එහා යන සාහිත්‍යමය කාර්යයක් බව ත් කවියට ඊට අදාළ සුවිශේෂ මෙහෙවරක් ඇති බව ත් එහිදී ඉස්මතු වී න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉදිරිපත් වීම ම වත්මනෙහි කවිය පිළිබඳව ඇති ඇතැම් නොපැහැදිලිකම් වලට  යම් තාක් දුරකට පිළිතුරු දෙන්නට සමත් වු බැව් මගේ හැඟීමයි. විශේෂයෙන් විවිධ මාධ්‍ය හරහා සිය නිර්මාණ එළි දක්වන්නට උත්සහ දරන අලුත් කවි පරපුරට එය වඩා ප්‍රායෝගිකව වැදගත් වනු ඇත.

    එහෙත් කවිකම උපතින් ගෙන එන්නක්ද සමාජ පරිසරය විසින් මුවහත් කරනු ලබන්නක්ද ජාන සහ සමාජ සාධක වල ප්‍රතිශතයන් කවරේද වැනි  කරුණක දිගින් දිගට එල්බෙමින් ඵලදායි සාකච්ඡාවක් සඳහා තිබූ කාලය නාස්ති වීමට ඉඩ හැරිම ආරියවංශ රණවීර සහ ලියනගේ අමරකීර්ති වැනි  ප්‍රවීණයින් අතින් නම් නොසිදු විය යුතුව තිබුණි.   සංවාද තුළින් මතුවු තවත් අදහසක් වූයේ ‘අප කවි ලියන්නේ ඇයි? කාටද?’ යන්න ගැන සාකච්ඡා කළා නම් මීට වඩා වැදගත් වන බවයි. මේ ගතවන්නේ කවිය හරහා යම් දුරක් ගමන් කර සිටි බොහෝ පිරිසකට මෙන්ම සමාජයටද එබඳු මාතෘකාවකට එළඹීමේ අවශ්‍යතාවද තදින් දැනෙමින් සිටින මොහොතක් බව අප අමතක නොකළ යුතුය. එය ඊළඟ පියවරකදී හෝ සාකච්ඡාවට බඳුන් වීමද සිදු විය යුත්තකි.
    
    නාට්‍ය, චිත්‍රපට වලින් වියුක්තව කවි නාට්‍යමය අකාරයෙන් හා ගායන ආකාරයෙන් මෙබඳු තැනක දී ඉදිරිපත් කිරීමට දැරූ දුලබ එහෙත් පුහුණු වීම් වලින් ආලෝකමත් වූ උත්සාහය දෙස බැලූ කල චූලානන්ද සමරනායක, ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර  වැනි කවීන් කිහිප දෙනෙකුගේ තෝරා ගත්  කවි  ගයමින් හා රංගානුසාරයෙන් ඉදිරිපත් කිරීම වෙනස් වැඩකි. පිරිසක් එය ඇගයූ අතර තවත් පිරිසකගේ අදහස වූයේ කවියට කවිය ලෙස තිබෙන්නට හැරිය යුතු බවය. කවිය කියවීමෙන් ලබන පුද්ගල-අනන්‍ය අවබෝධය හා අසීමිත හැඟීම් සමුදාය මෙබඳු දේවලින් රාමු ගත කොට සීමා කරන බවය. අනෙක් අතට එහි සාර්ථකත්වය අවස්ථාව හා නිර්මාණයේ ස්වභාවය මත ද රඳා පවතී.  ඇතැම් නිර්මාණවල සංකීර්ණ නොවන බව හා අන්තර්ගතය අනුව එබන්දකට යොදා ගැනීම තුළ කවියට අසාධාරණයක් නොකරන්නේ වුවද ඇතැම් කවි වල වින්දනීය සෞන්දර්යය හා එහි මානයන්, අදහසෙහි ප්‍රබලත්වය හා විවිධත්වය එබඳු ඉදිරිපත් කිරීමකින් සීමා කෙරෙනු දුටිමි. ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරිමට යාම තුළ චූලානන්ද සමරනායක සොයුරාගේ ‘චෝදනා පත්‍රයකි’ කවියට සිදු වූයේ එවැන්නකි.

  දවස පුරා පැවති වැඩ සටහනේ අපූරුම අංගය වූයේ කවි කියවා උපන් හැඟීම් විවිධ කලා මාධ්‍යයන් තුළින් ප්‍රකාශ කරන්නට සහභාගී වූවන් ලද අවස්ථාවයි. චිත්‍ර, සංගීතය, ගායනය ආදී වෙනස් කලා මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් කෙටි සුදානමකින් පසු ඉදිරිපත් කළ නිර්මාණායන් සැබවින්ම ප්‍රශංසනීයය. ඒවා උත්කර්ෂයට නැංවුණේ හුදෙක් සිය හැඟීම් ප්‍රකාශනයක් පමණක් නොවී  මානුෂීය හා හෘදයාංගම ලෙස සමස්ත කාර්යය හා බද්ධ වීමට ඔවුන්ට තිබූ සැබෑ වුවමනාව ද නිසාය.

    ‘මට කවුරුවත් මියුසික් දෙන්න කිව්වෙ නෑ...ඒ වුණාට මට දවස පුරා ඉඳිද්දි ඇත්තටම ඕන වුණා සීරියස් දෙයක් කරන්න. එතන තිබුණෙ සීරියස් වැඩක්’

    ඒ එබඳු නිර්මාණයකට දායක වූ අප මිතුරෙකු පසුව ඒ ගැන කියු අයුරුය.
    කණගාටුවට කරුණ නම් වැඩෙහි වූ මේ ‘ගැඹුර’ සවස් වරුවේ වැඩ සටහන මෙහෙයවීමට ආනයනය කරන ලද නිවේදිකාව විසින් වටහා නොගැනීමයි. පිරිසෙහි වූ කිහිප දෙනෙකු නැගිට සිදුවන වැරැද්ද මතක් කර දීමට සිදුවන තරම් අපරිණත විලාසයකින් කළ ඒ මෙහෙයවීම සමස්ත කාර්යයට නම් කිසිසේත් ගැලපුණේ නැත.  එවැනි වැරදි තෝරා ගැනිම් ඉදිරියට නොවේවා යි පතමි.
 
    තිරය පිටුපස කතාවක් ද තිබේ. මා දුටු පිරිදි එය ලියා තබමි. මේ විශාල කාර්යය සංවිධානය කර එළි දැක්වීමේ ක්‍රියාවලිය තුළ මහා පිරිසක් සිටියේ නැත. හිටියේ කැළුම්, රමිඳු, විරාජ් ඇතුළු ‘ක’ යන්න ‘වි’ යන්න එකතුවේ කිහිප දෙනෙකි. කවි වැඩක් නිසාම මේ වැඩයට අනුග්‍රාහක දායකත්වය සපයන්නට ගොඩක් කට්ටිය ඉදිරිපත් වුණේ නැත. ඒ නිසාම ඇජෙන්ඩා එකෙන් ඉවත් කරන්නට සිදුවු අංග බොහෝය.  මෙය එක්තරා දේශපාලන මතවාදයක් පමණක් නිරූපණය කරන පිරිසකට සීමාවූ වැඩක් වුයේ ද නැත.  සංවිධානය වූයේ විවිධ මත දරන්නන් අතිනි. සහභාගි වු පිරිස ද එකම මතවාදයක් වටා රොක් වූ පිරිසක් වූයේ නැත. කවියන් පමණක් වුයේද නැත. පොදු සාධකය වුයේ කවිය සහ වෙනසක් උදෙසා කළ කැප කිරීම පමණි. එහෙත් වෙනසක් සහ සමාජ වැඩක් වෙනුවෙන් මුළු දවසක් කැප කළ හැකි සුන්දර මිනිසුන් පිරිසක් රැස් කිරීමට එය සමත් විය.
  
    උගත යුතු පාඩම් බොහෝය.  හදා ගත යුතු දේ බොහෝය. එහෙත් ආර්ථික හයියක් , මහා පිරිස් බලයක් නැතිව මෙබඳු කාර්යයක් සංවිධානය කිරීමම, කවිය වෙනුවෙන් ඒ සා පිරිසක් රැස් කිරීමම අගය කළ යුත්තකි.

    ලෝකයේ තනිව ගොඩ නැගූ දේවල් නැත. හැම ජීවිතයක්ම හැම වස්තුවක්ම හැම කාර්යයක්ම වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන් සහ සොබා දහම තැබූ පියවර අසංඛ්‍ය ප්‍රමාණයක  ප්‍රතිඵලයකි. දිගුවකි. මධ්‍ය ලක්ෂ්‍යය අසල ගෙවුණු දිනය පුද්ගලයින් නොව වැඩය ඉස්මතු කළ එකක් විය. සමාජ වැඩ සහ සාමූහික වැඩ පුද්ගලික ලෙස ඉස්මතු වීම නොවැළැක්විය හැකි රෝගයක් ලෙස උත්සන්න වන කාලයක සංවිධානය වු ඒ සාමුහික ඉරිදා දිනය ඓතිහාසික වන්නේ එබැවිනි.
 
 02/11/10


Wednesday, October 27, 2010

පොඩි එකෙකු මා සමග සිනාසුණි


පසුබිමෙහි පණ අදින පණ ගැහෙන කතාවකි
පොඩි එකෙකු ඒ නොදැන මා සමග සිනාසුණි
ඔටුනු අභියස කොඳු කැඩෙන රටකින්
විප්ලවයට පේටන්ට් ගන්ට පොරකන දෙසකින්
පැමිණි  මා දෙස බලා හෙමිහිට
පොඩි එකා  මා සමග සිනාසුණි.
ශිෂ්ටාචාර වලට බැරිවුණු
කාල මායාවේ යළි යළිදු සැඟවුණු
විප්ලවය ද ජයග්‍රහණය ද
කහට බැඳි ඒ දසන් මත නැගි
සිනා රළ මත ඉපදුණි.
මම නැවතුණෙමි.
                        
-වවුනියාවේ පාවක්කුලම්හිදීය.
 26/10/10

Thursday, October 21, 2010

From Harmony to Non Existence




















You are the sweetest melody soaring
Making ripples in the air
Filling the still auditorium
Yes…. you
The simple truth of pure existence!

Waves over waves over waves
Like a beautiful river flowing
And then becoming tranquil

Stirring amidst the vivid colours of a ceremonial marvel
You embrace my self, ever so gently
Moving over me

Reverberant clusters of musical notes
Giving birth to the most beautiful melody
Awakening every particle of my being
Defining my self
Mesmerizing me

Lying in the heavenly ambience
That is surrounding me
Slowly, I melt
Dissolving into that bliss

The enchanting river of beauty
Soaked me, and dissolved me
Transforming me into a totally different entity
Breaking into tiny particles
Again and again
I feel myself diffusing
All over the universe

Leaving the auditorium
I enter the blissful paradise
Melting away along the horizon
With you and within you

Mixed with the infinite harmony
That crystallizes in a breath
Yet; dispersed through the universe
I become tranquil
Feeling everything
Seeing everything

Endless feelings emerge
Penetrating myself

Who can say you don’t exist
Here you are!
Yes, I can feel you
Deeply and magically
Playing within the same melody
Carrying the same rhythm
Carrying the same beat

Dissolved in a sigh
The strings weep
Releasing the pain
With each and every stroke of the bow
Caressing my existence
Embracing my body

In between the cello stings
I am being born again
Unconsciously
My breathing stops
I start drifting into non existence

And at that moment
I am born again between the strings
From now on
I exist in a parallel blissful universe
Born from the most beautiful music

I am the dulcet tones
I feel the true beauty within
Seeing myself in that existence
And the existence is found within me

And, you …..
You are…taking me to the eternity
Lingering warm, in my breath

Then
In the next moment
In between the cello strings The non existing me
Come to life!


*Written at a theater in the middle of a cello symphony.

Translated by : Manel Fernando

Tuesday, October 12, 2010

ෆීනික්ස් දරුවාණ....



















 


තැඹිලි පාටට ඉදුණු ඉර
අහස් නටුවෙන්
ගිලිහෙන්න පෙර
නිල්ම නිල් මුහුදට නැමුණා
සිහිල් ජල කඳ හෙමින් සිප ගෙන
අනන්තය අග්ගිස්සෙ
වාඩි වී ගිමන් හැරියා

කළුවර ම අඳුරු රැය යට
තරු පැසක් හැළුණා
නිමක් නැති කළපුවක කෙළවර
පා ලකුණු ඇඳුණා

නො දන්නා මං පෙත් දෙපස උන්
නාඳුනන ගැහැණුන්ගෙ  මුව මත
දන්න අඳුණන සිනා නැගුණා
තල් කවන්ධ වල
මල් පිපෙන්නට
හීන දකිනා -මීන දෑසක්
මා ළඟම දිළුණා

හුස්ම නැවතුණු සුළඟට
හමන්නට අමතකව ගිය බිම
පවනක්ව ඒ සිඟිති අතැඟිලි
මා අතේ වෙළුණා

මරණයත් බිය වැදුණු
රුදුරු රණ බිම මැද
අසිපතට හෙල්ලට
සිදුරු කළ ‍නුහුණු
මේ දැන් උපන්
බිළිඳු හදවත
මා ළඟින් ගැහුණා

දොර ජනෙල් නැති හීන මැදුරට
ඉර එළිය වැටුණා
කඳුළු සායම් ගෙන
නිහඬ තණ බිම මත
ජීවිතය අඳිනා විටත්
ඔබේ නිශ්චල ගැඹුරු සෙනෙහස
මා වටා එතුණා ...

ලුණු රසය ගෙන හමන සුළ‍ඟෙත්
ආදරය තිබුණා
ලොවෙහි මෙතුවක් කලෙක බැස ගිය
සුන්දරම ඉර බහින විටදිත්
ඔබේ අත මා අත ළඟින් තිබුණා...

වලාකුළු පියසි යට
කටු අනින ගොර බිමෙහි
ඇදි ඇදී විසල් වන
සෙනෙහසේ නිසල  ගඟ වෙත
උපත දෙන පොඩි ම හදවත හැර
මිහි මත කිසිත් හිමි නැති
හුදෙකලා දරුවාණ,
මේ කවිය උපන් පොළවෙහි
මිනිසුන් යළි යළිත් මැරුණා
ඒ මිනිස් අළු පවා
යළි යළිත් ගිනි තැබුණා...

අළු ත් ගිනි ගත් පොළවක
ඔබ පිපී වැනුනු ඒ මොහොතේ
කවියකට නොනැගුණත් කිසිදින
මේ කවිය ඔබත් ලිව්වා....
ඔබේ දුක මා හිත ළඟින් තිබුණා

අළු මතට වැටුණු කඳුළක
හීනයක් තිබුණා....
ගින්නකට කිසිදා දවන්නට බැරි
හීනයක් තිබුණා.....



Wednesday, October 6, 2010

ලංකාව නම් දූපතේ ඉපදීම සහ ජීවත්වීම

ගිය මාසය අවසන් වුණේත් මේ මාසය ඇරඹුණේත්, මට ද බොහෝ දෙනෙකුට ද සුවිශේෂි වූ මිනිසුන් වන මිතුරන් තිදෙනෙකුගේ උපන් දිනයන් සමගයි.

මිනිසෙකු ඉපදීම මිහිමත ඇති සුවිසල්ම ආශ්චර්යය වන්නා සේම සමහර මිනිසුන් ඉපදීම ලෝකයට ආශිර්වාදයක් වන්නේ ඇයි? මිනිසුන් ඉපදෙන්නේ ඇයි? ලංකාව වැනි දූපතක ඉපදීම යනු කවරක් ද? 
 
ලාංකික දරුවන් ඉතිහාසයේ පටන් ඉපදුණේ සහ අදත් ඉපදෙන්නේ සංස්කෘතිය, ආගම හා ආර්ථික දේශපාලන ප්‍රවාහයන් විසින් අත්‍යන්තයටම මඬනා ලද පවුල නමැති සිර ගෙය තුළයි.දරුවා ආගමික විය යුතු බව උපතටත් පෙර තීරණය කරන අතර උප්පැන්න  සහතිකයෙන් එය රජය විසින් අනුමත කර සීල් කර දෙනු ලබයි. එතැන් පටන් අනවරත බලපෑම් හා ඉගැන්විම්ය. කොටින්ම සිනාසිය යුත්තේ කා සමගද ආදරය කළ යුත්තේ කාටද යන්න පවා උගන්වනු ලබයි. 

“මේ ඔයාගේ තාත්තා, හිනාවෙන්න” මෙසේ විධාන ලබන දරුවා ලේ නෑ කම් අනුව ආදරය ඇතිවන බවත් කන්න බොන්න දී හදා ගන්නා නිසා ආදරය කළ යුතු බවත් විරුද්ධ ලිංගිකයින් යනු අමුතු සත්ත්ව කොට්ඨාසයක් බවත්  තමන්ගේ අයට ආදරය කළ යුතු බවත් පිට අය කියා ජාතියක් ඇති බවත් වෙනත් ආගම් හා ජාතීන් යනු තමන්ගේ එකට වඩා පහත් ඒවා බවත් ඉතා ඉක්මණින් ඉගෙන ගනියි. එපමණක් නොව රූපවාහිනියෙන් , පත්තර වලින් , පාසලෙන් , දහම් පාසලෙන්, පෝස්ටර් කටවුට් වලින් ඒවාට පොහොර වැටෙයි. අනෙක් අතට දකුණු ආසියාතික රටක සමාජ තත්ත්වය යනු ජීවිතයටත් මරණයටත් එහා දෙයක් නිසා මේ දරුවන් “ඉහළට ඉගෙන ගැනීමේ” මාරාන්තික අරගලයට ‍ද යොමු කෙරෙයි.  
 
මෙසේ අහිංසකව , සිල්වත්ව , භක්තිමත්ව හැදෙන දරුවා ට යෞවන වියට එළඹීමත් සමඟම ස්වභාවිකවම මේ ක්‍රමය ප්‍රශ්න කිරීමේ වුවමනාව පැන නගියි. අනෙක් අතට ළමයාට නොහොත් මේ තරුණයාට හෝ තරුණියට පවුල සහ සමාජය විසින් කිසිදාක විසඳා ගන්නට ඉඩ නොදුන් ප්‍රශ්න කෝටියකි. එනිසාම විරෝධය දැක්විමේ ක්‍රම ද බොහොමයකි. සිගරට් බීම, ඇල්කොහොල් භාවිතය, මත්ද්‍රව්‍ය ගැනීම, රස්තියදු ගැසීම, කැසිනෝ යාම, කැරොකේ යාම, නිල් චිත්‍රපට බැලීම, රෑ බෝවී ගෙදර ඒම, පෙම්වතුන් පෙම්වතියන් වැඩි දෙනෙකු ඇසුරු කිරීම, දේශපාලනයට පිවිසිම,භාවනා කිරීම මින් කිහිපයක් පමණි. මේ කිසිවක් හොඳ නරක තරාදියට දැමිමට අවැසි නැති ඒවා වුව ද මේවායින් කවරක් කළ ද වැඩිහිටියන් කළබල වේ. ඇහේ මූණේ තියන් හැදූ දරුවා අකීකරු වී ඇත!
 
මේවා එළිපිට නොකරන දරුවෝද වෙත්.  ඔවුන්ගේ කාර්යය දෙමව්පියන්ගේ බැට්න් එක ප්‍රවේශමෙන් රැ‍ගෙන හැකිතාක් දුර දිවීමය. අතරමග හමුවන සදාචාර විරෝධීන්ට හෙවත් රැඩිකල් යයි කියා ගන්නා උන්ට පාඩමක් ඉගැන්වීම කෙසේ වෙතත් ටොක්කක් හෝ ඇනගෙන යාමද මේ ගමනේ එක් අරමුණකි. විභාග පාස් කිරීම, රැකියාවක් (සමාවෙන්න , හොඳ තත්ත්වයක් ඇති රැකියාවක්) සොයා ගැනීම, හොඳ තැනකින් කසාදයක් බැඳ ගැනිම , ගෙයක් සහ කාර් එකක් ලෝන් දමා හෝ මිළට ගැනිම, දරුවෙකු ඉපැද්දවීම , තමන්ට කරන්නට බැරිවුණ ඔක්කොමත් ඇතුළත් වන පරිදි ඒ දරුවා ද හැදිම හා මීට අමතරව ලංකාව යනු එපාම කරපු කුණු ගොඩක් බව පසුව පසක් වන නිසා රට හැර ‍ගොස් වෙන රටක පුරවැසිභාවය ලබා ගැනීම හා මියයාම එබඳු ලාංකේය මධ්‍යම පාංතික ජීවිත බහුතරයක  ප්‍රධාන අවධීන් ලෙස වර්ග කළ හැකිය.  කෙසේ වෙතත් මේ හොඳ ළමයි ද හොරෙන් හෝ එළිපිට  ඉහත දේවල් වල නිරත වෙති. නැතත් පාන් සහ ගෑස් මිළ ඉහළ ගිය විට පමණක් දේශපාලනය කතා ‍ කොට ජීවත් වුණත් නැතා සේ හිඳ මියෙති.

මේ ක්‍රමයට ඇතුළත් වුව ද එසේ ඇතුළත් වන්නට හා පවතින්නට අකමැති අය සමාජය ප්‍රශ්න කරන්නට පටන් ගනියි. මෙය සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙන් ඇරඹී ආර්ථීකය හා දේශපාලනය ප්‍රශ්න කිරිම දක්වා විහිදෙයි. මෙබන්දන් තරුණ මදය නිසා ටික කලක් රැඩිකල් ව්‍යාපාර වල නිරතව සිට සංස්කෘතියටද පිටුපා නිදහස් ජීවිත ගත කොට මැදි විය ළං වෙද්දි හොඳ ළමයින් වී පොදු ප්‍රවාහයේ දියව නොපෙනී යති. රැඩිකල් දෙශපාලනයේ තතු ද එහෙමය. මුලින්ම වමෙන් ද ඉන් පසු මැද ද ඊටත් පසු දක්ෂිණාංශිකද වී ආ ගිය තැන් අමතක වන තුරු ආස්ථානය මාරු කොට ධනේෂ්වරයේ මුරිච්චියක් වී පුළුවන් නම් අන්තිම කාලේ අඩුම තරමින් සෝවාන් වෙන්නටවත් උත්සහයක් දරා  මියෙති.
 
මේ සියල්ල අතර පවතින ක්‍රමය සැබෑවට ප්‍රශ්න කරන්නන් විරලය. මේ සිර ගෙය කඩා දැමීමට අත පය තුවාල කර ගැනීමට ඉදිරිපත් වන්නන් ඊටත් වඩා විරලය. මූලිකම කරුණ මෙය සිර ගෙයක් බව තේරුම් ගැනීමයි. තමන්ට සිනහසෙන්නට , හදා වඩා ගනු ලබන නිසා ආදරය කරවා ගනු ලබන්නට, තමන්ගේ පරණ ඇරියර්ස් කවර් කර ගැනීමට ග්‍රීස් ගහේ නග්ගවා තරඟ කරවන්නට, ආදරය යන වචනය පාවිච්චි කරමින් දරුවෙකුගේ මුළු ජිවිත කාලයටම අයිති ශුද්ධ වූ නිදහස හෙවත් නිදහස් මිනිසෙකු ලෙස මහ පොළව මත ඇවිද යාමේ අයිතිය සේම පෞරුෂය ද අහිමි කොට රූකඩ සේ නටවන්නා වූ පවුල සතු හුය කඩා දමන්නට කී දෙනෙකුට ශක්තිය තිබේද? ආදරය යනු  ආදරයම බවට පත් වීම මිස අත් කොට ගැනිම නොවන බව ක්‍රියාවෙන් පසක් කළ අවබෝධයෙන් යුත්  ගැහැණු-මිනිස් සබඳතා වල සුන්දරත්වය සහ අත් කර ගන්නට තැනීමේ නිස්සාරත්වය කී දෙනෙක් වටහා ගෙන සිටී ද?  ජිවිතයට සහ මරණයට ඇති බිය නිසාම ආගම් වල වහලුන් නොවන්නට, මමත්වය නිසාම ලොව ඉදිරිපිට නළුවන් වී කුහකයින් නොවන්නට, තමන්ගේ පිළේ එකාට සේම අනෙක් පිළේ එකාට ද ගරු කරන්නට හුදෙක් සඟවා ගත් අධි මානයෙන් අනෙකා නොපෙළන්නට හැකියාව තමන් විසින්ම අත් කර ගත යුත්තේද කුඩාවෙකු ලෙස ගෝත්‍රික බවට බෞතීස්ම කරනු ලැබූ දරුවාමය.
 
තමන් සොයා ගැනීමේ අරගලය තුළ අප කී දෙනෙක් සිටී ද?  ලද එකම එක ජිවිත කාලය කෙසේ ගෙවිය යුතුද යන තීරණය පැහැදිළිව ගන්නට හැකි වූ කි දෙනෙකු ඔබට ජීවිතයේ දි හමු වී තිබේ ද? සමාජයට ආදරය කරන අතරම එහි ඇති ගෝත්‍රික බව හඳුනා ගැන්මට ද ඊට ප්‍රතිවිරෝධීව ප්‍රායෝගිකව ජිවත් වන්නටද ශක්තිය ඇති මිනිසුන් කී දෙනෙක් වෙත්ද? මූලිකම අරගලය තමා සමග බව වටහා ගත් තැන් පටන් තමන් තුළ ගොඩ නැංවීම් සිදුවිය යුතු බව පුද්ගලයා වටහා ගනියි. තමා ගොඩ නංවා ගැනීමෙන් හා නිශ්චිත අරමුණක් සහිත වීමෙන් තොරව කරන සමාජ කාර්යයන් නිශ්ඵල වන්නා සේම තාවකාලිකද ව්‍යාජ ද  වෙයි. දීර්ඝ වෙහෙසවීම් ඇද වැටීම් හා කැප කිරීම් තුළින් අත් පත් කර ගන්නා ගොඩ නැංවිම් සහ අරමුණු සහිත එබඳු ජීවිත කෙදිනක හෝ මිහිමත උපත ලැබිම ගැන අප සතුටු විය යුත්තේ එබැවිනි. ඒ ජීවිත වලට සීමා මායිම් නැත. හුවමාරුකිරීම් හෝ කේවල් කිරීම් නැත. පිල් බෙදීම් නැත. ඇත්තේ ආදරය ශක්තිය කොටගෙන ලෝකය ගොඩ නැංවීමේ ක්‍රියාවලිය තුළ ජීවමාණව වැඩෙහි නිරත වීම පමණි. ඒ ජීවිත වල සිහින නැත. ඇත්තේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් නිශ්චිතව ළඟා කරගත යුතු ඉලක්ක පමණි.
ඒ මිනිසුන් කිහිප දෙනා වෙනුවෙන්,

මට ලියන්නට බොහෝ දේ ඇත...
ඒත්
අද ඒ කවිය නොලියමි...

සිංහ කොටි වග වළසුන් ද
සාවුන් ,  මුවන් ද
සොල්දාදුවන් ,විප්ලවවාදීන් , ප්‍රතිගාමීන්ද
උකුස්සන් , රාජාලියන් ද
පෙලිකන්ලා  සහ පැණි කුරුල්ලන් ද
අවතැන්වූවන් , සරණාගතයින්, ආබාධිතයින් ද
සුනිල දිය කඳුරු , ගංගා ,මහා සාගර ද
කම්කරුවන්, සුදු කරපටිධාරීන් ද
මිටියාවත් , තණ බිම්
කඳු වැටි , කාන්තාර ද
ගැහැණුන්, පිරිමින්, තරුණන් හා දරුවන් ද
ලිලී මල් ,පිච්ච මල්, ගංජා මල් ද
විඥානවාදීන්, භෞතිකවාදීන්, ශුන්‍යවාදීන් ද
එකට හමුවෙන
ඒ සහෝදරත්වයේ දිනයේ
ගිමන් හරිනට ඉඳගන්නා තැන
ඔබ ළඟින් ඉඳඟෙන
ඒ කවිය මම ලියමි.


06/10/10

Monday, October 4, 2010

අවතැන් වූවන්ගේ කඳවු‍රේ සිට ලියමි-இடம்பெயர்ந்தவர்களின் முகாமிலிருந்து எழுதுகிறேன்


























අවතැන් වූවන්ගේ  කඳවු‍රේ සිට ලියමි 
(දෙමළ පරිවර්තනය)


இடம்பெயர்ந்தவர்களின் முகாமிலிருந்து எழுதுகிறேன்



அன்பின் சுந்தரம்,

நிலா நட்சத்திரங்கள் அணைந்துபோன
ஏழை வானத்தின் கீழ்
அந்தகார இரவு
முகாமுக்குச் சுருண்டு கொள்ளும்போது
ஊமை ஓலமிடும் நிலத்தின் கீழே
எந்த இடத்திலாவது நீங்கள் உறங்கியிருப்பீர்களென
உங்களைக் கடந்து போகும் வரும் பூட் சப்பாத்துக்களின் ஒலி
அசைகின்ற உலகைச் சொல்லித் தரும் எனக்கு

அன்றைய நள்ளிரவு இருள்
பஞ்சாயுதங்கள் வீழ்ந்த களப்பு
அப்பா இல்லாமல் போன காலம்
குஞ்சுகளுக்கு யாருடைய காவல்

அங்கிருந்தும் இங்கிருந்தும் கொஞ்சம் பேர்
வந்து அடிக்கடி விசாரிக்கிறார்கள்
ருசி தானே இந்த (சிறை) உணவு
வேறெங்கும் கிடைத்ததா இதை விடவும் சுவை உணவு

புள்ளினங்கள் பறந்தாலும்
பாடல்கள் இல்லை அவையிடத்தே
பூக்கள் மலர்ந்தாலும்
மிதிபட்டுச் சிதையும் அக்கணமே
இழுத்துப் பிடித்த வீணையின் நரம்புகள்
முன்பெழுந்த இன்னிசையை இனியெழுப்பாது

தப்பித்தோடினால் மீளவும்
முட்கம்பிகளில் சிக்கி விட நேரிடும்
விழி உயர்த்திப் பார்த்தால்
மீண்டும் தலைதூக்க முடியாமல் போய்விடும்
ஒரு துளி விழிநீர் சிந்தினால்
முழுப் பரம்பரையும் சாம்பலாகும்

அதனால் உணர்ச்சியற்றிருக்கிறேன்..
எவர்க்கும் கேட்டுவிடாதபடி சுவாசிக்கிறேன்..

நீங்கள் அங்கு உறங்கும் வரை.


இப்படிக்கு,

உங்களுடைய,

ராதா.


மூலம் - மாலதீ கல்பனா எம்ப்ரோஸ் (சிங்கள மொழியில்)
தமிழில் - எம்.ரிஷான் ஷெரீப், இலங்கை

Translated By: M. Rishan Shareef


අවතැන් වූවන්ගේ  කඳවු‍රේ සිට ලියමි 

දයාබර සුන්දරම්,

සඳ තරු නිවී ගිය
දුප්පත්ම අහස යට
කළුවර රාත්‍රිය
ගුලි වෙන විට කඳවුරට
නිදන බව කොතැන හෝ ඔබ
ගොළුව වැළපෙන ‍මහ ‍ෙපාළව යට
ඔබ මොබ යනෙන බූටි සපත්තු හඬ
සසලවා විශ්වය - කියා දෙයි මට

එදා මහ රෑ කළුවරේ
පංචායුධය වැටුණා කළපු‍වේ
අප්පා නැතිව ගිය කලේ
පැටවුන්ට කාගේ කවර කලේ

අරෙහෙන් මෙහෙන් පිරිසක්
පැමිණ නිරතුරු විමසත්
මිහිරියි නේද ‍මේ (හිර) බත්
ලැබුණිද මීට වැඩි රස බත්

සියොතුන් පියාඹත්
එහෙත් උහු නොගයත්
මල් පිපී වැනෙ‍තොත්
වහා පෑගී පොඩි වෙත්
සිඳලූ බැවින මිණි තත්
වෙණ නද යළිදු ‍ෙනානැගෙත්

දිවිවොතින් ආයෙත්
කටු කමිබි වල පැටළෙයි
බැලුවොතින් නෙත උස්සා
යළි හිස නගනු බැරි වෙයි
ගැළුවොතින් එක කඳුලක්
මුළු පරපුරම අළුවෙයි

ඒ නිසා හිරි වැටී ඉන්නෙම්..
නෑසෙන්න හුස්ම ගන්නෙම්....

ඔබ ඔතැන නිදන තුරු.

මේ,
ඔබේ,
රාධා

Monday, September 20, 2010

යාපනයට ලියමි.






















කොක් රෑන සුදු සළු එළන
මුඩු ලියැද්දට පෙම් බඳින
ට්‍රැක්ටරේ හිඳ දුර බලන
සිත්තප්පෙ තාමත් තරුණ ....,
පිච්ච මල් පැළඳූව උදෑසන
පිනි දෙවුණු ඒ මඩ සුවඳ
මගෙ හිත ළඟම වගෙ දැනෙනවා....

ළිං පතුළ කෙළවරක් දකිනට
ආඬි ළිඳ ළඟ දොඩමළුව
මැකුණු පා සලකුණු  සොයන්නට
උඩුවිල්හි මං පෙත් සැරුව
නාඳුනන මළ ගෙයක පිල මත
බෙදා ගත් ඒ බුලත් විට රස,
නොදත් බසෙකින්  කියූ හැම දේ
සෝයුරනි, මට කියනවා...

සිහල ගීයක නුහුරු හැඩයට
දෙමළ බෙර පද හඬ නැගුව
එකම මිදුලක එකට පිසගත්
පොංගු සෝරුව රස බැළුව                                                                                 නුහුරු හිත් මත දෑස දුවවා
ජීවිතය හෙවු නංගියේ,
බිඳුණු පොළවෙහි එකට ඉඳගෙන
කියූ නොකියූ  දිග කතාවක
අරුත මම තව හොයනවා...

චාටි ගම කෙළවර තැනක
නිහඬ ඒ පැල්පත තුළින
මතුවෙලා දර මිටිය අරගෙන
තල් අරඹ  තුළ බොඳ වෙලා ගිය
පාටි, ඔබෙ රුව පෙනෙනවා ....
තවම දිය නොසිඳුණු වැවක
ඉහත්තාවේ ඇන තියාගෙන
ගල් තැළුම පිරිමදින මලණුව,
කැඩුණු දෙමළෙන් මා තබා ආ
පණිවුඩය වැටහුනිද නැද්දැයි
තාම හදවත අහනවා....

ලේ රතට ඉව කෙරූ සුළඟට
සුසුම් ලඹ දුන් චාවා* කළපුව
මාළු අල්ලන් උදේ එන්නට
ගියපු රාජන් හොයනවා...
දොර ජනෙල් නැති නිදන කුටියේ
මගේ තනියට බිම නිදා උන්
කන්මණි,
නුඹේ තිලකය ඉකි ගැසූ හඬ
දුරක නිදනා මේ රෑත් මට ඇහෙනවා...

පුල්ලෙයාර් කෝවිලේ නළලත
රුදුරු සිහ නියගින් ඉරා
තුන්නූර් ඉරි මකා පලවා
බලෙන් ඇලවූ ධම්ම පද වැල්
අවතැන්ව නිදි කිරනවා...
පෙණය අහිමිව නාග දූපත
සදා වැළපෙන සයුරු වෙරළත
මිනිස් ඇ‍සෙකින් නොවට කඳුළක
හිස ගසාගෙන අඬනවා....

හුස්ම නැවතුණ ගොළු නිවස්නක
බිතක හදවත පලා ඉපදුණ
නුග මුලක් ඇදි ඇදී පහළට
ෂෙල් කුණාටුව හමා බිම ලූ
ලිප් ගලක හු‍දෙකලා දුක පිරිමදිනවා...
මල් වඩම් නොතබාම දවසක
අරන් ගිය මරණයක සීතල
තුරුල් කරගෙන බිඳුණු පපුවට
ගොම්මනේ අඹ ගසක් සෙවණේ
හෙවණැලිත් පණ අදිනවා ......

හීන දකිනට එන්න නොකියමි
රැයත් නින්දත් අහිමි පුරවර
ඒත් නොනිදන සහස් තරු ඇස්
කළුවරට තව වසනු බැරි වූ
අහස් ගඟ මැද දැවෙනවා...
දැවෙන තරු  යනු හිරු ම දහසකි
ජීවිතය පණ ගැහෙන උපතකි
සෝයුරනි දුටුවාද හිරු රැස්
ආදරය වී ගලනවා....


*ව්‍යවහාරයේදී චාවකච්චේරිය හඳුන්වන කෙටි නම

19/09/10

Friday, September 10, 2010

තැනිතලාවේ සිට බලමි...

අපි, ආදරය, සබඳතා, ආර්ථිකය, නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළු සමස්ත සමාජ සන්දර්භයම අන්‍යොන්‍ය වහල් භාවයට යට කරන ලද යුගයක මිනිස්සු වෙමු. එක් මිනිසෙකුට තවත් මිනිසෙකු උපකරණයක් පමණක් වන,  සැමෙකෙකුම අනෙකා වටා භ්‍රමණය වන ඉනිදු නොනැවත පරිභ්‍රමණය වන සමාජයක මිනිස් කුලකයට අයත් වන මට , මානුෂික වන මිනිසුන්ගෙන් සුසැදි  ඒ මිනිසුන් විසින් මානුෂික කරන ලද ස්වභාව ධර්මයෙන් විකසිත වූ පරිපූර්ණ ලෝකයක් ගොඩ නැගීම පිළිබඳ අදිටන ද ඒ සඳහා අනන්ත අප්‍රමාණ ව සිය ශක්තීන් වර්ධනය කර ගත හැකි  මිනිසා නම් සත්ත්වයා පිළිබඳ  ගෞරවනීය විශ්වාසයක් ද තිබේ.

ද්‍රෘෂ්ටිවාද වලින්, නොදන්නා කම තුළ හට ගත් බියෙන්, වසර මිලියන ගණනක් හුරු කරවන ලද වහල් කම් වලින් පටු කරවන ලද මිනිස් සන්තානය දරුවෙකුගේ සැහැල්ලුව තුළ ද කඳු ශිඛරයක සැඟවුණ දිය කඳුරක සුපැහැදිළි බව තුළ ද පණ ගසා පටු මතවාද වලින් ඔබ්බට ‍ගෙන ගොස් එහි සැබෑ විභවය පුබුදුවාලීමේ පරම කාර්යයක් ඇති බව මට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

සෞන්දර්යයෙහි සැබෑ මානයන් ද මිනිස් බවෙහි අසීමිත හැකියාවන් ද ග්‍රහණය කර ගත හැකි ඒ ඉසව් කරා යන ගමන මගේ තනි ගමනක් නොවේ. මිනිසා පෞද්ගලික ව සිතුව ද ඔහු අනිවාර්යයෙන්ම සාමාජයීය සත්ත්වයෙකි. එනිසාම ඔහුගේ සත්‍ය ස්වභාවය නිහඬව ද ගැඹුරුව ද සමාජය තුළ වර්ධනය වේ.  මගේ අසීමිත වූ මිනිස් ස්වභාවයෙහි හිමිකම් අත්කර ගැනීමට මට අනෙක් මිනිසුන්ගේ ක්‍රියාකාරී සහයෝගය ද අනෙක් අය තුළ මා දැකීමත් මා තුළ අනෙකා දැකීමටත් උදව් දෙන අන්‍යොන්‍ය හඳුනා ගැනීම ද  අවැසිය. සුළඟද වළාකුළු ද තුරු ලතා ද ගංගාවන් ද කුහුඹුවන් ද හෙට වැටෙන්නට නියමිතව තිබී වැහි හුළං කෝඩය විසින් අද බිම හෙළන ගසක කොළයක් ද ඒ හඳුනා ගැනීමට අයත්ය. වස්තුවක් යනු හුදු උපයෝගීතාවක් නොවේ.  මට ඔබේ රිද්මය ස්පර්ශ වන විට ඔබට මා දැනෙන්නට පටන් ගනු ඇත. මා මානුෂික වන තරමටය මා අවට දෙය එසේ වන්නේ...ඒ සමස්ත සත්තාව මට දැනෙන්නට පටන් ගන්නා සොඳුරුතම මොහොතයි.

ඔබ කවර මතයක හෝ ද්‍රෘෂ්ටියක හෝ පිහිටන්නෙකු වේවා එන්න මෙතැනින් ඉඳගන්න, අපි කතා කරමු...ඔබේ මතය නිසා ඔබ හෙළා දකින්නට, විනිශ්චය කරන්නට මා කවුද? මගේ විශ්වාසය නිසා මා මරා දමන්නට ඔබ කවුද? අප වෙනස් මත දරන්නන් විය හැකිය...එහෙත් අපට එකම බිමක ඉඳගන්නට  නොහැකිද? සිය දහස් ගණනක් වෙනස් මාවත් වලින් යන්නට තනන එකම තැන කරා ළඟා වන්නට වෙනස් කම් වලට ගරු කරමින් වැඩ කරමු. මිනිසුන් සතු එහෙත් මිනිසා විසින්ම අහිමි කර ගත් ඒ මානුෂ විමුක්තිය පරිපූර්ණ වනු ඇත්තේ මිනිසා සමාජ බලය ලෙස තම ශක්තීන් හඳුනාගෙන  ඒවා පවත්නා ආර්ථික දේශපාලන බලවේග වලට යට නොවී සංවිධානය කර ගත් විට පමණි.

අපේ සියළු ආයාසයන්, ව්‍යායාමයන්, නිෂ්පාදනයන් සහ නිර්මාණයන් ක්ෂුද්‍ර වුවමනාවන් තකා එකිනෙකා විනාශ කරන්නට නොව  මිනිස් සාරය උත්කෘෂ්ටත්වයට නැංවීම සඳහා බිහිවිය යුත්තේ එබැවිනි.

ඒ විශිෂ්ට මිනිස් සමාජය මට කලින් මිහිමත මිනිසුන්ව උන්  අයගේ සිහිනයයි....වෑයමයි...මගේ හෙවත් අපේ සාමූහික වගකීමයි.

කඳු හෙල් තැනින් තැන නැගුණ ද වෙනස් මිනිසුන් එකට සිට ගත් විට මිහිතලය ‍තැනිතලාවකි.... මිතුරනි, ලෝකය එක යායකි.

'මගේ සිහිනය'
05-09/10 -රාවය

Monday, September 6, 2010

මානව ශිෂ්ටාචාරය ප්‍රශ්න කරන මුස්ලිම් කාන්තාවගේ ඉරණම


කාන්තාවක් ලෙස උපත ලැබීම නිසාම ආගමික සංස්කෘතිය විසින් සිරගත කරන ලද ස්ත්‍රිය නමැති විශ්ව මානවිකාවගේ ඉරණම ,  විශිෂ්ට සැතපුම් කණු පසුකොට ඇති මිනිස්  ශිෂ්ටාචාරයේ ගුණාත්මක බව මැන ගැන්මට යොදා ගත හැකි හොඳ මිණුම් දන්ඩක්...

මුස්ලිම් ආගමික නීතිය පාවිච්චි (නිවැරදි වචනය -misuse)  කරමින් පූජක පන්තිය සහ පිරිමින් ඉතාම නිර්දය ලෙස එම සමාජයෙහි ගැහැණුන් සතු “මනුස්සයෙකු” ලෙස ඉපිද, ජීවත්ව , මිය යාමේ අයිතිය උදුරා ගෙන තිබෙනවා මෙන්ම එය ලෝකයෙන් වසන් කිරීමට අදාල සියළු දේ කරනවා..අවශ්‍ය වුණොත් එම රහස රැක ගැනීමට ඔවුන් තමන්ගේ ම නිවස තුළ වුව මිනී මැරිමට පවා සූදානම්. මේ ගැන ඉතා හොඳ විවරණයන් කීපයක්ම ජීන් සැසන් ගේ The Princess නමැති නව කථා මාලාවෙන් කියවුණා...බාහිර ලෝකයට කිසිසේත් අනාවරණය නොවන්නාවූ එම සත්‍ය තොරතුරු මෙම අමෙරිකානු ලේඛිකාවට ලැබි තිබුණේ ඇගේ මිතුරියක වන සෞදි අරාබියානු කුමරියක සමග කරන ලද රහසිගත සාකච්ඡාවන් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස...

අප්‍රිකානු මුස්ලිම් කාන්තාවගේ ( විශේෂයෙන් ගෝත්‍රික ) මේ හා සමානව ඛේදනීයයි...
වාරිස්  ඩයරි නම් සෝමාලියානු සම්භවයක් සහිත ලෝ ප්‍රකට මෝස්තර නිරූපිකාව ලියූ ඇගේ ජීවිත කතාව වන Dessert flower කියවිය හැකිනම් ඒ බැව් හොඳින් වටහා ගත හැකියි... දැරියකව ගෙවූ ඇගේ එඬේර ජීවිතය තුළ ඈ ලද අත්දැකීම් නූතන ලෝකයේ සිදුවිය හැකිදැයි සිතා ගත නොහැකි දේවල්...විවාහය සඳහා අවුරුදු 13 ක දැරියකව හිඳිය දී විකුණනු ලදුව වාරිස් ඩයරි  සැතපුම් සිය ගණනක් සෝමාලියනු කාන්තාරය තරණය කොට අහම්බෙන් ලද වාසනාවකට අමෙරිකාවට පැමිණ සුපිරි මෝසතර නිරූපිකාවක වුව ද අප්‍රිකාවේ ලක්ෂ ගණනක් ගැහැණු ළමුන් අදත් ගෝත්‍රික චාරිත්‍ර උදෙසා ලිංගික අවයව ඡේදනයට(මළකඩ කෑ තහඩුවකින් හෝ මොට පිහියකින්) ලක් කරනු ලබනවා...ඉන් පසු මුළු ජීවිත කාලයම මුත්‍රා කිරීම පවා අතිශය වේදනාත්මක කටයුත්තක් බව කිව යුතු නෑ... ඒත් වන ලැහැබක කරන මේ “සැත්කමින්” පසු හැර දමා එනු ලදුව  ජීවත් විමට පණ ගැට ගසාගෙන තිබුණොත් පමණයි...

The princes කතා මාලාවේ පොත් කීපයක්(කූඩු කිරිල්ලී යන නමින්) සහ  Dessert flower පොතත් සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා.

ඉරානය , පාකිස්ථානය හා බංග්ලාදේශයත් ආගමික සංස්කෘතිය යොදා ගනිමින් කාන්තාවන් මත දැඩි පීඩනයක් යොදන රටවල්. නොබෝදා කතා බහට ලක්වූ The Stoning of Soraya M. නම් චිත්‍රපටය ඉරානයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් තනන ලද්දක්.... ආගමික නීතිය රිසි පරිදි නිර්වචනය කරමින් පූජක බලය යොදා ගනිමින් අහිංසක ගැහැණියක සිය පුතුන් දෙදෙනා සහ සැමියා ඇතුළු ප්‍රජාවේ සියළු පිරිමින් විසින් ගල් ගසා මරා දමන්නේ අප ජීවත් වන මේ විසිවන සියවසේ දී ම අපට රටවල් කීපයකට එහායින්.... මෙහිදී තස්ලිමා නස්රීන් ගේ "ලජ්ජා" (බංග්ලාදේශයේ තහනම් කරන ලද)  කෘතියත් අමතක කළ නොහැකියි.

ලංකාවේ මුස්ලිම් කාන්තාවගේ තත්වය  මේ හා සසඳද්දී ඉතා ඉහළ තැනක තිබෙනවා...ඒත් හොඳම තැනක නෙවෙයි...උදා: උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට යැමට සුදුසුකම් ලබන ගැහැණු ළමුන්ගෙන් අඩකටවත් ඊට ඉඩ ලැබෙන්නේ නෑ...ඔවුන්ව විවාහ කර දෙනු ලබනවා...ඇතුළු වෙන අයත් වැඩි හරියක් එන්නේ විවාහ ගිවිසගෙන නැත්නම් විවාහ වෙලා... ඉන්පසු තත්වය වෙනම කතා කළ යුතු එකක්- මේ කරුණු මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අත්දැකීම් වගේම පසුව කරන ලද සමීක්ෂණ වල සොයා ගැනීම්...

ආගමික ආස්ථානයෙන්  තොරවු මොහොතවල් වල දී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල දී මට හමුවූ මුස්ලිම් ගැහැණු ළමයින් , ක්‍රියාශීලී , නිදහස කැමති ඉතාම සුන්දර ගැහැණු මනුස්සයින්...ඒත් ඒ බාහිර ලෝකයට විවෘත වන තෙක් පමණයි...ඒ ඒ රටවල දී රට පුරාම  රැඩිකල් යයි පසිඳු , මිනිස්, ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින උගත් තරුණ කණ්ඩායම් සමග වැඩ කිරීමේ අවස්ථාව මට ලැබුණා...එහෙත් එතරම් ප්‍රගතිශීලී පිරිස් තුළ සිටින කාන්තාවන් පවා තමන්ගේම කණ්ඩායමේ ම පිරිමින් විසින් නිතරම , අදහසක් ඉදිරිපත් කිරීමේ දී පවා පහත් කොට සලකනු ලබනු මා දුටුවා...ආගමික සංස්කෘතිය විසින් කර ඇති බලපෑම එතරම්ම ප්‍රබලයි...ප්‍රගතිශිලී කණ්ඩායම් අතරත් තත්වය මෙය නම් ග්‍රාමීය හා අනෙකුත් ජන සමාජයන්හි කාන්තාවගේ තත්වය කෙබඳුදැයි සිතීමත් අපහසුවක් දනවනවා...ඔවුන් ගෙදර සිටින පිරිමියාගේ පටන් පිහිටට එන විවිධ ආයතන වල නීති උපදේශක සේවා සපයන්නා හෝ සපයන්නියගෙන් පවා සූරා කෑමට ලක් වෙනවා..ඒ මා දුටු පරිදි දකුණු ආසියාතික රටවල තත්වය...

අරාබි රටවල නීති උපදේශ පැතීම තබා හිස ඔසවා ප්‍රශ්නයන් ඇසිමටවත් ඉඩක් නෑ...එය සාපේක්ෂව ගතහොත් ඉතාම නිදහස් තැනක සිටින අප වැනි රටක මිනිසුන්ට සිතින් මවා  ගැනිමටත් බැරි තත්වයක්...

එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ගෘහ ජිවිතයේ සිට සමාජ ජීවිතය දක්වා  මේ ගැටළුව අඩු වැඩි ලෙස  ලෝකය පුරා සෑම ජන පරිසරයකම දක්නට ලැබෙන බව මතක ලබා ගැනීම අපව අධි තක්සේරු කර නොගැනීමට ප්‍රයෝජනවත් වේවි.....

මෙය අප රූපවාහිනියෙන් දකින හෝ අසන නූතන ස්ත්‍රීවාදී චින්තනයේ පැතිකඩක් නම් නොවේ..Gender discrimination ලෙස ලංකාවේ දී අපහරණයට ලක් වූ සංකල්පයේ තවත් එක් තර්කයකුත් නොවේ... මිනිස්කම හා ශිෂ්ටත්වය පිළිබඳ ගැටළුවක්... ධනයෙන් හා බලයෙන් ඉතා පොහොසත් ප්‍රබල ජන කොටසක් විසින් සිය වස් ගණනාවක් තිස්සේ නඩත්තු කරන සම්ප්‍රදායයක්...බාහිර ලෝකයට ප්‍රශ්න කිරීමටවත් ඉඩක් නොදෙමින් ප්‍රශස්ත ලෙස කරන ක්‍රීඩාවක්... එය කෙතරම් සාමාන්‍යකරණය කර ඇත්දැයි කිව හොත් ඒ සමාජය තුළ එය වරදක් ලෙස දැකීම පවා කාන්තාවන් විසින්ම වරදක් කොට සලකනවා...

මේ ගැන ඉතා සීමිත පිරිසක් කතා කරනවා... වුවමනාව කොතෙක් නිර්ව්‍යාජ ද යන්න තවත් ගැටළුවක්...එහෙත් බොහෝ රටවල් , ආයතන සහ පුද්ගලයින් ; කොටින්ම මුළු බාහිර ලෝකයම ලෝක ආර්ථිකය, තෙල් ගණුදෙනු, අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය  ව්‍යාපාර , ත්‍රස්තවාදී බිය මෙන්ම තමන්ගේ වැඩක් බලා ගැනීමේ කුප්‍රකට ප්‍රතිපත්තිය ප්‍රකට කරමින් මේ ඛේදවාචකය නෑසු කණ්ව මුවින් නොබැණ මුණිවත රකිනවා. ජීන් සැසන්, තස්ලිමා නස්රින් වැනි ඉතා සුළුතරයක් මේ සීමාවන් අභිබවා ගොස් දිවි පරදුවට තබා අඩුම තරමේ මෙවැනි දෑ ඇති බැව් ලොවට හෙළි කරත්, මේවා නැවැත්වීමට මහා ජන මතයක්  ,ලෝක මට්ටමේ විරෝධතාවක් ඇතිවිය යුතුයි...

එහෙත් එබඳු වෑයමක් ලේ ගංගා කීයක් ගලා යන්නට සලස්වනු ඇද්ද?


04/0910

Wednesday, August 11, 2010

මිය නොයන නික්ම නොයන මිනිසා



ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස

ගෙවී ගිය වසර සතියක් මෙන්    දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම       ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය                බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක    පමණි*

එහෙම දුක දැණුනු රත්න ශ්‍රී  පසුගිය නම වන දා හැන්දෑවේ මාස අටකට පසු ගාල්ලේ සිට කොළඹ ආවේය. ඒ කපුගේ හෙවත් සිය සහෘදයාගේ හැට පස් වන උපන් දිනය සමරන්නටය.

“ඔහු තමන් තෝරා ගත් ගීත වලට වග කීවේය. ඔහු තමන් ගැයූ/සංගීතය සැපයූ  සෑම ගීතයකටම ගැළපෙන සංගීත ආකෘතිය සූක්ෂමව තෝරාගත්තේය.අතපත් නිර්මාණයේ සාර්ථකත්වය හැර අන් සියළු කාරණා ඔහු ජීවිත තර්ජන ද නොතකා ප්‍රතික්ෂේප කළේය.
ඔහු අනම්‍ය ස්වර රචනාවන්හි තනුව වෙනුවට ගීතයේ සාහිත්‍ය  අර්ථය  ගැයුවේය. ඔහු සිංහල ජන දිවියේ රිද්මය මැනවින් දැන සිටියාක් මෙන්ම ඒවා සිය නිර්මාණ වලට ද මුසු කළේය.  ඔහුගේ ගීතවල වූ ප්‍රතිපත්ති සමාජයට සක්‍රියව දායක කළේය. වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ඔහු ජනතාව අත් හළේ නැත.  කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය.” එල්පින්ස්ටන් රඟහළෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා ඔහු කීවේ එසේය.

පංති විඥානය ‍ ලංකාවේ ඓතිහාසික දේශපාලන අරගල සහ ගමන් මග මත නිරන්තරයෙන් ප්‍රතිවර්තනය වන්නේ වෛරි ස්වභාවයකින්යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනෙක් සමාජ ස්ථරයන් කෙරේ ඇති වෛරය තුළින් ස්වකීය පන්තිය කෙරෙහි  ප්‍රේමය උපද්දවාගන්නා, (එතෙකුදු ඒ ගැන කිසිදු විටෙක සවිඥානික නොවූ), බොහෝ පාර්ශවයන් අමතක කරන හෝ නොදන්නා දෙය නම් සමස්ත  මිනිස් වර්ගයාට දැක්විය යුතු  ප්‍රේමය සිය පෞද්ගලික වෛරයට පමණක් සීමා වූ තැනින්, එනම් තිඹිරි ගෙයිදීම අරගලයෙහි සැබෑ අරුත සුණු විසුණු වන බවයි.
කම්කරු පවුලක උපන් ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස ලංකාවේ මෙතෙක් බිහිවූ බහුතරයක් විරෝධාකල්පධාරීන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සිය ගීතයෙන්, සංගීතයෙන් පමණක් නොව ජීවිත භාවිතයෙන් ද දුක් විඳින මිනිසුන් සමග සිටි ඔහු වෛරය උදෙසා නොව ආදරය උදෙසා ගැයුවේය. අනුන්ගේ අයිතීන් උදෙසා තමන්ගේ බත් පත ද උන් හිටි තැන් ද අහිමි කර  ගත්තේය. ඔහු ගීතයේ සැබෑ මෙහෙවර ගැන ‍කියුවේ මෙසේය.

“සහෘදයාගේ ජීවිත පරිඥානය පුළුල් නොකර, ඔහුගේ අයහපත් මානසික භාවයන් විවේචනය නොකර, ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම පමණක් අවසන් වන ගීත වලින් සිදු වන්නේ සහෘදයා ජීවිතයට යොමු කරවීම නොව, ඔහුට ජීවිතයෙන් පලා යාමට උදව් දීම පමණි. සැබෑ ගීතයක් , හරවත් ගීතයක් සැම විටම පවත්නා දේට වඩා සුවිශේෂ අපූර්වත්වයකින් , නව ජීවණ ද්‍රෘෂ්ටියකින් ඉදිරිපත් වන්නකි. එවන් නිර්මාණ “විරෝධාකල්ප” පුවරුව නැතිවාට අසාධාරණයට අයුක්තියට එරෙහිව තියුණු අසිපත් සේ නැගී සිටියි. එහෙත් ඒවා කිසිම විටෙක හුදු වාර්තාමය සටන් පාඨ නොව නිර්මාණාත්මක ඕජෝ ගුණයෙන් පිරිපුන් සෞන්දර්යාත්මක කෘතීහු වෙති.”
(කපුගේ- ප්‍රකම්පන කෘතියෙන්)

ඔහු කලාවෙහි ඉම් පුළුල් කරන්නේ සමාජ දේශපාලන වපසරිය තුළ පමණක් නොවේ. විප්‍රයෝගයෙන් නින්ද අහිමිව සිටිය දී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ  ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.

ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගනඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.
වේදනාවේ සදාකාලික  කටහඬ ඔහුය.
අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය. 
මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය.

මලක් නම් වැටෙයි රැඳුනත් ගස           මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට           පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද     කොතැන*

[*රත්න ශ්‍රී විංජ්සිංහ| "අවුරුද්දයි කොවුලෝ" (12 පිටුව)  | මධ්‍යම යාමයපද්‍ය සංග්‍රහය (2005) ]


09/08/10

Tuesday, July 20, 2010

නික්මයාම




විජ්ජුලතාවෙන් සැරසී
වස්සානය සරණ විත්
නළ තෙමේ බෙලෙන් නටුවෙන්
බිම හෙවූ මලින් ගැවසුණ
කළිඟු ගං තෙරේ යට ගිය
කළල් මැද එරී සැඟවෙමි...
හංස ගීය ඇරඹී ඇත...
ක්‍රිෂ්ණා, දෑසම පියන්න
නොහඬා සුෂිරය වයන්න


වෙණ මිණි තත් පසෙකට ලා
ගාත් හි ගොලියත් පැරයූ
ගොපල්ලාන දාවිත්*,
සිහසුන හැරපියා එන්න
ඒලා නිම්නයට එන්න
යුධ වැද ඇද වැටුණු විසල්
සේනාවට යටව මියෙමි
ඇවිදින් මා නොගළවන්න
එකම එක් වරක් පමණක්
ගොළු වූ වෙණ යළි වයන්න


ජීවිතයට ද මරණයට ද
කාලයට ද ඔබ්බෙන් වූ
අසංඛ්‍ය වූ වැලි කැට යට
පොළෝ ගැබෙහි රහස් දැරූ
පණ ගැහෙනා පැපිරස් මත
මහා පිරමීඩය පතුළෙහි
නිද්‍රාවෙහි සැඟව උනිමි
යවට පොළොව ගිනියම් කොට
වැලි කතරට එසැවූ සඳ
දැවෙන හිරුට දෑස හරිමි
දුහුවිලිවී බිමට හැලෙමි
එන්න , මගේ රහස ගන්න
මිහිතල මත විසුරුවන්න


මටම පැරදී
මගෙන් ලේ ගලන
දිනන්නට කිසිත්
තවත් ශේෂව නැති
එරීනාවෙහි ඇද වැටෙමි....
ණයට ගත් අසිපත
පසෙක ලා සැතපෙමි
සුළං රළකට පොඩි වුණ
ඇහැළ මල මත වට
කඳුළු බිඳුවක් මත
ජීවිතය වෙනුවට
ආදරය යයි ලියා
රඟ මඬල තිරය හෙළනෙමි
රණ මඬල හැර පියා නික්මෙමි.



* වෙණ වැයුමෙහි දක්ෂ ගොපළු කොළුවෙකුව හිඳ ඒලා මිටියාවතේ දී ගොලියත් නම් යෝධයා පරදා  පසු කලෙක ඊශ්‍රායෙලයේ රජ වූ දාවිත් (ශු. බයිබලය: 1 සාමුවෙල් - 17-18)

18/07/2010

Wednesday, July 14, 2010

මුහුද අසබඩ නිවෙස්





වැසි දියට පෙඟෙන
ලෑලි බිත්ති
දුම්රියට අත වනන
කුඩාවුන්



10/07/10

Tuesday, July 13, 2010

මාධුර්යයෙන් නොපැවැත්මට...




















රඟහල සිසාරා
මේ  රළ නගන
ස්වර මාධූර්යය ඔබය...
සුගාමය... සත්තාව මය

නදියක්ව රැළි ලමින්
යළිදු නිසසල වෙමින්
උත්සවාකාරී ආශ්චර්යයක
වර්ණයන් මැද කළතමින්
මා වෙළයි...
මා සිසාරා ගලයි...

නිම්නාද ස්වර පන්ති
සියොළඟෙහි ඉසියුම්ම
අණු පවා අවදි කොට
මුසපත් කර...
වර නගයි....

හාත්පස ඉපදෙන
සුයාමයෙහි වැතිරෙමි...
ඒ තුළ ට වැගිරෙමි...

සෞන්දර්ය  නදී තෙම
මා තෙමා දිය කොට
වෙනස් ශක්ති ප්‍රභවයක් බවට හරවා ඇත...
මම බිඳී ,
යළි යළිදු ක්ෂුද්‍ර වී
විශ්වය පුරා විසිරෙමි...

රඟහලෙන් සුයාමයට පිවිසෙමි....
ඔබ සමග
ඔබ තුළ
දිය විය හැකි
දිගන්තය අස වැතිරෙමි....

හුස්මකට කැටි වන
සක්වල පුරා විසිරෙන
අනන්ත වූ මාධුර්යය හා මුසු ව
නිශ්චල වෙමි...
සියල්ල හඟිමි
සියල්ල දකිමි...
අපරිමිත හැඟුම් සෙන්
නොහිම් සර හා මුසුව
මා සිරුර විනිවිදියි...

ඔබ නොපවතීයයි කාට නම් කිව හැකිද...?
මෙන්න , ඔබ මෙතැන
ගැඹුරක්ව මිහිරක්ව
අණුවක්ව මුසු වෙමින්
එකම ලයකට
එකම රිද්මයකට
එකම තනුවක් තුළ වැයෙමින්

තත් මැදී
ඉන් රිදී
වේදනා ඉපදෙමින්...
මා පැවැත්ම ස්පර්ශ කොට
සිරුරත වෙළාගෙන
සුසුම් වල කැළතී

චෙලෝවෙහි තත් අතර පණ ලබා
මම ම වී ඉපදෙමින්

නොදැනීම
මා සුසුම් නැවතී
නොපවතින්නට පටන් ගනිමි...

එසැණින්,
චෙලෝ තත් අතර මා පණ ලබයි...
මෙතැන් සිට මා පවතින්නේ
ස්වර මාධුර්යයයෙන් සුනිශ්පන්න වූ
සමාන්තර සුගායනීය
සක්වලකය

ස්වර යනු මම ය
මා තුළ සොඳුරු සත්තාව ද
සත්තාව තුළ මා ද වෙයි...
ඔබ 
විශ්වයෙහි අනන්තය අස
මා සතපවා
මා සුසුම් හා මුසුවෙයි...

එසැණින්,
චෙලෝ තත් අතර
නොපවතින මා පණ ලබයි...

07/07/10
_______________________________
 *Cello සංධ්වනියක් මැද රඟහලක දී ලියැවූණි.

Tuesday, June 15, 2010

.............................................



මසා දෙයි
කැඩෙන කැඩෙන වර
ම‍ගේ පාවහන්
දෙපා නැති
ඔහු



13/06/10

දැරීම



අහස
වැස්ස දරා ගන්නවා තමයි
ඒත්,
වැස්සට
අහස දරා ගන්න
බෑ



13/06/10

එතකොට මල් කතා.....




පිනි

බමරාට
භ්‍රමණයෙහි
ප්‍රමෝදය පිණිස
කේන්ද්‍රගත කළ
මලෙහි
වික්ෂෝපය





රැඩිකල් සමනළයා මලට කී කවිය

මගේ පාට
මා ළඟ
ඔබේ සුවඳ
ඔබ ළඟ
හැබැයි
රොන්සුණු මට
13/06/10

Friday, June 11, 2010

වන්දනාවක සටහන්


මගේ සත්‍ය අත්දැකීමක් වන මේ සටහන ලියවුණේ යුද්ධය නිමා වෙන්න කලින්.


නැගෙනහිර  පළාතේ යුද්ධය නිමා වුණ බව නිවේදනය කළේ උතුර සම්බන්ධව එබඳු නිවේදනයක් කරලා රටේ බොහෝ දෙනෙක් රතිඤ්ඤා පත්තු කරලා කිරි බත් කන්න අවුරුද්දකට විතර කලින්. නැගෙනහිර පැවති යුද්ධය නිමා වෙන්න සති කිහිපයකට කලින් රූපවාහිනියේ කියූ ප‍්‍රවෘත්තියක් මාව මේ සිද්ධිය ඔබ සමග බෙදා ගන්න කියලා තල්ලු කළා.

සුපුරුදු පරිදි ඒ ප‍්‍රවෘත්තිය යුද්ධය හා සම්බන්ධයි. ඒක ඇහිලා මගේ හිත මොහොතකට නතර වුණා. ඊට පස්සේ වසර එකහමාරක් අතීතයට දිව ගියා. දෙදහසස් හත වසර ලංකාවේ සිවිල් යුද්ධයේ අති බිහිසුණු කාලයක්. එල්ටීටීඊ  සංවිධානය විසින් වසා තිබු මාවිල් ආරු සොරොව්ව රජයේ හමුදා විසින් අත්පත් කරගත්තේ මේ කාලයේදී. මගේ මතකය අවදි වුණේ මාවිල් ආරු අයත් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන්. මුතුර් හා සාම්පූර් කියන ප‍්‍රදේශවල දරුණු සටන් ඇවිළුණු ඒ වෙලාවේ සරණාගත කඳවුරු වල කොටුවුණ පවුල් වලට උපකාර කරන්න එන්න කියලා කෙරුණු ඉල්ලීමක් මත අපි කණ්ඩායමක් දකුණෙන් නැගෙනහිරට ගියා.ඒක රාජකාරී ගමනක්. 
 
සේරුනුවර කියන්නේ මාවිල්ආරු වතුරෙන් පෝෂණය වුණ මුතුර් වලට පහළින් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කෙළවර පිහිටි ගමක්. මේ ගමේ හිටියේ ගොවි පවුල්. ඔවුන්ගේ ජීවිත වලට, ගොවිතැනට ජීවණ ජලය  වුණේ මාවිල් ආරු ගඟ. හරියටම ගොයම පීදෙන කාලෙදී සොරොව්ව වැහුවම ඔවුන්ගේ ජිවිත උඩු යටිකුරු වුණා. නැවත වතුර ලැබෙද්දි දුක් මහන්සියෙන් ණයවෙලා අස්වද්දපු කුඹුර වේලිලා කාෂ්ඨක පොළවේ පණ සුන්ව වැතිරිලා හිටියා. ත්‍රිකුණාමල නගරයේ නවාතැන් ගත් අපි උදේ හවස සේරුනුවරට ගියේ මේ සියල්ල හා යුද්ධයේ අනිවාර්ය කොටස් වන මල්ටි බැරල් සහ ආටි (Multi barrels and Artilleries) මැදින්. ඒ මුළු ප‍්‍රදේශයම යුද්ධය උදෙසා පාවිච්චි වුණා. ඒ ගමේ මිනිසුන් උපන් ගමේම සරණාගතයින් වෙලා අනාථ කඳවුරු වලට ගාල්වෙලා. පාසල තමයි ප‍්‍රධාන සරණාගත කඳවුර. ගෙවල් වල රාත‍්‍රියට නිදාගත්තොත් පහුවදාට නැගිටින්න පුළුවන්ද කියලා බයයි. කොටින්ම යුද්ධයේ සකලවිධ පීඩාවන් ඔවුන්ව වසාගෙන. දරුවන්ගේ පොත් පැන්සල් පවා නැතිවෙලා. ඔවුන් අකුරු ලිව්වේ චිත‍්‍ර ඇන්දේ  නෑ. අපි ගෙනිච්ච පොත් සහ පාට දැක්කම ඔවුන් සතුටු වුණේ අහසේ තරු කඩලා ගෙනත් දුන්නා වගේ.

මම සේරු නුවරින් දුටුවේ ඔද සිඳුණු අභිමානවත් ජනසමූහයක ඛේදවාචකය. සියවස් ගණනාවක් ඔළුව කෙළින් තියාගෙන කශේරුව නොනමා මහපොළව සිය සවිය කරගත් මිනිසුන් හාල් කිලෝවකට තවත් කෙනෙකුට අතපානවා මම දැක්කා. ඇඳුම් කෑල්ලකට පොරකනවා මම දැක්කා. එතැන බිඳවැටී තිබුණේ ඔවුන්ගේ ජීවනෝපාය විතරක් නොවෙයි. වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න ලද පන්නරය ඉරි තලලා. මහ පොළව සේම දුක දරාගන්නට තිබූ සංයමය ගිලිහිලා, එක යායට නිල්ල ගැහුණු නිල් ගොයම බඳු තමන්ගෙකම දෙදරලා.. හැමදේකටම වඩා පාසල සහ අකුරු දරුවන්ට අහිමිවෙලා. ඔවුන්ගේ හෙට දවස කියාගන්න බැරි තරම් අවිනිශ්චිත වෙලා. සෙල්ලම් කරලා දුවපු පැනපු ක‍්‍රීඩාපිටියේ කාල තුවක්කු සවි කරලා. ඒ පුංචි දරුවන් තත්පරයෙන් තත්පරයට ඇහෙන පුපුරන සද්ද වලට බයේ ඇකිලෙනවා.

අපේ රාජකාරී කටයුතු කරපු සති කිහිපය තුළ අපි ඔවුන්ගේම පවුල්වල කොටසක් වුණා. ඔවුන්ගෙන් මා අත්දුටු ආදරය අප‍්‍රමාණයි. උයන්න සහල් තබා ගෙදර ලිපත් අහිමිවුණ ඒ මිනිස්සු තමන්ගේ කුසගින්න නිවාගන්න පුච්චපු රොටිය අපි එක්ක බෙදාගත්තා. ඒ තුළ තිබුණ මහා මනුස්සකම “ස්තූතියි“ කියන වචනෙට ලඝු කරන්න බැරි ඒ ආදරය ඉදිරියේ අපි මොහොතකට ගොළුවුණා.
 
හැම දිනකම අපි එකතුවෙලා විවිධ ක‍්‍රියාකාරකම් වල යෙදුණා. සෙල්ලම් කළා. මාසයක කාලයක් ගතවෙද්දි වෙඩි හඬට බයේ කථා නොකළ දරුවන් පවා එකතුවෙලා නාට්‍යයක් රඟ දැක්වූවා. තේමාව වුණේ සාමය. යුද්ධය හා වෛරය ඔවුන් සතු සියළු දේ ගිනි තබා තිබුණත් ඒ දරුවන් ඉල්ලූවේ සාමය. ප්‍රෙක්ෂකයින් වුණේ කඳවුරු වැසියන් හා අපි දෙතුන් දෙනා. කාෂ්ඨක පොළවේ වළගොඩැලි පිරි පිට්ටනියකට එකතුවෙලා ඒ නාට්‍යය නැරඹුව හැටි දැනුත් මතකයි.

දරුවන් අඩිය තියද්දි නැගුණ දුහුවිල්ල පවා පණ අදින මහ පොළවට ජීවය ගෙනාවා. නාට්‍යය අවසානයේදී කථා නායකයා සාමය වෙනුවෙන් මිය යනවා. ( ඒ ගමේ බොහෝ දෙනෙක් යුද්ධය නිසා මිය ගිහින්) එතැන රැස්වුණ තම තමන්ගේ අය ඇඬුවේ දුකට වගේම දරුවන්ගේ හැකියාවන් දැකලා සතුටට. තමන්ගේ පුංචි උන්ගේ ධෛර්යය, ජීවිතය ගැන තිබෙන බලාපොරොත්තු,  දැකලා ඇතිවුණ සතුටට.
 
සුහද බව හරිම සුන්දරයි.. ආදරය උණුසුම්...නැවත හමුවීමේ බලාපොරොත්තුව ඊටත් වඩා නැවුම් ... ඒත්..සමුගැනීම ....හරිම වේදනාකාරියි. විශේෂයෙන් ඔබට අනෙකා කවදාවත් මුණගැහෙන්නේ නැතිවෙයි කියලා හිතෙනකොට...සේරුනුවරට "ආයුබෝවන්" කියද්දි දැනුණ හැඟම් ලියන්න මගේ වචන පොහොසත් නැතිවුණත් මගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ කඩදාසි වෙනුවට පුංචි අත් දික්කරද්දි එතන හිටපු අසරණම සරණාගතයා වුණේ මම. ඒ පුංචි අත් අල්ලගෙන අල්ලේ ලිපිනය ලියද්දි මට බොහෝ දේ දැනුණා. ඒ අත්වල ආදරය තිබුණා. අහස පොළව යා කරන මිනිස්කම තිබුණා.  හෙට දවස ගැන දකින සිහින තිබුණා. දකුණේ ජීවිතවල හා උතුරේ ජීවිත වල වෙනස තිබුණා. උන්ගෙත් නොවන, ඔබේත් නොවන, මගේත් නොවන, අපි කාගෙවත් නොවන, අපි කාටවත්  ඕනා නැති යුද්ධයේ කටුක බව තිබුණා. ඒවගේම අපි කාටත් අයිති මහ පොළවේ සුවඳ තිබුණා.
සේරුනුවර මතකය මගේ හදවතේ බිතු සිතුවමක් උණේ ඒ විදිහට...

දැන් රූපවාහිනී ප‍්‍රවෘත්තිය...
කාලතුවක්කු හා වෙඩිප‍්‍රහාර වලින් සේරුනුවර වැසියන් කිහිප දෙනෙක් හා දරුවෙක් මැරිලා......
...............................................................................................................................................
................................................................................................................................................
 ආදරෙන් මට වරක් අත දික්කරපු ඒ දරුවා සාමය වෙනුවෙන් නැවත මියගිහින්...
මේ පාර එය නාට්‍යයක් නොවෙයි....

මම ඇත්තටම ආයෙත් වරක් සරණාගතයෙක් වෙලා බලාගෙන හිටියා..

සාමය දිහා....!

Friday, June 4, 2010

එළි

 
 
අද උදෙත්
පාර මැද
මම හිටියා
කොළ පාට එළි නිවී
රතු පාට
වැටෙන තුරු
නවතින්න
බලා‍ගෙන!

03/06/2010

Tuesday, June 1, 2010

සුදු සිනා කැකුළ පිපුණා



සත පෙමින් නිවා සනහා
සුබ උදෑසනක් වඩනා
නිම් තෙරට සුවඳ ඇහෙනා
සුදු සිනා කැකුළ පිපුණා

කල් බලා කලා පිරුණා
පුන් සරා සඳත් නැගෙනා
දුල් උදා තරුව පැමිණා
සිල් අරන් අහස නිවුණා

ළය පුරා නිලන පෙමිනා
ඇස අගින් වැස්ස වැටුණා
කිරි හොයන සිඟිති මුවිනා
සක්වලක තනුව වැයුණා

ජීවිතේ දිහා බලලා
මුදු සිනා කඳුළු නගනා
පියෙකුගේ සෙනෙහෙ දකිනා
මගෙ දුවේ මටත් ඇඬුණා


26/05/10

Sunday, May 16, 2010

හිත දවන මහ වැස්ස





සිතුම් සායම් පොවා මොහොතකට හැඩ කෙරූ
සුන්දරම ආකාස සිත්තමෙන් බිම වැටී
ගිනි වැදුණු අසිරිමත් පුරවරය සෝදමින් 
බොර පාට මහ වැස්ස පා යටින් ගලා යන 

බස්රියේ සීතලට - පිණි ඉහින හිරිකඩට
උණුහුමක් වී ඇවිත් -හිතේ ඉඳ කවි ලියන
සුවැති උරහිස් මහා සිහින පවුරට උඩින්
තියුණු නෙත් දහසක්ය මගේ නෙත් විනිවිදින

සීරුවෙන් අඩුක් කර කට මැහුව ගෝනියක
කර උඩින් උන් තිබ්බ  ජීවිතේ මහා බර
තාම සවි ඇති කොන්ද නමාගෙන මග  දුවන....
දාහ දූවිලි නිවන මහ වැස්ස දෙස බලා
අහසටම දෙස්  තියන නාට්ටාමි මිනිසාන,
ඔබේ කුස නැගෙන ගිනි ඇවිල විත් මා දවයි......

ලෝ ඇසට නොම උනන කිරි කඳුළු ගෙනෙන්නට 
රබර් ගස් සූරමින් ජීවිතය සොයන විට
ලැයිං ගෙයි කුස්සියේ  රොටි සුවඳ දැනෙන තුරු
පිළේ හිඳ මග බලන පොඩි උන්ගෙ හීන මල්
වැහි වතුර පිරෙන පොල් කටුව තුළ පිපෙන විට  
කිරි කපන නංගියේ, 
මගේ බත් මුළ හෙමින් ඉකි බිඳියි

මහ පොළොව සිප වැළඳ-සෙනෙහසේ බිජු වපුළ
අස්වැන්න දිය කරන අහසටම දුක කියන
අඳ කුඹුර  කෙළවරක ඇණ තියා බැත සොයන
ගොවියාන, ඔබේ බොර වූ දෑස් මා පෙළයි

බෝ ගසෙහි සෙවණ යට තල් පැළලි කඳවුරේ
මඩ දියෙන් කැළතෙමින් හිස් වළං පාව යයි
වෙඩි හඬට බිහිරි වුණු දෙසවනට
අකුණු හෙණ දරා  ගනු බෑ තමයි
විතැන් වූ  හදවතින් තල් පැදුර  යළි වියන 
සෝයුරනි, දනිමි මම.....
මේ උදෑසන ඔබට කළුවරයි

ඉතිහාස පාඩමක පිටු හැළුණ වීදියක
තෙත බරිත ජීවිතය මිරිකමින් වියළවන
සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ  වැස්ස  ණයගැතියි


15/05/10

Tuesday, May 11, 2010

Life is such a complete dream



Life is such a complete dream
Full of pain and splendor,
And death is its utmost summit
Where we realize its wonder

What we really are?
If you ask from the universe,
It will whisper,
“A combination of energies”
And those great energies
will never leave the earth
No matter if we are alive
No matter if we are dead

Ages and ages so eagerly seek
Argued so keenly, amongst the Greek
The secret of those who are dead and gone
That, they  never leave but beautifully remain

But they are,
Blended with the rainbow as colors,
Waved in the rivers as waves,
Mixed up with winds as fragrance,
Bloomed with the wild flowers as gentle pollens,
Formed with the clouds as their miraculous shapes,
Quite with the meadows in the silence,
Tuned in songs as their soft notes,
Echoed in conversations as tender utterances,
Existed in the living men as their breath
Burnt in the revolts as the sparkling conscious

Whilst they divinely breathe and bloom
How can we say, they are dead and gone?
For what they have come, they’ll beautifully remain
For that they will live and live for long ….


11/05/10

Wednesday, May 5, 2010

සකි සඳ, සඳ නැගෙන සඳ

 
තරු වරා නැ‍ගෙන        බග සඳ
දුක තියා සුසුම්             අහුරක
හිස හොවා සැලෙන    ළය මත
මග  අසයි සිහින        වෙරළට

තරු රැඳී  උදුල           නෙතදර
මුදු ලවන් සිනා           තවරන
යා නොහී රැඳෙන        පවනට
කවි කියා නොමග  ගෙන යන

දොඩමළුම ඇසක          සීතල
උණුහුමට උරෙහි        සතපන
ගන අඳුරු රැයට           හිනැහී
මුදු සෙනෙහෙ තෙපුල් වස්සන
 
නෙතු පියා තඹුරු        විල ළඟ ‍
සුවඳ විඳ, නොවිඳ          මුවරද
නල සසල සුසුම්          සර වැද
වියවුලෙනි සිතුම්          සියපත

හාදුවක් තියා               නළලත
මුව රුවා කඳුළු            මධු විත
පා තබා වළා                රළකට
පාවෙලා යන්න           සකි සඳ


04/05/10

Friday, April 2, 2010

සුළඟ.....,



සුළඟ.....,

ඔබ එන්න
ඇවිත් අරගෙන යන්න
මං නිදන මේ වලාකුළ

ගෙන යන්න දුර ඈත
දෙණි බිම් තැනිතලා වෙත...
වස්සන්න මහ වැසි
වසර දස දහසකින්
තෙත නොලද බිම් වලට....
දෙකෝටියක් තරු ඉස
අස්වද්දන්න මිහි කත...
පුබුදන්න සක්වලම

ගෙන යන්න
නිදන මේ වලාකුළ
මං ඇහැරිලා ඉන්නම්
ගෙන යන්න
ඔය පාට දේදුන්න
මං අවර්ණව ඉන්නම්
ගන්න මේ මුළු අහසම
ඔබට ඕනෙම නම්

ඒත්...
ඉතුරු කර යන්න
මගේ සඳ විතරක්
මට...


03/04/10