සයුර, නුඹ අද දුර ය.
ඔතා සියොළඟ සුළඟ
වසා නිල් රැළි දෙනෙත
වහා පිබිදෙන දකුණ
වෙරළ තල සිප වැළඳ
හොරැහිනිදු නොබලා ම
මහා සොම්නසකින් නුබ නැගෙන
සයුර, නුඹ අද දුර ය.
ගිනි අව්ව සෙනෙහසින් උරා බොන
පෙම්වතුන්ගේ කුඩ මත ඉහෙන
රිදීවන් ලවණ බිඳු
දිළිහෙමින් ඉඟි මරන..
ඒ වුනත්...
ඒ අව්ව මට කළුවර ය.
ඉතිහාසයේ පිටුවක
ගාලු මුවදොර වෙරළ කෙළවර
කිසිවෙකුට නොදන්වා නික්ම ගිය
කැස්බෑ මළ ගමක් අභියස
නුඹ පැන් වැඩූ ඒ රාත්‍රිය
නුඹේ රළ රැළි ඉකියට
අප සුසුම් මුසුවුණ
සෞම්‍යවූ
තෙත බරිත මුදු සුවඳ
එක ළඟින් අප තබා ගිය
දිග දුරක පා සලකුණු
බදා හිඳ දෑතින් ම මොහොතකට
පිසදමා මුදු සිතින්
කළුවරට නුඹ ඇදුණු
ඒ නියොන් රාත්‍රිය
රැළි නගා අප ළඟින් හිඳ
හුස්ම ගත් රිද්මය නුඹ
මට තාම මතකය
ඒ වුණත්,
සයුර, නුඹ අද දුර ය.
නියොන් එළි වෙනුවට
හිරු පහන ඇවිලෙන
නාඳුනන ඇස් වලින්
තව දෑස් නුඹ කළඹන
ඔහු නොමැති මේ වෙරළ අභියස
සයුර, නුඹ අද දුර ය.
27/04/11
ලස්සනයි..කල්පනා..
ReplyDelete