-සැප්තැම්බරයෙන් පසු
පොතක් ලියන තෙක් බලා හිඳ, ආපු ගමන් කෙසේ හෝ පොත හොයාගෙන සියලු වැඩ පැත්තක තියා නොකා නොබී නොනිදා කියවන පන්නයේ නවකතා පොත් ලියන කතුවරුන් එක්කෙනෙක් දෙන්නෙක් කාටත් වගේ මටත් සිටී. Paulo Coelho, Khaled Hosseini, Isabel Allende, Shyam Selvadurai යන අය වගේම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ලියනගේ අමරකීර්ති කියන්නෙත් එහෙම උමතු කරවන සුළු කියවීමකට මා තල්ලු කරන ලේඛකයින් දෙදෙනෙකි.
සැප්තැම්බරයේ ගත් පොත් ගොඩ අතරින් ගත්ත ගමන් කියවා අවසන් කළේ ‘මාණික්කාවත‘, ‘Adultery‘ සහ ‘අහම්බකාරක‘ යි. ඒ පොත් , පොත් විදිහට නොඉඳ පණැති දේවල් වී ඔළුව කළම්බමින් හුදෙකලාව බිඳිමින් හිත එක්ක සංවාද කරන එක ලියැවිල්ලේ අපූරු කම යැයි සිතමි. ඒවා කියවා දැනෙන දේ ලියන්න ඕනා යයි සිතුවත් දැනෙන දේ ලියන්නට වචන මදිය.විචාර ලියන්න මා දන්නේ නැත. හැඟීම් හා සිතුවිලි වනාහි විචාර නොවන බැවින් ඒවා නොලියවෙන එකත් හොඳය. ඒත් ඒ පොත් රසවිඳින තරම බෙදා නොගැනීමත් හොඳ දෙයක් නොවන නිසා ලියා තබමි.
මාණික්කාවත , සෙංකොට්ටං මෙන්ම හිත බර වෙවී කියවීමි. ‘අහම්බකාරක‘, ‘කුරුලු හදවත‘ මෙන්ම , ‘නෙරූදා ගේ ලියුම් කාරයා‘ මෙන්ම විස්මයෙන් ආසාවෙන් නොනවත්වා කියවීමි. සාමූහික ගැමි ජන සන්තානය මානව දයාවෙන් නිරතුරුව ස්පර්ශ කරන මස්ඉඹුල ත් විශ්ව ගම්මානයක හුදෙකලා පුද්ගල ගැඹුර මැන ඒ වෙත කැඩපත් එල්ල කරන කොයියෝත් දවසක හමු වී නම් කුමක් කතා කරනු ඇත්දැයි තනියම සිතමි. අහම්බකාරක අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි. රුපියල්මය දූපත් සිතියම මත පුද්ගල යථාවේ සිතුවම මතු කරනු වස් සාහිත්‍යමය කඩ ඉරි යා කරයි. අන්තිමේ දී නැවත හෙන්රි ජේම්ස් කියවන්නට ත් පටන් ගතිමි. මහින්ද ප්‍රසාද් සහ ලියනගේ අමරකීර්ති, ඔබට ස්තූතියි.
චූලානන්ද සමරනායක සහෝදරයාගේ අපූරු දිරිගන්වන සුලු , හෙමින් සැරේ කියවිය යුතු අලුත් පරිවර්තන පොත් කිහිපයකි. ‘නරක උන් ඇසුරෙහි‘ ඉන් එකකි. කවදාවත් හමුවී නැති නිසා කියාගන්නට බැරි වුනත් දැදිගම වී. නැති අඩුව පුරවන කත්‍යානා අමරසිංහට ඉතාමත් ආදරේය. ළඟකදි ඇගේ පොතක් කියවන්නට නොලැබීම අඩුවකි. ‘තාත්තා වගේ කෙනෙක්‘ ඉතා කැමැත්තෙන් කියවීමි. ඒ බුහුටි පරිවර්තනය වෙනුවෙන් අනුරාධා කෝදාගොඩ ට සුභ පතමි. අලුතින් කියවීමට ගත්තේ හෂිත ගේ ‘පත් සිඳුණු වසන්තය‘ නම් පරිවර්තනයයි. තවම පහු කළේ පිටු කිහිපයකි. ලිවීමේ අපූරු අනන්‍ය විලාසයෙන්ම සැනින් අප බැඳ ගන්නා ඒ පොත කියවා ගන්නට අද හෙට කාලය ලැබේයයි පතමි. ෂෙහාන් කරුණාතිලක ආයෙත් පොතක් ලිව්වොත් වැඩියෙන්ම සතුටු වන අය අතර මා ද සිටිනු ඇත.
කියවිය යුතු අලුත් පොත් බොහෝය. අලුතින්ම සහ දෙවෙනි, තුන්වෙනි, දහ පහළොස්වෙනි වතාවට ද කියවිය යුතු පොත් ගොඩ සහ මා අතර සිටගත් අනවරත ජීවණ අරගලය දෙස රවා බලමි.
ප.ලි. කියවා කලක් ගත වුනත් ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න‘ නම් නිර්මාණාත්මක සාහිත්‍ය ප්‍රබන්ධය වෙනුවෙන් කෞෂල්‍ය ට ද ‘මේ කතාව‘ වෙනුවෙන් සුරේඛා ටද ‘ගම්මිරිස් කුරුල්ලා‘ වෙනුවෙන් කාංචනාට ද තවත් වරක් සුබ පතමි.