Monday, January 24, 2011

මහේන්ද්‍රන්



















ළමා සොල්දාදුවෙකු ලෙස සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වසර 18ක් නඩු නැතිව බන්ධනාගාරයක රඳවනු ලැබ සිටියි.
-පුවතක්


යාළුයි කියා පවනැල්ලකුදු නැති තැන
පාළුයි තමයි හඳ එළිය වුව හැම තැන
මාළුයි ගඟයි දෙකම මූදට වැටුණම
යා‍ළුවෙ දනිමි වියළි කඳුළක තනිකම


දමා හැර ගිය උපන් බිම මැද
නිමා නැති ෂෙල් තරු ලකුණු යට
ළමා සොල්දාදුවා විද නුඹ
පමා වෙන්නට අකුරු නොතිබුණ

පාට සමනල් කොළඹ අත්තටු
රෑට සවනක් රැසින් නෑවුණි
සීත කල්ලඩි ආරු දිය යට
කාටවත් නැති කඳුළු වෑහුණි

මීන ගී හඬ කණට නෑහෙන
වසර දහ අට කොහොම ගෙවුණි ද
නීතියත් මරණයත් මළ රෑ
හීනෙකින්වත් ගෙදර පෙණුනි ද

ගාළු මුවදොර වෙරළ රළ මත
සළෙල සුළඟක් කරත රමණය
නුඹේ ගොළු සිර කුටිය මුදුනත
සිහ සිවල් කැළ එකම කොඩියක


22/01/11

Wednesday, January 12, 2011

ඈ අම්මාය...

















විහඟ සෙනගට ‍සතුට නැත නිම්මා
විහඟ සර මැද උපන් ඈ අම්මා
විහඟ කුලයට දුවක වී
කැදලි තනනට පියාඹා ගිය කිරිල්ලී

පොළොව මදි විද අහස සැඩ විද
පියා සැරියට නොසෙල්ලී
මලානික තෙත වගුරු බිම මැද
හෙලා බිජුවට විතැන් වී
කිරි බරින් ළය බුරුල් වී
තටුත් දන් දුන් කෙවිල්ලී
තුඩින් සෙනෙහස ගලන්නී
ගොර සපුන් හිස සිඹින්නී

සා  මුවන් ලෙස මාන බලනා
සිවල් රුදු නිය දකින්නි
මුවාවක් හොය හොයා අඬ ගා
විකල් වී බිම හොවන්නී
පුතු සිනා දැක උදම් වී
හිත හදා ගත් කුවේණි
තුඩින් සෙනෙහස කවන්නි
ගොර සපුන් කැළ රකින්නී

එදා දවසක නොකල්හී
කූඩුවේ දොර විසල් වී
කිතු කරලූ කිරි දැරූ ළය
වීසි කෙරුණිද අකුණු අහසට
වැහි තෙතක් නැති නියං සායක
උරා ගැණුනිද රුහිරු පොළොවට
තුඩින් ලේ බිඳු ගලන්නී
ගොර සපුන් දැක අඬන්නි

බර සුසුම් පොදි දරන්නී
අහස පොළොවට හෙලන්නී
තටු අහිමි සඳ කින්නරී
සඳ වතේ ලප තබන්නී
කෙනෙක් “අම්මා” කියා අවුදින්
සිනාසෙන මග රකින්නී
තුඩින් කඳුළක් හෙලන්නී
ගොර සපුන් මැද මියෙන්නී


31/12/10

Wednesday, January 5, 2011

මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?| 19 වන සියවසේ හුදෙකලා කිවිඳිය




















මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද? 

මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?
ඔබත් නොකිසිවෙක්ද?
එහෙනම් මෙන්න, අප දෙදෙනෙක්- කාටවත් නොකියන්න!
උන් අපව පළවා දමාවි

කොතරම් කම්මැලි දෙයක්ද, 'යමෙකු' වීම!
ප්‍රශස්ති ගයන මඩ වගුරකට,
මුළු දවස පුරා
ගෙම්බෙකුසේ තම නම කියමින්
පරසිඳුව හිඳීම!

[I'm nobody! Who are you? By Emily Dickinson]

මණි පත්‍රයක්-මල් පෙත්තක්-කටුවක්

සුලබ වසන්ත උදෑසනක්
මණි පත්‍රයක්,මල් පෙත්තක් සහ කටුවක්
තුෂර පිරි බඳුනක්
මී මැස්සෙක් දෙන්නෙක්
මද පවනක් - තුරු පතර දැඟලිල්ලක්
මම රෝස මලක්
[A sepal, petal and a thorn By Emily Dickinson]

ලෝකයට මා ලියන ලියමන 
මේ,
මට කිසිදා නොලියූ ලෝකයට
මා ලියන ලියමනයි,...
සිය මුදු මහේෂාක්‍ය බවින්
සොබා දම කියූ සරල පණිවුඩයයි.
ඇගේ පණිවුඩය
මට දකින්නට නොහැකි
දෑත් වෙත කැප කොට ඇත;
දුර වසන දයාබර මිනිසුනි,
ඇයට ඇති ආදරය උදෙසා
මා දැඩිව විනිශ්චය නොකරන්න! 

[This Is My Letter To The World By Emily Dickinson] 

එමිලි එළිසබෙත් ඩිකින්සන්
[Emily Elizabeth Dickinson -දෙසැ. 10, 1830 – මැයි 15, 1886]

ඇමරිකානු කිවිඳියකි. ඇම්හර්ස්ට්හි ඉහළ සමාජයේ දැඩි ආගමික නැඹරුවකින් යුත් පවුලක උපන් ඇය සිය අභයන්තරයටම යොමුවු හුදෙකලා චරිතයක් වූවාය. එනිසාම ඇය සාම්ප්‍රදායික ඇමරිකානු සමාජයේ වෙනස් චරිතයක් සේ සැලකුණි. කිසිදා විවාහයකට නොඑළඹි කිවිඳිය සුදු වතින් සැරසෙමින් ද ජීවිතයේ පසු කාලයේ දී සිය කාමරයෙන් පවා එළියට නොබසිමින් ද ලියුම් වලින් පමණක් ලෝකය සමග ගණුදෙනු කළාය. වසර පණස් පහේ දි ඇය මිය යන විටත් ලියමින් සිටිය ද ඇ ඒවා තව දුරටත් සංස්කරණය කළේ නැත.

අට සියයකට අධික ඇය ලියූ කවි වලින් ඇය ජීවත්ව සිටියදී ප්‍රසිද්ධ කළේ දොළහක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. එමිලිගේ කවි ලෝකයා අතට පත්වන්නේ ඇගේ මරණින් පසු සහෝදරියක විසින් ඒවා සොයා ගනු ලැබීමෙන් පසුය.

1955 "The Poems of Emily Dickinson" ප්‍රකාශයට පත්වීමත් සමග ඒ පිළිබඳ කතිකාව ඇරඹුණි. එමිලි ඩිකින්සන් සැළකෙන්නේ 19 වෙනි සියවසේ ඇමරිකාවෙන් බිහිවූ වඩාත් ස්වභාවික කිවිඳියක ලෙසය. ඈ එසේ අවධානයට ලක් වන්නේ සම්ප්‍රදායට එරෙහි වෙමින්, කැඩෙන රිද්ම රටාව, අසාමාන්‍ය විරාම ලකුණු භාවිතය, නිර්මාණාත්මකව සංකේත භාවිතය සහ සමස්ත පද්‍යකරණයේ වූ නැවුම් බව ගෙන හැර පාමින් කළ මෙහෙය නිසාය. ඇය සොබා දහම ගැනද මිනිස් ස්වභාවය ද මරණය ගැන ද ලිව්වාය. අධි සංවේදී කාන්තාවක් වූ ඇය ජෝන් කීට්, එළිසබෙත් බ්‍රවුනිං වැන්නන්ගේ නිර්මාණ ප්‍රිය කළ ද එකල පිළිගත් ශෛලිය වූ සුපිරිසිදු මල් හා පවිත්‍ර ප්‍රේමය ගැන පරිකල්පනීය කවි ලිවීම ප්‍රතික්ෂේප කොට සිය ඇතුළාන්තය ද මිනිස් ස්වභාවය ගැන ද ලියුවාය. කොතෙක් හුදෙකලා චරිතයක් වුවද ඇගේ කවි බොහෝ විට ප්‍රීතියෙන් ද උත්සවාකාරී බවින්ද යුතුය. 20 වන සියවස වන විට විචාරකයින් ඇගේ කවි හැඳින්වූයේ 'නූතන' පද්‍ය සම්ප්‍රදායට අයත් ඒවා ලෙසය. සම්ප්‍රදාය නොතකා හැරීම යනු නොදැනුවත් කම නොව ඇය සවිඥානිකව කළ බුද්ධිමය එළඹුමක් ලෙස ද ඔවුහු හඳුනා ගත්හ. ඩිකින්සන්ගේ සංකීර්ණ මෙන්ම බුද්ධිමත් ලේඛන ‍ෛශලිය ‍බොහෝ විචාරකයින් අතින් පැසසුම් ලබන්නාක් මෙන්ම ඇගේ ලියවිලි 21 වන සියවසේ ලේඛකයින්ට සහ හා කවියන්ට කර ඇති බලපෑම ද ඉමහත්ය.