Thursday, March 24, 2016

ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය




මතකයන් බිඳෙන් බිඳ 
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන 

දෙඇස්වල අවසාන එළි පොද
නිවී නො නිවී සිඳි යන විට
ප්‍රේමයට පර්යාය පද අවැසි නැත,
ඉඳහිට වැළඳ ගනු මැන

බෙදා ගත් දිවියක 
සදාකාලික මතකය
කිසිවකින් මකනු බැරි බව
නිදාගත් මා හෘදයට 
නිරතුරුව සිහිපත් කර දුන මැන

රික්තයක් තුළ නිහඬ ගොළු බව 
දරා ගනු බැරි දිනයෙක,
සමු ගැනුම් අවැසි නැත
කිසිත් නොකියා ඉවත යනු මැන

කළු කුහරයක් මැද
අරුත් ගිලිහුණු ස්මෘතිය
කිසිත් නොහැඟෙන ශුන්‍ය දෑසක 
ඇස් පියන් යට තබා යනු මැන

හිස්කමක් මිස කිසිත් නො පෙනෙන
අන්ධකාර ම හදක පතුළත
මිදී ඝන වී කියනු බැරි වූ
ආදරය නම් දෙයක් තිබුණෙය,
එයම පමණක් රැඟෙන යනු මැන.

29-02-2016

*ස්මෘතිය අහිමි වීම විසින් එදිනෙදා පුරුදු බොහෝ දේ අමතක කර දමයි. ඇතැම් විට මනස හිස්වෙයි-හුරුපුරුදු කිසිවක් සිහියට නඟා ගනු බැරිවෙයි.