Friday, July 7, 2017

නුවර තාමත් වැසි වසී...




මතක ගල් කණු මුල වැටී
ඇසක රත දියවී ඇතී
ගෙවා ආ මඟ පරව විසිරී
ලිහුණු ලිය කැටයම් පෙතී

ලවන් රස කළ රොන් කෙමි
උයන්වල ඇතිරුණ හැටී
හන්තාන බඳු පෙම සකි
සන්තානගත සුසුමකි

තවර තවරා දුක් කැටී
නුවර තාමත් වැසි වසී
ඇසින් දිය කළ ප්‍රේමයක තෙත
මහවැලියෙ රැළි මත ඇතී

දුලා නෙතඳර නතර වී
වලාකුළ සේ වැහි දිදී
මලානික දෙකොපුළ මතින්
ගලා යයි ඔබ නොමරැඳී

දරා සැඬ රළු අව්වැසි 
නැගූ මල් ඵල අතු ඉති
ඔබ ය ඔබ ට ය තබා වැළපුණ
මමයි ඒ ගස මුල් නැතී

ශිලා ලිපියක ගල් ගැසී
ලියා දන්වමි හිමියනී
සළාවැටුමක ඇද වැටී
මියැදුණා දවසක අපී


07-07-2017

Thursday, July 6, 2017

නුසුන්වෙනු පිණිස ය....




විසල් රළු ගල් කුල 
අචේතනිකව
සඳ කැන් ද පොද වැසි ද
නො හැඟුණුවන්ව

නිධන් කරගත් 
සියුම් හද ඇස
නුසුන්වෙනු පිණිස ය
නො දැල්වෙනු පිණිස ය



05-07-2017