Tuesday, February 28, 2012

හිස්


කිසිවක් ම නෑසෙන
නිහඬබව තුළ පවා
අන්ධකාරය හෙමින් ඉව කරයි
හිස් හැඟුම් බලු රෑන උඩු බුරයි

කිසිවෙකුත් නොයන
ශුෂ්ක තරු අතර
නින්ද බර අඩි තියා ඇවිද යයි
පය වැදී එක් සඳක
සිහිනයක් දුහුවිලිව මැකී යයි
 

අකුරකට ලඝු නොවෙන
නිම්නාද  ස්වර පන්ති
සෙම පිරුණු පෙණහැල්ල බරු ගසයි
කදෝපැණියෙක් යහන අවුළුවයි
 

හිස් කරන ලද විතක
මණ්ඩියත් රස බලා
හිස් තැනක් ළඟ කෙනෙක් ඇස පියයි
හිම මිදුණු  ඇස් දෙකට නිදිමතයි...



07/02/12

Wednesday, February 22, 2012

මිහින්තලයෙන් ඉර බැස යමින් තිබුණි.


මිහින්තලයෙන් ඉර බැස යමින් තිබුණි. රතු පාට දුහුවිලි මතින් නැගෙන  කොළපාට තුරුවියන තාර පාර දිගට ද මිහින්තලා කන්ද මුදුනට ද ඉනුත් එහා ශේෂ කඳු ‍ඡායාවන් තෙක් ද විහිදෙයි. සියවස් කිහිපයකට පෙර බොහෝ දෙනෙකු සුවය පතා වැතිර හිඳින්නට ඇති  ශෛලමය බෙහෙත්  ඔරුව ද ආරෝග්‍යශාලවේ , බොදුන්සල්වල , සංවාද මණ්ඩපවල නටඹුන් ද තැනින් තැන කොන්ක්‍රීට් අනමින් යටිතල පහසුකම් දියුණු කරන කම්කරුවන් කිහිප දෙනෙකු හැරෙන්නට මැද මළුව පාළු ය. යකඩ කටකින් ආධාර දුන් මුදලට සරිලන්නට ආසිරි ද නිවන් ද බෙදනු ඇසෙයි.

 එක් කඳු ගැටයක දුලන මහා  සෑයට ද තවත් කඳු ගැටයක රශ්මි විහිදන ශ්වේත වර්ණ බුද්ධ ප්‍රතිමාවට ද මුහුණ ලා ‘ආරාධනා ගල’ අහසට නැගෙයි. ගල් පොත්ත මත යන්තමින් ගල් කටුවෙන් කඩා තනන ලද පඩි පෙල කෑලි ද ආධාරක වලට  ද වාරු වෙමින් ඔබ ඒ ගල නැගිය යුතුය. සුළඟ ඔබ විනිවිද යන හෙයින් ඔබ කිසිසේත්  ආධාරකය අත් නොහළ යුතුය. එතරම් උස් නැති ආරාධනා ගල ඊට නගින වම් පසින් බෙදී ඇත. සැදැහැවතුනගේ පයට මැදුණු ගල වැසි දිනයෙක කෙබඳු වෙත් දැයි සිතා ගන්නට උත්සාහ දරමි. ගල මුදුන වර්ග අඩි කීපයකට වඩා නැති හෙයින් සීගිරි මුදුන තරම් නිදහසක් එහි නොවේ. ඈත බටහිරින්  මහකණදරා වැව දිස්නය දෙයි. දකුණුපස දුර ඈතින් රිටිගල කන්දේ ඡායාව පෙනෙයි. මහ කණදරාවට එක්වනු පිණිස අවට කුඹුරු අස්වද්දමින් හෙමි හෙමින් දිය දෙන කුඩා වැව් රිදී පැහැයෙන් පහත දිළෙයි.


ඉනික්බිතිව මහා සෑය දෙසට නගින විට දිය උල්පතින් හෙබි පොකුණුවල මාලු පීනති. ගල් පතුරු උඩ ට වී බෙලි දික්කරමින් විවේක ගන්නා ඉබ්බන් කිහිප පොළකි. රුවන්වැලි මහා සෑය සිහිගන්වන සුවිසල් මහා සෑය  කොත් කැරැලලෙන් සැරහී සිටින්නේ, බැස යන හිරුගෙන් සැදුණු   සිය සෙවණැල්ලෙන් සලපතළ මලුව ට සෙවණ සදයි. තුරුපතක් බිම වැටෙන හඬ පවා ඇසෙන තරම් නිහැඬියාවක් එහි ඇත. විශාල ගල් පුවරුවලින් තැනුණු සලපතළ මලුව කෙළවර සිට නැගෙනහිර දෙස බලන විට ඈතින් යන්තමට නුවර වැව පෙනෙයි. 



එදා තරම් ම නිහඬව අම්බස්තල වනය හුස්ම ගන්නේ තවමත් භාවනායෝගී කෙළෙස්හලවුන් මෙහි ඇතැයි සිතන්නාක් මෙනි. එහෙත් එය එසේ නොවේ. හුදෙකලා  විහාර ගෙය ට එළඹෙන තැන වැඩ සිටින වියපත් හිමි නමක් මුදලට ටිකට් කඩමින් සලපතළ මළුව* වෙතම සැරි සරයි.

අඩි දහසක් උසැති මිහින්තලයෙන් බසිනු පිණිස හැරෙමි. සියලු දේ වෙනස් වුවද ආරාධනා ගල මෙන්ම තවමත් නොවෙනස් ව ම මඟ දෙපස  තනි රකින අරලිය ගසින් හා ඉන් බිම හෙවුණු මලින් ගහණ එකට කැටි වූ කුඩා පඩි පේලි වෙතට එළඹෙමි. හිමි නමක් මට ඉදිරියෙන් සන්සුන්ව අවර්ණ පරිසරයෙහි  සිවුරෙහි ගුරු පැහැය තවරමින්  බැස යයි. සිත වසර බොහෝ ගණනක් ඈත අතීතයට දිව ගොස් මෙතැනම නවතියි. අවුරුදු පහක කුඩා දැරියක් මෙපරිදිම සිය කණ්ඩායමෙන් මොහොතකට මිදී තනියෙන් බැස ‍ යද්දී වේගය පාලනය කර ගත නොහී පහතට ඇදී යන ඒ දසුන... මගේ ළමා වියේ කිසිදාක අමතක කළ නොහැකි සේ කෙටුණු මිහින්තලය හා සදාකාලිකව බැදුණු මගේ මතකය... පඩි පෙළ මුදුනේ සිට මා වේගයෙන් පහත හෙළ කරා ඇදී යනු දුටු තාත්තා කෑ ගැසූ අයුරු.


“පුතේ, අයිනට යන්න.”


එදා මගේ දිවි ගැළවුණේ  ඒ හ‍ඬෙහි වූ බලය නිසාවෙනි.  පඩි පෙළ වම්පසට තල්ලු වී වමත සූරාගෙන පණ බේරාගත්  මා කරා විත් කඳුළු වගුරන මා වඩා ගෙන ඔහු මා සැනසූ අයුරු. ඉන් පසු තාත්තා අප හැර යන තුරු  අප කවදාවත් මිහින්තලේ ආවේ නැත. පර වී බිම හෙවුණු අරලිය මලක් මඳ සුළඟට සෙලවී පඩි පෙළ දිගේ පහළට යයි. මම තනිවම පඩි පෙළ බසිමි.

 “පුතේ, අයිනට යන්න.” තාත්තා පඩි පෙළ මුදුනේ සිට කියනු මට ඇසෙයි.


.
22/02/12
අනුරාධපුරයේ දී

-----------------------
* සලපතළ මළුව- චෛත්‍යයක පාදම වටා ඇති මිදුල වැනි කොටස -සංසාරය හැඳින්වීමට යෙදෙන සංකේතයකි.


Friday, February 17, 2012

සුජාතා



නිමිත්ත: පපුවෙහි සැත්කමක් කළ ගැහැණියක් සිය සිඟිති දියණියද සමග බස් රියේ සිඟා කයි.

සුජාතා මහරගම ආවා
මුදුන් ලීයක් නැති ගෙදරින්
දුම්බර කන්ද බැහැලා
හිතේ ගහගෙන රෝස පාටට
නිදිකුම්බා මලක්

තව යන්න බැරුව-වැටුණෙ හරියටම
ඉස්පිරිතාල හංදිය ළඟය

ලාවා ගැලුවේ රතුපාටට
වාට්ටුව යට කරගෙන
නිදිකුම්බා මල ඇකිළුනා
සිරින්ජරයක් ඇතුළට

කහ පාට සුදු පාට රතු පාට
පීල්ලට යන මංකඩේ
රූස්ස අඹ ගහේ දළු පාට
ඈ ආසම පාට ලා කොළ පාට
මෙන්න ඇස් ඉස්සරහ
ගිණි කණ දිදී
ළපැත්තම ඇවිලී වැටී හරහට

වාරු දී සේලයින් කණුවට
විසිවුණේ ආයෙත් හන්දියට
නිදිකුම්බා මල එක්ක
හිත වැහෙන්නම අලවලා බැන්ඩේජ්
පපුවට බයේ කහින්නී
කරන්ට් අල්ලලාම මැලවී
බෑඟිරි දෙන බස් රිය ළඟ සිඟන්නී

අතින් ඇදගෙන
හිතෙන් බැණ බැණ
අලුත් කවි අරගෙන
බස් රියෙන් බස් රියට ගොඩවෙන
සති දෙකක් ජීවිතේ ඉල්ලන

සති දෙකක බෙහෙත්
ලූල්වත්තට ටිකට් එකහමාරක්
හැට්ටය පලා
බැන්ඩේජ් කළ
ළය මඬළ හැර පාමි
මහතුනේ රුපියලක් හරි දෙතොත්
නිරෝගී සුව පතමි

නිදිකුම්බා මල
එල්ලී කෙසඟ අත්වල
මගී උරහිස් මතට
වැටි වැටී නිදි කරයි

ජීවිතය
බෙහෙත් පෙති තරමට ම
තිත්තයි-කලුවරයි

Tuesday, February 14, 2012

මං ඔයාට ආදරෙයි.


මං,
පුංචි ම කාලෙ ‘සින්ඩරෙල්ලා’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ සුන්දරම ආදර කතාව කියල
ටිකක් ලොකුවෙලා ‘මොන්ත ක්‍රිස්තෝ’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ අපූරු ම ආදර කතාව කියල
යෞවනයෙදි ‘වදරිං හයිට්ස් ‘කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ සංවේදිම ආදර කතාව කියල
තරුණ වියට එළඹෙද්දි ‘ඇට මැස්සා’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ ගැඹුරුම ආදර කතාව කියල
තරුණ වියේ දි ‘කොළරා කලේ ආලේ’ කියවල හිතුවා
ඒ තමයි ලෝකෙ නිර්භීතම ආදර කතාව කියල
තරුණ විය ගෙවෙද්දි ‘සහීර්’ කියවල හිතුවා
ඒ තමයි ‘අත් නොහරින’ ආදරය පිළිබඳ බලාපොරොත්තුවේ කතාව කියල
මේ මුලු කාලය පුරාම ‘ගුරු ගීතය’ කියවමින් හිතුවා
ඒ තමයි ලෝකෙ පරමාදර්ශී ම ආදර කතාව කියල

ඊට පස්සෙ,
මට ඔයාව  මුණ ගැහුණ..


හැම උදෑසනකම දීප්තිමත් ඉර එළිය එක්ක ඔයාව ඇහැරවද්දි
මට දැනෙනව මම ඔයාට කොච්චර ආදරේද කියල
........................
 
.............................
මට ජීවිතේ තේරුම් ගන්න බැරි තැන්වල දි කර වටේ අත දානකොට
මම දන්නව ඔයා තමයි මගෙ හොඳම යාළුව කියල
දැන්,
මම දන්නවා,
දවසින් දවස ගැඹුරු වෙන ආදරෙන් පිරුණු
දවස ගාණෙ නිශ්චල වෙන සන්සුන් බව පිරුණු
එකිනෙකාගෙ ආදරය මහා බරකින් අගය කරන
අපි දවසින් දවස එකට ගෙවන මේ ජීවිතේ තමයි
නො ලියවුණ ඒත් ලෝකෙ හොඳම ආදර කතාව කියල

මං ඔයාට ආදරෙයි.
 

In those small days, reading ‘Cinderella’, I thought
It was the most beautiful love story in the world.
As growing up, reading ‘The Count of Monty Christo’, I thought
It was the most amazing love story in the world.
As a teenager, reading ‘Wuthering Heights’, I thought
It was the most sensitive love story in the world.
Entering the youth, reading ‘The Glad Fly’, I thought
It was the deepest love story in the world.
As a young woman, reading ‘Love in the Time of Cholera’, I thought
It was the boldest love story ever happened.
As the young age passes by, reading ‘The Zahir’, I thought
It was the story of eternal hope that never gives up.
Throughout this time, reading ‘The First teacher’, I thought
It was the ideal love story of the human history.

Then,
We met …and
Got married..

Now,
Every morning when I wake you up
with the rays of glimmering sun
I feel how much I love you.
Every day when I hear your laughter
I know you have filled my life with joy. 
Sometimes even when we are arguing for no reason
I know we are never going to leave each other.
When you are sleeping like a child on my left arm
I know the trust you have in me.

When my wisdom is not enough to understand the world
And when you put your arm around my shoulders
I know you are the best friend I can ever have.


And,


Now I know,
This life we spend together, with
The love that getting deeper and deeper
The inner self that is relaxed by each day  
The weight we give for each others' love,
is the best love story that never can be writen.

I love you..

Wednesday, February 1, 2012

බඳුනක ලූ කාලය





හැකි වුණි නම් රැකගන්න
බඳුනක දමා කාලය
රැස්කරන්නෙමි දවසින් දවස
ඔහේ ගෙවා දමන්න
අනන්තය තෙක්
ඔබ එක්ක

හැකි වුණි නම් තබා ගන්නට
අනන්තය තෙක් ඒ දවස්
රකින්නෙමි මහරු සම්පතක් ලෙස
ඔහේ ගෙවා දමන්න
ඔබ එක්ක

එහෙත්,
කාලය නම් යම් දෙයකි
කිසිදාක කිසිවෙකුට
කැමති හැම දේ‍ කරනට
ඇති තරම් හිමි නො වෙන

බලා වට පිට සොයා ගන්නෙමි
මා සමඟ යළි යළිත්
කාලයේ සැරි සරන්නට
ඔබ ම මිස අන් කෙනෙක් නැති බව

තිබුණි නම් මා සන්තකව
කිසිදා එළි නො වූ සිහින පිරි
ප්‍රාර්ථනාවේ මිහිරි  පැස
ඉදින් මා සතු නො වී නම්
ඔබ හැබෑ කර දුන්
සියල් සිහිනවල මතකයන්
එ’ පැස හිස් යමක් වනු ඇත

එහෙත්,
කාලය නම් යම් දෙයකි
කිසිදාක කිසිවෙකුට
කැමති හැම දේ‍ කරනට
ඇති තරම් හිමි නො වෙන

බලා වට පිට සොයා ගන්නෙමි
මා සමඟ යළි යළිත්
කාලයේ සැරි සරන්නට
ඔබ ම මිස අන් කෙනෙක් නැති බව


Jim Croce ගේ Time in a bottle ගීතයේ සිංහල අනුවාදය