සිතුම් සායම් පොවා මොහොතකට හැඩ කෙරූ
සුන්දරම ආකාස සිත්තමෙන් බිම වැටී
ගිනි වැදුණු අසිරිමත් පුරවරය සෝදමින්
බොර පාට මහ වැස්ස පා යටින් ගලා යන
බස්රියේ සීතලට - පිණි ඉහින හිරිකඩට
උණුහුමක් වී ඇවිත් -හිතේ ඉඳ කවි ලියන
සුවැති උරහිස් මහා සිහින පවුරට උඩින්
තියුණු නෙත් දහසක්ය මගේ නෙත් විනිවිදින
සීරුවෙන් අඩුක් කර කට මැහුව ගෝනියක
කර උඩින් උන් තිබ්බ ජීවිතේ මහා බර
තාම සවි ඇති කොන්ද නමාගෙන මග දුවන....
දාහ දූවිලි නිවන මහ වැස්ස දෙස බලා
අහසටම දෙස් තියන නාට්ටාමි මිනිසාන,
ඔබේ කුස නැගෙන ගිනි ඇවිල විත් මා දවයි......
ලෝ ඇසට නොම උනන කිරි කඳුළු ගෙනෙන්නට
රබර් ගස් සූරමින් ජීවිතය සොයන විට
ලැයිං ගෙයි කුස්සියේ රොටි සුවඳ දැනෙන තුරු
පිළේ හිඳ මග බලන පොඩි උන්ගෙ හීන මල්
වැහි වතුර පිරෙන පොල් කටුව තුළ පිපෙන විට
කිරි කපන නංගියේ,
මගේ බත් මුළ හෙමින් ඉකි බිඳියි
මහ පොළොව සිප වැළඳ-සෙනෙහසේ බිජු වපුළ
අස්වැන්න දිය කරන අහසටම දුක කියන
අඳ කුඹුර කෙළවරක ඇණ තියා බැත සොයන
ගොවියාන, ඔබේ බොර වූ දෑස් මා පෙළයි
බෝ ගසෙහි සෙවණ යට තල් පැළලි කඳවුරේ
මඩ දියෙන් කැළතෙමින් හිස් වළං පාව යයි
වෙඩි හඬට බිහිරි වුණු දෙසවනට
අකුණු හෙණ දරා ගනු බෑ තමයි
විතැන් වූ හදවතින් තල් පැදුර යළි වියන
සෝයුරනි, දනිමි මම.....
මේ උදෑසන ඔබට කළුවරයි
ඉතිහාස පාඩමක පිටු හැළුණ වීදියක
තෙත බරිත ජීවිතය මිරිකමින් වියළවන
සැඬ පහර දැක දැකම සන්සුන්ව ගමන යන
මිනිසුනේ, නුඹලාට මේ වැස්ස ණයගැතියි
15/05/10