Wednesday, April 26, 2017

මාවතක් තැනිය යුතු...



ගිරි හෙල් තැනිතලා දෙපසින් 
බෑවුම් කඳු වළගොඩැලි මග දිගට
හැමදාම යනෙන මග වෙනස් කොට
මාවතක් තැනිය යුතු 

තැනිතලා බිම් මත
මෙලෝ මල් විසි කොට
දුර්ග ගිරි හිස් මතින් 
ඉන්ද්‍රචාපය මතු කොට
ගැඹුරු හෙල් පතුලත
චන්ද්‍ර පාෂාණ සවි කොට
මග දෙපස තැනිය යුතු
වග වළස් නිය මතින්
රෝස මල් මතුව ආ යුතු 

වළ ගොඩැලි වැසෙන්නට 
මන්දහාසය අතුරා
කඳු නැගෙන තැන්වල
සඳ තබා, කලාවෙන් කලාවට පුරවා
අඳුරු රෑ අහසට
මාලිමාමය තාරකා අලවා
මාවතක් තැනිය යුතු 
රළු බොරළු බිම මතින් 
ප්‍රේමයේ පලස එලිය යුතු

පරිස්සම් වූ දෙපා සලකුණු
වැසී රඟ දෙන සිරි මැවිය යුතු
උරිස්සක වැකි කඳුළු වියැකී
හැරී මදහස් බැලුම් පෑ යුතු
කිණිස්සක රැඳි මියෙන හදවත්
පියාපත් ලැබ ඉගිළ යා යුතු
දහස් ඇස් මැද හුදෙකලා සිත්
තබා මෘදු අඩි ඇවිද යා යුතු

මාවතක් තැනිය යුතු
ඒ මගෙහි, 
දිණුම් කණු ඉම් ලකුණු මැකී යා යුතු
නිදහස් ම පදලස් කෙටී යා යුතු



Saturday, April 8, 2017

කුරා කුහුඹුවන් අපි...,




ඔව්, සබඳ...
කුරා කුහුඹුවන් අපි
නිරා දුක් විඳ
වරා එක කඳුළක් 
නිරානන්දය සොයා යන

දරාගත් වෙහෙස මිස
උරා පැණි බොන්නට 
මල් නො දුටු
පරාජිත කුහුඹුවන් අපි
නිරානන්දය සොයා යන

බෙදාගත් සිනා ඇති
බදාගෙන විඳගත් කඳුළු ඇති
සදාකාලික නැති 
තාරකා අහසක් යට
සදා පවතින මතකයන් වෙති

තරු වුනත් 
නිවෙන්නට දත් අය
කුරුව අබලිව බිම හෙන
කුහුඹුවන් අත්හැර
සක්වලෙහි දිලන්නට හැකි අය

ඔව්, සබඳ..
ඔබේ පැහැදුල් අහස යට
කුරා කුහුඹුවන් අපි
කිරා මැන බලන්නට
තරාදිය අත නො දැරුව
මිය ගියත්
පණ ඇතැයි 
සිත සිතා
තාරකා දූවිලිවලට පෙම් කළ


07-04-2017



Thursday, April 6, 2017

That’s when I start to dance in the rain







I feel it in each artery and vein
Like a butterfly cooing in pain
Then I go.., I go insane
That’s when I start to dance in the rain

They gave me a cage, costumes and a frame
Was given a life and so then a name
Then came the lies, the shows and the fame
That’s when I start to dance in the rain

The melancholy shielded with smiles, it’s the game
Wish on the stars; but choose to refrain 
Follow the rules till die,  you be a saint 
That’s when I start to dance in the rain


05-04-2017

Monday, April 3, 2017

යක්ෂණියගේ දුෂ්ට පාත්‍රය




මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
දුන්න ගස්සා ඔබ මුදා හළ
හී දැරූ හද කුටීරය

වස් වසා බොහෝ කල් ගත විය
ඇස් වසා දැරූ දේ විෂ ය විෂමය
වික්ෂෝප ආත්මය දරා ඇවිදින
යක්ෂණිය ඒ මම ම ය

වැස්සටත් කඳුළු දිය දුන් අතීතය
සත් වරක් ඉපිද මියැදුණු සිහිනය
අත් දෙකෙන් මිරිකා මුදා ලූ
කිරීටක සංසරණයද ස්නේහය

දරණ ලූ දුක නම් බැඳුම ය
උරණ මග දිග තිබුණේම රිදුම ය
වරණයක් නැතිකම අල්තාරයක පිදුම ය
මරණය ද ජීවිතය ද එකය, එකම ය

මෙන්න මාගේ ශරීරය
මෙන්න මාගේ රුධිරය
නික්ම යන්නට දෙපා බැරි වූ
දුෂ්ට පාත්‍රය මගෙ ම ය


03-04-2017