Friday, October 16, 2015

මතක...




බොහෝ කල් ගත වී ගොසිනි
අප වෙන්ව ගිය සැඳෑවේ
අමුතු පැහැය මටත් දැන් අමතකය.

කම්පනීය අඳුර තුළ
සිහිවිකල් වනු පෙර
මට මතක එකම දෙය
දුරකථනයෙහි නාදය
ඔබේ බිඳුණ කටහඬ
‘ඉතිං අපි වෙන්වෙමු‘
එහෙම කිවේ ඔබ ද?
නැත්නම් මම ද?

..........................

අහුලන්න ඇවිලෙන්න
මතක සටහන් නැති
කළබල නගරයක
නාඳුනන මල් උනුන් සිඹින
මිටියාවතක
විපිළිසර මිහිදුම් මැකී ගිය
කඳු පෙතක
සන්සුන්ව ඇවිද යමි...

ඹබ මට කිසිදාක
නො එවූ මල්වල
පැහැය
සුදුත් නැති කලුත් නැති
අලු පැහැය...
මැකී ගොස්
අවර්ණය හාත්පස

ඔබ කියා කෙනෙක්
ඇත්තටම
සිටියෙද?
අප කියා දෙයක්
හැබහින් තිබුනෙද?

බොහෝ කල් ගත වී ගොසිනි...

අප වෙන්ව ගිය සැඳෑවේ
අමුතු පැහැය මටත් දැන් අමතකය.


27-07-2015

9 comments:

  1. මේ කවිය, බ්ලොග් එකේ ස්ලෝගන් එකත් එක්ක නියමෙටම ගැලපෙනවා... 'අහිමි වීමත් අහිමි වේ'... අමරසිරි පීරිස්ගේ 'සොඳුරිය' ගීතයෙත් තියනවා 'බෙදාහදාගත් දුක වත් අද නැත' කියලා....

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර. අහිමි වීමත් අහිමි වේ. අනිත්‍යයේ ස්වභාවය.....
      ස්තූතියි.

      Delete
  2. beautiful... absolutely beautiful !!!

    ReplyDelete
  3. ඒ අළු පහැයත් දිනකදී වෙනස් වේවි. හරිම සුන්දර මතකයක් අමතකවේද? ඒත් හැම දෙයකම අත්හැරීම තරම් සුන්දර දෙයක් තව කොහිද?

    ReplyDelete
    Replies
    1. අත්හැරීම ... අපහසු ඒත් කළ යුතු ම දෙය ..
      ස්තූතියි චන්දි.

      Delete
  4. ඕකෙ අනිත් පැත්ත

    කුමට හමුවුණාද මන්ද
    වෙන්වන්නේ නැතුව බැන්ඳ
    ළමයි ටිකත් කරගහගෙන
    උසාවියේ තාම නින්දා

    ReplyDelete
  5. Anonymous7/11/15 14:54

    "ඔබ කියා කෙනෙක්
    ඇත්තටම
    සිටියෙද?
    අප කියා දෙයක්
    හැබහින් තිබුනෙද?

    "බොහෝ කල් ගත වී ගොසිනි...

    කැමති දෙය අහිමිවන ..අකමැතිම දෙය හිමිවන .... මොනයම් හෝ අන්තයක් සාධාරණිකරණය කරන හේතුවක් මත එකිනෙකා අහිමි වී.. ජිවිත මහමග දෙපසට යන අය කොතරම්ද??
    "විරහව අත්විදි ඒ නැතත් සංවේදී හිතක් තියන කෙනෙකුට ..හැබැවින්ම ඇහැට කඳුලක් උනන සංවේදී කමක් ඇති පද පෙළක්....වසිලිස්සා ..නුඹ මෙහි සෑම පදයකම විරහව ...අහිමිවීම.....අමතකයි කිව්වත මතකය බොහෝම අපූරුවට හංගලා ...."

    ReplyDelete