Wednesday, December 7, 2016

සියලු දේ අතීතයට පවරා ඔහු නික්ම ගියේය.



ඔහු නික්ම ගොසිනි. මා ඔහු කිසිදාක හැබහින් දැක නැත. එහෙත් ඔහු අපව ද ජීවිතය ද ජීවිතයේ යථාව ද  විනිවිද  දුටු වග හොඳින් දනිමි. අරලියා මල් අතර ගයා නිමාවෙන්නට නියමිත යෞවනය කෙළවර දී, දිනෙක අපට අප අහිමි වන බව කියා දුන්නේත් ,  ගමට කලින් මුළුතැන් ගෙයට හිරු වඩින බව කාටත් වඩා  අපූරුවට කිව්වේත් ඔහුය.

අතීතය මතකයක් බවට රූපාන්තරණය වෙද්දී  බැඳිම් විප්පයෝග වී අප දවයි. එවන් වූ දැවීම් තුළ පවා සිනාසී සමුගත යුතු බව පාසල් වියේ උන් අපට කියා දුන් දාර්ශනිකයා ඔහු ය. තුරු හිසකින් ගිළිහෙන මල් පරිද්දෙන් එකින් එක සිහින ගිළිහෙන ජීවිතයේ අල්ලා හඬා වැටෙන්නට තරම් දෙයක් නැති බැව් එතරම් මිහිරිවට එතරම් ම සංයමයකින්  මේ සංගීත ගුරුවරයා කිව්වේ කෙසේදැයි තවමත් සිතමි.

....සුදු පාට මල් පිපුණු අරලියා හෙවන යට
බාලිකාවේ සුවඳ තනිවෙලා.....
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියලු දේ අතීතෙට පවරලා....

ඇසළ සඳ දිය නොවුණ ඈත වැව්තල කොණෙක
ගයා නිම වූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා...

සිනා සරදම් පිරුණු පංති කාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකී
සඳට ඉකිබිඳ හඬන නොදරුවන් නොවේ අපි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....



අම්මාගේ දවස කාටත් කලින් ඇරඹෙන බව ඒ සා පරිකල්පනීය මහිමාවකින් කියූවෙක් නැත. අම්මාගේ නිවන දරුවන් නිවෙන තැන දී අත්වන බැව් කිව්වේත් ඒ අම්මාගේ සැනසුම ඉරෙන් ඉර නැගෙන දවසින් දවස තව බොහෝ දුර බවත් කියා ඉසියුම්ව හද සරැළි නංවන සංගීතයද එහි දවටා අප හදට සන් කර කියූ පණිවුඩ කරුවාත් ඔහු ය.

....ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ....

ගේහසිත පෙම් යහනේ නේක නිමේෂයන් හි මතුවන විසකටුවලින්පෑරෙන හදවතක රිදුම සියුම් ය. නිහඬ බව ඒ සා දඬුවමකි. විවාහ දිවිය යනු ම සමාජ සංස්ථාමය වුවමනා එපාකම් මහගෙවල්වල රළු පවන් හමා යන ඉසව්වකි. එබඳු මොහොතක් වදනින් සිත්තම් කරන්නට හැකිවීම ම සංවේදනා උපද්දන උල්පතක සොඳුරු බලපුලුවන්කාරකමකි.

...විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ....

කාලාවකාශ යා කරමින් වැටෙමින් පැකිළෙමින් ආ ජීවිත  ගමනේ අමාරුම තැන්වල දී ගීතයෙන් හිස අත ගා සෙත් කවි කී සුනිල් දයානන්ද කෝණාර නිර්මාණවේදියාණෙනි, ඉතිහාසයේත් අනාගතයේත් ඔබ නිමැවූ, නිමවන්නට නියමිත සියලු සැනසිම් සහගත නිමේෂයන්ට අප්‍රමාණව ස්තූතියි.

පිපෙන , පරවෙන, යළි පිපෙන අරලියා මලක , නිවෙන දැල්වෙන මියෙන තරු එළියක, නිහඬව ම වැව් බඳෙහි වැදි වැදී ජීවිතේ නොනිමි බව කියා දෙන කලාවැවේ නිල් දිය කඳ පතර ඔබ යළි හමුවන්නට ඉටා  ගනිමි.

ඔබට සුබ ගමන්!


07-12-2016

Saturday, December 3, 2016

නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව





ඒ පළමු හැන්දෑව
කඳුළු කැටි 
වැටි වැටී දිළිසුණ
පඳුරු ලා ආදරය
සදාතනිකව පැළවුණ

ඉස්සී ඇඟිලි මත
කම්මුලෙහි තැවරූ
ස්නේහයේ පළමු රළ
හිස් වූ ෆුඩ් වේව් බිම මතින්
රැළි නගයි 
උස් වූ ගුවන් පාලම
ඇස් පියා තවමත්
හිස් නොවූ ප්‍රේමයක 
තතු කියයි

ඇස් ඉස් මස් විතරක් දකින
දෙස් දෙන 
වස් කවි කියන ලෝකෙක 
ඇස් දෙකේ වස්සානය පුරවගෙන 
අත් දෙකෙන් වසන්තය අරගෙන
හිස්ම හිස් උයනක
විස්මයක් තමයි ඔබ පිපුණ එක 

දවන දැවෙනා දිවි මග
නිවෙමි ඔබ හා ඇවිදිමි
මත් පෙම් මතක ඇවිළී
ඉස්සී යළිත් සිපගමි 

එවන් වූ බිතු සිතුවමකි
නුගේගොඩ
ඩෙවොන් එක පවා 
ආදරෙන් බොඳ කළ



03-12-2016

Saturday, November 26, 2016





හිස් වෙතැයි 
ඔබ බිය වුව ද
පිරී ඉතිරී 
බොහෝ කල් ය
මේ බඳුන



24-11-2016

Thursday, November 24, 2016

නමක් නැති ඍතුව



නමක් නැති මේ ඍතුව
නිමක් නැති හඬ ස්වර උපද්දන 
තෙතක් නැති නියං දෙතොලින් 
සිප ගනිමි

ඉරි තැළුණු ගිම්හාන හදවත
සරත් වැස්සෙහි පොඟවා
අකාලික තරු එළියකට 
අත හරිමි

මලක් නැති මල් සුවඳ
මදහසේ කටු ගවසා
සඳ මුදු දිය ද තවරා 
විඳ ගනිමි

ඉමක් නො දිසෙන මංපෙත
පෙමක් අතැඹුල් කොට
නිමක් නොමවිමසා ම
පිය මනිමි..


23-11-2016

Monday, November 7, 2016

විස්මය



'මට පුදුම ඔබ කිසිවකින් පුදුම නොවන එක....' ඇය කීවා ය. 



විශ්වය ම දවා හළුකොට 
භෂ්ම කළ සිහින පොදියක
රශ්මියක් නො පැතිය යුතු බව
වටහා ගැනුම නොවෙද විස්මය?

රළු අඳුර මැද සැලි සැලි 
විඳ විඳ රැයක සීතල යළි යළි
පිනි මවන තණපත් 
ඒ තමා පුදුම සිතුවිලි

වලාකුළු යට තැවි තැවි
ගලා යනු බැරි රළ රැළි
දරා ගනු බැරි තැන
කවියක්ව උපදින
සියුම් ඉසියුම් දිය රැළි

සත් වසක් වැලි ඇවිලෙන
කතරක් සිඹින මහ වැසි
සිලෝ ගී ගයමින් පිපෙන
මෙලෝ මල් යායක 
දම්පාට නළ රැළි
පොළෝ ගැබ මත ඉපදෙන 
විස්මයක හසරැළි

මිහිදුම් තිර ඇදෙන
සිහිලැල් සරද සවසක
කවුළුව මත වැටෙන
වැහි රටාවක මුහුවෙන
කෝපි සුවඳක මත්වෙන 
ඒ තමා ඍතුවක විස්මය

හිස් අතින් විත් 
ඇස් දෙකෙන් පහන් දල්වා
වස් විසූ හද ලෙන් ගැබ
හිස්තැනක් පුරවන එක 
සන්තානයක අරුමය

ගැස්මක් පවා නො දැනෙන අන්ධකාර ම යාමය
හුස්මත් දිදී රැක්කත් ශේෂ වුණ දේ බිඳුණු හීනය
විස්මයක් ඉදින් වේ නම් තාරකා මැද නිවී ගිය දේම ය
අස්නක් තබා ඇති පිනි මත
කියවා දවාලනු මැන, ඒ මගේ ප්‍රේමය!

02-11-2016


Wednesday, October 26, 2016

හිතවතිය...,




සරත් වැස්සක උන්මාදය රැගෙන
වෛවර්ණ මතක තුරුපත් 
ඉතිහාස තුරු හිසෙන්  ගිලිහෙන
අවන්හල පාමුළ 
කොළ පාට වෙනුවට රතු එළිය දැල්වෙන
ඒ දවස කවද ද - කෝපි සුවඳක 
කැමැත්තෙන් අපි මත් වී බමන 

පැරණි ම පෙම්පතක ඉස්පිල්ලකින් මිදුණ
කඳුළු බිඳුවක් වෙත නිවී විදසුන් වඩන
කටුක ම ජීවිතේ මල් පෙති දකින‍
ඒ මල් පෙතිත් පරව යන බව සිහිකරන
හවසක් ඉතිං, එළඹිය යුතුය
අකාලික මීදුමක - උණුසුම් ව හදවත් දැවෙන

කොයි ඍතුවෙත් ඔබ ගිම්හාන උණුහුම සදන
අප අතර ශරද මීදුමාරයට 
උස් හඬින් නෝක්කඩු කියන
හද ගැඹර එක්ව පාදා 
තරු ද ලිය කැටයම් ද තබා අලවා
අවන්හල් මේසය හැඩ කරන්නට
සින්ඩරෙල්ලා වගේ එනවද
සපත්තුව ගැන හිනාවෙන්නට

නිම්නාද දෙන සන්තාන ගිරිදුර්ගවල 
දිළෙන දෙපයින් මුදුව ඇවිදින්න
කෝපි බඳුනක රන්වන් පතුළ කෙළවර
අරුමැසි පියගැට පෙළ මත දි හමුවෙන්න

සංකේත සංවාද සංලාප මැවෙන
සංවේදනා මතින් සංධ්වනි වැයෙන
සංකාව  බිඳක් නැති ආදරේ අරුම
සංඝායනාවක් තමයි හමුවෙනා එකම


26-10-2016




ඔබ නම් වන සරත් ඍතුව හෙවත් පුදුමය



ඉතිං මේ සරත් ඍතුව
පුදුමයකි 
පත් හෙළා උරහිස් ගස්සන

හමා එන සියුම් සුළඟක
පවා දවටා ගිමත් සරතැස
සමාවට කරුණු නො කියාම
නිමාවක් නැති කවි උපද්දන
උද්‍යානයක් වෙන එක 
කළ හැකි, කවියකට විතරය

වියළි රතු පත් අතර සැඟවුණ
පියලි හිම තිබිය හැක කඳුළු සඟවන
සියලු දේටත් වඩා වැඩියෙන
වසන්තය ගැන හිත හිතා වැළපෙන

හුදෙකලා දෑසක ඇවිලෙන්න
සරත් සඳ ගිමත් අහසින් නැග එන්න
වරක් ඇසිපිය හෙමින් පිසලන්න
මලක් ඉපදෙයි එයට ඉඩ දෙන්න

නමා හිස සෙමෙන් මුදු ලෙස
පමාවට කරුණු විමසන
‘ඉතිං කම් නෑ’ කියා හිස පිරිමැද
පුරුදු මදහස හෙමින් අතුරන
උද්‍යානයක් වෙන එක 
කළ හැකි, ඔබට විතරය!

10-2016

Monday, October 17, 2016

'සුරංගනා කතාව'




ඔබ කියූ සුරංගනා කතාවල
යකුන් මකරුන් සිටියේ  නැත
කුමාරිකාවන්ගේ හදවත් 
බිඳුනේ ම නැත
සී මැදුරු කවුළු තිරවල
අහඹු කඳුළු පැල්ලම් 
තිබුණේ ද නැත..

සත් වසක ශාපයෙන් 
අවදි වන විට
මගේ මුවගින් 
මකර ගිනි පිටවෙන
බිඳුණු හදවත් කැබලි  
දියමන්ති බවට හැරවුණ
ධවල සළුපිළි 
ලුණු රසට දියවුණ

ඉතිං පෙම්වත,
දැන්,
ඒ ඉපැරණි කතන්දරයේ නම 
වෙනස් කෙරුමට මොහොත ය.
'සුරංගනා කතාව' හැර 
වෙනත් ඕනෑම නමකට 
කැමති ය!

Friday, October 14, 2016

දවසක.....





මල් දමක් සේ පැළඳ ගමි ඔබ 
ගල් මතින් ඇවිද යන දුර ගමනක

දැණුනොතින් ඉසියුම්ව රිදුමක්
ළයෙහි බර තව දරනු බැරි වී 
කේශිකා බිඳි බිඳි  ගිය බව 
වටහගනු මැන එදිනට


14-10-2016



Friday, September 2, 2016

"ඔබ ගැඹුරු නින්දක" - සැප්තැම්බර් 10




මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. 

දේශන
ලියනගේ අමරකීර්ති
චූලානන්ද සමරනායක

මෙහෙයවීම
ධනුෂ්ක ගනේගොඩ

ඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්‍රකාශනයකි.



Monday, August 22, 2016

ඇතැම් විට...




ඇතැම් විට 
ලද කුඩා ඉසිඹුවක
පැරණි පිය සටහන් නැති
නැවුම් මිහිදුම් මාවතක
ඇවිද එන්නට මට
හදිසියෙන් මෙන් 
සිතෙන්නට හැක

අතුරා තබනු මැන
නො ඇසූ සියලු පැන
දම්පැහැ කැලෑ මල් මත
රැගෙන යනු පිණිස මට

නිදහස් ය ඔබ එවිට
සියලු පැන සහ
නො ලද පිළිතුරුවලින්


17-08-16

නම





අපේ පුතුට
දමන්නට සිටි
ඔබටවත් නො කියූ නම

ඔබත් නැති
පුතෙක් නැති
නමක් විතරක් ඇති

17 -08-16




Sunday, August 7, 2016

සමර





එක මලක්
පිපෙයි පරවෙයි 
එක වරක්
කවුරු දන්නෙද
ඒ මල ම
ඇතැම් විට
පිපෙනු පරවෙනු ඇත 
සියවරක්

06/08/2016


සමර*-සමර විජේසිංහ කවියා

#දිළිසෙනපියවර #සමර #සමරසැමරුම

Thursday, July 28, 2016

ඉරි





ඉරි තැලුණු දිරි සිඳුණු ගමනක
මල් දිදී මිය ඇදුණු තුරු බඳ
මුල්වලටවත් කියා ගොස් නැත 
හැර පියා යන හේතු සලකුණු

පොරෝ තලයක රුදුරු පහර ද?
දිරාපත් කාලයේ රහස ද?
ඉරුණු වියැළුණු පැලුණු ළය තුළ
තිබේ නො සිඳුණු දුකක රොන්සුණු

23-07-2016
තුම්මුල්ල

Friday, July 8, 2016

ඇඹුල්



අඹරැල්ල ගහ අදත් පොඩි පැටව් වඩාගෙන
පැණි රහට මතක දී නැවි නැවී හිනාවෙන
කොයි තරම් දුර ගියෙද ජීවිතේ බෙදාගෙන
අමතකව ඇති ඔබට මේ ඇඹුල් කතා ගැන

ඉඳහිටක වාඩි වී ඔය ගහේ හෙවණ යට
සුදු තීරු මත ඉහුණු ලුණු ඇඹුල් හරි රහට
හඳ දිහා බලන්නට බැරි වුනත් කෙළින් අද
කඳු කපා නැඟෙනවා ඔය මූණ විටින් විට

ඇඹුල් කර මුහුණ ඔබ හිනා වුන හැම විටම
ඇඹුල් වුව පැණි රහයි හිතට දැණුනේ එහෙම
මඟුල් පහු වී වසර දෙක තුනක් පහු කෙරුණ
අඹරැල්ල ගහ දිහා නො බැලුමයි මට පුදුම 

ඉතිං ඒ දේ උනේ හිතපු නැති වෙලාවක
ටක්කෙට ම කීව හැකි අඹරැල්ල අවාරෙක
'නරක් වුණ වකුගඩුව වැඩක් නැහැ තියාගෙන'
දොස්තර ගෙ හඬ ඇහුණෙ ගල් ගැහුණු විරාමෙක

මතක නැහැ එතැන් සිට ගෙවුණු කල් දින මාස
මට වඩා දුක හිතුනෙ ඔබ ගැනයි හැමදාම
'තවත් බෑ ඉවසන්න - ඇතිවෙලා මට මෙහෙම'
ඔබ ලියා තබා ගිය සටහනකි කහ ගැහුණ

අඩු සීනි තේ තවම  වැරදිලා හැදෙනවද?
පඬු පාට වලාකුළු ඉඳහිටක පේනවද?
පහමාරෙ දුම්රියට කළබලෙන් දුවනවද
කහ ඉරෙන් පනින කොට අතක් ළඟ තියෙනවද?  

හවසකට රෝහලේ කවුළුවෙන් බලන විට
නාඳුනන ගස් අතර අඹරැල්ල ගසක් ඇත
'ඉතිං ඔබ සතුටින්ද ?' හිත යටින් අහන කොට
පුරුදු සුළඟක් එවයි කටු ඇණුන අත් දෙකට


08 -07- 2016


Thursday, July 7, 2016

ඔබ නො ලියූ අකුරු






ඔබේ ඉපැරණි ශිලා ලියමන
ඉඳහිට වළාකුළු බැම්මෙන් 
හිස ඔසවන

නො දන්නා අය 
වැව රවුමෙ යන එන
නො ලියා ම ඔබ
විසුරුවා ගිය
බරැති අකුරු මතින් 
හදි හදිසියෙන් ඇවිදින

මගෙ හිත බිමට තෙරපෙන
නො දන්නා බසකින්
ඔබ තබා ගිය 
නො ලියූ  අකුරු 
වලාකුළු බැම්මට පළඳා

මම , 
හිස් අතින් යළිත් නික්මෙන

07-07 2016


Wednesday, June 22, 2016

ගැඹුරු ම සිඳු පතුල්




ගැඹුරු ම සිඳු පතුල් 
ඝණාන්ධකාරය ම ගැවසෙන
නෙත් අඳ මසුන් 
ඒක වර්ණිත  දසුන් 
අඳුරෙහි ම දුක් ලවණ වගුරන

සිනිඳු කළල් බිම පැතිර 
අන්ධකාරය,
කාලය ශුන්‍ය බවට හරවන

දරා හිඳ දරා හිඳ මිහිතලය
අඳුර ම උරා ගත් 
ආශ්වාසය මිස
ප්‍රාශ්වාසය අහිමි කළ
දරන්නට දිරි නැති තෙරපුම

එළිය බිඳුවක්වත් නො ලබා
අඳුරෙහි ම වැතිර 
ලවණ මත පැතිර 
දිරාපත්වන්නැ'යි අණ ලද

ගැඹුරු ම සිඳු පතුල්
අහම්බෙන් නෙත් වැසූ විට 
හමුවන...


22-06-2016



Monday, June 13, 2016

විරහ ගී අමතක තැන






ඉතිං මම,
ප්‍රීතිමත් විහඟෙක්මි
විරහ ගී අමතක වුණ
මතක පටු මංපෙත් දිගේ
හිස නමා තවත් දුර නොම යන

දැවී දැවී ප්‍රේමයේ තාපයෙන් ශාපයෙන්
මියැදිලා අළුවුණ
ප්‍රීතිමත් ෆීනික්ස් විහඟෙක්මි
මතකයෙන් හිස්ව යළි ඉපදුණ


13-06-2016

Friday, June 3, 2016

ඔබ නැවතුණ තැන






ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

එතීගත් සියොළඟ
අතීතය, ප්‍රේමය යයි නම් ලද
 ඉසියුම් ම හද ඉසවුවල ගැල්වුව
තිත්ත ම තිත්ත කාඩිය

තවමත් හද ගැහෙන 
මතක ඝටිකාවකට වුව
නැවතී සිටියැකිද 
ආපසු යා හැකිද

මල් පෙති සුබ පැතුම් පත්
අව පැහැව රන් මුදු රාමු මැද
සල් උයන් පවා හිස් වූ විට
පර මල් රකිනු ඇයි, කුමටද?

කුහුඹුවෙකි කාලය
වෙනස් කොට තාලය
කුඩා අඩි තබ තබා 
අනාගතයට ඇවිද යන

ඉතිං ඔබ ඔය  නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

02-05-2016

Tuesday, May 31, 2016

ඔබ මගේ ඉනාව






දිගම දිග නියඟ පසු කොට
රොද බඳින වැහි බිඳු යට
සැලි සැලී දොඩමළු වෙන
ඇහැළ මල් පෙති මත
රන් පැහැ වතළ මනාව
ඔබ මගේ ඉනාව

තෙතබරිත තණ පලසක
හිතුමතේ වැටී දැවටී
නිවි නිවී දැල්වෙන
රිදී තාරකා එළි
දෙපා යට ඇඳි කතාව
ඔබ මගේ ඉනාව

මුදු කැරළි මුහුලස්
සාගරේ කළඹා
නට නටා රැළි නඟන
ආදරේ අරගෙන
හද වෙරළ වෙත ගෙනාව
ඔබ මගේ ඉනාව

මදාරා පරසතු උයන් මැද
මුදු පවන් වී හද වැද
සහස් මල් මකරන්ද පරදා
ඉගැඹුරු ම සුවඳින්
මනස් තුසිතය මමවන
ඔබ මගේ ඉනාව

නම නො දන්නා නුවරක්
පෙම නම් මෙයැයි නම් කොට
දින දින පිපෙන කටු මත
සනහස් මලින් මල් උපද්දන
සදාතන සිනාව
ඔබ මගේ ඉනාව


06- 05-2016

Wednesday, May 18, 2016

මේඝය, ඔබ කැමති නම් වහින්න හෙවත් මැයි 18
















ගංවතුර ගලා නැත
ඉණ තෙක් වතුර නැත
රැස් කළ අහර ඇත
කුසගිනි කියා දෙයක් නැත
මඩ චිරි චිරිය නැත
දරුවන් සුවෙන් ඇත
මේඝය,
 ඔබ කැමති නම් වහින්න

නැතිවුන කෙනෙක් නැත
මළමිනි මතක නැත 
කඳුළට මිලක් ඇත
රිදුනට කමක් නැත
දකුණට දිනුම ඇත
උතුරට වතුරවත් නැත 
මේඝය,
 ඔබ කැමති නම් වහින්න!


18 මැයි 2016

Monday, May 16, 2016

නිහඬ




වැසි බිඳු වැටෙයි
බිඳිමින්
රකිමින් 
තානය
එක දෙක
එක දෙක

කිසිත් නැත
මා තුළ
නිහඬ
වැසි හඬ 
මිස

ඉඳහිට 
පතිත
අකුණු එළියකි
නිහඬ බව 
බිඳෙන
ක්ෂණයකි

.........
..........

යළිත්
වැහි බිඳු
එක දෙක
එක දෙක


13-05-16

සිනාවක හැඩය




'වැසුණු කවුළුව මත 
පුරුද්දට මෙන් 
සොයා වෙහෙසෙමි 
සිනාවක හැඩය.'
-රසිකා ගුණවර්ධන

.
අමතකද ඔබට
ඒ සිනා හැඩය තිබුණේ
වසන්ත කවුළුව මත නොව
ගිම්හානයේ කෙළවර
ශරත් කවුළුව පාමුළ

මඳක් තව ඉවසන්න
වසත් කල ඔහේ
තෙතබරිතව ගෙවෙන්නට දෙන්න
ගිම්හානයේ උණුසුමත්
මඳක් විඳගන්න

තනි පැහැ පත්‍ර
සිඳී ගිලිහී වැටෙන කොට
නෙක වණින් දිළෙන කොට
හැර යාම සැපක් යැයි කියා දෙන
ශරද කල එළඹි විට

දොර කවුළු හැරලන්න
මඳ සිනා නංවන්න
රන් පැහැ සිනා හැඩයක්
කවුළු පියනෙහි රැඳී ඇති,
වැරෙන් නොව
යන්තමින් සිපගන්න...


16-05-2016

Thursday, May 5, 2016

කාත් කවුරුවත් වෙද මට නුඹ පමණ




රෑත් ගණඳුරෙත් මඟ තරු ලකුණ වුන
දෑත් සිඹින, තුරු හිස වී මල්    හෙලන
තාත්තා වෙවී උර දී ගිම්           නිවන
කාත් කවුරුවත් වෙද  මට නුඹ පමණ


05 -05-2016

Painting :Willem Haenraets

Tuesday, April 26, 2016

මරණීය මතක




හමා යන්නෙමි
දමා අතහැර 
රමණීය කඳු අතර සැඟවුන
මරණීය මතක නිම්නය 

හොවා ළය සුරැකි 
සිහිනයෙන් සිහිනය
දවා මඟ වියදමට 
දහස් ගව් දුර ගෙවා ආ මඟ

මැකුණු විට පිය සටහන්
ලකුණු කළ හැකිද බිතු සිතුවම්?

නිමා කරනෙමි එබැවින්
පමා වූ රංගය
නමා හිස 
පහත්කොට වැරහැලි තිරකඩ


26-04-2016


Tuesday, April 19, 2016

ප්‍රභානිය,



ප්‍රභානිය,

ඔබෙ වදන්
නො නිවෙන ආහ්ලාදයකින්
ඉගැඹුරු අගාධය‍කට
අතින් අල්ලා මා ගෙනයන

යන මඟ,
දම් රතු මලින් 
උන්මාදනීයව පොබයන
සත්සිය සැත්තෑ සතක් 
නෙක වණින් සැදි දේදුණු 
දිය ඇළිව මා මත වැගිරෙන
සීතල චුම්බනයකින් දෙතොල මත්කොට
රෝස මල් පැළඳගත් කටු මත
නර්තනරූපීව ඇවිද්දන

ඉපැරණී පිය ගැට පෙළෙහි පහළට
තවත් ගැඹුරට
රන් මකුළු හුයකින් බැඳ මා කැඳවන 

දියමන්ති වෙනුවට
වියළි මල් පෙති
‘දයාබර‘ යන තැනින් ඉරීගිය 
දිරූ කඩදහි
වැරහැලි රෙදි බෝනික්කන්
මැකුණු දිය සායම් චිත්‍ර
නිසි පරිදි තැන්පත් කොට තැබුණ 
ආගාරවල ඇවිද්දන

කංසාමය සිහිනයක
දින ගණන් දොඩමළුව තබන
කහ කොළ දුම් වළළු මැද තබා
සෙමෙන් පා කරවන

ප්‍රභානිය,
ඔබේ ස්වර ව්‍යංජන ඉස්පිලි පාපිලි
මායාමය ලෙස 
සැබෑව කරා මා ගෙන යන..
ඉගැඹුරු අගාධයෙන් ඉහළට
හෙමි හෙමින් ගෙනත් ඇරලන..

18-04-2016


ප්‍රභානිය*- මනූෂා ප්‍රභානි දිසානායක අපූරු කෙටිකතා ලියන්නියකි. මේ ඇගේ ලියවිලි මා තුළ ඉපැද්දවූ වර්ණ ය. 
පහත සබැඳිවල ඇත්තේ ඇගේ කෙටි කතා ය.