Wednesday, November 5, 2014

කඳු

-හල්දුම්මුල්ල, මීරියබැද්ද තේ වත්ත නාය ගොස් වතු කම්කරු ලැයිම් නිවාස සිය ගණනක් පස් යට වැලළිණ.

කඳු අතර කඳු වගේ දුක් වින්ද
කඳු සදිසි මිනිසුන්ගෙ දුක් කන්ද
කොඳු නවා කඳු දැරූ මිනිසුනේ, 
කඳු ශිඛර දිය වුනේ කඳුළින්ද?


Photo Credit : Getty Images

Thursday, August 7, 2014

'තිලක සිත' හෙවත් නොස්ටැල්ජියානු මිහිරේ ගැඹුර



ඒ 2000 දශකයේ  මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය චතූත්  හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා ශාලාවේය. කලා පීඨයේ සිටියද අපේ  රූමිලා සහ ගජයන් වූයේ ඉංජිනේරු පීඨයේ නංගිලා කිහිප දෙනෙකි. දහයක පහළොවක රෑනක් වූ අප වළේ හෝ ඒ ටී එකේ චිත්‍රපටියක් නොඑසේ නම් සංගීත වැඩසටහනක් නොමැති හවසක  ඉංජිනේරු පීඨයේ  ඇවිදින්නට ගියෙමු. යක්කුන්ටවත් බය නැති අපේ තනියට කොයි එකටත් ෆැකල්ටියෙන්ම හිච් වී සිටි නංගිලා දෙදෙනෙකුගේ කොකු හෙවත් පෙම්වතුන් හිටි බැවින් රෑ තිස්සේ ඉංජිනේරු පීඨයේ තල් ගස් පේළි මැද්දෙන් කොළපත් පැද්දේ අප්‍රමාණ සන්තෝසයකිනි. කොළයක් වැටෙන සද්දෙටත් හිනාවෙවී එකාට එකා මඩ ගහගෙන එන ගමන්  අක්බාර් පාලම උඩ හිටගෙන නිස්සද්ද වීම අපේ පුරුද්දක් වී තිබුණි. 

"ලෝකෙ ලස්සනටම ඉර පායන්නෙ සිරීපාදෙට. ලෝකෙ ලස්සනටම හඳ පායන්නෙ අක්බාර් පාලම උඩින් හන්තානට"

මේ වාක්‍යය දේව වාක්‍යයක් සේ ඇදහූ බැවින් හන්තාන එළිය කරගෙන යුනිවර්සිටි විහාරය උඩින් හඳ පායද්දී මහවැලිය දිව්‍ය ලෝක පාටකින් දිළිසෙමින් අක්බාර් පාලමටත් පාලම උඩ නිස්සද්දව හුස්ම ගනිමින් සිටි අපිටත් යටින් ගලා ගියේය. ඒ වෙලාවේ ගඟට උඩින් පියාඹමින් උන් වවුලන්ට වුණත් අපේ හුස්ම සද්දය ඇහෙන්නට ඇත.

තවත් දවසක  මේ විදිහටම රෑන පිටින් වළේ  සංගීත කටයුත්තක් බලා අපි එමින් හිටියේ රෑ දෙගොඩ හරියේය. එදා රෑ සිංදු කියූ ප්‍රසිද්ධ ගායකයින්ට අයිතිවාසිකම් කියමින් කසාද බඳින්නට  බයොලොජි පොරොන්දම් බලමින් ඒ උදවියගේ සෙරප්පු සපත්තු ගැන පවා වාද විවාද කරමින් කච බච  ගාමින් පැමිණි අප සමඟ වාදයට පැටළුනේ අපේ ඉංජිනේරු රූමිලාගේ බැචාලා ටිකකි. ඇත්තටම වාදය අප සමග නොවේ. බැචාලා බැචීලා අතරය. බැචීලා මේ සංගීතය අහවර වී යන දෙනෝදාහක් මැද වුවත් තනිවම යාම අනතුරුදායක බවත් මග දිගට හොල්මන් ඇති බවත් බැචාලා කියන අතර "බොරු නොකිය පලයං පාලමා..ගල් ඇන්දා" වැනි කාඩ් වලින් අමතමින්  බැචීලා ද උන්ට බැණ වදියි.

"හා එහෙනම් පලයව්කො" කියමින් හිල්ඩා එක හරියේ දී බැචාලා නැවතුණ අතර අපිද කළුවරේ ඉදිරියට ගියෙමු. දැන් ඇත්තේ අඟල් භාගයේ ස්ලෝප් එක ඇති පඩි පෙළින් යුත් සංඝමිත්තා කන්ද නැගීමයි. අවසනාවට හඳ එළිය ඇති දවසකුත් නොවේ. කාගෙවත් අතක විදුලි පන්දමකුත් නැත. පොදි පොදි ලෙස පැමිණි පිරිසුත් විසිරී අපව පසු කොට ගිහින්ය. දණිපනි ගාමින් කන්දේ බාගයක්  නැග්ගා පමණි. මීදුමත් සීතලත් අතරින් මුළු පරිසරයම කීරි ගස්සවමින් ඇසුණු අමුතු සද්දයකින් අපි ගල් ගැසී ගියෙමු. නැවත ඒ සද්දය එනවිට අපේම බයට සහ වෙව්ලිල්ලට ඒ හඬ  ඇසුණේ දෙගුණ වීය. කට්ටිය කොහොම උඩට නැග්ගාදැයි මතක නැත. එදා රෑ කවුරුත් තනියෙන් බාත්රූම් ගියේ නැත. 

ඊට ටික දවසකට පසු එදා රෑ අප සමඟ පැමිණි ඉංජන් කී කතාවක් බැචීලාගෙන්ම ආරංචි විය. 

"අරුන් ටික ඔය පණ්ඩිත කතා කියල ගියාට බයයි. අපේ එකෙක් කාඩ්බෝඩ් ෆයිල් එක රෝල් කරල කට තියල සද්ද කරා. ඒ සද්දෙට උන් ටික බය වෙච්ච පාර මිත්තා කන්දෙ බඩ ගෑවා" ඒක ඇහුව පසු කොල්ලන්ට බණිමින් ඒ අතරම බඩවල් අල්ලාගෙන අප හිනාවූ හැටි මතක් වන විට මට දැන්ද හිනා යයි. 

මේ සියල්ල මතක් වූයේ  ලියන්නට හිතුනේත් තිලකසිරි ඒකනායක නම් කෙනෙකු නිසාය. හිතවතියක විසින් ඉතා උනන්දුවෙන් රෙකමදාරු කරනු ලැබීමෙන් පසු ගොඩ වූ  ඔහුගේ 'තිලක සිත' නම් බ්ලොගය මගේ නොස්ටැල්ජික් මතකය කළඹවා පෝස්ටුවෙන් පෝස්ටුවට කඳුළු නැංවුයේය. ඔහුගේ පමාවී හමුවුණ තාත්තා නම් පෝස්ටුව කියවද්දී මා පිටරටක හිටියදී මා වෙනුවෙන්වත් පමා නොවී නික්ම ගිය තාත්තා පිළිබඳ ආදරය තුවාලයක් සේ පාරවද් දී මම ඇඬුවෙමි. පඩිපත නැති කර ගෙන ගෙදර ආ දවස ගැන කියවද්දී කසාද බැන්ද මුල් කාලයේ හිනාවෙවී දරාගත් ආර්ථික අගහිඟකම් මතක් වී තෙත් නොවුන දෑස ට කඳුළු ආවේ, එකට ආ මේ ගමනේ කිසිදාක සල්ලි මුල් කරගෙන හිත් අමනාපයක් හදාගෙන  නැති,  අප්‍රමාණ ආදරෙන් ‘අම්මා‘ කියා බිරිඳ අමතන අපේ ගෙදර එක්කෙනා ගැන සිහිවීමෙනි.  ඒ පෝස්ටුව යට දමා තිබූ කොමෙන්ටුවල ඇති හුදු සුලභ කොමෙන්ටු ස්වභාවය  ඉක්මවා ගිය ගැඹුරු සංවාද දුටු මට  ජීවිතය බෙදා ගන්නා මේ මිනිසුන් ගැන ඇතිවූයේ ඉමහත් ගෞරවයකි. පහේ පන්තියේ දේශපාලනය ගැන කියා මා හිනැස්සූ තිලක් මට මතක් කරන්නේ දහයෙ පන්තියේ දී හතරවැනි ජාත්‍යන්තරයේ සමාජිකාවක වී ලෝක විප්ලවය කරන්නට ඉටා ගැනීම හේතුවෙන් උසස් පෙළ අතාරින්නට සිටි මගෙන් තාත්තා ලෝකය ගලවා ගත් හැටිය. කුළුඳුලේ ලොකුදුව ඉපදුණ දවසේ කලබලයත්,  තාත්තා තිලක් ගේ බය නැති කළ හැටිත් ලියා  නැවත වරක් මගේ තාත්තා මැරෙන තුරුත් ඉන්පසුත්  මට ආදරය කරන හැටිත්,  එවැනිම දේවල් කර මගේ බය නැති කළ හැටිත් සිහිපත් කරවා,  මා අඬවයි. අල්විස් පොන්ඩ් එක ගැනත්  89 දී එය වටා ගසා තිබූ තරුණ ඔළු ගැනත් නොකීවාට ඊටත් වඩා කම්පාවක් දැනෙන විදිහට ‘මාරේ‘ ගැන කියයි. මට මතක් වුනේ ජිම් එකේ ගී ගයන්නට ආ කපුගේ 'හන්තානේ කඳු  දණ  ඇණ නමදින' කියන්නට කලින් අල්විස් පොන්ඩ් එකේ ඒ මතකය අලුත් කරන්නට ගොස් දරාගත නොහැකිව  වේදිකාවේදී ඉකිබින්ද හැටිය. 

තිලක් , වීරක්කොඩි සර්ට බඹරු ඇන්න කතාව මා කවදාවත් දැන සිටියේ නැත.ඒත් පුරා අවුරුදු හතරක් ඔහු පල්ලියේ ඕගනය වයද්දී මා ඒ තාලයට ගීතිකා ගැයුවෙමි. පුරා අවුරුදු හතරක් පූජාව වේලාවේදී ඔහුට කනවැල අල්ලන කෙනෙකු වී හිටියෙමි. මෙන්න සයිබර් අකුරුවලින් ඇවිත්  ඔබ බඹරු ගැන කියයි. පස්සෙ කාලෙක ප්‍රොෆෙසර් වුන ඩොක්ට වීරක්කොඩි ගැන කියයි.  තාත්තා බලංගොඩ සමණළ වැව ප්‍රොජෙක්ට් එකේ වැඩ කර (ඒ රාජකාරිත් සිවිල් ඉංජිනේරු රාජකාරිමයි) මාසෙකට දවසක් ගෙදර එනතුරු, හැතැප්ම සිය ගාණක් දුර  ඉඳන් මඟ බලාගෙන ඉඳපු දුවට , ඔබ ‘දෙව්නි තාත්තාට  ගෙදර එන්න කියන හැටි‘ කියයි. තිලක් විදුසරට ලියුව කාලය  අපි ඉස්කෝලේ යන ගමන් ඉමහත් ආසාවෙන් චානුක වත්තේගමටත් සරත් කොටගමටත් හිතෙන් ආදරය කරමින් විදුසර කියවූ කාලයයි. (ඇත්තටම තිලක්  මඟඇරුණේ කොහොමද? අපරාදෙ!) කාලය වෙනස් වුනත් අපි කවුරුත් ඇවිදගෙන ගිහින් තියෙන්නෙ එකම අඩිපාරවල් මතින්ද? කාලය හා අවකාශය බැලුවම මේවා සමාන්තර ජීවිත නොවෙයි.. ඉතිහාසයේ පුනරාවර්තනදැයි සිතෙයි.  

හැබෑ ජීවිතය මේ හැටි අපූර්වත්වයකින් යුතුව  චිත්‍රණය කරන බ්ලොග්කරුවන් මා දැක ඇත්තේ ඉතා ටික දෙනෙකි.(මට මඟහැරුණු අය සිටිය හැක.  බ්ලොග් ලෝකයේ වැඩිපුර සරන්නට ඉඩක් ලැබෙන්නේ නැති බැවිනි.)  එක් අයෙක් රෙයර් ගේට් ලියන චාර්මි සෑම් ය. අනෙක් කෙනා අති දුෂ්කර ගමක හිඳ ජීවිතය හොයමින් හිස් අහස බ්ලොගය ලියන සඳරු නම් තරුණයාය. 

තිලක් ගේ මේ හැම පුද්ගලික කතාවක් ඇතුළේම ගැඹුරු ජීවිතාබෝධයක් අපට දැනෙයි. සතුට නම් එය ග්‍රහණය කර ගත හැකි බුද්ධිමත් පාඨක  පිරිසක් ඔහුට ඉඳීමය. ලිබරල් නිදහස ගැන අදහස් ලඹ දෙන ලෝකයක ඔහු අඹු සැමි ප්‍රේමයේ සෞන්දර්යයද තාත්තලාගේ  නිහඬ ආදරය ද උත්කර්ෂයට නංවයි.ලෝක රස්තියාදුකාරයෙක් වී ඇවිදින ගමන් හමුවුණ ජීවිත ප්‍රවේශමින් විමසා අවැසි කාරණා මතු කොට මහාද්වීප යා කරයි.   කතා නොකරනවා යි කියන දේශපාලනයම සංයමයෙන් යුතුව කතා කරයි. මඟ හැර යා නොහැකි වේලු ලා ගැන  අපට මතක් කරවයි. දේශපාලනයෙන් තොර ජීවිත කොහේද?  තිලක් ඒ බව හොඳින් දනියි.වැලි ගල් යකඩ හරි විදිහට යොදා කොන්ක්‍රීට් හදන්නාක් මෙන් ඔහු  සිය නොස්ටැල්ජික් මතකයන්ගෙන් (ඔහුගේම වචන) ගැඹුරු මිනිස් සබඳතා ද කටුක සමාජදේශපාලනික  යථාර්ථයන් ද ජීවිතය කෙරෙහි ඔහු හෙලන්නාවූ නිවුණු  එහෙත් උපේක්ෂාගත දෘෂ්ටිය ද මිශ්‍ර කර අපූරු ගෙත්තමක් තනයි.අපට ඒ සංවේදිතාවන් හෝ යථාර්ථයන් මඟ හැර යා හැකිද? මට  නම් බැරිය. මන්ද තිලක් අපට අපවම මුණ ගස්වන බැවිනි. ඒ ඇතැම් විට මා පසුකොට ආ මමය. නැත්නම් මට අහිමි වූ මම ය. මම යනු,  මා වූ පුද්ගලයා  මෙන්ම මා නොවූ  පුද්ගලයා ද වෙයි. තිලක් ඒ බව දන්නා බව දැනෙන්නේ පෝස්ටුවෙන් පමණක් නොවෙයි. පෝස්ටුව යටින් ඇතිවන සංවාදවලදීත් ඒ සංයමය හැඟවෙයි. 

මම තිලක් කියනවාට වඩා කැමති තිලක කියන්නටය. එතකොට ටී බී ඉලංගරත්න මහත්තයාගේ තිලක ආපහු හමුවූවා වැනි ළඟ කමක් මට දැනෙයි. මා පොත් විචාරකයෙකු නොවන බැවින් මෙය එබන්දක්  ලෙස වරදවා නොගනු ඇති උදක්ම බලාපොරොත්තු වෙමි. මා කිසිදා තිලක දැක නැත. බ්ලොගය කියවා දවස් දෙකකි. ඒත් හෙට තිලක් ගේ 'තිලක සිත' පුස්තකාල සේවා මණ්ඩලයේ දී හවස 3 ට  පොතක් ලෙස දොරට වඩින දවස බැවින් දවසක් තුළ මේ තරම් ලියවිලි රසවිඳ නිහඬව හිටියොත් ගුණමකු කමකි. කර්‍තෘ ප්‍රකාශනයක් වන තිලකගේ පොත කියවන්නට  බොහෝ පිරිසකට ඉඩ ලැබේවා  කියාත් බිල්ඩිං පාලම්  වැඩ රාජකාරි අස්සේ තිලකට තව බොහෝ රසවත් යහපත් දේ ලියන්නට නිර්මාණාවේශය සහ හිතේ විවේකය  ලැබේවා කියාත් ප්‍රාර්ථනා කරමි. 

මතකයන් යනු වැළලී ගිය දේම පමණක් නොවේ. මේ දැන්  ඉන්නා අප යනු ඒ මතක සහ අත්දැකීම්වල  ඵලයකි. අප තබන හැම පියවරක්ම වඩා අර්ථවත් වන්නේ ඒ මතකයන් නිසාවෙනි.
**********
අවුරුදු දහයකට පසු ගිය දෙසැම්බරයේ මම අක්බාර් පාලම මත සිටගෙන සිටියෙමි. මෙවර මා සමඟ ගජයන් හෝ රූමිලා නැත. ඒ කවුරුත් දැන් දරුමල්ලන් ලබා යහපත් ජීවිත ගත කරති. බැචාලා සමඟ හිච් වූ ඉංජිනේරු රූමිලා දෙදෙනාම ඔවුන් සමඟ විවාහ වී ඇත. මගේ මිතුරිය දුර ඈත රටකය. 

ඒ වෙනුවට මගේ සැමියා මගේ අතින් මෘදුව අල්ලාගෙන හිඳියි. පේරාදෙණි ය කෙරෙහි වන මගේ නොනැසෙන නොස්ටැල්ජික් බන්ධනය ඔහු දනියි. අපි වවුල් සිතුවම් ඇඳෙන මහවැලියේ සර සරය අසමින් හන්තාන දෙස බලා හිඳිමු. 

"ලෝකෙ ලස්සනටම හඳ  පායන්නෙ අක්බාර් පාලමට උඩින් හන්තානට"  මම ඔහුට කියමි. 

******

තිලක, ඔබේ ලේඛන දිවියටත්, ඡායාරූප ගනිමින් චිත්‍ර අඳිමින් ආදරය කරමින් ඔබේ ජීවිතය ලස්සන කරන සොඳුරු සිතැත්තියටත් දෙව්නි සහ ඔවිනිටත්  සුභ පතමි!

[චිත්‍ර ඇන්දේ දෙව්නි සහ  ඔවිනි]


තිලක සිත දොරට වැඩුම ගැන තොරතුරු බූන්දියෙන්

Monday, June 23, 2014

කාබන් මිනිස්සු !



ගිනි රස්නෙට ඉර පායන
ඉර අව්වට අපි පිච්චෙන
කඳුළු වතුර මැද දූපත
අපි කොයි කවුරුත් උපන්න

මල් පිපුණේ මේ ඉර යට
ලේ හැළුණේ මේ ඉර යට
පරවෙන මල් මහ පොළවට 
අපිත් අයිති මහ  පොළවට

ක්‍රෝමසෝම එකතුවෙලා
මං උපන්න ලෙසට නේද
බෂීර්, කුමරන්, සමන්ත
උඹල ආවෙ මේ ලෝකෙට

මොට්ටැක්කලි, නළල් තිලක,
රෙද්ද හැට්ට යට විඳවන
ගැහැණුන් හට 
විළිරුදාව එක විදිහට
ලේ ගැලුවේ එක විදිහට
ඒ ලේ උල්පත් පාමුල
කාබන් කැටි කැටි විදිහට
ලේ පාටට කෑ ගහගෙන
අපි ආවේ එක විදිහට

ඕනෙම නම් යමු එහෙනම්
කාගෙත් අගමුල හොයන්න
උතුරුදිගට නැගෙනහිරට
විජය ළඟට භාරතයට
බලංගොඩට 
නියැන්ඩතාල් ඉරෙක්ටස් ද
පසුකොට වානරයින් වෙත
බලමු කිසිත් හම්බවෙයිද
කාපු බීපු දෙයක් මිසක
ඉඳපු හිටපු කලක් මිසක
අඩහඳ තරු, තුන්නූර්ද
දම් සක් තව ත්‍රීශූලද 
මැටි අනන්න  රන් හදන්න
රජ කරන්න බිම් කොටන්න
ඉපදෙන කොට ගෙනා වගක් 
ඉතිහාසෙන් ඉතිරි වෙච්ච 
අස්ථි කැබැල්ලක තියේද?

බලෙන් අරන් උන් උකුලට
බලෙන් යවා ඉස්කෝලෙට
බලෙන් පොවපු දෙයක් මිසක
අරන් ආපු වෙනස කොහෙද?

උන් කියනව අපි අහනවා
උන් කියනව අපි ගහනවා
උන් කියනව අපි මරනවා
උන් දිනනව අපි මැරෙනවා

එකිනෙකාගෙ දෑස් තුළට
එක මොහොතක් එබුණෝතින්
මිනිසෙක් හැර වෙන කවුරුත් 
පෙනෙනවාද මට කියන්න.
බලන විටදි පර දෙමළෙක්
පර සිංහල වල් බල්ලෙක්
හම්බ තම්බි පෙනෙනා තුරු
අපට හැකිය මරාගන්න

උන් හදාපු මේ උගුලෙන් 
අපි ගැළවෙන යම් දවසක
ඔබෙයි මගෙයි  ඇස් ඇතුළේ 
මිනිසෙක්  දකිනා දවසක
බලෙන් ඔතපු හැව විසි කොට
සොහෝයුරනි සෝයුරියනි 
අපට හැකිය බදාගන්න 

[Photo Credit goes to Ishara Kodikara-Getty Images]

Tuesday, May 6, 2014

"මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."



මෙම ලිපිය මුල්වරට බූන්දි වෙබ් අඩවියේ පළ විය. 

කාට හෝ පෙම් නො කළ කිසිවෙකු මෙලොව නැත. ආදරය කරන ඕනෑම කෙනෙක් තමන් ආදරය කරන අය වෙනුවෙන් බලා හිඳියි. ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් කැප වෙයි. ආරක්ෂාව ගැන වධ වෙයි. එසේ ආදරය කරන මිනිසුන් හට එක්තරා දවසක එක්තරා අවිනිශ්චිත මොහොතක ලොවට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් වන එහෙත් තම ජීවතය සදහට ම වෙනස් කොට, ඉරණම සොලවා පොළවේ ගසන පුවතක් අසන්නට ලැබෙයි. එය ජීවත් වන සහ ආදරය කරන මිනිසුන්ගේ ඉරණම යි. 

පසුගිය අප්‍රේල් 16 වැනිදා දකුණු කොරියාවේ ඉන්ෂිඔන් හි සිට ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් සිටි සෙවොල් නම් නෞකාව නිරිතදිග වෙරළේ සිට කි. මී. 25 ක් දුර මුහුදේ දී ගිලී ගියේය. වාර්තාවලට අනුව නෞකාවේ ගමන් කරමින් සිටි පිරිස 476 ක් වන අතර ඉන් 325 ක් ම ඩැන්වොන් උසස් පාසලේ සිසු සිසුවියන් ය. 

සිද්ධිය සිදු වූ වහාම පැය භාගයකට පසු වෙරළාරක්ෂක කණ්ඩායම් පැමිණෙන තුරු ඒ අවට සිටි ධීවර බෝට්ටු සහ පෞද්ගලික යාත්‍රා පැමිණ බොහෝ දෙනෙකු බේරා ගත්හ. ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් නැව සම්පූර්ණයෙන් ගිලී යාමට පෙර ගලවා ගත් ගණන 179 කි. ගලවා ගැනීමෙන් පසු 6 දෙනෙකු මිය ගිය බවට වාර්තා වී ඇත. වේවලන කටහඬකින් යුතුව 119 හදිසි අනතුරු අංකය අමතා නැව පෙරළෙන බවට මුලින් ම දැනුම් දුන් සිසුවාගේ මළ සිරුර ද මේ වන විට හඳුනාගෙන ඇත. මුල්ම දැනුම් දීමෙන් පසු නැව ගිලී යාමට පැය 2 ½ ක් ගත වූ අතර ගලවා ගැනීමේ මෙහෙයුමට නැව් 171 ක් අහස් යානා 29 ක් සහ කිමිදුම් කරුවන් 30 දෙනෙකු යෙදවුණි. එතැන් සිට දින දෙකක් ගත වන තුරු මුහුදෙහි සැඬ බව සහ රළ තරංගවල වේගය හේතුවෙන් නැවට ඇතුළු වීමට නොහැකි වූ අතර අප්‍රේල් 18 වැනි දින වන විට කිමිදුම්කරුවන් ගණන 555 ක් දක්වා ඉහළ නැංවිණි. 18 වැනිදා නැවට ඇතුළු වී ඔක්සිජන් පිටින් සැපයීමට උත්සාහ දැරුවද වායු කුහර තුළ සුරක්ෂිතව ඇතැයි විශ්වාස කෙරුණු මගීන් සිටිනා කලාපයට යාමට කිමිදුම්කරුවන්ට නොහැකි වූයේ දැඩි රළ පහර, ගණ අන්ධකාරය සහ මුහුදු වතුර සහ මඩ මුසු වීම නිසා ය. නැව ගිලී යාමෙන් පසු මුල් වරට අප්‍රේල් 19 වැනිදා මළ සිරුරු 3ක් සොයා ගන්නා ලදි. එතැන් පටන් මේ දක්වා කිසිවෙකුදු පණ පිටින් ගළවා ගැනීමට නොහැකි වූ අතර මේ වන විට සොයා ගත් මළසිරුරු සංඛ්‍යාව 187 කි. 115 දෙනෙකු තවමත් සොයා ගත නොහැකිව ගිලී ගිය නැව තුළ ය. 


Telegraph

කෝපයට සහ කලකිරීමට පත් මගීන්ගේ ඥාතීන් සිද්ධිය වූ මොහොතේ පටන් එතැනට ආසන්න ජින්ඩෝ දූපතේ පැවති අධික ශීතලය නොතකා කඳවුරු ලාගෙන සිටියහ. මේ වන විටත් මළ සිරුරු හමු නොවූ මගීන්ගේ ඥාතීන් තවමත් එතැනය. කඳුළු, වැළපුම් , චෝදනා සියල්ල මැද ගෙවී ගිය මේ දින එකොළහ තුළ ඔවුන් සහ එරට ජනමාධ්‍ය ඇඟිල්ල දිගු කරන්නේ කරන්නේ රජයට යි. මේ තරම් ජාතික විපතක් සිදුව තිබිය දීත් ඉතා සෙමෙන් කෙරුණු ගළවා ගැනීමේ මෙහෙයුම නිසා කිසිවෙකු පණ පිටින් ගළවා ගත නොහැකි වුණු බවත් අනතුරුදායක නැවකට මගීන් සංචාරය පිණිස අවසර ලබා දීම වරදක් බවත් පවසන ඔවුහු විරෝධතාවල නිරත වෙමින් සිටිති. 


BBC

මුලින්ම බේරා ගන්නා ලද පිරිස අතර සිටි ඩැන්වොන් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තමන් සමග ගමන් ගත් අනෙක් සිසුන්ගේ මරණයේ කම්පනය දරාගත නොහැකිව බේරා ගත් දිනට පසු දින ගසක එල්ලී සිය දිවි හානි කොට ගෙන තිබුණි. 

සිදුවූ අනතුර වළක්වා නො ගැනීමේ චෝදනාව මත යාත්‍රාවේ කපිතාන් ලී ජුන් සියොක් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර දකුණු කොරියානු ජනාධිපතිනිය වන පාර්ක් පැවසුවේ මෙය තමන් සහ රටවැසියන් ඉමහත් සේ පීඩාවට පත් කළ මරණීය වරදක් බවයි. වාර්තාවලින් කියවෙන පරිදි ලී කපිතාන්වරයා ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳීමට ඉඩ තිබේ. අනතුර සිදුවූ මොහොතේ නැවෙන් මුලින්ම පිටවූවන් අතර කපිතාන්වරයාද සිටියි. නැව ගිලෙන්නට පටන් ගනිද්දී මගීන්ට ආරක්ෂක උපදෙස් දීම පැහැර හැර ඔවුන්ට සිටින තැන්වලටම සිටින සේ වැරදි උපදෙස් දුන් ඔහු සියල්ලන්ට පෙර ජීවිතාරක්ෂක බෝට්ටුවකට පනින දර්ශනයක් මාධ්‍යවල පළ වීමත් සමඟ ඓතිහාසික නාවික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමේ චෝදනාව දැඩි ලෙස ඔහු හමුවේ මතු වී ඇත. කොරියානු නාවික නීතියට අනුව අනතුරක දී අවශ්‍ය තීරණ ගැනීමට කපිතාන්වරයා නැවෙහි රැඳී සිටිය යුතුයි. ඔහුගේ මේ හැසිරීම පහුගිය 2012 වසරේ ජනවාරි මස මගීන් 33 දෙනෙකුට මරු කැඳවමින් ටස්කන් මුහුදේ ගිලී ගිය ‘කොස්ටා කොන්කෝඩියා’ නෞකාවේ කපිතාන් ෆ්‍රැන්සිස්කෝ ෂෙටීනෝ ගේ වගකීම් විරහිත හැසිරීමට නිරන්තරයෙන් සමාන කෙරෙමින් වාර්තාවන් ඉදිරිපත් කෙරෙයි. මේ ගැන කපිතාන් ලී අදහස් දක්වමින් කියා සිටියේ ආධාර ලැබීමට ප්‍රමාද වන නිසා ඊට පෙර මගීන් කළබල වී මුහුදට පැන්නහොත් ජීවිතවලට හානි ඇතිවිය හැකි බැවින් එය වැළැක්වීමට ඉවත්වීමේ නියෝග ලබා නොදුන් බව යි. 


Reuters

කෙසේ වෙතත් 22 හැවිරිදි තරුණ කාර්ය මණ්ඩල සේවිකාවක වන පාර්ක් ජී යුං අවසානය තෙක් මගීන් හා රැඳෙමින් ඔවුන්ට ජීවිතාරක්ෂක කබායන් සපයමින් ආධාර කොට තිබුණ ද ඇය මිය ගොස් තිබුණේ ජීවිතාරක්ෂක කබායක් රහිතව ය. කොරියානුවන් ඇය වීරවරියක ලෙසින් හඳුන්වයි. 

නැව මෙසේ අනතුරට පත්වීමට හේතු කිහිපයක් මතයන් ලෙස ඉදිරිපත් වී ඇති අතර ඉන් එකක් වන්නේ නැව ඉතා තියුණු සහ පටු හැරවුමක් ගන්නට ඇති බවයි. අනෙක් හේතුව ලෙස සඳහන් වන්නේ නැව ඊට දරා ගත නොහැකි තරම් බරක් දරාගෙන යාත්‍රා කළ බවයි. කොරියාවේ නාවික ප්‍රවාහන විශේෂඥයෙකු පවසන පරිදි නැවේ තුන්වන, හතරවන සහ පස්වන තට්ටුවලට අමතර මගී කුටි එක්කොට ඇති අතර මේ අමතර ඈඳීම් නිසා නැවෙහි සමබරතාව බිඳී තිබෙන්නට ද ඉඩ තිබේ. නැව තුළ මගීන්ට දැනුම් දීම් සිදු කිරීමට තිබුණ සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක නොවූ බව ද අදාළ ප්‍රධානීන්ගෙන් උපදෙස් නො ලැබුණු නිසා තුන්වන තට්ටුවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය නාවික උපදෙස් පොත්වලට අනුව ‘සිටින තැනවල ම රැඳී සිටින්න’යන නියමය ක්‍රියාත්මක කළ බව ද සඳහන් වෙයි. ජපානයෙන් මිළ දී ගත් නෞකාවක් වන සෙවොල් හි දිග මීටර් 146 ක් වන අතර බර ටොන් 6835 කි. ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වීමට සහ ආධාර ලබා දීමට ජපානය ඉදිරිපත් වුවද කොරියානු රජය එය කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත. අමෙරිකාව ද සහය දීමට උත්සාහ කළද විවිධ හේතූන් නිසා එය වැළකී ගොස් ඇත. 


Aol.com

කිසිදු ආලෝකයක ආධාරයෙන් නැව තුළ සෙ. මී. 20 කට වඩා දැකිය නොහැකි බැවින් සහ රළ පහර සැඬ බව හේතුවෙන් සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වන බවත් දැනටමත් එක් ගළවා ගැනීමේ නිළධාරියෙකු මියගොස් හත් දෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බවත් වෙරළාරක්ෂක නිළධාරියෙකු ප්‍රකාශ කළත් ජනතාව සහ ස්වේච්ඡා කිමිදුම්කරුවන් චෝදනා කරන්නේ රජය හිතාමතාම ස්වේච්ඡා කිමිදුම්කරුවන් ට ගළවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධවීමට ඉඩ නො දීම බරපතල වරදක් බවයි. 

මේ සිද්ධියත් සමඟ පළාත් සහ නාගරික ඡන්දයක් අත ළඟම එන කොරියාවේ දේශපාලනයද කැළඹී ඇති අතර ‘අතුරුදන් වූවන් ගළවා ගැනීමට රජය දරණ උත්සාහයේ ඇති මන්දගාමී බව’ ට චෝදනා ලද එරට අගමැති චුං හොං වොන් ඊයේ (27 වැනිදා) සිදුවූ විපතෙහි වගකීම භාර ගනිමින් සිය තනතුරින් ඉල්ලා අස් විය. අප්‍රේල් 18 වැනිදා වන විට 71% ක් වූ ජනාධිපතිනි පාර්ක් ගේ ජනප්‍රියතාව අප්‍රේල් 25 වැනිදා වන විට 57% වන තෙක් පහළ බැස තිබුණි. ‘චුංගේ තීරණය වගකීම් විරහිත එකක්' යනුවෙන් විපක්ෂය චෝදනා කළේය. මේ අතර විපක්ෂයේ ජනප්‍රියත්වය 26.9% සිට 2%කින් ඉහළ ගොස් තිබුණි. 

සොයා ගත් මළ සිරුරු ඥාතීන් ගේ ඩී එන් ඒ ආධාරයෙන් හදුනාගනිමින් පවතින අතර දැන් එසේ හඳුනා ගන්නා මගීන්ගේ අවමංගල්‍ය උත්සව පැවැත්වෙයි. 


National Turk

"අපි ඉතා අසීරු අවස්ථාවලට මුහුණ දීමට පුහුණු වී සිටිනවා. ඒත් මුහුද යටට ගොස් එක් පණ ඇති අයෙකු හෝ සොයා නො ගෙන තම දරුවන් පණ පිටින් දකින්නට බලා හිඳින ඥාතීන් ට මළ සිරුරු උඩට අරන් ඇවිත් පෙන්වන්න සිදුවන විට එය දරගන්නට බෑ." එක් කිමිදුම්කරුවෙකු මාධ්‍යවලට පවසා තිබුණේ දැඩි වේදනාවකිනි. 

"අම්මෙ.. මට මේක කියන්න එන්න බැරි වුණොත් මතක තියාගන්න- මම ඔයාට ආදරෙයි." එක් පුතෙක් තම මවට එස් එම් එස් පණිවුඩයක් යවා තිබුණි. එහි ඇති අමුත්ත නිසාම ඒ මව ‘ඇයි? ’ කියා අසා නැවතත් "මමත් ඔයාට ආදරෙයි පුතේ" කියා ලියා යවා තිබුණි. ඒ ඔවුන් අතර සිදු වූ අවසන් සන්නිවේදනය යි. 

අතුරුදන් සිසුන් උගනිමින් සිටි ඩැන්වොන් පාසල නැවත ඇරඹුණත් සිසුන් සහ ගුරුවරුන් 250 ක් අහිමි වූ මුළු විදුහල ම ශෝකයෙන් ඇළලී ගොසිනි. පන්ති ඇරඹීමට පෙර සිසුන්ට උපදේශනය ලබා දීමට ඔවුන් කටයුතු සූදානම් කොට ඇත. මුළු පාසල පුරා බිත්ති සහ ඩෙස්ක් මත අහිමි වී මිතුරන්ට ශෝක පණිවුඩ ලියා තිබුණි. 

"මට මේක කලින් කියන්නයි තිබුණේ. වරදක් වුනා නම් සමාවෙන්න. යාළුවේ, මම ඔයාට ආදරෙයි." ඒ අතර මිතුරෙකු තවත් මිතුරෙකුට ලියා තිබුණි. 


Getty Images

මේ පසුගිය සති කිහිපයට වාර්තා වුණු දෙවන දැවැන්ත අනතුරයි. පසුගිය මාර්තු අට වැනිදා MH 370 නම් මැලේසියානු ගුවන් යානය ක්වාලලම්පූර් සිට බෙයිජිං බලා ගමන් කරමින් සිටිය දී ඔස්ට්‍රේලියාවට පහළ ඉන්දියන් සාගරයේ දී චීන ජාතිකයින් සහ අමෙරිකානුවන් ද ඇතුළු මගීන් 227 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග අතුරුදහන් වීම ලොව සසල කළ පුවතක් විය. විවිධ ජාතීන්ට අයත් මගීන් සිටින මේ ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරක් නැත. යානය ඉන්දියානු සාගරයට වැටී මගීන් සියල්ලන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි මැලේසියානු රජය නිල වශයෙන් ප්‍රකාශ කළ ද මගීන්ගේ ඥාතීන් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. චීනය ඇතුළු රටවල් බොහෝ ගණනක් මේ පිළිබඳ පුළුල් පර්යේෂණවල නියැලී සිටිති. එහෙත් මාස එකහමාරක් ගතවීත් තවමත් නිසි තොරතුරක් සොයා ගැනීමට ලෝකයේ දියුණුම රටවල් පවා අසමත් ය. 

අපදා කළමණාකරණය පිළිබඳව මහා පරිමාණයෙන් අවධානය යොමු වී ඇති මොහොතක, ඒ පිළිබඳ විවිධ මට්ටමේ ජන සමාජයන් ආපදා කළමණාකරණ විශේෂඥයන් විසින් පුහුණු කරවන යුගයක නැව් පෙරළී සිය ගණන් මිය යාමද ගුවන් යානා අතුරුදන් වීමද වරක් නොව සියවරක් සිතා බැලිය යුතු කාරණයකි. හදිසි අනතුරු සඳහා සූදානම සහ ආපදා කළමණාකරණය යනු හුදු පොතට සීමාවන පාඩමක් පමණද යන්න සියලු රජයන් ඇතුළු පාර්ශවකරුවන් එක්ව ප්‍රමුඛ සැලකිල්ලක් දැක්විය යුතු කාලය එළඹ ඇත. 

අනෙක් අතට විද්‍යාව සහ තාක්ෂණය අතින් සියල්ල අභිබවා අභ්‍යාවකාශය ද පරයා ගිය මිනිසා මේ සිදුවීම් දෙකේ දී ම අසමත් ය. පරිසරය තමන්ට රිසි පරිදි වෙනස් කළ හැකි බවට විශ්වාස කරන ඔහු ස්වභාව ධර්මය මුළුමනින්ම නොතකා හරියි. එහෙත් සෙවොල් සහ MH 370 සිද්ධීන් අපට පසක් කරන්නේ මිනිසා අත්පත් කර ගත් තාක්ෂණයට පවා ස්වභාව ධර්මය අභිබවා යා නො හැකි බවය. සොබා දහමට ද ජීවිතයේ නිත්‍ය ධර්මතාවලට ද එරෙහිව යා හැකි තාක්ෂණයක් අප තවම නිපදවා නැති බවය. 


Getty Images

*******

"අර වතුර යට....." මඩ කහ පාටින් රැළි ගසන රළු මුහුද දෙසට අත දිගු කරමින් ඇය කියයි. "එතන ඉන්නෙ මං උගන්නන දරුවෝ.. එතන ඉන්නෙ මගේ දරුවා." 

ඒ අප්‍රේල් 18 වැනිදා ය. ක්‍රිස්ටීන් කිම් කඳුළු ගලා හැලෙන සිය මුහුණට අධික ශීතල සුළඟ හැකි වැරෙන් පහර දෙන විට පෙං මොක් වරාය මත සිටගෙන මුමුණයි. කිම් ඉංග්‍රීසි ගුරුවරියකි. ඇගේ දියණිය ද ඇගේ සිසුවන් පිරිසක් ද සෙවොල් නෞකාවේ ගමන් ගත් අතුරුදන් මගීන් අතර ය. 

"දැන් පැය 30 ක් ගෙවිලා." කිම් පවසයි. "මට නින්ද යන්නෙ නෑ- මගේ දරුවා අර සීතල වතුර යට ඉන්න කොට. - මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."

තොරතුරු-
BBC
CNN
Reuters
arirang.co.kr
Independent.co.uk
theguardian.com
theglobeandmail.com 

දරුවෙකුට පුළුවන්ද රළක් සේ බැසයන්න?




-ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු 250 දෙනෙක් ; මිය ගිය සංඛ්‍යාව 50 ක්. 

ඔබ ඔතැන අඳුර තුළ
ඇස් පියා ගෙන ඇති
හිතක් නැති සයුරට
දුක දැනෙන්නැතුවැති

තවත් එක් නිමේෂයකට
හුස්ම ගන්නට
ඔබට දී මේ හුස්ම
මියෙන්නට හැකිය මට

බලා හිඳ බලා හිඳ
ඔබ නො එන
නිශ්චලම හෝරාව කෙළවර
මම අසමි...
ප්‍රේමයක උරුමය මගහැරෙන
ජීවිතය කඳුළක් ද මග හැළෙන?

දවසකට හැකි වුණත්
සිතිජයෙන් ගිළිහෙන්න
මුහුදකට පුළුවන්ද
ස්නේහයක් සඟවන්න
ළය හොවා දුක් දරා
මුතු මිණක් සේ තැනුව
දරුවෙකුට පුළුවන්ද
රළක් සේ බැසයන්න?

නැව්බඳක වැදි වැදී සඳ බිඳෙයි
රළු මුහුද දෑස තුළ රළ නඟයි

ඒ අඳුරු ගැඹරේ
ඔබ හුස්ම සොයන’යුරු දැනි දැනී
හුස්ම ගන්නද මම ‍කොහොම
හුස්ම නො ගෙනම හිඳිම්

සාගරේ තරම්
පෙම් කළ බවක් නො කියමී
ආදරේ තරම
කරදියෙන් මනින්නට බෑ දරුවනී

20-04-2014

සබැඳි: ගිලුණු කොරියානු නෞකාව පිළිබඳ තොරතුරු

"මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."

Friday, April 4, 2014

ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ 'සඳ මුදුව මැවෙන්නැති' දොරට වැඩුම | අප්‍රේල් 05 සවස 3 ට




ධනුෂ්කා කියන්නෙ ඉතාම අපූරුවට බස හසුරුවන, මනා කෞෂල්‍යයක් , කියවීමක් සහ සතතාභ්‍යාසයකින් යුක්ත කිවිඳියක්. ඇගේ ප්‍රථම කාව්‍ය නිර්මාණ එකතුව වන 'සඳ මුදුව මැවෙන්නැති' අප්‍රේල් පස්වන සෙනසුරාදා දොරට වඩිනවා.

මේ ඇගේ ප්‍රතිභාව දැකිය හැකි 'සුමනේ' නම් කවියෙන් කොටසක්.


"..............
ලෝකෙ එළිය දකින්න බැරි 
හීන තමයි අයිති අපිට 
ඒක තමයි හැමදාමත් 
රෝසපාට හීන වලට 
අකමැත්තෙන් වුණත් අපිට 
ගාන්න වුණෙ අඳුරු පාට 

අට්ටි අට්ටි හීන තියන් 
කුට්ටි කුට්ටි අඳුර මැදින් 
දවස් හතට පාට හතක 
මල් පිපිලා හැඩට පේන 
ඉර හිල් වෙන අහස හිඳෙන 
තට්ටු තට්ටු සොල්දරයක 

ආදර සරුවාල ඇඳන් 
ආදර භෝජනේ හදන් 
ආදර පානේ එළියෙන් 
ඉන්න හිටියෙ මේ අපිමද? 

එහෙව් අපට 
අද වෙනකල් 
හොයාගන්න බැරි වුණේම 
ඒ ආදර මඟ නෙමේද? 

කටු පිපුණෙත් කටුනායක 
මල් පිපුණෙත් කටුනායක 
ඉතින් සුමනෙ හැමදාමත් 
මතක නේද කටුනායක....??"


දිනය : 2014 අප්‍රේල් 05 වැනි දින සවස 3 ට 
තැන: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී 
දෙසුම්: රත්න ශ්‍රී විජේසිංහ
         ආනන්ද තිස්සකුමාර
ධනුෂ්කා,
මල් පිපෙන පරවෙන
ඉර හඳ නඟින බැස යන
මේ අරුමැසි කලා අහස
ඔබේ කව් තරු සහසකින්

එළිය වේවා!


Friday, January 31, 2014

ක්‍රිස්ටිනා




-කිසිදාක හමු වී නැති කාර්යාලයීය මිතුරියක වූ ක්‍රිස්ටිනා ලී නම් විසි හතර වියැති කොරියානු යුවතිය, මොළයේ හට ගත් අධි රුධිර පීඩන තත්වයක් නිසා හදිසියේ ම සියෝල් නගරයේ දී මිය ගිය ගොස් තිබුණි.

වියෝගය, 
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා? 

හීනයක්, යළි හීනයක් 
ඒ මතින් තව හීනයක්
ඇස ළඟින් තබා ගිය
කඳුළක්ය ස්නේහයත්

දශක දෙකකුත් සිව් වසක්
හුස්ම ගත් මුදු හදවතක් 
ඇරඹුමක් ළඟ නිමාවක් නම්
ජීවිතේමද මරණයත්? 

මිනිස් දුක දැක සසැලී
ඔය තුරුණු හිස බර වී
හිස රුහිරු නළ පිපිරී
හිත නැවතුණිද නැගණී? 

සමුනොගෙන ඉසියුම්ව රිදවන
දුරකතන අංකයකි මේසයට ඉහළින්
කඳුළකින් ඇලවී... 
සිනා ලකුණකි පරිගණක තිරයෙහි 
ඔබ තබා ගිය
අවසාන කතා බහ නිම වී 

අකුරු ළඟ ඇස් නවතමි
මිතුරු සිනහව හඳුනමි
යළිත් ඔබ හෙට නො ලියනා බව 
අදහනු බැරිව ගොළුවෙමි

ඇත්තටම ඔබ නික්ම ගොස් නැතුවැතී
දුරක ඈතක කොහෙ හරි ඇතී
මම මගෙ හිතට කොඳුරමී

දෙනෝ දාහක් සෙනඟ අතරතුර මඟ යනෙන
තබා යන්නැති ඔබත්, ඔබේ පෙරඹර සිහින
'උදෑසන', සිනාසෙන්නැති අදත් එහි පැමිණ
ඔබ නොහෙළු මුදු සුසුම පිනි බිඳක් වී මැකිණ

වියෝගය! 
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා? 

24-01-2014