මිහින්තලයෙන් ඉර බැස යමින් තිබුණි. රතු පාට දුහුවිලි මතින් නැගෙන කොළපාට තුරුවියන තාර පාර දිගට ද මිහින්තලා කන්ද මුදුනට ද ඉනුත් එහා ශේෂ කඳු ඡායාවන් තෙක් ද විහිදෙයි. සියවස් කිහිපයකට පෙර බොහෝ දෙනෙකු සුවය පතා වැතිර හිඳින්නට ඇති ශෛලමය බෙහෙත් ඔරුව ද ආරෝග්‍යශාලවේ , බොදුන්සල්වල , සංවාද මණ්ඩපවල නටඹුන් ද තැනින් තැන කොන්ක්‍රීට් අනමින් යටිතල පහසුකම් දියුණු කරන කම්කරුවන් කිහිප දෙනෙකු හැරෙන්නට මැද මළුව පාළු ය. යකඩ කටකින් ආධාර දුන් මුදලට සරිලන්නට ආසිරි ද නිවන් ද බෙදනු ඇසෙයි.
එක් කඳු ගැටයක දුලන මහා සෑයට ද තවත් කඳු ගැටයක රශ්මි විහිදන ශ්වේත වර්ණ බුද්ධ ප්‍රතිමාවට ද මුහුණ ලා ‘ආරාධනා ගල’ අහසට නැගෙයි. ගල් පොත්ත මත යන්තමින් ගල් කටුවෙන් කඩා තනන ලද පඩි පෙල කෑලි ද ආධාරක වලට ද වාරු වෙමින් ඔබ ඒ ගල නැගිය යුතුය. සුළඟ ඔබ විනිවිද යන හෙයින් ඔබ කිසිසේත් ආධාරකය අත් නොහළ යුතුය. එතරම් උස් නැති ආරාධනා ගල ඊට නගින වම් පසින් බෙදී ඇත. සැදැහැවතුනගේ පයට මැදුණු ගල වැසි දිනයෙක කෙබඳු වෙත් දැයි සිතා ගන්නට උත්සාහ දරමි. ගල මුදුන වර්ග අඩි කීපයකට වඩා නැති හෙයින් සීගිරි මුදුන තරම් නිදහසක් එහි නොවේ. ඈත බටහිරින් මහකණදරා වැව දිස්නය දෙයි. දකුණුපස දුර ඈතින් රිටිගල කන්දේ ඡායාව පෙනෙයි. මහ කණදරාවට එක්වනු පිණිස අවට කුඹුරු අස්වද්දමින් හෙමි හෙමින් දිය දෙන කුඩා වැව් රිදී පැහැයෙන් පහත දිළෙයි.
ඉනික්බිතිව මහා සෑය දෙසට නගින විට දිය උල්පතින් හෙබි පොකුණුවල මාලු පීනති. ගල් පතුරු උඩ ට වී බෙලි දික්කරමින් විවේක ගන්නා ඉබ්බන් කිහිප පොළකි. රුවන්වැලි මහා සෑය සිහිගන්වන සුවිසල් මහා සෑය කොත් කැරැලලෙන් සැරහී සිටින්නේ, බැස යන හිරුගෙන් සැදුණු සිය සෙවණැල්ලෙන් සලපතළ මලුව ට සෙවණ සදයි. තුරුපතක් බිම වැටෙන හඬ පවා ඇසෙන තරම් නිහැඬියාවක් එහි ඇත. විශාල ගල් පුවරුවලින් තැනුණු සලපතළ මලුව කෙළවර සිට නැගෙනහිර දෙස බලන විට ඈතින් යන්තමට නුවර වැව පෙනෙයි.
එදා තරම් ම නිහඬව අම්බස්තල වනය හුස්ම ගන්නේ තවමත් භාවනායෝගී කෙළෙස්හලවුන් මෙහි ඇතැයි සිතන්නාක් මෙනි. එහෙත් එය එසේ නොවේ. හුදෙකලා විහාර ගෙය ට එළඹෙන තැන වැඩ සිටින වියපත් හිමි නමක් මුදලට ටිකට් කඩමින් සලපතළ මළුව* වෙතම සැරි සරයි.
අඩි දහසක් උසැති මිහින්තලයෙන් බසිනු පිණිස හැරෙමි. සියලු දේ වෙනස් වුවද ආරාධනා ගල මෙන්ම තවමත් නොවෙනස් ව ම මඟ දෙපස තනි රකින අරලිය ගසින් හා ඉන් බිම හෙවුණු මලින් ගහණ එකට කැටි වූ කුඩා පඩි පේලි වෙතට එළඹෙමි. හිමි නමක් මට ඉදිරියෙන් සන්සුන්ව අවර්ණ පරිසරයෙහි සිවුරෙහි ගුරු පැහැය තවරමින් බැස යයි. සිත වසර බොහෝ ගණනක් ඈත අතීතයට දිව ගොස් මෙතැනම නවතියි. අවුරුදු පහක කුඩා දැරියක් මෙපරිදිම සිය කණ්ඩායමෙන් මොහොතකට මිදී තනියෙන් බැස යද්දී වේගය පාලනය කර ගත නොහී පහතට ඇදී යන ඒ දසුන... මගේ ළමා වියේ කිසිදාක අමතක කළ නොහැකි සේ කෙටුණු මිහින්තලය හා සදාකාලිකව බැදුණු මගේ මතකය... පඩි පෙළ මුදුනේ සිට මා වේගයෙන් පහත හෙළ කරා ඇදී යනු දුටු තාත්තා කෑ ගැසූ අයුරු.
“පුතේ, අයිනට යන්න.”
එදා මගේ දිවි ගැළවුණේ ඒ හඬෙහි වූ බලය නිසාවෙනි. පඩි පෙළ වම්පසට තල්ලු වී වමත සූරාගෙන පණ බේරාගත් මා කරා විත් කඳුළු වගුරන මා වඩා ගෙන ඔහු මා සැනසූ අයුරු. ඉන් පසු තාත්තා අප හැර යන තුරු අප කවදාවත් මිහින්තලේ ආවේ නැත. පර වී බිම හෙවුණු අරලිය මලක් මඳ සුළඟට සෙලවී පඩි පෙළ දිගේ පහළට යයි. මම තනිවම පඩි පෙළ බසිමි.
“පුතේ, අයිනට යන්න.” තාත්තා පඩි පෙළ මුදුනේ සිට කියනු මට ඇසෙයි.
.
22/02/12
අනුරාධපුරයේ දී
-----------------------
* සලපතළ මළුව- චෛත්‍යයක පාදම වටා ඇති මිදුල වැනි කොටස -සංසාරය හැඳින්වීමට යෙදෙන සංකේතයකි.